Monthly Archives: June 2017

ඖෂධවේදීන් සඳහාත් පීඨයක්

ඖෂධවේදීන්ගේ ගුණාත්මකභාවය ඉහළ දැමීමට හා ඖෂධවේදීන් වැඩි වශයෙන් රටට බිහිකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ඖෂධවේදී පීඨයක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම පීඨය සකස් කිරීම සඳහා රුපියල් බිලියන 12ක් වෙන්කර තිබෙන අතර, එම පීඨය ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුවෙමින් ඇත.

ලංකාවේ සංවර්ධන ඇගයුම් වාර්තාව ලෝක බැංකුවෙන්

අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකයේ කාර්ය සාධනය 2016 වසරේදී සහ 2017 මුල් මාස කිහිපයේදී සතුටුදායක මට්ටමක පැවති බව ලෝක බැංකුව පවසයි. 'ශ්‍රී ලංකාවේ සංවර්ධන ඇගයුම' යටතේ වන නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ඊයේ (29දා) දිනයේ මේ කරුණු එළිදරව් කළේය. ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන නියෝජිතයා මෙන්ම ආර්ථික විශේෂඥයෙකු හා ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුමෙහි කතුවරයෙකු වන රැල්ෆ් වෑන් ඩූරන් විසින් මෙම කරුණු ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව ආර්ථික වර්ධනය වේගවත් කොට, නව රැකියා උත්පාදනය කරමින් දුගී බව පිටු දැකීමට රට ඉදිරියේ විශාල අවස්ථාවක් පවතින බව මෙම ඇගයුම් වාර්තාවේ සඳහන් වෙයි. ඒ සඳහා උපක්‍රමික වටිනාකමක් ඇති රටේ භූගෝලීය පිහිටීම වාසිදායක ලෙස යොදා ගැනීමේ අවශ්‍යතාව ගැනද මෙම වාර්තාව පෙන්වා දෙයි. එසේම මධ්‍යකාලීනව දැනට රාජ්‍ය ආයෝජන හා අපනයන නැඹුරු වූ අවම සංවර්ධන ආකෘතියෙන් ඉවත් වී පෞද්ගලික ආයෝජන හා අපනයනය මත රඳා පවතින ආර්ථිකයක් ගොඩ නගා ගැනීමත් වැදගත් බවත් සඳහන් කරන මෙම 'ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම' ඒ හා සමගාමීව සිදු කළ යුතු තවත් කරුණුද සඳහන් කර සිටියි.

ඒ යටතේ සාර්ව ආර්ථික හා රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සහතික කරගැනීම, ස්වාභාවික ආපදාවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය, රටේ තරගකාරීත්වය ඉහළ නංවා විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම යනාදියද පවතී. එමෙන්ම ප්‍රතිසංස්කරණවලින් දරිද්‍රතාවට බලපෑමක් සිදු වේ නම් එම බලපෑම්වලින් දුගී ජනතාව ආරක්ෂා කිරීම වැදගත් බවත මෙම වාර්තාව අවධාරණය කරයි.

"ආර්ථිකය වර්ධනය කිරීමට හා රැකියා සඳහා නව මූලාශ්‍රවලට පිවිසීමට දැන් ශ්‍රී ලංකාවට නව අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ සඳහා වෙළෙඳාම විවෘත කරමින් හා එහි ආර්ථිකය විවිධාංගීකරණයට ලක් කිරීම අවශ්‍යයි." ආර්ථික විශේෂඥ රැල්ෆ් වෑන් ඩූරන් මහතා මෙහිදී සඳහන් කර සිටියි.

එහිදී මූලිකවම තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කිරීම සහ GSP + සහනය නැවත ලබා ගැනීම වැනි අතිශය වැදගත් සන්ධිස්ථාන කිහිපයක්ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බවද ඒ මහතා පවසයි. ඒ අතරම 2015 දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.6% ක් වූ රාජ්‍ය මූල්‍ය හිඟය 2016 දී 5.4% ක් දක්වා පහත වැටී ඇතැයි පෙන්වා දෙන ඒ මහතා දිගුකාලීන නියඟය සහ දරුණු ගංවතුර යන ස්වාභාවික විපත් හෙතුවෙන් 2016 ආර්ථික වර්ධන වේගය 4.4% දක්වා පහත වැටී ඇතැයිද සඳහන් කරයි.

තවදුරටත් මෙම වාර්තාවේ පවතින නිර්දේශ අතර, රාජ්‍ය ණය තිරසාර මාර්ගයකට ගෙන ඒම සඳහා වර්තමාන වියදම් පාලනය කරමින් වැඩි ආදායමක් උපයා ගැනීමේ අවශ්‍යතාවද පවතී. එහිදී නව බදු ආදයම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යහපත් පියවරක් ලෙස පෙන්වා දෙන ලෝක බැංකුව, ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාව සිය ආර්ථික තරගකාරීත්වය සහ අපනයනය මත පදනම් වූ ආර්ථික ආකෘතියක් වෙත ප්‍රවිශ්ට වීමත් වැදගත් බවත් පවසා සිටියි.

මේ අතරම ශ්‍රී ලංකා ඇගයුම් වාර්තාව හරහා හඳුනාගත් අවදානම් අතර, ව්‍යුහාත්මක බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවීම, බදු පරිපාලනයේ අපේක්ෂිත වැඩි දියුණු කිරීම් මන්දගාමී වීම, ගෝලීය ආර්ථිකය තුළ අඩු වර්ධනයක් පෙන්වීම සහ අපේක්ෂිත මිල ඉක්මවමින් ගෝලීය වෙළෙඳ පොළෙහි භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම පෙන්වා දිය හැකි බවත් ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

විශේෂයෙන්ම සංකීර්ණ දේශපාලන හා ආයතනික වටපිටාවක් තුළ 2015 දී අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මකවීමේ මන්දගාමී බවක් පවතින බවත් එම වාර්තාව අවසන් වශයෙන් පෙන්වා දෙයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂිකා අයිඩි ස්වරායි රිඩ්ඩිහොග් ඇතුළු ලෝක බැංකුවේ ශ්‍රී ලාංකික නියෝජිතයන්ද සහභාගි වී සිටියහ.

ඡායාරූප – රුවන් වල්පොල

 

ලන්ඩනයට වේලාව කියන බිග්බෙන් කුලුන පිළිබඳ කරුණු 07ක්

01) ලෝකයේ සුවිශේෂී කලා නිර්මාණ බිහිවූ සමයක් ලෙස 18 වැනි සියවස හැඳින්විය හැකිය.

එකල ලන්ඩන් නුවර නගර පාලකයන්ට නගර අලංකරණයට සුවිශේෂී යමක් කිරීමට අවශ්‍ය විය. එම වගකීම බෙන්ජමින් හෝල් නමැති නිර්මාණ ශිල්පියාට පැවරිණි.

02)

ඔහු උසමහත ශක්තිමත් සිරුරක් හිමි සුහදශීලී පුද්ගලෙයෙකු බැවින් 'බිග් බෙන්' යන අන්වර්ථ නාමයෙන් ඔහු හැඳින්විණි.

නගර අලංකරණය සමග නගරවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා ඔරලෝසු කුලුනක් සෑදීමට හෙතෙම යෝජනා කළේය. ඔහුට කරන ගෞරවයක් ලෙස එම ඔරලෝසු කණුවට 'බිග්බෙන්' ලෙස නම් තැබිණි.

03) 1859 මැයි මස 31 වැනිදා සිට වර්තමානය දක්වා ලන්ඩන් නුවරට වේලාව කියන මෙම ඔරලෝසු කුලුන අඩි 205ක උසකින් යුත්තය. ලංකාවේ ඔරලෝසු කණු මෙන් එය තුන් ගුණයක් පමණ විශාලය.

මෙහි මුදුනෙහි සතර දෙසට මුහුණලා අඩි 24ක් පළලින් යුතු රවුම් ඔරලෝසු මුහුණත් 04ක් සවිකර තිබේ. තරමක් ඝනකමින් යුත් විශාල වීදුරු කැබලි 312ක් එක් මුහුණතක් නිර්මාණය කිරීමට භාවිත කර තිබේ. එහි විනාඩි කටුව අඩි 14ක් හා පැය කටුව අඩි 09ක් විශාලය. 

04) පියගැට 334කින් සමන්විත මෙම කුලුන බකින්හැමි මාළිගයට මුහුණලා ඉදිකර තිබේ. මෙහි පියගැට 144ක් තරණය කළ විට කුඩා සිර මැදිරියක් හමුවේ. එහි අවසන් සිරකරු ලෙස 'චාල්ස් බ්‍රැඩිලෝ' නම් පුද්ගලයා සිරගත කර තිබේ. 

ඒ 1914 වර්ෂයේ බයිබලය අවිශ්වාස කිරීමේ වරදකට හසුවීමෙනි. ඉන් පසු එහි කිසිවෙකු සිරගත කර නොමැති අතර, වර්තමානයේ එය කුඩා කලාගාරයක් ලෙස පවත්වාගෙන යයි.

05) සෑම වසර පහකටම වරක් මැයි 31 වැනිදා දහවල් 12.00ට මෙම ඔරලෝසුවේ වේලාව නතර වන අතර, ඒ මෙහි අලුත්වැඩියා කිරීමේ කටයුතු හා පිරිසුදු කිරීමේ කටයුතු වෙනුවෙනි.

06)

කුලුනේ වැදගත්ම දෙය වන්නේ එහි මුදුණත සවිකර ඇති විශාල ඝංඨාරයක් වැනි සීනුවය. එය අඩි 07යි අඟල් 06ක උසකින් යුතු වන අතර, පළල අඩි 09කි.

අඟල් 08ක ඝනකමින් යුත් තඹ මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති මෙහි බර ටොන් 13.5කි. මේ සමග තවත් කුඩා සීනු 03ක් සවිකර ඇති අතර, සෑම විනාඩි 15කට වරක් ඒවා නාද වේ. මෙහි විශාල සීනුව පැයකට වරක් නාදවන අතර, දිනකට 156 වාරයක් මෙම සීනු නාද වේ.

07) කුලුන අභ්‍යන්තරයට වන්නට ඉදිකර ඇති මෙහි හෝරා යන්ත්‍රය දුම්රිය එන්ජිමක් තරම් විශාල බව පැවසේ. එය ඉදිකිරීමේදී භාවිත කළ තාක්‍ෂණය අනුව එය වර්තමානයේද ක්‍රියාත්මක වේ.

සටහන- දිනිත් කණිෂ්ක

කෘෂිකර්ම අමාත්‍යාංශයත් කාබනික ගොවිතැනට

ජනාධිපති කාර්යාලයේ වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංවූ 'වසවිස නැති රටක්' කෘෂිකාර්මික වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා තීරණය කර තිබේ.

ඒ අනුව මෙතෙක් කාබනික ගොවිතැන ප්‍රවර්ධනය නොකළ කෘෂිකර්ම අමාත්‍යාංශය මින් ඉදිරියට කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමට රට පුරා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජාතික වකුගඩු රෝගයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා 'වසවිස නැති රටක්' සංකල්පය ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම ජූලි 01දා

ජූලි 01 වැනිදාට (හෙට) යෙදෙන 95 වැනි ජාත්‍යන්තර සමූපකාර දිනය %සැම සුරකින සමූපකාරය^ යන තේමාව යටතේ එදින පස්වරු 2ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංය පවසයි. මේ පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ පැවැති හමුවකදී අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා මේ බව අනාවරණය කළේය.

සෑම වර්ෂයකම ජූලි මාසයේ පළමු වැනි සෙනසුරාදා දිනය ජාත්‍යන්තර සමූපාකාර දිනය ලෙස සැලකෙයි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධිය අරමුණු කරගනිමින් මෙරට සමූපකාර ව්‍යාපාරය ආරම්භ වන්නේ 1906 වසරේදී බව අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අවශ්‍යතා වෙනුවෙන් සහ රජයේ පොදු සුබසාධන වැඩසටහන්වලට සහය වෙමින් සියවසකට අධික කාලයක සමූපකාර ව්‍යාපාරය මෙරට සමාජයට මහත් මෙහෙවරක් කර ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

විශේෂයෙන්ම මූල්‍ය, විවිධ සේවා, වතු, ධීවර, සණස, පේෂකර්ම, කෘෂිකාර්මික, පාසල්, රෝහල්, මගී ප්‍රවාහන, තේ කර්මාන්තශාලා ආදී ක්ෂේත්‍ර 19ක් පුරාවට ව්‍යප්ත වී ඇති මෙම සමූපාකාර ව්‍යාපාරය මෙරට සමාජයේ මුල් ඇද, අතු ඉති විහිදී ගිය මහා වෘක්ෂයක් බවටපත්ව අතැයිද අමාත්‍යාංශය සඳහන් කරයි.

යුරෝපීය ජිහාඩ් ජාලයේ ආගමික නායකයා අල්ලයි

2015 වසරේදී පැරීසියේ බැටකැලන් නෘත්‍ය ශාලාවේදී ජීවිත 89ක් බිලිගනිමින් එල්ල වූ ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ තරුණයෙකු ජිහාඩ් අන්තවාදියෙකු බවට පත්වීමට තාරික් චඩ්ලිඕයි ඉමාම්වරයා අනුබලය හේතුවී ඇති බව කියයි.

බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් හිදී අත්අඩංගුවට පත්වූ 43 හැවිරිදි මෙම ඉමාම්වරයා කුඩා දරුවන් සෙල්ලම් කරන ස්ථාන හා ජල තටාක තුළ සිට යූටියුබ් ජාලයට එකතු කර ඇති ආගමික අන්තවාදය පැතිරූ වීඩියෝවලින් විශාල මුදල් සම්භාරයක් උපයා ඇති බවද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, ප්‍රති-ත්‍රස්ත පොලීසියේ අත්අඩංගුවට පත් ඔහුට එරෙහිව පවතින චෝදනාවන්ට මුහුණදීම සඳහා ස්පාඤ්ඤය වෙත පිටුවහල් කර තිබේ.

යුරෝපීය ජිහාඩ් ජාලයේ ආගමික නායකයෙකු ලෙස පෙනී සිටිමින් මුස්ලිම් තරුණයන් තුළ ජිහාඩ් අන්තවාදය වැපිරූවෙකු ලෙස ඔහු හඳුනාගෙන ඇති අතර, ඔහුගේ ආභාෂය ලැබූවෙකු බැටකැලන් ප්‍රහාරයේ ත්‍රස්තයෙකි.

ඔහුගේ අගමික ප්‍රචාරක වීඩියෝ සඳහා 16,000ක පමණ අනුගාමිකයන් පිරිසක් සිට ඇති අතර, ඒ ඔස්සේ ඔහු විශාල මුදලක් උපයා ඇත.

ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී බර්මික්හැම් නුවර කුලී නිවසක තම බිරිඳ හා දරුවන් සමග රැඳී සිට ඇති අතර, ඔහුගේ බිරිඳ මෑතකදී සිය අටවැනි දරුවාද ප්‍රසූත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

පිළිකා සුව කිරීමට ජාන තාක්ෂණය

ජාන තාක්ෂණය හරහා පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

මේ වන විට ජාන තාක්ෂණය හරහා 'කයිරුඩා' නමින් ලෝකයේ බොහෝ රටවල් පිළිකා රෝගීන් සුවපත් කිරීමට භාවිත කරනු ලබයි.

මෙම ඖෂධ භාවිත කොට ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සුවපත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බවත් අදාළ ප්‍රතිකාර කිරීමට හැකි වෛද්‍යවරුන් 07 දෙනෙකු දිවයින තුළ සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

28 ඇවිත් යාමෙන් ඔබිබට

ලංකා චිත්‍රපට කර්මාන්තය තුළ වෙනස් ආරක් ගෙන ඒමට උත්සාහ කළ චිත්‍රපටයක් ලෙස '28' හඳුන්වන්න පුළුවන්. මේ නිසාම '28' චිත්‍රපටය බොහෝදෙනාගේ කතිකාවට ලක්වුණි.

'28' චිත්‍රපටය සම්බන්ධ සංවාදශීලී කතිකාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශය වන 'වෙනසක තාරුණ්‍ය'  විසින් සංවිධානය කළේය. විදර්ශන කන්නන්ගර, සුජිත් කුරුවිට මෙම සංවාදශීලී කතිකාවේදී අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

සුජිත් කුරුවිට

''මුලින්ම '28' චිත්‍රපටය ආරම්භ වෙන්නේ ඇළහැර ප්‍රදේශයේ මැණික් කර්මාන්තයේ නියැළී ඉන්න කම්කරුවෙක් වන අබසිරි පතල ඇතුළේ ඉල්ලම් කඩන දර්ශනයකින්. ඒ අවස්‘ථාවේ ඔහුගේ වෘත්තීය සගයා වන මනී කියන තරුණයා කාන්තාවන් සම්බන්ධ මායම් හැටහතර ගැන කියවනවා. ඒ වගේම මේ චිත්‍රපටය තුළ  ග්‍රාමීය සමාජයේ ලිංගිකත්වය කියන කාරණය ස්ථානගත වී ඇති අයුරු කතා කරනවා. 

සුද්දිගේ මිනිය ගමට අරන් එන වෙලාවෙදි අබසිරිගේ තාත්තා සුද්දිව දකින්න උත්සාහ කරන්නේ අර පෙට්ටිය ඇරලා බලලා නෙමේ. එයා සුද්දිව දකින්න උත්සාහ කරන්නේ ගමටම පළවෙනි වතාවට හැදුවයි කියන නාන කාමරයේ කවුළුවෙන්.

ඔහුගේ හිතේ ඇඳුන සහ ඔහුගේ කම්පනයත්, ඒ ඇතිවුණ සිදුවීමත් තියෙන්නේ එතන. අවුරුදු 50කටත් වඩා ජීවිතය ගත කරපු, දරුවන් හදපු කෙනෙක් වුණාට අපිට හිතාගන්න පුළුවන් ඔහු කාන්තා නිරුවත කියන එක ආලෝකය සහිතව දැකලා නෑ කියන දේ.  ඒ නිසා තමා සුද්දි නානකොට කවුළුවෙන් බලන්නේ.  

ඒ වගේම චිත්‍රපටයේ තවත් තැනක සුද්දි කියනවා 'අබසිරි මගේ හෙළුව ඇත්තටම දැක්කෙ මල් ශාලාවේ එම්බාම් කරන මේසෙ උඩදි' කියලා. එතකොට අබසිරිගේ, අබසිරිගේ තාත්තාගේ ලිංගික ජීවිතයේ සත්‍ය තත්ත්වය ඒකයි.

මේ කියන තත්ත්වය ඇතුළෙ සුද්දි දිහා මාමණ්ඩි කවුළුවෙන් බැලුවට වැරදිකාරිය වෙන්නෙ සුද්දි. එදායින් පසු ගමේ අය සුද්දිට කතා හදනවා. මේ චිත්‍රපටය ඇතුළෙ අපි හිතන්නෙ රැඩිකල්ම චරිතෙ සුද්දි කියලා.

ඇත්තටම අපේ සමාජයේ ගොඩක් චරිත මේ දේවල් දරාගෙන ජීවත් වෙනවා. නමුත් සුද්දි තීරණය කරනවා මෙය දරාගෙන ජීවත් වීම නෙමේ මේ දෙයට එරෙහිව යායුතුයි කියලා. 

ඒ වගේම සුද්දි නගරයට ආවට පස්සෙ සුද්දි බලාපොරොත්තු වෙන විමුක්තිය හම්බවෙනවද කියන එක ගැටලුවක්. නගරයේ සහ ගමේ ඇතුළෙ මිනිස්සුන්ගෙ චින්තනයේ තිබෙන ප්‍රශ්නය ඒ හරහා අපට නැවතත් මතුකරනවා.

නමුත් නගරයේ සිදුවන ගනුදෙනු ගම ඇතුළෙ සිදුවන්නේ වෙනස් ආකාරයකට. ඒ ගනුදෙනු වල අවසානෙදි හෙම්බත් වුණ මිනිස්සු අපිට පෙන්වනවා. අවසානයේ ජීවිතේ සොයාගෙන ගිය සුද්දිට ජීවිතේ පැරදිලා ආපහු ගමට එන්න වෙනවා. 

ඒ වගේම චිත්‍රපට දිගහැරෙද්දී මේ ලෙනින් කියන චරිතයත් සුද්දිගේ ගනුදෙනුකරුවෙක්. දුරකථන ඇමතුමකින් ඒ බව හෙළිදරව් කර ගන්නවා. ඉතිං මේ ගනුදෙනුකරුවෝ, ඒ ගනුදෙනුවට ලක්වෙන හුවමාරු භාණ්ඩ බවට පත්වුණ මිනිසුන් තමා අවසානයේදී ඒ පළා ගොස් හොයන්න ගිය විමුක්තිය ඇතුළෙත් හම්බවෙන්නෙ. මේ ධනවාදී ආර්ථිකය ඇතුළෙ මිනිසුන්ට වෙලා තියෙන්නේ මේ දෙයයි.

අනිත් අතට ඉතා සියුම් විදියට මේ චිත්‍රපටයේ හොයාගන්න පුළුවන් එහෙම ගනුදෙනු බවට පත්වුණ මිනිසුන් ඇතුළෙ තමන්ගේ අහිමි වෙමින් යන මානව හැඟීම් ආපසු මිනිස්සුන් තුළ උඩට එන්න දඟලන උත්සාහය. අපිට ඒ බව දකින්න පුළුවන් ලෙනින් කියන චරිතය ඇතුළෙ. 

මේ චිත්‍රපටය ඇතුළෙ ගොඩක් වෙලාවට කතා වුණා අපේ සමාජයේ ලිංගිකත්වය කියන්නේ කුණුහරුපයක් යන කාරණය. එය මිනිසුන් විඳවන ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. කාන්තාව විඳවන්නියක් බවට පත්වුණ එක කොහොමද වුණේ කියන කතාව සාකච්ඡාවට ඇවිත් තිබෙනවා.''

විදර්ශන කන්නන්ගර

''මේ චිත්‍රපටය සම්බන්ධව මම ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ සංවාදයකට සම්බන්ධ වුණා. එයට ප්‍රසන්න ජයකොඩිත් සම්බන්ධ වුණා. ප්‍රසන්න දිගින් දිගටම මේ චිත්‍රපටය ස්ථානගත කරන්න හදන්නේ එයාගේ ප්‍රචාරණ වැඩපිළිවෙළ ඇතුළේ ලිංගිකත්වය කියන්නේ ප්‍රජනනය සඳහා තිබෙන එකක් කියලා.

ඒ කියන්නෙ පවුලේ සාමය, සමගිය, ප්‍රජනනය සහ ස්වාභාවිකවාදය කියන දේ තුළ තිබෙන්නේ කියල ඔහු කියනවා. නැහැ මේ දේ නෙමේ කියන එකයි මගේ අදහස. මොකද ලිංගිකත්වය කියන එක ස්වාභාවික වාදයක් නම් ස්වයං වින්දනය කරන්නේ කොහොමද? 

28 චිත්‍රපටයේ මූලිකව  ස්ථානගත වෙන්නේ ලිංගිකත්වය ස්වාභාවිකයි, ලිංගිකත්වය ජීව විද්‍යාත්මකයි සහ ලිංගිකත්වය යම් විදියක පවුල්වාදීයි කියන දේ. පවුල තුළ තමා ලිංගිකත්වයට ආරක්ෂිත ස්ථානය තියෙන්නේ කියන එක චිත්‍රපටයේ නතුවෙන එක නවන්තන්න බැහැ.

සංස්කෘතික වශයෙන් පසුගාමී තත්ත්වයක ගමන් කරන රටක චිත්‍රපටය විසින් ධනාත්මක කාරණයක් කරනවා. මම ඒක නෑ කියන්නෙ නැහැ. චිත්‍රපටය තුළ අදාරය, ලිංගිකත්වය, පවුල කියන දේ ඒ වගේම ජීවිතය පිළිබඳ සංවාදයක් ගොඩනඟන්න සමත් වෙනවා.  

පසුගාමී ආසියාතික ලිංගිකත්වයක් ඇති, පීඩනයට පත් වුණ ස්ත්‍රියක් සහ අවසාන වශයෙන් ඒ ඉරණමට පාත්‍ර වුණ සැමියා වන අබසිරි සහ නාගරික ජීවිතයක් ගෙවන ලෙනින් යන චරිත මගින් උද්වේගකර සාංතෘෂ්ටිකර චිත්‍රපට රැසක ලක්ෂණ පෙන්වා තිබෙනවා.

උදාහරණයක් ලෙස මේ චිත්‍රපටය පුරා තිබෙන්නේ මිනී පෙට්ටියක් රැගෙන යන සංචාරයක්. මේ වගේ චිත්‍රපට ලංකාවේ හරි අඩුයි. ඒ ඔස්සේ ලංකාවේ තිබෙන පසුගාමීත්ව දේශපාලනය සහ සංස්කෘතියට අදාළ දේ මේ චිත්‍රපටයේ ස්පර්ෂ කර තිබෙනවා. 

ඒ වගේම චිත්‍රපටය මූලික වශයෙන් ගම සහ නගරය අතර තිබෙන ශිෂ්ට, අශිෂ්ට දෙක ගෙන එනවා. එහි ග්‍රාමීය පවුල් වල ඛේදවාචකය පෙන්වන අතරෙම පෙන්නවා නාගරික සමාජයේ ඇති ඛේදවාචකය. එය කතිකාවට නැගිය යුතුම තැනක්.''

වඳුරන්ට වෙඩි තියන්න වායු රයිෆල්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් 'සයිටම්' ‍සම්බන්ධයෙන් මෙම සතිය තුළ රට තුළ දැවැන්ත ලෙස කතාබහට ලක්විය. එමෙන්ම විවිධ කරුණු කාරණා මුල්කර ගනිමින් දැවැන්ත උද්ඝෝෂණ, වැඩ වර්ජන කිහිපයක්ම මෙම සතිය තුළ පැවැත්විණි.

කෙසේ වුවද කුමන තත්ත්වයක් යටතේ හෝ සයිටම් ජනසතු නොකරන බවත්, සිදුකරන්නේ ප්‍රමිතිගත කිරීමක් බවත් මෙවර කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කියා සිටියේය.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා සමග නිල සාකච්ඡාවක් නොකළ බවද ඔහු කීවේය.

මේක හොර සාකච්ඡාවක්

මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව ඇති සයිටම් සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු කෙරුණේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් පසුවය. 

එහිදී අදහස් දැක්වූ ඇමති චම්පික රණවක කියා සිටියේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොටස් වෙළෙඳ පොළට ඇතුළත් නොකර භාරයක් මගින් පාලනය කළ යුතු බවයි.

එයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රී පැවසුවේ, 

''රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගෙත් එක්ක පැවැත්වූ සාකච්ඡාව නිල නොවන සාකච්ඡාවක්. අපේ නිලධාරීන්ට බලපෑම් කරලා තමයි සාකච්ඡාව ලබාගත්තෙ. සාකච්ඡාව ආරම්භයේදීම මම කිව්වා මේක නිල නොවන සාකච්ඡාවක් බව. මේක හොර සාකච්ඡාවක් කියලා මම එයලාට කිව්වා.

මේ සාකච්ඡාවේ ඡායාරූපවත්, ලිඛිත සාක්ෂිවත් නැහැ. 

ඔවුන්ට මම කිව්වේ සයිටම් අර්බුදය පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය කඩිනමින් ප්‍රකාශයට පත්කරන්න අපි කටයුතු කරනවා කියලා. නිල සාකච්ඡාවක් නොතිබුණු නිසා සාකච්ඡාව පිළිබඳ මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. අඟහරුවාදා එක්තරා පත්තරයක මුල් පිටුවේ තිබූ ප්‍රවෘත්තියත් වැරදියි.

මගේ ලේකම් පී.බී. අබේකෝන් රජයේ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා පැවැත්වුවේ නැහැ. ඔහු අසනීප තත්ත්වයෙන් සිටියේ. මගේ අතිරේක ලේකම්වරු හෝ වෙනත් ලේකම්වරු මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වුවේ නැහැ. මේ ප්‍රශ්නය ගැන මම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් සමග සාකච්ඡා කළා. මීට වඩා සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නැහැ'' යනුවෙනි.

එවිට අදහස් දැක්වූ චම්පික රණවක කියා සිටියේ, 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැනි වෘත්තීය සමිති සමග මෙවැනි කාරණා පිළිබඳ සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා පැවැත්වීම වැදගත් බව ඔහු කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී කැබිනට් මණ්ඩලයේ සිටි සියලුම අමාත්‍යවරුන් එම අදහස අනුමත කර සිටි අතර, මෙහිදී අදහස් දැක්වූ ඇමති රාජිත සේනාරත්න සඳහන් කළේ පීඨාධිපතිවරුන් සමග සාකච්ඡා පැවැත්වූ බවයි.

''එහිදී ඔවුන් වෛද්‍ය සිසුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සාකච්ඡා කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කලබලය සිදූවූ දින රූපරාමුවලින් තමයි එම සිසුන් අත්අඩංගුවට ගන්නෙ. පීඨාධිපතිවරුන්ගේ ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කරන බව මම ඔවුන්ට දැනුම් දුන්නා'' යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

එවිට ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම කලබලය පිටුපස සිටින්නේ පෙරටුගාමී පක්ෂය බවත්, එම බලවේගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අමාත්‍යවරුන්ගේ වගකීම බවත්ය.

කවුරුවත් දුරකථන ගෙනත් නැහැ

කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගන්නා කැබිනට් පත්‍රිකා පිළිබඳ අමාත්‍යවරුන් දක්වන අවධානය අඩු බවට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. එයට හේතුව ජංගම දුරකථන බවත්, ඒ නිසාවෙන් මීළඟ සතියේ සිය දුරකථන ගෙන නොඑන ලෙසත් ජනාධිපතිවරයා ඇමතිවරුන්ට තරමක් දැඩි ස්වරයෙන් කියන්නට විය.

කෙසේ හෝ මෙවර කැබිනට් මණ්ඩලය සහභාගි වූ අමාත්‍යවරුන් ජංගම දුරකථන නොමැතිව කැබිනට් මණ්ඩලයට සහභාගි වූ අතර සියලු දෙනා මේ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාද සතුටු විය.

හැම දෙයකටම මම යන්න ඕන නැහැ

මෙවර කැබිනට් රැස්වීම ආරම්භ වූයේ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ දැනුවත් කිරීමත් සමගය. 28 වැනි බදාදා දින උද්ඝෝෂණයක් පවත්වමින් ජනතාව මෙම ව්‍යාපෘතියට විරෝධය පළකරන බව හරීන් ප්‍රනාන්දු කියා සිටියේය. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විමසා සිටියේ, 

ඒකට ඔබතුමා යෝජනා කරන විසඳුම මොකක්ද? යන්නය. මෙම ව්‍යාපෘතිය නතර කළ යුතු බව හරීන් ප්‍රනාන්දු පිළිතුරු ලෙස සඳහන් කළේය. 

එවිට ජනාධිපතිවරයා පවසා සිටියේ, 

''ව්‍යාපෘතියේ කටයුතු සියයට 75කටත් වඩා අවසන් වෙලා තියෙන්නෙ. පසුගිය රජය උමා ඔය ආරම්භ කළේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් නැතුව'' යනුවෙනි. එවිට හරීන් ප්‍රනාන්දු පැවසුවේ, බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස ඉරිතලා ගොස් ඇති බවත්, බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන ගොඩනැගිලි දෙකක් ඇලවී ඇති බවත්ය.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා පැමිණ මේ පිළිබඳව නිරීක්ෂණය කර තීන්දුවක් ලබාදෙන්නේ නම්, එය වඩා යහපත් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේය. 

එයට සවන් දුන් ජනාධිපතිවරයා ''හැම එකටම මම යන්න ඕනේ නැහැ'' යැයි පවසා සිටියේය.

එවිට කැබිනට් මණ්ඩලයේ සිටි ඇමතිවරුන් සඳහන් කර සිටියේ, ''ඔබතුමා හැම දේකටම යන්න එපා. එහෙම නම් ඇතැම් වෘත්තීය සමිතිත් සමග සාකච්ඡා පැවැත්වීමත් නතර කළ යුතුයි'' කියාය.

මෙම සාකච්ඡාවට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, බණ්ඩාරවෙල නගර වැසියන් පානීය ජල අර්බුදයකට මුහුණ දී ඇති බවත්, ඊට පිළියම් යෙදිය යුතු බවත්ය. 

අවසානයේ මහින්ද අමරවීර, විජිතමුණි සොයිසා සහ චම්පික රණවක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා විසඳුම් සෙවීමට කමිටුවක් පත් කරන ලදී. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරමින් මෙයට විසඳුම් සෙවීමේ වගකීම කැබිනට් මණ්ඩලයේදී පැවරිණි.

තව කල් බලාගෙන ඉන්න බැහැ

ගිං, නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳවද කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමු කරන ලදී. එහිදී ඇමති රාජිත සේනාරත්න පැවසුවේ මෙම ව්‍යාපෘතියේ මුදල් 2015 ජනවාරි 08 දින චෙක්පතක් මගින් ලබාගෙන ඇති බවයි. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා. මෙය සාමාන්‍ය දෙයක් නොවෙයි.

රාජපක්ෂලාගේ කොමිස් ගෙවන්න තමයි මෙම මුදල් ලබාගෙන තිබෙන්නෙ. ඩුබායි බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂණ පවත්වන අය මට ප්‍රකාශ කළා ගිං, නිල්වලා ව්‍යාපෘතියේ මුදල්ද ඩුබායි බැංකු ගිණුමකට බැරකර තිබෙනවා කියලා. මේ පිළිබඳව තවදූරටත් සොයා බැලීම අත්‍යවශ්‍යයි.

මෙම සිද්ධිවලට සම්බන්ධ උදයංග වීරතුංග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජනාධිපතිවරයා සඳහන් කළේ ඔහුට එරෙහිව රතු නිවේදනද නිකුත් කර ඇතත්, ඔහු රටින් රටට මාරුවෙමින් සිටින බවයි. එවිට ඇමති මංගල සමරවීර කියා සිටියේ, රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රය පසුගිය ඉරිදා තහනම් කළ බවයි. 

''රතු නිවේදන නිකුත් කර ඇති පුද්ගලයෙකුගේ රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රය තහනම් කිරීමට පෙරේදා වෙනකන් බලාගෙන හිටියා. තවකල් බලාගෙන ඉන්න බැහැ. හිටපු ජනාධිපතිවරයා යනයන තැන්වල ඔහු ගමන් කරනවා'' යැයි මංගල සමරවීර පැවසීය.

ඔහුගේ ගුවන්ගමන් බලපත්‍රය 2015 ජනවාරි 08න් පසු වලංගු නොවන බව ඇමති රාජිත සේනාරත්න අවධාරණය කර සිටියේය.

අපට මේ ලෙඩේ බෝ කළේ පතිරාජ

ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ දෙවැනි සුසමාදර්ශය නම් වූ ආචාර්ය ධර්මසේන ජතිරාජයන් සිනමාව වෙනුවෙන් පනස් වසරක් පුරාවට ඉටුකළ සේවය අගය කිරීමේ උලෙළ 'පතිට පනහයි' නමින් චිත්‍රපටි සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. 

උපහාර පුදකිරීමේ උත්සවයට හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙන්ම, මැති ඇමතිවරු, ප්‍රවීණ කලාකරුවෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

උත්සව සභාවේදී ප්‍රවීණ කලා ශිල්පි ධර්මසිරි බණ්ඩාරනායකයන් රහසක් හෙළි කළේය. ඒ පිළිබඳව ඔහු පැවසුවේ මෙවැන්නකි.
පතිරාජයන් 'අහස් ගව්ව' හදපු නිසා තමයි ධර්මසිරි 'හංස විලක්' හැදුවේ. මම හැමදාම ඒ කතා කියනවා. එතුමා 1974 හදපු ප්‍රථම චිත්‍රපටය 'අහස් ගව්ව'. අපි පාසල් යන කාලයේදී පුදුම ආසාවෙන් බැලුවේ.

'අහස් ගව්ව' කොච්චර අපේ තරුණ ජීවිතවලට සමීප වුණාද කිව්වොත් අමරසිරි කළංසූරිය වගේ අපි කොණ්ඩේ පීරන්නෙ නැතුව හිටියා. තාම මම කිසිම දවසක කමිසයේ උඩ බොත්තම දාන්නේ නැහැ. මම බොත්තම දැම්මේ නැත්තේ අමරසිරි නිසයි. 'අහස් ගව්වේ' රඟපාන කොට අමරසිරි මම හිතන්නේ කලිසම හෝදන්නේ නැහැ. අපිත් කලිසම් හෝදන්නෙ නැතුව හිටියා. ඒ තමයි පතී අපට කරපු උදව්ව. 'අහස් ගව්ව' නිසා තමයි අපටත් චිත්‍රපටි කරන්න පුළුවන් කියන විශ්වාසය තැබුවේ.

'පළගැටියෝ' චිත්‍රපටියේ රඟපාපු මට ජාතික චිත්‍රපට උලෙළේදී සම්මානයක් ප්‍රදානය කළා. ඊට පස්සේ මම පුවත්පතක දැක්කා එවකට හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කියලා තියෙනවා අඩුම ගාණෙ ෂර්ට් එකක් ඇඳපුවාම බොත්තමක්වත් දාන්න බැරි නළු නිළියෝ තමයි මෙතැන සම්මාන ගන්නේ කියලා. මගේ නම සඳහන් කරලා කියලා තිබුණා.

ජයවර්ධන මහත්තයා ජීවතුන් අතර නැති නිසායි මම මේ කියන්නෙ. එතුමා ජීවතුන් අතර හිටිය නම්, එතුමා නැතිවෙනකම් ඉඳලා මම මේක කියනවා. එතුමා දැනගෙන හිටියේ නැහැ අපට මේ ලෙඩේ බෝ කළේ පතිරාජ කියලා.'' 

සොරකමට වැට

පසුගිය සතියේ දිනයක ඇමති සජිත් ප්‍රේමදාස සිය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් කැඳවා නැගුවේ බරපතළ චෝදනාවලියකි. 

''ඔය හැම ආයතනයකටම මම වෙස්වලා ගත් කණ්ඩායම් යවල තියෙන්නෙ. ඒ අය මට හැම දෙයක්ම වාර්තා කරනවා. වාහනේකට ලීටර් 120ක් තෙල් ගැහුවා කියල බිලක් ගෙනාවට ගහන්නෙ ලීටර් 85යි. ලීටර් 35ක සල්ලි සාක්කුවේ.

පිරවුම් හල්වලින්මයි මට මේ ආරංචිය එන්නෙ. මේ වගේ අක්‍රමිකතා කරන අය සම්බන්ධව දැඩි පියවර ගන්න, ඒ අයට එරෙහිව විනයානුකූල පියවර ගන්න.

මම මගේ නිල නිවස, වාහන, වැටුප්, දීමනා, වරප්‍රසාද නොගෙන සේවය කරද්දී මේ හොරු ආයතන කාබාසිනියා කරනවා. පසුගිය ආණ්ඩුව කාලේ කරපු හොරකම් මගේ කාලේ බෑ. ඒක හොඳින් මතක තියාගන්න'' සජිත් කතා කළේ කෝපයෙනි. 

ඇමති සජිත්ගේ ප්‍රකාශය අසා සිටි එම නිලධාරීන් මුහුණට මුහුණ බලාගත්තේ විමතියෙනි.


 
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ත්‍රිකුණාමලයේ

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සතියේ වැඩි අවධානයක් යොමුකර තිබුණේ ජූලි 03දා ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන රැලිය සාර්ථක කර ගැනීමේ කටයුතු වලටය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා පැවැති කුඩා රැස්වීම් ඇමතීමට මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් සහභාගී වූහ.

තාරක බාලසූරිය, ෂෙහාන් සේමසිංහ, ඉන්දික අනුරුද්ධ, නාමල් රාජපක්ෂ, පද්ම උදය ශාන්ත ගුණසේකර, ප්‍රසන්න රණවීර, පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ ත්‍රිකුණාමලයේ නතරවී කුඩා රැස්වීම්වලට සහභාගී වූහ. මොරවැව පැවති කුඩා රැස්වීම්වලට විමලවීර දිසානායක සමග පද්ම උදය ශාන්ත, සනත් නිශාන්ත එක්විය.

තඹලගමුව පැවති  කුඩා රැස්වීම්වලට ඉන්දික අනුරුද්ධ සමග තාරක බාලසූරිය එක්විය. මුස්ලිම් හා දෙමළ ජනතාව වැඩි වශයෙන් සිටින ත්‍රිකුණාමලයේ ජනමතය මේ වන විට ඒකාබද්ධ විපක්ෂය දෙසට තල්ලු වී ඇතැයි  කුඩා රැස්වීම් අවසානයේ මන්ත්‍රීවරුන් සිදුකළ සාකච්ඡාවේදී එකිනෙකා පවසන්නට විය. ජූලි 03දා පැවැත්වෙන ප්‍රධාන රැලියේ සංවිධාන කටයුතු බාරව සිටින විමලවීර මෙහිදී කීවේ, 

''කලින් තිබුණු මහින්ද රාජපක්ෂ විරෝධය මුස්ලිම් ජනතාවගෙන් පහව ගොස් තිබෙනවා.‘ ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් මෙම රැලියට සහභාගි වේවි කියලා අපිට විශ්වාසයක් තියන්න පුළුවන්. මොකද රැස්වීම්වලට ආපු මුස්ලිම්, දෙමළ ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා'' ‘යනුවෙනි.

එක ගෙදර අය සයිටම් සටනේ

සයිටම් ආයතනයට විරුද්ධ කණ්ඩායමේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණද සිටියි. පසුගිය කාලය පුරා පැවැති විරෝධතාවලදී ඔවුන්ගේ දායකත්වය දැකිය හැකි විය. ඔවුන්ගේ පැරණි මිතුරුකම් යළිත් අලුත්කර ගැනීමටද සයිටම් සටන උපකාරයක් වී තිබේ. දෙමාපිය සංසදයේ සභාපතිවරයාගේ මුල් දේශපාලනයද ජවිපෙ විය.

සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වූ සරසවි සිසුන්ට පහරදීමට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංසදය විසින් විහාර මහා දේවි උද්‍යනය අසල සිට කොටුව දුම්රියපළ දක්වා පසුගිය බදාදා පාගමනක් සංවිධානය කර තිබුණි. විරසරකව සිටින පැරණි මිතුරන්ට යළි සුහදත්වයක් ඇතිකර ගැනීමට  මෙම පාගමන ද  දායක විය.

පාගමන අවසානයේදී දෙමව්පියන් සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර, ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ, ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස ඇතුළුව දේශපාලඥයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

'සයිටම් සටනේ සිටින සියලුදෙනාගේ මහගෙදර බලද්දී ජවිපෙ තමයි' ජයන්ත සමරවීර මෙහිදී කිවේය. ජයන්ත සහ පුබුදු අතීතයේ ජවිපෙ කලා සංගමයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ආගිය තොරතුරු කතා කරමින් සිටියදී අවට සිටි අය කීවේ 'දෙන්නා ඉතිං යාළුවෝ නේද' කියාය. 

''ඇයි නලින්ද කතාබහක් නැත්තේ.. මොකද?'' කියා ජයන්ත මෙහිදී විමසීය. 

''මං නලින්දට කතා කළා.. ඒත් එයා කතා කළේ නෑ..''‘ එවිට පුබුදු කීවේය. 

''නලින්ද අපිත් එක්ක එකට වාඩි වෙලා ඉන්න එක ගැන සතුටුයි… පුබුදු ඇයි ජනිපෙ පටන් ගන්නකොට අපිත් එක්ක ආවෙ නැත්තේ? අපි මේ සටනේ දිගටම හිටියා.. .සයිටම් ජනසතු වෙන්න ඕන කියන මතයෙන් අපි බැහැරවෙලා නෑ… හැබැයි හූ කියනව නම්, බාධා කරනව නම්, අපිව මග ඇරලා යනව නම් එක වේදිකාවක් තුළ අපිට එකතුවෙන්න බැරිවෙන්න ඇති'' ‘ජයන්ත අනතුරුව පැවසුවේය. 

මෙම සත්‍යග්‍රහයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර තිබුණු අතර, එම අවස්ථාවට සහභාගී වූ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාට උද්ඝෝෂකයන්ගෙන් විරෝධය පළවූහ. ජනතාව  වාසුදේවට හූ කියමින් එම විරෝධය පළකරන ආකාරය දැකිය හැකි විය. ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උමා ඔය ගැන දවල් 12ට පිළිනොගත් ජනපති පොරොන්දුව සවස 5ට පිළි අරන්

උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව පසුගිය බදාදා බණ්ඩාරවෙල නගරයේදී පැවති හර්තාලය සහ උද්ඝෝෂණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය වැඩි දායකත්වයක් ලබාදී තිබුණි.

එජාපය වෙනුවෙන් චමින්ද විජේසිරිද, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සමන්ත විද්‍යාරත්නද  එම උද්ඝෝෂණයට එක්ව සිටියහ. උද්ඝෝෂණයක් පවත්වා බණ්ඩාරවෙල නගරයේ සියලු කටයුතු ඇනහිට ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට  දැනගන්නට ලැබුණු විට ඔහු හරීන් ප්‍රනාන්දුගෙන් ඒ ගැන විමසීය.

''ඔව් සර් සෙනඟ ගොඩක් නගරයේ ඉන්නවා… ඒ මිනිස්සුන්ට සහනයක් දෙන්න වේවි'' කියා හරීන් පැවසීය. 

අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මේ පිළිබඳව සැළ කළ අතර, කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව කීවේය. එසේනම් සිකුරාදා සවස පහට තමාගේ  නිවසේ සාකච්ඡාවක් ලබාදිය හැකි බව මෛත්‍රී පැවසුවේය. අනතුරුව උද්ඝෝෂණ භූමියේ සිටි චමින්ද විජේසිරිට  දුරකථන ඇමතුමක් ගත් අගමැති රනිල් කීවේ සිකුරාදා සාකච්ඡාවකට ජනාධිපති එකඟ වූ බවයි.

උද්ඝෝෂකයන්ට ඒ ගැන කියන්නැයි අගමැති රනිල් කීවේය. හරීන් ප්‍රනාන්දුද  චමින්ද විජේසිරිට මේ බව දන්වා සිටියේය. අගමැති රනිල් නැවත වරක් දුරකථන ඇමතුමක් ගෙන චමින්ද විජේසිරිට කීවේ ජනතාව සන්සුන් කර කරුණු පැහැදිලි කර දෙන ලෙසයි.

දහවල් 12ට පමණ චමින්ද විජේසිරි ජනාධිපතිවරයාගේ සාකච්ඡාව සම්බන්ධ  ලියවිල්ල ෆැක්ස් මාර්ගයෙන් ගෙන්වා ගෙන ජනතාවට පෙන්නුවද ඔවුන් උදඝෝෂණය අත්හැරීමට සූදානම් නොවීය.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තීරණය උද්ඝෝෂකයන්ට දැනුම්දීමට චමින්ද විජේසිරි දැඩි උත්සාහයක් ගත්තද සමන්ත විද්‍යාරත්න කීවේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ලැබෙනතුරු උද්ඝෝෂණය අත්නොහරින බවයි.

කෙසේ වෙතත් සවස 5 ට පමණ ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයෙකු විසින් ජනාධිපතිවරයාගේ ලිඛිත පොරොන්දුව කියවීමෙන් පසුව උද්ඝෝෂණය අත්හැරීමට තීරණය විය.

නාමල් මෛත්‍රී හමුවෙයි

ජවිපෙ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මේ වන විට කටයුතු කරන්නේ ගොවි ජනතාවගේ ගොවි නායකයා ලෙසිනි. පසුගිය කාලයේ වී ගොවියන්ගේ ගැටලුවට, සහල් පාරිභෝගිකයන්ගේ ගැටලුවලට, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ ගැටලුවලට, පොහොර සහනාධාරය නොලැබීමේ ගැටලුවට, නියං සහනාධාර ලබානොදීමේ ගැටලුවට, කිරි ගොවියන්ගේ ගැටලුවටද හෙතෙම මැදිහත් වූවේය. නාමල් කරුණාරත්න ජාතික සංවිධායක ධුරය දරන සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම සියලු කටයුතු සඳහා මැදිහත් විය. 

හම්බන්තොට, මොණරාගල, මීරිගම ගොවියන් පමණක් නොව මුලතිව්, කිලිනොච්චි, මන්නාරම් ගොවියන් පවා නාමල් කරුණාරත්නට එම දිස්ත්‍රික්කවලට පැමිණෙන ලෙස ආරාධනා කළ බව නාමල් කරුණාරත්න වරෙක පැවසීය.

මෙම ආරාධනා සියල්ලටම ප්‍රතිචාර දැක්වීමට නොහැකි වුවත් නාමල් කරුණාරත්න හැකි ආකාරයෙන් එම දිස්ත්‍රික්කවලට ගොස් ගොවි ජනතාව සමග ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමටත්, පාලකයන්ගේ අවධානය එම ගැටලූ වෙත යොමු කිරීමටත් කටයුතු කරමින් සිටින බව ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළේය.

”අපි ඔබතුමා ටීවී එකෙන් විතරයි දැකලා තිබුණේ. අපේ ප්‍රශ්න ගැන කතා කරන්න ඉන්නේ ඔබතුමා විතරයි. අපිව බලන්න ආපු එක ලොකු පිනක්”  පසුගියදා මුලතිව් ප්‍රදේශයට ගිය නාමල් කරුණාරත්නට එම ප්‍රදේශයේ ජනතාව කියා තිබුණි.

මේ අතර කිරි ගොවියන්ගේ ගැටලු ගණනාවක් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරවීම සඳහා පසුගිය විසිපස් වෙනිදා දඹුල්ලේදී කිරිගොවියන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සමග ඒකාබද්ධව උද්ඝෝෂණයක් පැවැත්වීය. එයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා විසින් 29 වෙනිදා පෙරවරුවේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයට සාකච්ඡාවක් ලබාදුන්නේය. නාමල් මෛත්‍රී හමුවූයේ එලෙසිනි.

ඔබතුමාලට මොනවද මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම් පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම අමාත්‍යාංශ අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විජිත හේරත් මන්ත්‍රීවරයාය.

පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් මෙම කමිටුවට කැඳවා තිබිණි. එහිදී ප්‍රධාන සාකච්ඡාව බවට පත් වූයේ කෘමි සතුන් නොවන වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානි නිසා ගොවිජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳවය. 

''මොනරුන්, ඌරන්, ලේනුන් ඇතුළු සත්ත්වයන්ගෙන් වී ගොවිතැනට, ධාන්‍ය වගාවන්ට, කෙසෙල්, මඤඤොක්කා ඇතුළු වගාවන්ට සිදුවන හානි වැළැක්වීමට මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යංශය පවා විසඳුමක් දීලා නැහැ.

ගොවියන්ගෙන් පැමිණිලි එනවා මේවා ගැන. නියඟයෙන්, පොහොර සහනාධාර නැතුව බැට කන ගොවියට මේකත් විශාල ප්‍රශ්නයක්. ඔබතුමාලට මොනවද මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම්''

විජිත හේරත් කාරක සභාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. ''වඳුරන්ට වෙඩි තියන්න වායු රයිෆල් දෙනවා. සත්තු එලවන්න ගොවියෝ එක එක දේවල් කරනවා. ඒත් මේකට නිශ්චිත විසඳුමක් නැහැ මන්ත්‍රීතුමා'' නිලධාරීහු කියා සිටියහ. 

''මේක ලොකු ගැටලූවක් වෙලා තියෙන්නේ. ඒ නිසා විසඳුමක් හදන්න වෙනවා. ඒ නිසා ඔබතුමාලා මේකට හරියන විසඳුමක් යෝජනා කරලා නිර්දේශ සහිත වාර්තාවක් හදන්න. අපි ඊළඟ රැස්වීමේදී මේක සාකච්ඡා කරමු'' විජිත හේරත් කියා සිටියේය. 

මේ අතර කාරක සභාවේ සාමාජිකයෙකු වන රතන ස්වාමින් වහන්සේ විසින් ග්ලයිෆොසෙට් පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ලියවිල්ලක් ගැනද කාරක සභාවේ අවධානය යොමු විය. මේ ගල්යිෆොසෙට් ගැටලුව ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ලබන මස 06 වෙනිදා දින යොදාගත් අතර, එදිනට වැවිලි කර්මාන්ත ඇමතිවරයාද කාරක සභාවට කැඳවීමට තීරණය විය.

 

අතපසු වු දෙයක් කරු මතක්  කරයි

පාර්ලිමේන්තුව නියෝජනය කළ අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ දේශපාලඥයන් පිළිබඳව ශෝක යේජනා ඉදිරිපත් කිරීම දිගු කලක් අතපසු වෙමින් තිබූ අතර, එම ශෝක යෝජනා කඩිනමින් ගෙන ඒම රටට විශාල සේවයක් කළ එම දේශපාලන නායකයන්ට ඉටු කරනු ලබන ගෞරවනීය යුතුකමක් බව කථානායක කරු ජයසුරිය අවධාරණය කළේය.

එමෙන්ම පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ පුළුල් ඉඩකඩක් ඒ වෙනුවෙන් වෙන් කිරීමද ආරම්භ කළේය.  ජූනි මස පාර්ලිමේන්තුවේ අවසන් සතිය නිමා වූයේද එම කෘතවේදී කාර්යය සඳහා පාර්ලිමේන්තුවේ ශෝක යෝජනා ගෙන ඒමෙනි.  

ඒ අනුව ඒ.එම්.එස් අධිකාරී, ආරියරත්න ජයතිලක, චන්ද්‍රා රණතුංග, මෛත්‍රීපාල හේරත් යන ජ්‍යේෂ්ඨ ජන නායකයන් පිළිබඳව කෘතවේදී ගුණානුස්මරණයන් සිදුවිය.  

විශේෂයෙන්ම තම ඥාතීන්ගේ ජාතික සේවය පිළිබඳව පාර්ලිමේන්තුව යළි සිහිපත් කළ එම වැදගත් දිනයෙහි ඒ ඒ පවුල්වල වත්මන් සාමාජිකයෝ පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේ කථානායකවරයාගේ ඇරයුමිනි. එම පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමූ කථානායකවරයා වෙන වෙනම ඒ ඒ පවුල්වල සාමාජිකයන් වෙත ගොස් පෞද්ගලිකවම සුව දුක් විචාළේය.

රාජ්‍ය අංශයේ සියලු ගිනුම්කරණ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයන්ට අනුව යාවත්කාලීන කිරීම සහ එකම ජාලයක් බවට පත් කරමින් සියලු අංශවලට තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සැලසීම පිළිබඳව රාජ්‍ය ගිනුම් කාරක සභාවේ විශේෂ වැඩමුළුවද මීගමුවේදී පැවැත්වුණේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී  මහජන මුදල් අවසන් සතිය දක්වාම විනිවිදභාවයකින් යුතුව රටට උපරිම ඵලදායකත්වයක් ලැබෙන ලෙස යෙදවීමේ වගකීමෙන් දේශපාලඥයන්ට මෙන්ම රජයේ නිලධාරීන්ටද මිදිය නොහැකි බව කරු ජයසූරිය මහතා දැඩිව කියා සිටියේය.

දියවන්නාරාළ විසිනි
diyawannarala@gmail.com

වවුනියාවේ අලියෙක් හක්ක පටස් බෝම්බයකට බිලි වෙයි

වවුනියාව, සාලම්බකුලම්, පූවර්සන්කුලම් පොලිස් වසමේ ඉලුප්පයිකුලම් වැව් රක්ෂිතයේ හක්ක පටස් බෝම්බයකට හසු වීමෙන් මියගිය වන අලියෙකුගේ සිරුරක් හමු වී ඇත.

දින ගණනකට පෙර කිසියම් පුද්ගලයෙකු විසින් අටවන ලද හක්ක පටස් බෝම්බයකට මෙම වන අලියා ගොදුරු වී ඇති බවට ප්‍රදේශවාසීහු කියා සිටිති.

හක්ක පටස් බෝම්බය මුඛයේ පුපුරා යාම නිසාවෙන් ආහාර ගැනීමට නොහැකිව සිටි වන අලියාට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් උත්සහ දැරුවද එම උත්සාහය අසාර්ථක වී ඇති අතර, පසුව ඉලුප්පයිකුලම් වැව් රක්ෂිතයේ මියගොස් සිටියදී එම අලියාගේ සිරුර හමු වී ඇත.

DSC_0004 DSC_0036 Snapshot(13) Snapshot(15) Snapshot(16) Snapshot(17)