Monthly Archives: September 2017

ඔෙබි ඡන්දයේ වටිනාකම ඔබට කියාදෙන අපූරු වෙබි අඩවිය

ජනතාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව වෙත ජනතාවගේම ඡන්දයෙන් පත්කර යැවෙන දේශපාලඥයා පාර්ලිමේන්තුවට පත්වූ පසු සිදුකරන්නේ කුමක්ද? ඔහු ජනතා ප්‍රශ්න වෙනුවෙන් කතා කරනවාද? පාර්ලිමේන්තුව තුළ ඔහුගේ ක්‍රියාකාරීත්වය කෙබඳුද? යන්න පිළිබඳ පසුවිපරමක් කිරීමට මෙරට ජනතාවට එතරම් උනන්දුවක් නොමැත. අඩුම තරමින් තමන් පත්කළ ජනතා නියෝජිතයා පාර්ලිමේන්තුව වෙත යනවාද යන්න පවා ජනතාව හරිහැටි නොදනී. මීට ප්‍රධානතම හේතුවක් වශයෙන් හඳුනාගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ ජනතා නියෝජිතයන්ගේ ක්‍රියාකාරීත්වය ජනතාවට අධීක්ෂණය කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමයි. 'අද' මේ සටහන ගෙන එනුයේ පාර්ලිමේන්තුවත්, ජනතාවත් සමීප කිරීමට සමත් පාර්ලිමේන්තු අධීක්ෂණ වේදිකාවක පුරප්පාඩුව සාර්ථකව සම්පූර්ණ කිරීමට පුරෝගාමීවූ 'Manthri.lk' වෙබ් අඩවිය පිළිබඳ ඔබ දැනුවත් කිරීමටය.


manthri-logo
මේ පිළිබඳ අප හා කතාබහට එක්වූයේ 'Manthri.lk' වෙබ් අඩවියේ සහකාර විශ්ලේෂක ෂදීසා ධර්මප්‍රේමයි.

'ජනතාව තමන්ගේ වටිනා ඡන්දය ප්‍රකාශ කරලා පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් පත්කරලා යවනවා. නමුත් එතැනින් පස්සේ කවුරුවත් හරි ආකාරයෙන් දන්නේ නැහැ ඒ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගිහින් කරන්නේ මොනවාද කියලා. ඒ නිසා අපට අවශ්‍ය වුණා ජනතාවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් සම්බන්ධ කරන්න පුළුවන් පාලමක් හදන්න. ඒ කාර්යයේ ප්‍රතිඵල තමයි 'Manthri.lk'  වෙබ් අඩවිය කියන්නෙ. 

මේ හරහා ජනතාවට හැකිවෙනවා තමන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරයා සැබෑ ලෙසම එහිදී ඔවුන්ව නියෝජනය කරනවාද, අඩුම තරමේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට සහභාගි වෙනවාද, ඒ ගියත් ඔහුගේ ක්‍රියාකාරීත්වය මොන වගේද, ජාතික මට්ටමින් ඉදිරිපත් වන අණපනත්වලට ඔහු දක්වන ප්‍රතිචාරයත්, තමන්ගේ විෂය සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේ කුමන ආකාරයකින්ද කියලත් දැනුවත් වෙන්න.  

'Manthri.lk'  කියන්නෙ ශ්‍රී ලංකාවේ පුරෝගාමීම පාර්ලිමේන්තු අධීක්ෂණ වේදිකාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වයන් ගණනයට සහ සංසන්දනය කිරීමට 'Manthri.lk'  මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ තොරතුරු සටහන් තැබීම සහ විශ්ලේෂණය ආදී කාර්යයන් ඉටු කරනවා. හැන්සාර්ඩ් වාර්තාවට අනුව පාර්ලිමේන්තු සැසිවාරයන් පිළිබඳ තොරතුරු රැස්කරලා ඒවා විශ්ලේෂණයට භාජනය කළාට පස්සේ අපි ඒ දත්ත සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම අපේ 'Manthri.lk'  වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව සියලු දෙනාටම වඩාත් අදාළ සහ පාරදෘශ්‍ය කිරීමත් වගේම ජනතා ඡන්දයෙන් තේරී පත්වෙන නියෝජිතයන්ගේ කටයුතු සමග ශ්‍රී ලාංකේය පුරවැසියන් සහ මාධ්‍ය සම්බන්ධ කරගැනීම තමයි අපේ මූලිකම අරමුණ බවට පත්වෙලා තියෙන්නෙ. 
අපේ 'Manthri.lk'  වෙබ් අඩවිය, කොළඹ – කේන්ද්‍රීය ස්වාධීන බුද්ධි මණ්ඩලයක් වන වෙරිටේ රිසර්ච් ආයතනයත්, අන්තර්ජාල සහ ජංගම දුරකථන යෙදවුම් ප්‍රවර්ධනයේ නියැළී ඉන්න ජාත්‍යන්තර ආයතනයක් වන සබේරියන් ආයතනය සමග එකතු වෙලා සහයෝගිත්වයෙන් නිර්මාණය කරලා පවත්වාගෙන යනවා. මෙහි මූලිකත්වය අරගෙන කටයුතු කළේ අශෝක ඔබේසේකර, ආචාර්ය නිෂාන් ද මැල් යන මහත්වරුන්. අපේ ආයතනයට කිසිදු දේශපාලන අරමුණක් හෝ පදනමක් නැහැ. නමුත් අපි විසින් ජනතාවටත්, මාධ්‍යයටත් ඉදිරිපත් කරන දත්ත විවිධ දේශපාලන අරමුණුවලට භාවිත කරනවා. ඒ වගේම අපේ වෙබ් අඩවිය කිසිම ආකාරයකින් මතයන් ඉදිරිපත් කරන්නේ නැහැ. අපි ලබාදෙන්නේ දත්ත පමණයි.*

'Manthri.lk'  වෙබ් අඩවිය වෙත පිවිසෙන ඔබට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කළ හැකිය. එය ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සහ ස්වභාවය අනුව ලබාදෙන ලකුණු ප්‍රමාණයක් අනුව ශ්‍රේණිගත කර තිබේ. එමෙන්ම ඒ ඒ ප්‍රශ්නවලට අදාළ මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා ලබාදුන් පිළිතුරු, ඒ ඒ සැසිවාරයන්ගේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය, මන්ත්‍රීවරුන්ගේ පැමිණීම ආදී තවත් බොහෝ දත්ත ලබාගත හැකිය. එමෙන්ම මෙහි %මෛත්‍රී මීටරය^ ලෙස නම්කර ඇති විශේෂාංගය මගින් ජනාධිපතිවරයා විසින් දින 100 පොරොන්දු කෙතරම් දුරට ඉටුකර තිබේද, එහි ප්‍රගතිය කෙතරම්ද යන්න දැකගැනීමට හැකියාව පවතී.  

වෙබ් අඩවිය පරිශීලනය කරන්නාට ඉතාමත් පහසු වන අයුරින් මෙහි දත්ත වාර්තාවන් විවිධ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ වර්ගීකරණය කර තිබේ. විවිධ මාතෘකාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් දක්වා ඇති ප්‍රතිචාරයන්, ඒ හා සමගාමීව නිර්මාණය කර ඇති ග්‍රැෆික් සටහන් මෙහි දක්වා තිබේ. මීට අමතර තොරතුරු ලබාගැනීමට ඔබට අවශ්‍යතාවක් තිබේ නම් %Manthri.lk^ වෙබ් අඩවියේ දැක්වෙන දුරකථන අංකවලට අමතා එම තොරතුරු සපයා ගැනීමටද ඉඩකඩ වෙන්වී තිබේ.

'Manthri.lk'   වෙබ් අඩවිය සිය ඉදිරි වැඩපිළිවෙළ අනුව වසරක් පාසා ඉදිරිපත් කරන අයවැයෙන් කොපමණ ඉලක්ක සපුරාගෙන තිබේද? සහ අයවැය යෝජනා කෙතරම් දුරට ක්‍රියාත්මක වී තිබේද යන්න පිළිබඳ වෙබ් අඩවිය ඔස්සේ වර්ෂය අවසානයේ ප්‍රගති සමාලෝචනයක්ද දැකගැනීමට ඔබට නුදුරේදීම හැකියාව ලැබෙන අතර, එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික තොරතුරු, දේශපාලන පසුබිම ආදිය පිළිබඳ දැනුවත් වීමට අවස්ථාව තිබේ. එමෙන්ම එළඹෙන ඔක්තෝබර් 10 වැනිදා %Manthri.lk^ සිය නවතම අංගය ලෙස පාලක පක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් සිය වෙබ් අඩවිය ඔස්සේ දක්වමින් එම ප්‍රතිපත්තිවලින් කොපමණ ප්‍රමාණයක් ඉටුකර තිබේද සහ එහි සමාලෝචනයක් එළිදැක්වීමට නියමිතය.

'Manthri.lk'  වෙබ් අඩවිය මේ ආකාරයෙන් ගෙනයෑම සැබැවින්ම ප්‍රශංසනීය වේ. මෙය පරිශීලනය කරමින් ජනතාවට තමන් ඡන්දය ප්‍රකාශ කර පාර්ලිමේතුවට යවන ජනතා නියෝජිතයා සැබෑ ලෙසම එහිදී ජනතාව නියෝජනය කරනවාද යන්න දැන ගැනීමට මෙතැන් සිට අවස්ථාව සැලසේ. එමෙන්ම තමන් කෙතරම් දුරට ජනතා නියෝජිතයන් පත්කිරීමේදී බුද්ධිමත්ව ක්‍රියාකර තිබේද යන්න පිළිබඳවද ජනතාවට වටහාගත හැකි අතර, වැදගත්ම කාරණය නම් මේ සමගම උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුවට ගොස් වඳුරු නැටුම් දක්වන දේශපාලඥයන්ටද ඉදිරියේදී වැඩ වරදිනු ඇත. 


සංචාරක කර්මාන්තයට පාර්ලිමේන්තුව තුළ හිමිව ඇති වැදගත්කම කෙබඳුද?

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් නිර්මාණය කර ඇති මෙම ග්‍රැෆික් සටහනින් පාර්ලිමේන්තුව තුළ සංචාරක කර්මාන්තයට ලබාදී ඇති වැදගත්කම නිරූපණය කරයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් සංචාරක විෂයයට දායකත්වයක් දක්වා ඇත්තේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකු පමණක් වන අතර ඉන් ඉහළ ක්‍රියාකාරීත්වයක් දැක්වූ මන්ත්‍රීව‍රුන් ග්‍රැෆික් සටහනින් නිරූපණය කෙරේ. ලිඛිත ප්‍රශ්න, පෞද්ගලිකව දැනුම් දීමෙන් අසන ලද ප්‍රශ්න සහ පනත් කෙටුම්පත් දායකත්වය ලැබූ ප්‍රධාන පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් මේ අතර වේ.

ලෝක සංචාරක සභාව විසින් නිකුත් කරන ලද සංචාරක කර්මාන්තයේ ආර්ථික බලපෑම: ශ්‍රී ලංකා වාර්තාවට අනුව 2016 සංචාරක කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට සහ රැකියා නියුක්තියට දක්වා ඇති ඍජු දායකත්වයද මෙම සටහනින් නිරූපණය කෙරේ. 

Tourism Day

 

මිලට නොසෑහෙන හැකියාවන් ඇති නවතම ස්මාට්ෆෝනය

ලංකාවට නුපුරුදු නමක් නොවුනත් Lenovo සමාගමේ ස්මාට්ෆෝන් සම්බන්ධයෙන් ලාංකිකයන්ගේ ඉහළ තේරීමක් නොතිබුණු බව නම් මූලිකවම කිව යුතුයි. එසේ වුවත් විවිධ පන්නයේ ස්මාට්ෆෝන නිකුත් කරමින් Lenovo සමාගම ලාංකික ස්මාට්ෆෝන් තරගයට එක්වූයේ අද ඊයේ නොවුණු අතර, විශේෂයෙන්ම දැරිය හැකි මිලකට හොඳ ස්මාට්ෆෝනයක් මිලදී ගැනීමේ සිහිනයක් තිබූ බොහෝ දෙනෙකුගේ තේරීමක් බවට මෙය පත්විණි. හඳුන්වාදෙන Lenovo K8 Note යනු එම තරගයට ඇතුළත් වෙන Lenovo සමාගමේ නවතම ස්මාට්ෆෝනයක් වනු ඇත. 

lenovo-k8-note-5

Corning Gorilla Glass 3 තිර ආරක්ෂණයෙන් යුතුව IPS LCD capacitive touchscreen එකක් ඇතුළත් මෙහි උස අඟල් 6 ඉක්මවන නමුත් තිරය අඟල් 5.5කට සීමා වෙනවා. 
Android 7.1.1 (Nougat) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන මෙම ස්මාට්ෆෝනය 32 GB මතක ධාරිතාව/3 GB ‍රැම් අගය සහ 64 GB මතක ධාරිතාව/4 GB ‍රැම් අගය ලෙසින් සංස්කරණ දෙකකින් වෙ‍ෙළඳ පොළෙ‍න් මිලදී ගත හැකියි. එසේම ඔවුන් බාහිරින් මතක චිප ඇතුළු කිරීමේ හැකියාවද මෙයට සලසා තිබීම සැලකිය යුතු වැදගත් කරුණක්. 

මෙහි කැමරා පද්ධතිය ද්විත්ව කැමරාවලින් යුක්ත වන අතර (Dual 13 MP + 5 MP) එහි f/1.7, phase detection autofocus, dual-LED (dual tone) flash යන හැකියාවන් අඩංගු වෙනවා. එසේම මෙයට Geo-tagging, touch focus, face detection, HDR, panorama යන විශේෂාංගද ඇතුළත්. එයාකාරයෙන්ම වීඩියෝ පටිගත කිරීමේ ගුණාංගද ඉහළින් ඇති නිසා මෙම ස්මාට්ෆෝනය කැමරා පද්ධතිය අතින් මෙම කාණ්ඩයේ වෙනත් සන්නාම යටතේ එන ස්මාට්ෆෝනයන්ට සැලකිය යුතු තරගයක් ලබාදෙනු ඇති. එසේම මෙහි ඉදිරිපසටද මෙගා පික්සල් 13ක කැමරාවක් අන්තර්ගත කර තිබෙනවා.

lenovo-k8-note-6

රේඩියෝ පහසුකම්ද ඇති Lenovo K8 Note ස්මාට්ෆෝනයට Fingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compass ලෙසින් සංවේදක අනුයුක්ත කර තිබෙනවා. ඉවත් කළ නොහැකි Li-Po 4000 mAhක බැටරිය දිගුකල් පැවතිය යුතු බැටරි ජවය වෙනුවෙන් වගකියනු ඇත. Fine Gold සහ Venom Black වර්ණයන්ගෙන් පැමිණෙන Lenovo K8 Note උපාංගය අවම මිලක පැවතීමත් මෙහි අලෙවියේ සාර්ථකත්වයට හේතුවක්.

 

පරිසර හිතකාමී තවත් සංවිධානයක උදාර කටයුත්තක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගිය දිනවල පැවැත්වුණු ක්‍රිකට් තරග මාලාව නිමාවට පත්වූයේ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත්වලට පරාජයේ වේදනාවක් ඉතිරි කරමිනි. කෙසේනමුත් මෙම සටහන තැබෙන්නේ එම පරාජය පිළිබඳව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව නම් නොවේ. මේ ඉඩකඩ වෙන්වන්නේ එම තරගාවලි අතරතුර බොහෝදෙනෙකුගේ ඇස නොගැටුණු එක්තරා ජයග්‍රහණයක් පිළිබඳවයි.


ක්‍රිකට් තරග පැවැත්වුණු පසුගිය 31,3 සහ 6 යන දිනයන්වල කෙත්තාරාමයට පැමිණි ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබුණේ අමුතුම වූ දසුන් කිහිපයකි. 'වෝර්න් ටීම්'නමින් තමන්ව හඳුන්වා ගනිමින් එක සමාන ඇඳුමකින් සැරසී සිටි තරුණ කණ්ඩායමක් ප්‍රේක්ෂකයන් අතරම රැඳී සිට ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරමින් සිටින අතර, ප්‍රේක්ෂකයන් විසිකරන අපද්‍රව්‍ය වහාම දිවගොස් අහුලාගෙන ප්‍රේක්ෂකාගාරය තුළ වූ කසළ බඳුන්වලට වර්ගීකරණය කොට දමනු ලබයි. එසේ කරන ඔවුන් නැවතත් සුපුරුදු ලෙස ප්‍රීතිඝෝෂා කරමින් තරගය නරඹයි. නැවතත් යම් ප්‍රේක්ෂකයෙක් අපද්‍රව්‍යයක් විසිකළ වහාම ඔවුන් ක්‍රියාත්මක වෙයි. ඒ කිසිදු අවස්ථාවක ඔවුන් ප්‍රේක්ෂකයන්ට එසේ නොකරන ලෙසට පවසනු හෝ ප්‍රේක්ෂකයන් සමග නුරුස්සනා අයුරකින් කටයුතු කරනු දකින්නට නොලැබුණි.

FB_IMG_1506060007725 copy

මේ සිදුවීම නෙත ගැටීමත් සමග මෙම 'වෝර්න් කණ්ඩායම' පිළිබඳව සොයා බැලීමට 'අද' කටයුතු කළේ දින තුනක් පුරාවට සිදුකළ ඒ නිහඬ කර්තව්‍යය මුළු රටම දැනගැනීම වැදගත් යැයි හැඟුණු නිසාවෙනි. ඒ අනුව අපට 'වෝර්න්හී' නිර්මාතෘ කෝකිල ජයතිස්ස මහතාව සම්බන්ධ කර ගැනීමට හැකි විය.

'අද වෙනකොට මේ රටේ බොහෝදෙනෙක් අපද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය කළමනාකරණය ගැන කතා කරනවා. නමුත් ඒ පිළිබඳව තිබෙන අවබෝධය සහ දැනුවත්භාවය ගොඩක් අඩුයි. ඒකට හේතුව වෙන්නේ මේ දැනුවත්භාවය සහ අවබෝධය ලබාදෙන්න නිසි ක්‍රමවේදයක පවතින පුරප්පාඩුවයි. ඒ පුරප්පාඩුව සම්පූර්ණ කරන්නයි පරිසරයට ආදරය කරන මිනිස්සු ටිකක් එකතු වෙලා 'වෝර්න්' කණ්ඩායම නිර්මාණය කරගත්තේ. අපි මේ කණ්ඩායම එකතු කරගත්තේ ෆේස්බුක් හරහා. ඒ ඔස්සේ අපිට හැකිවුණා පරිසරයට ආදරය කරන, අපද්‍රව්‍ය කළමනාකරණය ජීවිතයට එකතු කරගත්ත තරුණ සංස්කෘතියක් නිර්මාණය කරගන්න. මම බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්. මූලික වශයෙන් 'වෝර්න්' කණඩායමේ සිටිනවා සාමාජිකයන් දසදෙනෙක්. ඒ දසදෙනා අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරියේම සේවයේ නියුතුව සිටින තරුණ පිරිසක්. ඔවුන්ට අමතරව අද වෙද්දි පරිසරයට ආදරය කරන තරුණ තරුණියන් දහසකගේ පමණ ශක්තිය වෝර්න් වෙත ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අපි හැමෝම මේ සෑම දෙයක්ම සිදුකරන්නේ ස්වේච්ඡාවෙන්. 

20170922_115302

අපිට සභාපතිවරයෙක් ලේකම්වරයෙක් හෝ නිලධාරී මණ්ඩලයක් නැහැ. ආරම්භයේ ඉඳලා අද වෙනකම්ම අපි වැඩ කරන්නේ කණ්ඩායමක් විදියට. ඉදිරියට අපි පැළ දසදහසක් රෝපණය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එය අපි ක්‍රියාත්මක කරන්නේ පාසල් ප්‍රජාව යොදාගෙන. සෑම දරුවෙක්ම තමන්ට ලැබෙන පැළය විශාල වෘක්ෂයක් වනතෙක්ම එය රැක බලාගත යුතුයි. 

කෙත්තාරාම ක්‍රීඩාංගණයේ අපි කරපු වැඩසටහන පිළිබඳව කතා කළොත් ඒ වැඩසටහන අපි නම් කළේ 'Team up, Clean up' කියලා. ක්‍රිකට් කියන්නේ ලෝකයම පිළිගත්ත මහත්වරුන්ගේ ක්‍රීඩාවක් විදියටයි. එතනදි ක්‍රීඩකයා විතරක් නෙවෙයි ප්‍රේක්ෂකයා තුළිනුත් මහත්මාගති පිළිබිඹු විය යුතුයි. නමුත් ඒ මහත්මාගතිය ලංකාවේ ප්‍රේක්ෂකයන් තුළින් අද වෙනකොට පිරිහෙමින් යනවා. ඒක හොඳටම දැකගන්න පුළුවන් වෙනවා ක්‍රිකට් තරගයකින් පස්සේ ප්‍රේක්ෂකාගාරයකට ගිහින් බැලුවොත්. මෙතනදි අපිට අවශ්‍ය වුණේ ඒ පිරිහීමට විරුද්ධව හඬ නැගීමකට වඩා ක්‍රියාවෙන්ම ඔවුන්ට ආදර්ශයක් ලබාදෙන්න. අපි ඔවුන් විසිකරන අපද්‍රව්‍ය ඒ මොහොතෙම අහුලලා ඔවුන් ඉදිරියේම වර්ගීකරණය කරලා කසළ බඳුන් වලට දානවා. ඒක දකින ප්‍රේක්ෂකයෙක් ඒ ගැන ලැජ්ජ වෙනවා වගේම නැවතත් එවැනි දෙයක් කරන්න යොමුවෙන්නේ නැහැ.

අපි දකින දේ තමයි සමාජයට ක්‍රියාවෙන්ම යමක් අවබෝධ කරදීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. එයයි මෙතනදිත් සිදුවුණේ. ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණු පළමු දවසේ අපේ කණ්ඩායමේ 128 දෙනෙකුත්, දෙවන දිනයේ 70 දෙනෙකුත් සහ තුන්වැනි දිනයේදී 135 දෙනෙකු පමණ සහභාගී වුණා. ඒ හැමෝම ඇඳගෙන හිටියේ එකම ආකාරයේ ටී – ෂර්ට් එකක්. පළවෙනි දවසේ කිසිම කෙනෙක් අපිව සැලකුවේ නැහැ. සමහර අය අපිව සැලකුවේ පිස්සෝ පිරිසක් විදියට. නමුත් දෙවෙනි දිනය වෙනකොට අපිට හැකිවුණා බඳුන්වලට නිසි ආකාරයෙන් වර්ගීකරණය කරලා කසළ බැහැර කරන තත්ත්වයට ප්‍රේක්ෂකයන් අරන් එන්න. බොහෝ ප්‍රේක්ෂකයන් අපි ළඟට ඇවිල්ලා මේ කටයුත්ත අගය කරන්න තරම් නිහතමානී වුණා. සමහර පියවරු තමන්ගේ දරුවට කසළ වර්ගීකරණය කරලා බැහැර කරන විදිය අපි ප්‍රේක්ෂකාගරයේ තිබ්බ කසළ බඳුන් අසලට එක්ක ඇවිත් කියල දෙනවා දකින්න ලැබුණා. ක්‍රිකට් තරගයකට ප්‍රේක්ෂකයන් 35000ක් පමණ සහභාගි වෙනවා. එවැනි විශාල පිරිසක් උත්පාදනය කරන කසළ ප්‍රමාණයත් සුළුපටු නැහැ. 

IMG_2707

මේ කටයුත්ත අතරතුරදී කිසිම අවස්ථාවක අපි වෝර්න් කණ්ඩායම ගැන ජනතාව දැනුවත් කරන්න උත්සාහ කළේ නැහැ. අපේ එකම අරමුණ වුණේ මේ අති විශාල කසළ ප්‍රමාණය නිසි ආකාරයෙන් කළමනාකරණය කරගැනීම විතරයි. සමස්තයක් විදියට ගත්තාම මිනිසුන්ගේ මේ ආකල්පය වෙනස් කිරීමේ කටයුත්ත අපිට සියයට සියයක්ම සාර්ථක කරගන්න බැරිවුණත් සියයට හැත්තෑපහකින් පමණ සාර්ථක කරගන්න හැකිවුණා. බොහෝදෙනෙක් මේක ආදර්ශයක් කරගන්න කටයුතු කළත් සුළුතර පිරිසක් අපිට දොස් කියන්න විතරක් නෙවෙයි අපහාස කරන්නත් කටයුතු කළා. නමුත් අපේ කණ්ඩායම ඒ කිසිම දෙයකින් වැටුණේ නැහැ. අපි පරිසරයට ආදරය කරන පිරිසක්. අපි වෙහෙසුණේ ඒ වෙනුවෙන්. මේ කටයුත්ත සාර්ථක කරගන්න අපිට උපකාර කරමින් විශාල සහයෝගයක් ලබාදුන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය. ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග අපේ මේ කටයුත්ත විශේෂයෙන් අගය කළා. %වෝර්න්^ මෙතනින් නවතින්නේ නැහැ. පරිසරයට ආදරය කරන්නන්ගේ සංස්කෘතියක් අපි ගොඩනගලා තියනවා. අපි ආරාධනා කරනවා තරුණ ප්‍රජාවට අපිත් එක්ක උඩුගං බලායන්න එන්න කියලා.”

P01C5844

අද වනවිට ඉතාමත් සුළු ගැටලුවකට වුවත් මහජනතාව අපහසුතාවට ලක් කරමින් රැල්ලට සංවිධානය වන දැවැන්ත විරෝධතා ව්‍යාපාරවලට, නිකරුණේ හරසුන් කටයුතුවලින් කාලය කා දමන තරුණ පරපුරටත්  'වෝර්න්' ලබාදී තිබෙන්නේ ඉතාමත් වටිනා ආදර්ශයකි. අවසාන වශයෙන් සිය කාලයත්, ශ්‍රමයත් අප ජීවත්වන පරිසරය සහ ලෝකය රැකගන්නට නොමසුරුව වැය කරමින් %වෝර්න්^ කණ්ඩායම මේ ගෙනයන වැඩපිළිවෙළ පැසසිය යුතුය.

 

කට්ටිය කියන දේවල් අහ‍ල වැඩ කරන්න ගියොත් මට වැඩක් කරන්න වෙන්නේ නැහැ

මෙරට දක්‍ෂ නිරූපණ ශිල්පිනියකවන මියැසි සංදීපනි මේ දිනවල ක්‍ෂේත්‍රය තුළින් තරමක් ඈත්ව තිබේ. බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ %මැරුණු හිතේ^ ගීතයෙන් පසුව ඇය දැකගත හැකිවූයේ ටෙලිනාට්‍යයවල පමණි. නිර්මාණ කටයුතුවලින් සහ ක්‍ෂේත්‍රය තුළින් ඈත්වීම පිළිබඳ විමසීමට ඇය මෙලෙස 'අද'ට සම්බන්ධ කර ගතිමු.


Q මේ දිනවල දකින්න නැත්තේ ඇයි?

ගෙදර තමයි හිටියේ. ඒකයි මේ දවස්වල වැඩිය පේන්නනැත්තේ. ටෙලිනාට්‍යයක වැඩ කටයුතු කළා, නමුත් ලොකුවට වැඩක් කළේ නැහැ. 

Q ඒ කියන්නෙ නිරූපණයෙන් සහ රංගන කටයුතුවලින් ඈත්වෙලාද?

එහෙම නැහැ. හැම වැඩේම කරන්නේ නැහැ. ඒ නිසා තෝරාබේරාගෙන වැඩ කරද්දි ටිකක් අඩු ප්‍රමාණයෙන් තමයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. 

Q වැඩකටයුතු ගැන කතා කළොත්?

පසුගිය දවස්වල අලුත් ටෙලිනාට්‍යය දෙකක වැඩ කළා. එකක් විකාශය වුණා. ඒ %විමන්සා% කියලා ටෙලිනාට්‍යයක්. තවත් එකක් තියෙනවා විකාශය වෙන්න. තව මියුසික් වීඩියෝවක් එළිදක්වන්න තියෙනවා. මීට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහාත් දායක වුණා. අවසානයේදී කළේ 'ඩයලොග්' වෙළෙඳ දැන්වීමක්. 

Q ක්‍ෂේත්‍රයට ඇවිල්ලා කොච්චර කල්ද?

දැනට අවුරුදු තුනක් විතර වෙනවා.

Q ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. අලුත් දේවල් නිර්මාණය වෙනවා. දියුණුවක් තියෙනවා ඉස්සරට වඩා. හරියට කරන්නෙ නැතුව කරන්නම්වාලේ හැමෝම කරනවා. එතකොට නම් ටිකක් අවුල්. ඒ වුණත් කමක්නැහැ කියලා හිතෙනවා. එහෙම දේවලුත් තියෙන්න ඕනනේ.

VI3A8987

Q ඔබ දායක වූ මියුසික් වීඩියෝවක් සඳහා ප්‍රතිචාර වගේම අනෙක් පැත්තෙන් දෝෂාරෝපණත් ආවා නේද?

දෝෂාරෝපණ නම් ගොඩක් ආවා. හැබැයි මම කළේ නිර්මාණයක්නෙ. මම ඒකෙ රඟපෑවා විතරයි. කට්ටිය කියන දේවල් අහලා වැඩ කරන්න ගියොත් මට වැඩක් කරන්න වෙන්නෙ නැහැ.

Q ෆේස්බුක් තුළින් නේද ඔබව බොහෝ දෙනෙකු හඳුනා ගත්තේ?

මට නම් ෆේස්බුක් තුළින් මගේ ගමන හදාගන්න පුළුවන් වුණා. නමුත් අද ෆේස්බුක් එකේ මොනවා හරි දාලා හිට්වෙන්න බලන ගොඩක් අය ඉන්නවා. මම දැකලත් තියෙනවා. ඒ අය කරගන්න දේවල්වලින් ඒ අයගේම චරිතයට තමයි හානි වෙන්නේ. ඒ අයගේ කැමැත්ත ඇතුවනේ ඒ දේවල් කරන්නේ. ඒ අයගේ ජීවිතයට සහ චරිතයට තමයි මේ දේවල් බලපාන්නෙ.

Q රංගනය ගැන ඉදිරි බලාපොරොත්තු?

රංගනය සහ නිරූපණය කියන දේවල්වලට වඩා වෙනත් දෙයක් මම කාලය යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ රැකියාවක් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉගෙනීමේ කටයුතු කරන අතරතුර ඒ දේවල් ගැන පොඩ්ඩක් හිතන්නත් මම හිතුවා. රඟපෑමට වඩා ඉගෙනීමටයි, රැකියාවටයි  මුල්තැන දීලා කටයුතු කරන්න හිතනවා. 

Q ඇයි රැකියාවක් සඳහා යොමුවෙන්න හිතුවේ? කලාව වෘත්තියක් ලෙස කරන්න අමාරුද?

එහෙම දෙයක් නෙමෙයි. නමුත් නිරූපණය කියන දේ මත්තේ හැමදාම ඉන්න බැහැ. අපි රඟපෑවත් හැමදාම රඟපාන්න බැහැ. ක්‍ෂේත්‍රයට අලුත් අය එනවා. එහෙම වෙද්දි පරණ කට්ටිය ටිකෙන් ටික ක්‍ෂේත්‍රය තුළින් ඉබේම ඉවත් වෙනවා. ඒ නිසා ස්ථාවර ආදායමක් තියෙන්න ඕන ඕනෑම කෙනෙකුට. අනික මගේ හීනෙ තිබුණෙත් නිළියක් වෙන්න නෙමෙයි. ඒක නිසා මම දැනට අවුරුදු තුනක් ක්‍ෂේත්‍රය තුළ හිටියා. හොඳ නිර්මාණ කළා. මට දැන් ඇති කියලා හිතනවා. මම නතර කරනවා කියලා කියන්නේ නැහැ. මූලික තැන දෙන්නේ මගේ අධ්‍යාපනයට සහ රැකියාවට තමයි. 

VI3A8948

Q ඇයි සිනමාවට යොමු නොවුණේ? කැමැත්තක් නැද්ද ඒ පැත්තට?

කැමැත්තක් නැත්තෙ නැහැ, කැමැතියි. ඒත් ඉතිං හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණේ නැහැ. ලැබුණු ගොඩක් ආරාධනාවලට මගේ පෞද්ගලික හේතු නිසා දායක වෙන්න බැරිවුණා. ආපසු හොඳ නිර්මාණයක් සඳහා ආරාධනා ලැබුණොත් බාරගෙන කරනවා. 

Q ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මගේ රැකියාව සහ ඉගෙනීමේ කටයුතු කරගෙන හොඳින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ජීවිතයේ ලොකු බලාපොරොත්තු නැහැ. පොඩි පොඩි දේවල් සාර්ථක කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

Q උදව් කරපු පිරිස ගැන මතක් කළොත්?

මට හැමදේටම උදව් කළේ මගේ අම්මා, තාත්තා, අයියා, අක්කා ඇතුළු පවුලේ හැමෝමයි. මේ හතර දෙනා මගේ හැමදේටම එදා ඉඳන් ළඟ හිටියා. ඉස්සර ෂූටින් ගියේ තාත්තා හරි අම්මා එක්ක හරි තමයි. දැන් තනියෙම යනවා. පවුලේ අයට ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕන. ඊට පස්සේ හොඳ නිර්මාණවලට මාව දායක කරගත් හැමෝටම ස්තූති කරනවා. මට හොඳ කිව්ව,  බැණපු හැමෝටමත් ස්තූතියි කියනවා. මොකද එයාලා හින්දා තමයි මම මොකක් හරි තැනක ඉන්නවා නම් ඉන්නෙ. ඊට අමතරව මේ ගමනට එන්න අතහිත දුන් වචනයකින් හරි ශක්තියක් වුණු හැමෝටම ස්තූති කරනවා. 

 

ගාලු පාරේ වාහන ගමනාගමනයට සීමා

වාද්දුව, දළදාවත්ත විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහර පැවැත්වෙන අද (30දා) දිනයේ රාත්‍රී 7.00 සිට පෙරහර අවසන් වනතෙක් ගාලු පාරේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ අනුව කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන බර වාහන පානදුර වටරවුමෙන් වමට හරවා, හොරණ පාර ඔස්සේ ගොස් බණ්ඩාරගම වටරවුමෙන් දකුණට ගමන් කර, බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගය ඔස්සේ වාඩියමංකඩ හන්දියෙන් ගාලුපාරට පැමිණිය යුතු බවද පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

මීට අමතරව ගාල්ල සිට කොළඹ දක්වා ගමන් කරන බර වාහන වාඩියමංකඩ හන්දියෙන් දකුණට හරවා, කළුතර – බණ්ඩාරගම මාර්ගය ඔස්සේ බණ්ඩාරගම වටරවුමෙන් වමට හරවා පානදුර දෙසට ගමන් කර ගාලු පාරට පැමිණිය හැකිය.

කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන වාද්දුව සුදුවැලිමංකඩ හන්දියෙන් දකුණට හරවා, බෝධිරාජ මාවතේ ගමන් කර, උපාලි මාවත ඔස්සේ දුම්රිය පොළ පාරට පිවිස වාද්දුව හන්දියෙන් ගාලු පාරට පැමිණිය හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ගාල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන සැහැල්ලු වාහන වාද්දුව හන්දියෙන් වමට හරවා, දුම්රිය පොළ පාර ඔස්සේ උපාලි මාවතට පිවිස, බ්ලූවෝටර් හෝටලය අසලින් බෝධිරාජ මාවත ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකිය.

11763-road-closed-for-two-weeks

 

ගල්කිස්ස රොහින්ග්‍යා සිදුවීම – එක් අයෙක් අත්අඩංගුවට

රොහින්ග්‍යා සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට ඇති වූ උණුසුම්කාරී තත්ත්වයට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ ඒකකය පරීක්ෂණ පවත්වන්නේ වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා කළ නියෝගයක් අනුවය. පසුගිය 26 දා මෙම සිදුවීම සිදුවිය.

sri_lanka_police

චන්දිමාල්ගේ ලකුණු 155න් ශ්‍රී ලංකාව ඉදිරියට

අබුඩාබිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 419ක් රැස්කළේය. සෙයික් සායෙඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයේදී එනම් සිකුරාදා (සැප්තැම්බර් 29) නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 155 ක් නොදැවී රැස්කිරීමට සමත්විය.

දිනය නිමා වන විට පසුගිය අවුරුදු 5 තුළදී පාකිස්තානයේ 16 වැනි ආරම්භක පිතිකරු යුගලය වන ශාන් මසූඩ් හා සාමි අස්ලාම් නොබිඳුණු ලකුණු 64 ක් රැස්කළ අතර තවත් ලකුණු 355ක් පසුපසින් පාකිස්තානය සිටියි. කෙසේ වෙතත් පාකිස්තානයට ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු සංඛ්‍යාවයට ළගා වීමට බාධාවන් නාවේ.

චන්දිමාල් පැය නමයයි, විනාඩි 6ක් පිටියේ රැඳී සිටිමින් ලකුණු 61ට කඩුලු තුනක් ලෙස දිස්වූ ශ්‍රී ලංකා ඉනිම සබඳතා තුනක් සමගින් ඉදිරියට ගෙන ගියේය. දිමුත් කුරුණාරත්න සමග සිවුවැනි කඩුල්ලටලකුණු 100ක සබඳතාවක්, නිරෝෂන් දික්වැල්ල සමග පස්වැනි කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් හා ඩිල්රුවන් පෙරේරා සමග හයවැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් පැවැත්වීමට චන්දිමාල් සමත්විය.

ඉන්දියාවට එරෙහිව ඉනිම හතරකදී චන්දිමාල් රැස්කළේ ලකුණු 96ක් පමණි. පාකිස්තාන කණ්ඩායමේ සාර්ථක පන්දු හමුවේ  පවා සිය ඉනිම මැනවින් කළමනාකරණය කර ගත් චන්දිමාල් සිය 9 වැනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත්විය. එසේම නායකයෙකු ලෙස ක්‍රීඩා කළ තරග හතරේදී ඔහු ශතකයක් වර්තා කළ පළමු අවස්ථාවද මෙය වෙයි. ඔහු සිය ඉනිමේදී වාර්තා කළේ හතරේ පහර 14ක් පමණක් වන අතර එයින් පැහැදිලි වන්නේ ඔහු වගකීම් කරට ගෙන ක්‍රීඩා කර ඇති ආකාරයයි.

තම ටෙස්ට් දිවියේ ඉහළම ඉනිම දික්වැල්ල ක්‍රීඩා කළේ ලකුණු 83ක් රැස්කරමිනි. දෙවැනි දිනයේ  දෙවැනි පන්දුවාරයේදී දික්වැල්ල දැවී යාමකින් බේරුණු අතර ඔහු සිය අර්ධ ශතකය පන්දු 67කින් සම්පූර්ණ කළේය.

ඉන් අනතුරු යසීර් සා වෙනුවෙන් රිවර්ස්වීප් පහරක්, පොයින්ට කළාපයෙන් හතරේ පහරක් වාර්තා කරමින් ඔහු ලකුණු 83ට ඉක්මනින්ම ළගා විය. නිමාවූ සිම්බාබ්වේ තරගාවලියේදී දික්වැල්ල ලකුණු 81ක් රැස්කර තිබුණ අතර එය ටෙස්ට් දිවියේ ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

පාකිස්තානය කඩුලු සෙවීම සාර්ථක නොවීය. යසීර් ෂා ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ගැන ගැටලුවක් තබුණ අතර මොහොමඩ් අමීර්ටද සාර්ථක වීමට අවස්තාවක් නොලැබුණි

වේග පන්දු යවන්නන් කඩුලු සොයමින් සිටින විට අපරික්ෂා කාරී ලෙස ස්ටෝක් පහරක් එල්ල කිරීමට යාමෙන් පිටියෙන් ඉවතවූ අතර එය දෙවැනි දිනයේ ක්‍රියාත්මක වූ 22 වැනි පන්දුවාරයේදී සිදුවිය. දික්වැල්ල හතරේ පහර 9ක් හා හයේ පහරක් එල්ල කළේය.

දෙවැනි දිනයේදී පාකිස්තානයට වාසනාව නොතිබුණි. ඩිල්රුවන් අවසථා දෙකකදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ක්‍රිඩකයෙකු ලෙස නම්වුවත් එම අවස්ථා දෙකේදීම ඔහු නිවැරදි වූයේ විනිසුරු තීරණ නැවත විමසමිනි. එහිදී දික්වැල් නොදැවුණ ක්‍රීඩකයෙකු ලෙස නම්විය.

එයින් පමණක් අවසන් නොවේ මොහොමඩ් අබ්බාස් යොමුකළ පන්දුවක් කෙලින්ම කඩුල්ලෙ වැදීමෙන් එක් අවස්ථාවක දික්වැල්ල  දැවී ගියත් පසුව එම පන්දුව නිපන්දුවක් බවට තරග විනිසුරු තීරණය කළේය. එසේම පන්දුවට පහරදෙමින් යමක් කිරීමට අබ්බාස්ට අවසථාව තබෙයි. අබ්බාස් පන්දුවාර 57කදී කඩුලු තුනක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කරමිනි.  යසීර් පන්දුවාර 57කදී ලකුණු 120ට කඩුලු තුනක් දවා ගත්තේය.


දෙවැනි දිනයේ දිවා ආහාරයට ශ්‍රී ලංකාව 322-5

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඩුබායිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී දිවා ආහාරය වෙනුවෙන් තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 123කදී කඩුලු 5ට ලකුණු 322ක් රැස්කළේය.

නායක දිනේෂ් චන්දිමාල් 109* හා ඩිල්රුවන් පෙරේරා 4* නොදැවී පිටියේ රැඳී සිටිති. අද දිනයේදී තරගය අරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 227ක් රැස්කරගෙන සිටියේය. දිනේෂ් චන්දිමාල් 60* හා නිරෝෂන් දික්වැල්ල 42* දෙවැනි දිනය ආරම්භ කළහ.

දික්වැල්ල අද දිනයේදි දිවා ආහාරය දක්වා දැවී ගිය පළමු ක්‍රීඩකයා බවට පත්විය. ඔහු ලකුණු 83කට දැවී ගියේය. චන්දිමාල් හා දික්වැල්ල පස්වැනි කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් පැවැත්වූහ.

AFP_SV81T

සියලු ජාතික පාසල්වලට සුහුරු පන්ති කාමර

ඉදිරියේදී සියලු ජාතික පාසල්වල සුහුරු පන්ති කාමර ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එ සඳහා ගුරුවන් පුහුණු කිරීම හා දැනුම ලබාදීම කළ යුතු බවත් ඔහු පැවැසීය.

කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ ආදර්ශ සුහුරු පන්ති කාමර නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව අද (29දා) ඔහු මෙම අදහස් දැක්වීය.

“ඉදිරියේ දී දිවයින පුරා ජාතික පාසල්වල මෙවැනි පන්ති කාමර ආරම්භ කිරීමට අපි යෝජනා කරනවා. ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කරමින් දැනුම ලබාදිය යුතු වෙනවා. එමෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කරන අතර ද්විතීය මට්ටමේ දී පාසල් විෂය මාලාව සඳහා වෘත්තීය විෂයයන් ඇතුළත් කිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා.

 ඒ අනුව ඉදිරියේ දී වෘත්තීය පුහුණු ආයතන හරහා මෙම සුහුරු පන්ති කාමර සංකල්පය අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. තවත් දශකයක පමණ කාලයක් ගත වන විට මෙම නව ක්‍රමය දිවයින පුරාම ක්‍රියාත්මක කරවීම අපේ බලාපොරොත්තුවයි.”

a2 copy a5 copy a7 copy as1 copy

JRගේ මුණුබුරු ප්‍රදීප් බැසිල් හමුවෙයි

image_1504433693-1020483d3cහිටපු ජනාධිපති, දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා ඊයේ (28දා) නෙළුම් මාවතේ පිහිටි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ බව වාර්තා වේ.

රවි ජයවර්ධන මහතාගේ පුත්‍රයා වන ප්‍රදීප් ජයවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙයකු වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය කාලයේදී පත් කර තිබිණි.

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව  දේශපාලන කටයුතු සිදුකිරීමට කැමැත්තෙන් සිටින බව  බසිල් රාජපක්ෂ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රදීප් ජයවර්ධන මහතා  සඳහන් කර තිබේ.

ශ්‍රීලනිප සංවිධායක ධුරය ලැබුණු පසු ගම්පහ දිස්ත්‍රික්කය පුරා පසුගිය කාලයේදී දේශපාලන කටයුතු සිදුකළ බවත්,වත්මන් ආණ්ඩුව කිසිදු සංවර්ධන ව්‍යපෘතියක් එම දිස්ත්‍රික්කයේ සිදුකර තිබෙන ආකාරයක් තමන් නොදුටු බවත් ජයවර්ධන මහතා සඳහන් කර  ඇතැයිද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දය අවශ්‍යනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වන්නැයි ජනතාව තමන් සමග පැවසූ බවත්, ඒ හේතුවෙන් නව දේශපාලන තීන්දුව ගත් බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නැවත වරක් කාර්යාලයට පැමිණෙන්නැයි බැසිල් රාජපක්ෂ මහතා අවසන් වශයෙන් පවසාඇතැයිද සඳහන් වෙයි.

 

 

 

2017 ජූලි මස සංචාරක පැමිණීම්වල අඩුවීමක්

2017 වසරේ ජූලි මාසයේදී සංචාරක පැමිණීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 1.8%කින් අඩු වී ඇති අතර, එම සංචාරක පැමිණීම් සංඛ්‍යාව 205,482ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එනමුදු, 2017 වසරේ පළමු මාස 7 තුළදී, මුළු සංචාරක පැමිණීම්, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 3.6%කින් 1,215,926ක් දක්වා වර්ධනය වී ඇති බවද මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල් 2017 වසරේ පළමු මාස 7 තුළ දී සංචාරකයන් පැමිණි ප්‍රධාන මූලාශ වී ඇති අතර, එම රටවලින් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මෙම කාලපරිච්ඡේදයේදී පැමිණි මුළු සංචාරකයන්ගෙන් 51.4%ක් වී තිබේ.

එමෙන්ම, 2017 වසරේ ජූලි මාසයේදී සංචාරක ඉපැයීම්ද සංචාරක පැමිණීම් මෙන්ම අඩුවීමක් වාර්තා කර ඇති අතර, මෙම මාසය තුළදී සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 352.5ක් බවට පත්ව තිබේ.

Young tourist with backpack walking in tropical forest