Monthly Archives: August 2017

කම්කරු අමාත්‍යාංශ අතිකාල දීමනා කැපීම ඇමති නවත්වයි

කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අතිකාල හා ගමන් වියදම් 50%කින් කපා හැරීමට අමාත්‍යාංශ පරිපාලනය විසින් ගෙන ඇති තීන්දුව වහාම අත්හිටුවා පෙර පරදි ගෙවීම් සිදුකරන ලෙස කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

මෙම අතිකාල කප්පාදුව තමන්ගේ අනුදැනුමකින් තොරව සිදුව ඇති බව අවධාරණය කරන අමාත්‍යවරයා, මින් ඉදිරියට මෙවැනි තීන්දු ගැනීමට පෙර තමන් දැනුම්වත් කරන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.

අග්නිදිග සරසවියේ පීඨ 2ක් දින නියමයක් නොමැතිව වැසේ

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ තාක්ෂණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කල බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය අද (31දා) සඳහන් කරයි.

ඒ ඊයේ දින සිසුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගත් බව පාලනාධිකාරිය පවසයි.

මෙම ගැටුම හේතුවෙන් මේ වන විට සිසුන් 20ක් පමණ රෝහල් ගත කර ඇත.

27152473

ඡන්ද නාම ලේඛනයේ නම තිබේ දැයි පරික්ෂාකර බලන්න

මෙම වසරට අදාළව සකස් කළ ඡන්ද හිමි නාම ලේඛනයේ විස්තර මැතිවරණ දෙපාර්තමේන්තුවේ www.slelections.gov.lkවෙබ් අඩවියට ගොස් පරීක්ෂා කළ හැකි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

අදාළ ලේඛනයේ නම ඇතුළත් වී නොමැති නම් හෝ ඇතුළත් කර තිබෙන තොරතුරු අපහැදිලි නම් එය සැප්තැම්බර් මස 06 දිනට පෙර නිවැරදි කරගන්නා ලෙසද එම සංගමයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

නම ඇතුළත් කරීමට හෝ තිබෙන නම සංශෝධනය කරීමට අවශ්‍ය අයදුම්පත් ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවද පවසා සිටියේය.

හාවි නිසා හූස්ටන් නගරයේ රසායනික කම්හලක් අනතුරේ

ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති ගංවතු තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් හූස්ටන් නගරය ආසන්න රසායනික කර්මාන්ත ශාලාවක් පිපිරීමේ හෝ ගිනි ගැනීමේ අවදානමක් ඇති ව තිබේ.

හාවි සුළි කුණාටුව සමග ඇති වූ දැඩි වර්ෂාපතනය සමග බලපෑ දැඩි ගංවතුර තත්ත්වය ක්‍රොස්බි රසායනික කර්මාන්ත ශාලාවේ ශීතකරණ පද්ධතිය ඇණ හිටීමට හේතු වී තිබේ.

මෙම ශීතකරණ පද්ධතිය රසායනාගාරය තුළ වූ රසායනික ද්‍රව්‍යය සිසිල්ව තබාගැනීම සඳහා අත්‍යවශ්‍ය වුවත්, මෙම පද්ධතිය ඇණහිටීම නිසා ඉදිරියේදී ඇතිවිය හැකි පිපිරීමක් හෝ ගිනි ගැනීමක් වැළැක්විය නොහැකි මට්ටමේ පවතින බවද බලධාරීහු පවසති.

හාවි සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 33 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී, ඇමෙරිකානු බලශක්ති සැපයුමද ඇණ හිටීමට මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතු වී ඇති අතර, ඛනිජ තෙල් සමාගම් රැසක් සිය නළ පද්ධති වසා දැමීමට කටයුතු කර තිබේ.

හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා ආරක්ෂා කරගත යුතුයි

හිටපු යුද හමුදාපති මේජර් ජනරාල් ජගත් ජයසූරිය මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පෙනී සිටිය යුතු බවත්, ඔහු ආරක්ෂා කරගතයුතු බවත් ජාතික හෙළ උරුමයේ ප්‍රධන ලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද (31දා) පැවසීය.

ඒ මහතා වන්නි ආඥාපතිවරයා වශයෙන් සේවය කළේ රටේ ආරක්ෂාව වෙනුවෙන් බවත්, එම සේවය නීතියානුකූල බවත් රණවක මහතා සඳහන් කළේය.

රටට සාමය උදාකරදීමේදී ඒ මහතාගේ දායකත්වයක් ලැබුණු බවත්,එමගින් ලැබුණු නිදහස හේතුවෙන් ජීවිත 25000ක් ආරක්ෂා වුනු බවත් හෙතෙම පවසා සිටියේය.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.

ජංගම ප්‍රොජෙක්ටරයන් අතරට වැඩි බැටරි බලයක් සහිත තරගකරුවෙක්

ප්‍රොජෙක්ටරයක් නැති නම් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් බොහෝ විට ඉගැන්වීමේ කටයුතුවලදී මෙන්ම කාර්යාල කටයුතු වලදීද ස්ලයිඩ් ඉදිරිපත් කිරීම් හෝ වීඩියෝ ක්ලිප් ඉදිරිපත් කිරීම් සඳහා බහුලව යොදාගැනේ. ඒ සඳහා භාවිත කළ හැකි වඩාත් හුරුබුහුටි, ජංගම ප්‍රොජෙක්ටරයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ.

කෙසේ නමුත් සිනමා දසුන් නැරඹීම වැනි කර්තව්‍යයක් සඳහා එවැනි සාමාන්‍ය ගුණාත්මක භාවයක් ලබාදෙන ප්‍රොජෙක්ටරයක් සුදුසු නොවේ. ඒ සඳහා ගැලපෙන්නේ තියුණු, සුපැහැදිලි දසුන් සහ වර්ණයන් ලබාදෙන, ඉහළ ගුණාත්මක මට්ටමක අන්තර්ගතයන් ප්‍රතිදානය කරනා ප්‍රොජෙක්ටරයක් වේ.

අතීතයේ මේ සඳහා තිබූ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයන් එහා මෙහා ගෙනයෑමට අසීරු තරම් විශාල වූ නමුත්, වර්තමානය වනවිට සිනමා අත්දැකීම් ලබාදෙන ප්‍රොජෙක්ටරයන්ද වඩ වඩාත් සංයුක්ත ප්‍රමාණයෙන් සහ හුරුබුහුටි නිමාවෙන් යුතුව නිෂ්පාදනය වනු දක්නට ලැබේ.

හඳුන්වාදෙන Nebula Mars Portable Cinema ජංගම සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය මෙම ප්‍රමාණයෙන් නිෂ්පාදනය වූ ප්‍රථම ජංගම ප්‍රොජෙක්ටරය නොවේ. කෙසේ නමුත් ඔබට කඳවුරු භූමියක, එළිමහනක නැතිනම් නිවස තුළ පවා භාවිත කළ හැකි මෙම ප්‍රොජෙක්ටරය කරුණු කීපයක් සමගින් සුවිශේෂී වනු ඇත.

වඩාත් සුපැහැදිලි දසුන් හා තියුණු වර්ණයන් සමගින් වඩාත් ඉහළ මට්ටමක රූප ගුණාත්මක භාවයක් ලබාදීම, වඩාත් පැහැදිලි සහ ඉහළ හඬකින් යුතු ශ්‍රව්‍ය ප්‍රතිදානය මෙන්ම සාපේක්ෂව වැඩි බැටරි කාලය මෙයින් කීපයක් ලෙසින් දැක්විය හැක.

මෙම Nebula Mars Portable Cinema ප්‍රොජෙක්ටරයට නිවෙස් තුළ පරිහරණයට නිර්මාණය කර ඇති ඉහළ මට්ටමේ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයන්ට මෙන් 1080p දසුන් ප්‍රක්ෂේපණය කළ නොහැකි වුවත්, එය වෙනත් ජංගම ප්‍රොජෙක්ටරයන්ට වඩා හොඳ ගුණාත්මක තත්ත්වයකින් යුතු පික්සල් 1280 x 800 විභේදනයක දසුන් ලබාදෙන්නට සමත් වනු ඇත.

එය බොහෝ විට 720p ගුණාත්මක තත්ත්වයේ වුවත්, ඔබේ රසවින්දනයට එය බාධාවක් නොවනු ඇත. වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙම ප්‍රොජෙක්ටරයේ ප්‍රක්ෂේපණයන් ලුමන් 3,000ක බලයකින් යුතු බල්බයකින් සිදුවන අතර, ඒ නිසා මෙයින් ප්‍රක්ෂේපණය කෙරෙනා දසුන් ඉතාමත් ඉහළ දීප්තියකින් සහ වැඩි කළ හැකි තීව්‍ර බවකින් (5000:1 contrast ratio) යුක්ත වීමයි.

මේ දැක්වූයේ දිවා කාලයේදී ඔබට දකින්නට ලැබෙනා ප්‍රක්ෂේපණය වන අතර, ඒ නයින් රාත්‍රී කාලයේ මෙම ප්‍රොජෙක්ටරයෙන් ලබාගත හැකි දීප්තිය ඔබට වටහාගත හැක.

මෙම ප්‍රොජෙක්ටරයෙන් ලැබෙනා දසුන් වල ගුණාත්මක භාවය හරි හැටි විස්තර කරන්නේ නම්, එයින් 800p තත්ත්වයේ වීඩියෝ දසුන්, අඟල් 150ක් දක්වා විශාලත්වයක් ප්‍රක්ෂේපණය කරනු ඇත. මෙය සැබවින්ම ඔබට සැබෑ සිනමා ශාලාවක දැක්වෙන අන්දමේ අත්දැකීමක් ලබාදෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඔබ එළිමහනක බිත්තියක් මතට හෝ තිරයක් මතට Nebula Mars Portable Cinema ප්‍රොජෙක්ටරයෙන් දසුන් ප්‍රක්ෂේපණය කොට සිනමා අත්දැකීමක් ලබාගැනීමට සිතන්නේ නම්, ඔබට ඉහළ ගුණාත්මක මට්ටමක ශ්‍රව්‍ය ප්‍රතිදානයක්ද ලැබිය යුතු බව අනිවාර්යය කරුණකි.

මෙම ප්‍රොජෙක්ටරයේ වොට් 10ක JBL ස්පීකරයන් දෙකක පද්ධතියක් තිබෙන අතර, එය ඔබට හෝම් තියෙටර් සිස්ටම් එකක අත්දැකීමක් ලබා නොදුන්නත්, ඔබ තෘප්තිමත් වෙන ආකාරයේ ශ්‍රව්‍ය ගුණාත්මක භාවයක් ලබාදෙනු ඇති බවට සහතික විය හැක.

සැබවින්ම මෙවැනි ජංගම ප්‍රොජෙක්ටරයක ඔබ මෙතෙක් දැක නොමැති ආකාරයේ ශ්‍රව්‍ය ගුණාත්මක භාවයක් මෙයින් ඔබට ලබාදෙනු ඇත.

මෙම Nebula Mars Portable Cinema ප්‍රොජෙක්ටර් යන්ත්‍රයේ බැටරිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කළ යුතුවේ. මෙය 19,500mAh ධාරිතාවයෙන් යුතු බැටරියක් වන අතර, එක් වරක් ආරෝපණය කිරීමෙන් පසුව එක දිගට පැය තුනක කාලයක් පුරා සිනමා ප්‍රක්ෂේපණයක් සහ ශ්‍රව්‍ය ප්‍රතිදානයක් ලබාදීමට එය සමත් වනු ඇත.

මෙය සැබවින්ම ජංගම ප්‍රොජෙක්ටර් උපාංගයන් සම්බන්ධයෙන් සැලකීමේදී ජයග්‍රහණයක් ලෙසින් හඳුන්වා දිය හැක. එසේම මෙය ඔබට පහසුවෙන්ම ඕනෑම බිත්තියක ඇති බල සැපයුම් සොකට්ටුවකට සවි කොට ආරෝපණය කිරීමටද හැකියාව ඇත.

අඟල් 7 x 4.8 x 5.4 ප්‍රමාණයේ මානයන්ගෙන් යුක්ත සංයුක්ත උපාංගයක් වන මෙම ප්‍රොජෙක්ටර් යන්ත්‍රය පහසුවෙන්ම ඔබේ ගමන් බෑගයක ඇසිරීමට හැකියාව ඇත. එසේම මෙහි USB 3.0 සහ HDMI පෝට් දෙකක් තිබෙන අතර, ඒ නිසා පහසුවෙන්ම ඔබේ ලැප්ටොප් උපාංගයට හෝ වෙනත් ඕනෑම වීඩියෝ උපාංගයකට ඈඳීමටද හැකියාව ඇත.

ලොව විශ්මයජනක සත්ත්ව වර්ග 07ක්

(සත්ත්ව ලෝකය දෙස වඩාත් විමසිලිමත්ව බැලීමේදී මිනිසාට වඩා ඇතැම් සතුන්ට බෙහෙවින් සංකීර්ණ ක්‍රියාවලින් කළ හැකි බව පෙනෙන්නට තිබේ.)

01) මෝරා

මෝරාගේ මොළයේ විශේෂිත වූ සෛල වර්ගයක් ඇති අතර, ඒවාට වෙනත් ජීවීන්ගේ ශරීරයෙන් නිකුත් වෙන ඉලෙක්ට්‍රොනික ක්‍ෂේත්‍රයන් හඳුනා ගැනීමට හැකියාවක් ඇත.

සංවේදී සෛල ඇති මෙම සත්ත්වයාට වැලි යට සැඟවී සිටින මාළුවෙකුගේ මාංශ පේෂි චලනයෙන් හටගන්නා විද්‍යුත් සංඥා හඳුනා ගැනීමට පුළුවන.


02) පිඹුරා 

ඇස් හා නාස්පුඩු අතර උෂ්ණත්වයට සංවේදී ඉන්ද්‍රියක් පිහිටා ඇත.

පිඹුරන් හා පොළඟුන් වැනි උරගයන්ට ගොදුරු කර ගන්නා සත්ත්වයාගේ උෂ්ණත්වය දැන ගැනීමට හැකි අතර, අඳුරු සහිත තත්ත්වයන්හිදී සතුරන් හා ගොදුරු හඳුනා ගැනීමට හැකියාවක් ලැබේ.


03) කුඩා පක්‍ෂීන් 

පක්‍ෂීන්ගේ දෙඇස්වලට මිනිසාට පෙනෙනවාට වඩා වැඩි පරාසයක් ග්‍රහණය කරගැනීමේ හැකියාව ඇත. ඒ ඔවුන්ට පරිබාහිර තරංග ආයාමයන් නිවැරදිව ගළපා ගැනීමට හැකියාවක් තිබෙන බැවිනි.

මේ හේතුවෙන් කුරුල්ලන්ට මිනිසුන්ට නොපෙනෙන විකිරණ වර්ණ පවා පෙනෙන අතර, මෙම වර්ණ හඳුනාගත හැක්කේ හබල් දුරේක්ෂය වැනි අතිශය සංවේදී යන්ත්‍රවලට පමණි.


04) බළලා  

බළලාගේ ඇසේ කණ්ණාඩියක් මෙන් ක්‍රියාකරන තුනී සම් තට්ටුවක් පිහිටා ඇත.

මේ හේතුවෙන් අඳුරු රාත්‍රී කාලයේදී පහසුවෙන් දඩයම් කිරීමටත්, ගමන් කිරීමටත් හැකියාවක් ඇත. 'Tapetun Lucidum' යන නමින් මෙම තුනී සම හඳුන්වයි.


05) සලබයා  

සාහිත්‍යයේදී සලබයා හැඳින්වෙන්නේ 'උඩු ගුවනේ ආදරය' යන නමිනි. කුඩා ලොම් සහිත මෙම සත්ත්වයාට ආදර සංඥා හඳුනාගත හැකි අරුම පුදුම හැකියාවක් පිහිටා තිබේ.

'Pheromones' යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රියාවලිය ආධාරයෙන් සලබයාට සැතපුම් පහකට වඩා වැඩි දුරකින් සිටින විරුද්ධ ලිංගිකයෙකු විසින් නිකුත් කරන සංඥා හඳුනා ගැනීමට හැකියාවක් ඇත.


06) මීයා

මීයාට ඇත්තේ දුර්වල දෘෂ්ටියකි. එහෙත් උගේ ඇති සංවේදී රැවුල හේතුවෙන් මීයාගේ එම අඩුපාඩුව මැකී යයි.

මෙම රැවුල අවට වස්තුන්වල වැදුණු විට ඒවායේ අධි සංවේදීතාව හේතුවෙන් මීයාට තමන්ගේ වටපිටාව පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නගාගත හැකි බව විද්‍යාඥ‘යෝ සොයාගෙන ඇත.


07) සංචාරක පක්‍ෂීන්

සංචාරක පක්‍ෂීන්ට තම ගමන් මග නිවැරදිව සොයා ගැනීමට හැකියාවක් ඇත.

එනම් පක්‍ෂීන්ට සංවින්දන හැකියාව ඇති බවත්, ඒ ආධාරයෙන් පෘථිවියේ චුම්භක තීරුව මගින් ගමන් කරන ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන බවත් විද්‍යාඥයන් විසින් සොයාගන්නා ලදී.


සප්නා කුරේ (අන්තර්ජාලය ඇසුරෙනි)

ක්‍රිකට් පරාජයන් ගැන පාර්ලිමේන්තු විවාදයක් ඒකාබද්ධය ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් පිළීබඳව පාර්ලිමේන්තු  විවාදයක් ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා අද(31දා) පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රිවරුන් විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බවත්,ඉදිරි පක්ෂ නායක රැස්වීමට එය ඉදිරිපත් කරන බවත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රෙය් පැවති ඒකාබද්ද විපක්ෂයේ මාධ්‍ය හමුවේදී අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේ තරඟ පරාජයන් වුවා යැයි කියා ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෝදනා එල්ල කිරීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

තරඟ පරාජයට පත්වුයේ පරිපාලනයේ වරදින් බවද ඔහු කීය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ශෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා සඳහන් කළේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුලු  ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නයි රජයෙන් ඉල්ලා සිටින බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවද සූදූ ක්‍රීඩාවක් ලෙස පවත්වාගෙන යාම නිසා තරඟ පරාජයන් සිදුවන බවට සැකයක් ඇතිවන බවද හෙතෙම පවසා සිටියේය.

රොෂාන්ගේ පූජනීයයි ආදරේ ප්‍රසංගය දා

මෙරට ප්‍රමුඛතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායක ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු සිය ගායන දිවියට වසර 15 සපිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ 'පූජනීයයි ආදරේ' ප්‍රසංගය පසුගියදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අතිවිශාල ජන සහභාගිත්වයකින් යුතුව පවත්වනු ලැබීය.

ප්‍රාසාංගික බව  මැනවින් ප්‍රකට කරමින් පැවති 'පූජනීයයි ආදරේ' ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූ අතර රොෂාන්ගේ රසික රසිකාවියන් අතිවිශාල පිරිසක් ප්‍රසංගය නැරඹීම සඳහා නෙළුම් පොකුණ රඟහලට පැමිණ සිටියහ. මේ ප්‍රසංගයේ සුවිශේෂී දසුන් කිහිපයකි.

ඡයාරූප – අසිත SKY

8S8A6846 8S8A7199 8S8A7213 8S8A7389 8S8A7420 8S8A7428 8S8A7461 8S8A7796 8S8A7855 8S8A7870 8S8A7879 8S8A8154 8S8A8183 8S8A8271 8S8A8319 8S8A8335

මහින්දට බය අය තවමත් සිටිනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාධිපතිවාදය , පවුල්වාදය, අවසන්කර තිබියදීත් සමහර ආයතන හා පුද්ගලයන් තවමත් එදා තිබූ පාලනයක් තිබෙන බවට සිතා බියෙන් සැකෙන් කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

එහෙත් ඒ ආකාරයට බිය විය යුතු නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැමට නිදහස ලබාදී ඇති බවත් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා අද (31) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කළේය.