Monthly Archives: July 2017

මසකට අවශ්‍ය සහල් තොග ලැබෙමින් පවතිනවා – රිෂාඩ්

ඉදිරි මසකට අවශ්‍ය සහල් තොග මේ වනවිට ලැබෙමින් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර අද (31දා) පැවති හමුවකදී මෙම කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව, තායිලන්තය හා මියන්මාරය සමග අවසන් කරමින් පවතින අවබෝධතා ගිවිසුම්, ඉන්දියාවෙන් පෞද්ගලික අංශය හරහා සිදුකරන සහල් තොග ආනයනය හා සතොස හරහා සිදුකරන මිලදී ගැනීම් මගින් ඉදිරි මසකට සරිලන සහල් තොග මේ වනවිට ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වාදී ඇත.

බුලත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර

පාකිස්තානයට බුලත් අපනයනය කිරීමේදී පාකිස්තානු රජය විසින් පැනවූ %නව නියාමන බද්ද^ මගින් මෙරට බුලත් වගාකරුවන් පත්ව ඇති අපහසුතාව පිළිබඳව සොයා බලා එයට අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීමට මැදිහත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මෙරට පාකිස්තානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් මහතා හා අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (31දා) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

පසුගිය ජූලි මස 01දා සිට ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට අපනයනය කරන බුලත් සඳහා කිලෝ ග්‍රෑමයකට ශ්‍රී ලංකා  රු.291/- ක නව නියාමන බද්දක් පනවා ඇති අතර, එම නිසා දේශීය බුලත් වගාකරුවන් මෙන්ම බුලත් අපනයනකරුවන්ද තම නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව දුෂ්කරතාවකට පත්ව ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ මෙම නව බද්ද මගින් දේශීය බුලත් වගාකරුවන් හා බුලත් අපනයනකරුවන් පත්ව ඇති ගැටලු විසඳා ගැනීමට තමා හා තම අමාත්‍යාංශය මැදිහත් වන බවයි. එමෙන්ම, මේ සඳහා කඩිනම් සහනයක් තමා පාකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හරහා පාකිස්තානු රජයෙන් බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය. එමෙන්ම, මීට විසඳුමක් බුලත් ගොවියාට ලැබෙනතුරු තමා මේ සම්බන්ධයෙන් පෞද්ගලිකවම සොයා බැලීමට කටයුතු කරන බවද පවසා සිටි අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා සිටි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද සිය ස්තූතිය පුදකර තිබේ.

YouTube Red සහ Google Music එක්වේවිද?

ගූගල් සමාගම සැමවිටම තම නිෂ්පාදන තුළ යම් සංහිඳියාවක් ඇති කිරීමේ ප්‍රයත්නයක් ගන්නා බව දැක ගත හැකි කරුණක්. ඔබ ගූග්ල් ප්ලේ මියුසික් හා සම්බන්ධ වුවහොත් ඔබට යූටියුබ් රෙඩ් සේවාව හා නොමිලයේ සම්බන්ධ වීමේ හැකියාව පවතියි. එය ඔබට විශේෂ අන්තරගතයන් දැකගන්නට උපකාරී වනු ඇති අතර, ප්‍රචාරන දැන්වීම් නැති, භාගත කර ඕෆ්ලයින් අවස්ථාවේ යූටියුබ් දර්ශන නැරඹිය හැකි අවස්ථාවක්ද එයින් ලැබෙනවා.

යූටියුබ් හී සංගීතයට අදාළ අංශයේ ප්‍රධානී පවසන්නේ මෙම YouTube Red සහ Google Music එක්විය යුතු බවයි. එය තවතවත් සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ වෙත ඈඳා ගැනීමට සාර්ථක තත්ත්වයක් වනු ඇති බව ඔහු පවසයි. මේ සම්බන්ධව ගූග්ල් පාර්ශවයෙන් පවසන්නේ ඔවුන්ට වඩා වැදගත් Google Music සේවාව තවතවත් ජනතාව අතරට ගෙනායම වෙනුවෙන් වඩා හොඳම දේ ජනයාට ලංකළ යුතු බවයි.

බොහෝදෙනෙකු මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙම සේවාවන් දෙක එක්කර ඉදිරිපත් කිරීමේ වැඩ ඉඩ කඩක් ඇති බවයි. එය මෙම සේවාවන් දෙකෙහි සාමූහිකත්වය සම්බන්ධයෙන් නොදන්න බෙහෝදෙනෙකු අතරට මෙය ව්‍යාප්ත කරවන්නට උපයෝගී කරගන්නට හැක.

 

ජනපති නිවස ඉදිරිපිට විරෝධතාවට පොලීසිය බෑ කියයි

ජනාධිපති මෛත්‍රීපාල මහතාගේ කොළඹ පිහිටි නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමක් කුරුඳුවත්ත පොලීසිය ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම උද්ඝෝෂණය පැවැත්වීම සඳහා අවසර ලබාදෙන්නැයි ඉල්ලා සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා විසින් පසුගිය 27 වැනිදා කුරුඳුවත්ත පොලිස් ස්ථානයෙන් ලිඛිතව ඉල්ලා තිබුණු අතර, එයට පිළිතුරු වශයෙන් එම පොලිස් ස්ථානය විසින් ඊයේ දිනයේදී ලිඛිතව දන්වා ඇත්තේ එවැනි උද්ඝෝෂණයක් සඳහා අවසර ලබාදිය නොහැකි බවයි.

‘තරුණයන්ගේ  යකඩ හීන තැළීම නතර කරනු‘යන තේමාව යටතේ  ලබන 13 වැනිදා ගාලුමුවදොර පිටියේ සිට පාගමනින් පැමිණ ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමට යතුරුපැදිකරුවන්ගේ සංගමය සැලසුම් කර තිබිණි.

ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බැවින් මෙම උද්ඝෝෂණයට ඉඩ ලබාදිය නොහැකි බව කුරුඳුවත්ත පොලීසිය දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා සඳහන් කළේ, කුරුඳුවත්ත පොලිස් ස්ථානය එවැනි තීරණයක් ලබාදී තිබුණද, සුපුරුදු පරිදි ලබන 13 වැනිදා පෙරවරු 9.30ට ගාලුමුවදොර පිටියෙන් විරෝධතා පාගමන ආරම්භ කරන බවත්, එය අවසන් කරන ස්ථානය හෙළි නොකරන බවත්ය.

එංගලන්තයට ලකුණු 239 ක ජයක්

දකුණු අප්‍රිකාව පරදා කෙනිංටන් හිදී පැවති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 239 ක ජයක් හිමි කර ගැනීමට සත්කාරක එංගලන්තය සමත් විය. ඊයේ (31) අවසන් වූ තරගයේ ලකුණු 492 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 77.1 කදී සියළුදෙනා  ලකුනූ 252 කට දැවි ගියහ‍. දකුණු අප්‍රිකාව ජයග්‍රහණයට රැගෙන යාමට බලවත් උත්සාහයක්  දැරූ ඩීන් එල්ගා ලකුණු 136 ක් රැස් කළද එය ඔවුන්ගේ ජයග්‍රහණයට හේතු නොවීය.

එංගලන්තය ජයග්‍රාහි පන්දු යැවීමක නිරත  වූ මොයින් අලි කඩුළු 5 ක්  දවා ගත්තේ කඩුළු ත්‍රිත්වයක්ද සමගිනි.

තරගයේ කාසයේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩකයෝ සියළුදෙනා දැවී ලකුණු 353 ක් රැස් කළහ. නමුත් ඊට පිලිතරු ලෙසින් දකුණු අප්‍රිකාවට සියළුදෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 175 ක් පමණි. ඒ අනුව ලකුණු 178 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්තය කඩුළු 8 ක් දැවී ලකුණු 313 ක් රැස් කරගෙන සිටින අවස්තාවේදී ඉනිම අත්හිටුවීය.

මෙම ජයග්‍රහණයත් සමගින් තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයගෙන එංගලන්තය ඉදිරියෙන් පසුවේ.

 

මුරපදය හොයා ගන්නම් ඉවසන්න – අර්ජුන් ඇලේසියස්ට අතිරේක සොලිස්ටර් ජනරාල් කියයි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබා නොදුන්නොත් විමර්ශන නිලධාරීන් එය සොයා ගන්නා බවත්, එතෙක් ඉවසා සිටීමට අර්ජුන් ඇලෝසියස් මහතාට සිදුවන බවත් කොමිසමේ කටයුතුවලට සහාය වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර කොමිසමට අද (31දා) දැනුම් දුන්නේය.

අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබාදීමේ අපහසුතාව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසමට පැහැදිලි කළ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා එසේ දැනුම් දුන්නේය.

2015 පෙබරවාරි මස පළමු වැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්‍ෂි විභාග කිරීම සිදුකෙරේ.

අර්ජුන් ඇලෝසියස් මහතා භාවිත කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුළු සියලු විද්‍යුත් සන්නිවේදන උපකරණ විමර්ශන නිලධාරීන්ට බාරදෙන ලෙස බැඳුම්කර කොමිසම ඔහුට නියම කළද, ඔහු කොමිසමට බාරදී ඇත්තේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේ සිට තොරතුරු පමණක් බවත්, මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික පරීක්‍ෂණයක් සිදුකිරීමට අවශ්‍ය වී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා මීට පෙර අවස්ථාවකදී කොමිසමට දැනුම් දෙමින් කළ ඉල්ලීමක් පිළිගත් කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතා 2016 ඔක්තෝබර් මාසයේදී භාවිත කළ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) මුරපදය (Password), භාවිත නාමය (User Name) ආදී කරුණු විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසද නියම කළේය.

බැඳුම්කර කොමිසමේ කටයුතු අවසන් වීමට ආසන්න අවස්ථාවේදී අර්ජුන් ඇලෝසියස් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබාදීමේ අපහසුතාව පිළිබඳ පැහැදිලි කළේය.

මේ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (‘ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබා දුන්නොත් පැය 48ක් ඇතුළත එම උපකරණ සියල්ලම ආපසු ලබාදීමට හැකියාව ඇතැයිද, රහස්‍ය අංකය ලබාදුන්නේ නැත්නම් ඊට විකල්පයක් වශයෙන් එහි රහස්‍ය අංකය සොයා ගන්නා තුරු ඉවසා සිටීමට සිදුවන්නේ යැයිද පැවසීය.

 

 

 

කසළ නිසා කොළඹ 994ක් පොලිස් කූඩුවේ

කොළඹ දිස්ත්‍රික්කය තුළ අවධිමත් ලෙස කැළි කසළ බැහැර කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පිහිටුවා ඇති අපද්‍රව්‍ය කාර්ය සාධක මෙහෙයුම් බළකා මධ්‍යස්ථානය තුළින් ගෙවීගිය ජූලි මාසය තුළදී පුද්ගලයන් 944 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (31දා) දිනය තුළදී පමණක් පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අදාළ අත්අඩංගුවට ගැනීම මෙහෙයුම් බළකා මධ්‍යස්ථානයට අනුයුක්තව සිටින ත්‍රිවිධ හමුදාව හා පොලීසිය විසින් සිදුකර ඇත.

ජූලි පළමු වැනිදා සිට ජූලි 31 වැනිදා සවස 4.00 දක්වා කාලය තුළදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන අතර, මෙම පිරිසෙන් 738 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කොළඹ මහනගර සභා බල ප්‍ර‘දේශය තුළදීය.

පුද්ගලයන් 18 දෙනෙකු මොරටුව මහනගර සභා සීමාව තුළදී හා පුද්ගලයන් 02 දෙනෙකු කඩුවෙල නගර සභා සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සියලු දෙනාම අදාළ බලප්‍ර‘දේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

UNP ඉදිරි මැතිවරණ ගැන සාකච්ඡාවකට

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ආයතන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් කළමනාකරුවන්, නීති ලේකම්වරුන් අගෝස්තු 03 වැනිදා කොළඹට කැඳවා තිබේ.

මෙහිදී පළාත් පාලන ආයතන මැතිවරණයට මුහුණ දීම සඳහා බිම් මට්ටමේ සිදුකළ යුතු වැඩකටයුතු පිළිබඳ සහ අවසන් අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම පිළිබඳ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

මීට අමතරව ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික සංවත්සරය පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ. 

කාබුල් ඉරාක තානාපති කාර්යාලයට IS ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ, කාබුල් අගනගරයේ ඉරාක තානාපති කාර්යාලය ඉදිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සමග තානාපති කාර්යාලයට කඩා වැදුණු ත්‍රස්තයන් පිරිසක් සමග ආරක්ෂක අංශ වෙඩි හුවමාරුවකට මුහුණදී සිටියි.

ෂාර්-ඊනොව් ප්‍රදේශයේ පිහිටි තානාපති කාර්යාලයේ ඇතුළු වීමේ දොරටුව ආසන්නයේදී මරාගෙන මැරෙන බෝම්බකරු සිය බෝම්බය පුපුරුවාගෙන ඇති අතර, පසුව තුවක්කුකරුවන් තිදෙනෙකු කාර්යාල පරිශ්‍රයට ඇතුළු වී ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත්, මේ වනවිට තත්ත්වය පාලනය කර තිබුණත්, අතරින් පතර වෙඩි හඬ නැගෙන බවද විදෙස් වාර්තා පවසයි.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් විසින් එම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණු අතර, පසුගිය කාලය පුරාවට මෙවැනි ම්ලෙච්ඡ ප්‍රහාරයන් රැසක් කාබුල් ආශ්‍රිතව වාර්තා විය.

කාබුල් නුවර සිටින බී.බී.සී. වාර්තාකරු පවසා ඇත්තේ මෙය එරට ඉරාක තානාපති කාර්යාලය වෙත එල්ල වූ ප්‍රථම ප්‍රහාරය බවයි.

එමෙන්ම, ඉරාකයේ මොසුල් නගරයේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් පරාජයට පත්කිරීම සැමරීම වෙනුවෙන් තානාපති කාර්යාලයේ උත්සවයක්ද පවත්වා තිබුණු අතර, එයද මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.

යාපනයේදී පොලීසියට පහරදුන්නේ හිටපු LTTE සාමාජිකයෙක්

යාපනය කෝපායිහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පිරිසෙහි ප්‍රධාන සැකකරු ආවා කල්ලියේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කියා සිටියේය.

පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ යාපනයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.

‘මේ පහර දීමට යතුරුපැදි 7 කින් පමණ 15 දෙනෙකු පමණ සහභාගි වෙලා තියනව කියලා දැනට තොරතුරු ලැබී තිබෙනවා. මෙම පහර දීමේ ප්‍රධාන සැකකරු ආවා කල්ලයට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු කියල තමයි දැනගන්නට ලැබෙන්නේ. ඊට අමතරව තවත් 06 දෙනෙකු පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවා. මේ පහර දීමට පැමිණි පිරිස් සියල්ලන්ම තරුණයන් කියලා තොරතුරු ලැබිලා තියනවා.

පවතින තත්වය පාලනය කිරීමට හා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, ගුවන් හමුදාව හා යුද හමුදාවෙත් සහාය ලබාගෙන තිබෙනවා. ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම පියවර අරන් තියනවා. විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවලා තියනවා. ඒ වගේම අමතර පොලිස් මුර සංචාර කිහිපයක් යොදවලා තියනවා. මේ ක්‍රියාවලියට මාධ්‍යයෙත් සහාය අවශ්‍යයි.”