Monthly Archives: July 2017

ඩයනාගේ පෞද්ගලික දිවිය චැනල් 4 නිරුවත් කිරීමට යයි

විවාදාත්මක හා දුක්බර තම විවාහ දිවිය පිළිබඳව නැසීගිය ඩයනා කුමරිය කතා කරන වීඩියෝ පටයක් චැනල් 4 නාලිකාව ප්‍රචාරය කිරීමට සූදානමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

'ඩයනා, ඇයගේම වචනයෙන්' යන විශේෂ වාර්තා වැඩසටහන ඩයනා මියගොස් 20 වැනි වසර සපිරෙන අවස්ථාවේදී ප්‍රචාරය කිරීමට චැනල් 4 නාලිකාව බලාපොරොත්තුවෙන් සිටියත්, ඩයනාගේ සමීපතමයන් හා හිතවතුන් එය ප්‍රචාරය නොකරන ලෙස චැනල් 4 නාලිකාවට බල කරන බවද එම වාර්තා සඳහන් කරයි.

මෙම වීඩියෝ පටය මීට පෙර බ්‍රිතාන්‍ය තුළ ප්‍රචාරය වී නොතිබුණු අතර, මේ හරහා එරට ජනතාව මෙතෙක් නොදුටු කතාවක් දිගහැරෙන බව චැනල් 4 නාලිකාව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඩයනාගේ ළඟම හිතවතියක වන රෝසා මෝනක්ටොන් පවසන්නේ චැනල් 4 නාලිකාව ඩයනාගේ පෞද්ගලික ජීවිතය පාවාදෙන්නන් පිරිසක් බවයි.

කෙසේ වෙතත්, මෙම වීඩියෝ පටයෙන් ඩයනා තමන්ගේ විවාහ ජීවිතය, ලිංගික සම්බන්ධතා මෙන්ම, ඇයගේ ස්වාමියා වූ චාල්ස්, කැමිලා පාකර් සමග පැවති සබඳතාවයේදී තමා මුහුණදුන් අභියෝග විස්තර කරන බව කියැවෙයි.

දළදා මාලිගාවේ ඇත්ගාල විවෘත කරයි

මහනුවර දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී සිදුකෙරෙන සංවර්ධන වැඩසටහන් සමග සංස්කෘතික වටිනාකම් ජාත්‍යන්තරයට ගෙන යෑමට මනා පිටුබලයක් වී තිබෙන බවත්,දළදා පෙරහරේ අභිමානය තවත් ඉහළ යනු ඇති බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (31දා) මහනුවරදී පැවසිය.

අලියා හා බෞද්ධ සංස්කෘතිය අතර ඈත අතීතයේ පටන් පැවත එන නොබිඳිය හැකි බැඳීම ආරක්ෂා කරගැනීම පිණිස මෙරට වනඅලි පරිපුර මෙන්ම හීලෑ අලි පරපුරද රැ‍කගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවද අමාත්‍යවරයාඅවධාරණය කළේය.

බස්නාහිර සංවර්ධන හා මහා නගර සංවර්ධන අමාත්‍යාශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඉදිකළ ඇත්ගාල විවෘත කිරීමේ උත්සවය අමතමින් ඇමැතිවරයා මෙසේ කීය.

ඇත්ගාල හා මාලිගා පරිශ්‍රයේ පොදු පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 130 ක මුදලක් වැයකර තිබිණි.

මෙම ඇත්ගාල ඉදි කිරීම මගින් දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු වන බවත්, මෙය කලක පටන් පැවැති අවශ්‍යතාවක් බවත්ශ්‍රීදළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඇතුන් 08 දෙනකු හා අලින් තිදෙනකු සිටින බවත් ඉදිරියේදී එයට තවත් ඇතෙකු එක් වීමට නියමිත තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

IMG_7632 copy IMG_7669 copy IMG_7703 copy

 

හෙට රෑ 12 සිට දුම්රිය වර්ජනයක්

චීන දුම්රිය මැදිරිවල හා S10 දුම්රිය මැදිරිවල පවතින තාක්ෂණික දෝෂ නිවැරදි නොකිරීමට එරෙහිව හෙට (01දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය එන්ජින් රියදුරන් වැඩ වර්ජනයක නිරතවන බව ශ්‍රී ලංකා දුම්රිය එන්ජින් රියදුරු සංගමය සඳහන් කරයි.

පවතින තාක්ෂණික දෝෂ නිවැරදි නොකර, දුම්රිය ධාවනයේදී සිදුවන විවිධ දෝෂ තත්ත්වයන් සම්බන්ධයෙන් දුම්රිය රියදුරන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

මේ නිසා මෙය නිවැරදි කරන ලෙස ඉල්ලා S10දුම්රියවල හා චීනයේ නිෂ්පාදිත දුම්රියවල සේවයෙන් ඉවත් වන බවද හෙතෙම පවසා සිටියේය. 

 

රාජිත දේශපාලන නිරුවත පෙන්නුවා – GMOA

දුම්කොළ සමාගමක අධ්‍යක්ෂවරයෙකු රජයට පවරාගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීමෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය දේශපාලන නිරුවත පෙන්වා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ එම පුද්ගලයා අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකයෙකු හෝ වරලත් ගණකාධිකාරවරයෙකු බව පෙන්වමින් සිය තීරණය සාධාරණීකරණය කිරීමටද අමාත්‍යවරයා උත්සාහයක් ගන්නා බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා  සමග පවතින මත ගැටුම ප්‍රතිපත්ති මත පදනම්ව ඇති ගැටුමක් බවද එම සංගමය පවසයි.

 

ජලය නැත්නම් 117 ට කියන්න

වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා නම් ඒ පිළිබඳව 117 දුරකථන අංකයට දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

ජලය බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවත්, යම් අතපසුවීමක් සිදුව තිබේ නම්, ඒ පිළිබඳ මෙම දුරකථන අංකයට දැනුම් දිය හැකි බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, කිළිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, යාපනය, රත්නපුර, බදුල්ල, මාතලේ, නුවර, හම්බන්තොට යන ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටිති.

 

පොලිස්පති යාපනයේදී අවම බලය භාවිත කරන හැටි කියයි

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (31) හදිසියේම යාපනයේ සංචාරයක නිරත වී ඇති අතර, එහිදී ඊයේ (30දා) යතුරුපැදි කල්ලියකින් පහරකා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා බැලීමට යාපනය ශික්ෂණ රෝහලටද ගොස් ඇත.

යාපනය කෝපායි කොකුවිල් මාර්ගයේ නන්දුවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී යතුරුපැදි කල්ලියක පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා බැලීමට පොලිස්පතිවරයාමෙලෙසයාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇත.

එහිදී පොලිස්පතිවරයා විසින් පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් තොරතුරු විමසීමෙන් පසුව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගතයුතු බවටත්, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම්ද යොදවන ලෙසටත්ය.

අනතුරුව පොලිස්පතිවරයා යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් හමු වී වසර ගණනාවක් යුද මානසිකත්වයක් පැවැති පරිසරයක රාජකාරි කිරීමේදී ප්‍රවේශම් වන ලෙසඔවුන්ව දැනුවත් කොට තිබේ. එහිදී අවම බලය පාවිච්චි කරන ආකාරය පිළිබඳවද පොලිස්පතිවරයාවිසින් යාපනයේ පොලිස් නිලධාරීන් දැනුවත් කොට ඇත.

625.500.560.350.160.300.053.800.900.160.90 (1)  625.0.560.320.160.600.053.800.700.160.90 (8) 625.0.560.320.160.600.053.800.700.160.90 (9)

 

 

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සති දෙකකින්

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය දෙසතියකින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  පවසයි. ගාල්ල නව හෙද විද්‍යාලය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවට එක්වෙමින් ඔහු මේ බව අද (31දා) සඳහන් කළේය.

"ලෝකය පිළිගන්නේ හෙද උපාධියයි. හෙද හෙදියන්ට උපාධිය ලබාදීමට සූදානම් වනවිට ඇතැම් වෛද්‍ය සංගම් ඊට විරුද්ධත්වය පළකළා. ඇතැම් වෛද්‍ය සංගම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරෝධය පළකරනවා. නමුත් විදේශීය රටවල පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ඉතා පුළුල්ව සිදුවෙනවා. අපේ ඇතැම් වෛද්‍යවරුන්ද විදේශීය අධ්‍යාපනය ලැබූ අයයි.

රජය තීරණයක් ගෙන තිබෙනවා සබරගමුව, වයඹ සහ මොරටුව යන විශ්වවිද්‍යාලවලත් වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට.වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව නෙවිල් ප්‍රනාන්දු රෝහල ආරම්භ කිරීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් විමසා තිබෙනවා. නමුත් වෛද්‍ය සභාවේ සිටි සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, එවැනි අවම ප්‍රමිතියක් නොමැති බවයි. එවිට වරදකරු වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි.

නමුත් දැන් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන සාකච්ඡා කරනවා. සමහරු කෑගහනවා. 2006 වසරේදී වෛද්‍ය සභාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ කතා කරන විට ලෝක වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතිය සකස් කර තිබුණා. නමුත් ඒ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනසිටියේ නැහැ. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කළේ මම සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුවයි. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉදිරි සති 02 තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා” යැයි පවසා සිටියේය.

 

ශ්‍රී ලංකන් ගුවන් යානයේ බෑගයක ගින්නක් – කිසිවෙකුටත් අනතුරක් නෑ

ඉන්දියාවේ කෝචි  සිට කටුනායක බලා ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක මගියෙකුගේ බෑගයක හදිසි ගිනිගැනිමක් ඇතිව තිබේ. බෑගයක තිබූ බැටරියක් හෝ දුරකතනයක් මෙසේ ගිනිගැනීමට ලක්ව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

ගිනි ගැනීමට ලක්වූ බෑගය ඉවත්කර එය පාලනය කිරිමට  ගුවන් යානා කාර්ය මණ්ඩලය සමත්ව ඇත.

සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර කාර්ය මණ්ඩලය ගුවන් මගීන් කලබල නොවන ආකාරයෙන් ගැටලුව විසඳීමට සමත්ව ඇත.

සිදුවීමෙන් පසුව ගුවන් යානා කාර්ය මණ්ඩලය කටුනායක ගුවන් ගමන් පාලක මැදිරියට කතා කොට ගුවන් යානය ගොඩ බැස්සවීමේදී එයට විශේෂිත සේවා ලබාදෙන ලෙසට දන්වා තිබේ.

සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

ඇමෙරිකා රාජතාන්ත්‍රිකයන් 755ක් රුසියාව දොට්ට දමයි

ඇමෙරිකාව විසින් රුසියාවට පණවනු ලැබූ නවතම සම්බාධකවලට විරෝධය පාමින් රුසියාවේ සිටින ඇමෙරිකානු රාජතාන්ත්‍රික නිලධාරීන් 755කට රටින් පිටවන ලෙස රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් නියෝග කර තිබේ.

රුසියාවේ සිටින ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් ප්‍රමාණය සාපේක්ෂව අඩුකළ යුතු බව පසුගිය සිකුරාදා දිනයේදී රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියත්, ඔවුන් කොපමණ ප්‍රමාණයක් රටින් පිටත්ව යා යුතු දැයි පවසා නොතිබුණි.

කෙසේ වෙතත්, මෙම නව නියෝගය අනුව එළැඹෙන සැප්තැම්බර් 01 වැනිදා වනවිට ඇමෙරිකානු රාජාතාන්ත්‍රික නිලධාරීන් 755ක් අනිවාර්යයෙන්ම රුසියාවෙන් පිටවිය යුතු වෙයි.

මේ ආකාරයෙන් ඇමෙරිකානු නිලධාරීන් පිරිස අඩුකළ විට, ඇමෙරිකාවේ සේවයේ නියුතු රුසියානු රාජාතාන්ත්‍රිකයන් 455ක අගය හා ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන්ගේ ගණන සමාන වන බවද සඳහන් වෙයි.

මෙය මෑත ඉතිහාසය තුළ ලෝකයේ ඕනෑම රටක, රාජතාන්ත්‍රික මට්ටමින් විශාල නිලධාරීන් පිරිසකට එරෙහිව ගනු ලැබූ ඓතිහාසික නියෝගයක් ලෙස දේශපාලන විචාරකයෝ පවසති.

වරාය චීනයට දුන්නත් ණය බර අඩුවෙන්නේ නෑ

හම්බන්තොට වරාය බඳු දීමෙන් ලැබුණ ඩොලර් බිලියන 1.1ක මුදලින් ණය ගෙවීමක් සිදු නොවන බවත් එහ මුදල මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බවත් පිවිතරු හෙළ උරුමයේ නායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹදී අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ජාතියට තිබුණ වටිනාම සම්පත විකුණලත් ණය බර එක සතපහකින් වෙනස් වෙන්නේ නෑ. ඒ මුදල මහා භාණ්ඩාගාරයට බැර වීමයි සිදුවෙන්නේ. ණය කන්ද එහෙම තිබියදී මේ මුදල ඇමතවරුන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගැනීමට ඉඩ තිබෙනවා.

ලක් අම්මා 2015 ජනවාරි 8 දා අප්පච්චී අත්හැරලා බාප්පච්චි සරණ ගියා. මේ බාප්පච්චී දැන් අර අප්පච්චිගේ දරුවන්ට වෙනස් කම් කරනවා. නොසලකා හරිනවා. අප්පච්චි ආදරයෙන් හදාගත් දරුවන් ඉන්දියාවට, චීනයට , ඇමෙරිකාවට දිගු කාලයකට මෙහෙවරකම් කරන්න බාර දෙමින් ඉන්නවා.”