Monthly Archives: May 2017

රවීගේ අවසන් අයවැය නැවත වෙනස් කරයි

2017 අයවැය මගින් සංවර්ධන ව්‍යාපෘති සහ වෙනත් කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන නැවත ප්‍රමුඛතාගත කිරීමට කැබිනට් අනුකමිටුවක් පත්කොට තිබේ.

ආපදාව කටයුතු ප්‍රතිසංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසාගැනිම සඳහාත් ආපදා නිසා හානියට පත් ගොඩනැගිලි හා අනෙකුත් ප්‍රාග්ධන වත්කම් පුනරුත්ථාපනය සිදුකිරීම පිණිසත් නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම කැබිනට් අනුකමිටුව පත්කොට ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හා  රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනඅමාත්‍ය කබීර් හෂීම් මහතා මෙම කැබිනට් අනු කමිටුව නියෝජනය කරයි.

2017 වසර සඳහා වන අයවැය 2016 වසරේදී ඉදිරිපත් කළේ හිටපු මුදල් ඇමති මෙන්ම වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක මහතායි.

 

කාලගුණ විපර්යාස බලපෑමට එරෙහිව එක්වෙමු – ගුටාරෙස්

කාලගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන බලපෑමට එරෙහිව සටන්කිරීම සඳහා ලෝකය එක්සත්ව කටයුතු කිරීම අතිශයින්ම අත්‍යවශ්‍ය කටයුත්තක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරෙස් පවසයි.

නිව්යෝක් නුවරදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා සිටියේ 2015 පැරිස් දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියෙහි අවශ්‍යතාව සම්බන්ධයෙන් කිසියම්ම හෝ රාජ්‍යයක් කුකුසකින් කටයුතු කරන්නේ නම්, සෙසු රාජ්‍යයන් විසින් මෙහි අවසන් ඉලක්කය දක්වා එක්සත්ව කටයුතු කිරීමට අධිඨන් කරගැනීමට කාලය පැමිණ ඇති බවයි.

මේ සම්බන්ධ කතාබහ යළි ඇති වූ‍යේ, G7 කණ්ඩායමේ ධනවත් රාජ්‍යයන් විසින් මෙම සම්මුතියට එකඟත්වය දක්වන බවට යළි ප්‍රතිඥා දෙනවිට, ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඊට ප්‍රතිඥා නොදෙන වටපිටාවකය.

එහිදී, මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ස්ථාවරය ඉක්මණින් ලැබෙන තුරු හෙතෙම ගුටාරෙස් බලා සිටියි.

කෙසේ වෙතත්, මීට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ ගෝලීය උෂ්ණත්වය චීනය විසින් නිර්මාණය කළ සම්පූර්ණ රැවටීමක් පමණක් බවයි. එමෙන්ම, පැරිස් සම්මුතියෙන් ඉවත්වන බවටද ඇමෙරිකානු ජනාධිපතිවරයා බලපෑම් කර තිබුණි.

එනමුදු, මීට මාස පහකට පෙර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස තේරීපත් වීමෙන් පසුව ගුටේරෙස් විසින් කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් සිය ප්‍රථම හා ප්‍රබලතම ප්‍රකාශය සිදුකරමින් පැරිස් සම්මුතිය වෙනුවෙන් ලෝකයේ බලවත් රාජ්‍යයන් ඇතුළු සියලු රාජ්‍යයන් එක්රාශී කරමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

ගංවතුර ආරක්ෂණ ආඥා පනත අහෝසියි

ගංවතුර ආරක්ෂණ ආඥා පනත අහෝසිකර නව ගංවතුර කළමනාකරණ පනතක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුකර තිබේ. ගංවතුරින් හානි සිදුවිය හැකි ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම පිණිස දැනට ක්‍රියාත්මක වෙන්නේ 1924 අංක 4 දරන ගංවතුර ආරක්ෂණ ආඥාපනතය.

මෙම පනතින් ගංවතුරින් හානි සිදුවිය හැකි ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමට විෂයභාර අමාත්‍යවරයාට බලය පැවරී ඇති අතර, එම ප්‍රදේශ ආරක්ෂා කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීමේ බලය වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් වෙත පැවරී ඇත.

ඒ අනුව පසුගිය කාලය තුළ සිදුවී ඇති සමාජ, ආර්ථික, පාරිසරික, දේශගුණික හා ආයතනික වෙනස්කම් සැලකිල්ලට ගෙන වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නව ගංවතුර ආරක්ෂණ පනතක් ස්ථාපිත කිරීමට නියමිතය.

එහිදී ගංගා සහ ජලාශවලින් ඇති විය හැකි ගංවතුර ආපදා මෙන්ම වැසි ජලය එක්රැස්වීම හේතුවෙන් සිදුවන නාගරික හා ප්‍රාදේශීය ආපදා සහ වෙනත් ආකාරයේ ජල ගැලීම්වලින් සිදු වන ආපදාවලින් ජීවිත, දේපොළ, පරිසරය හා ආර්ථිකයට සිදුවිය හැකි හානි හා ආපදා අවම කිරීමට ගත හැකි විධි විධාන ගැනීමට නියමිතය.

 වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී ඇත.

 

 

 

ඥානසාර හිමි රෝහලේ

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව උන්වහන්සේ වෙනුවෙන් පෙනීසිටින  නීතීඥවරයා අද (31දා)  අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විභාග වන නඩුවක් වෙනුවේන් උන්වහන්සේ අද පෙනී නොසිටීමට හේතු දක්වමින් නීතිඥවරයා මේ බව සඳහන් කළේය. ඥානසාර හිමියන් රෝහල්ගතව සිටින බවට තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තාද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.  නඩුව නැවතත් ජුනි 12 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

ශූරයන්ගේ කුසලානය ඔස්ට්‍රේලියාව දිනාවි

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සිටින අවධානය අඩුවෙන් දිනාගත් කණ්ඩායමක් බවට ශ්‍රී ලංකා වර්ග කළ හැකි බවත් මෙවර තරගාවලිය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට වැඩි අවස්ථාක් පවතින බව කුමාර් සංගක්කාර සඳහන් කරයි. ශූරයන්ගේ කුසලාන තරගාවලිය පිළිබඳව විස්තර විචාරක වැඩ සටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවෙන් පසුව දකුණු අප්‍රිකාව හා ඉන්දියාව තරගාවලිය ජයගැනීම පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගත හැකි කණ්ඩායම් බවත් ඔහු පැවැසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පිළිබඳව බොහෝ දෙනෙකු අවධානය යොමුකිරීම කණ්ඩායමට වැදගත් බවත් අයි.සී.සී. තරගවලදී ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කරන බවත් සංගා සඳහන් කරයි.

 

80ක් බිලිගත් කාබුල් බෝම්බය පැමිණ ඇත්තේ ජල බවුසරයක

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේදී ජීවිත 80ක් බිලිගනිමින් පුපුරාගිය බෝම්බය වතුර බවුසරයක හෝ ලොරියක රැගෙන එන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

කාබුල් අගනුවර, තානාපති නිවාස රැසක් පවතින අධි ආරක්ෂිත කලාපයක මෙම බෝම්බය පුපුරාගිය අතර, මින් තුවාල ලැබූ පිරිස 350 ඉක්මවන බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, මෙහි ජීවිත අහිමි වූ බහුතරය සාමාන්‍ය ඇෆ්ගනිස්ථාන ජනතාව බවද එම වාර්තා පෙන්වා දෙයි.

ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බැහැර කළද, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති බවද කියැවෙයි.

නමුත්, පසුගිය කාලය පුරාවට ඇෆ්ගිනස්ථානය පුරා පුපුරාගිය බෝම්බ ප්‍රහාර සඳහා මෙම කණ්ඩායම් දෙකම වගකිවු බව නොරහසකි.

එරට වේලාවෙන් උදෑසන 8.25 ට පමණ (ග්‍රිනීච් වේලාවෙන් පෙ.ව.3.55 ට) මෙම බෝම්බය පුපුරා ගොස් තිබේ.

බෝම්බ ප්‍රහාරය සිදුවූ මෙම අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයට ආසන්නයෙන් බෝම්බය පුපුරා ගියත් එය ජර්මානු තානාපති කාර්යාලය ඉලක්ක කරමින් රැගෙන ආ බෝම්බයක්ද යන්න තවමත් පැහැදිලි නොමැති අතර, බෝම්බයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට හානියක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මොරගහකන්ද වේල්ලේ වැඩ අවසන්

මොරගහකන්ද ජලාශයේ වේල්ලේ වැඩ අද (31දා) අවසන් වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මහින්ද අමරවීර මහතා නිල වශයෙන් වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා සඳහන් කළේ මහවැලි සංවර්ධන  හා පරිසර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ කිසිදු විෂයක වෙනස්වීමක් සිදුනොවන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී ආරම්භ කරන වන මහවැලි සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පවසරන බවත් එම ව්‍යාපෘතියන්හි වටිනාකම රුපියල් බිලියන 2000ක් පමණ වෙන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

විශ්වාස කරන්න බැරිනම් වසා දමන්න – අනුර යාපා

කාලගුණ විපර්යාස පිළිබඳව කලින් දැනගැනීමට තාක්ෂණය දියුණු කළ යුතු අතර, ආපදා අවමකර ගැනීමට ව්‍යාපෘතීන් සඳහා අනාගතයේදී විශාල මුදලක් වියදම් කිරීමට සිදුවන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

එසේ වුවද රටේ අග්‍රාමාත්‍යවරයා කාලගුණ අනාවැකි විශ්වාස කරන්නේ නැතිනම් ජෝන් අමරතුංග අමාත්‍යවරයා එය විහිළුවට ලක්කර ඇත්නම්, මේ රටේ සාමාන්‍ය ජනතාව විශ්වාස කරයිද? යනුවෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර, අමාත්‍යවරයා එයට මෙසේ පිළිතුරු ලබාදුනි.

එහෙම විශ්වාස කරන්න බැරිනම් මේක වසා දාන්න වෙනවා. අපට ප්‍රශ්න තිබෙනවා. තාක්ෂණය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. අනිකුත් ප්‍රශ්න තිබෙනවා. යම් ආකාරයක නිවැරදි කාලගුණ ආනාවැකි පළකර තිබෙනවා. අගමැතිතුමා හෝ කවුරුහරි කියනවානම් පිළිගන්න බැහැ කියලා මේක වසාදාන එකයි තියෙන්නෙ.

ඡයාරූප – ශමීර රාජපක්ෂ

 

DSC_4706 DSC_4715 DSC_4726 DSC_4814 DSC_4862 DSC_4863 DSC_4883

පාකිස්තානයෙන් කෝටි 3080ක ණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 (රුපියල් කෝටි 3080) ණයක් ලබාදීමට පාකිස්තානය එකඟ වී තිබේ.

නිවාස ඉදි කිරීම, පශු සම්පත් නගා සිටුවීමට අවශ්‍ය සතුන් ආනයනය, කෘෂිකර්මාන්තය හා කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සංවර්ධනය කිරීම වැනි කාර්යයන් සඳහා මෙම ණය පහසුකම් යොදවීමට නියමිතය.

පාකිස්තානු රජය සමග ඊට අදාළ ණය ගිවිසුමට එළැඹිමට හිටපු මුදල් අමාතය රවී කරුණානායක මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට අමාත්‍යයේ අනුමැතිය  ලැබී තිබේ.

 

විදෙස් පරිත්‍යාගශීලින් සඳහා රජයෙන් බැංකු ගිණුම් 5ක්

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා අධාර කිරීමට විදේශ රටවල සිට විවිධ පරිත්‍යාගශීලින්ගෙන් විමසුම් ලැබෙමින් පවතින හෙයින් එම පරිත්‍යාග යොමු කිරීම සඳහා රජය පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව විදේශ රටක සිට මුදල් පරිත්‍යාග කරන්නන්ගේ පහසුව වෙනුවෙන් විදේශ මුදල්  පරිත්‍යාග ලබා ගැනීමට හැකි වන පරිදි පහත සඳහන් සම්පත් බැංකුවේ විශේෂ ගිණුම් අංක 05ක් රජය විසින් විවෘත කර ඇති අතර මෙම ගිණුම්වලට එසේ මුදල් පරිත්‍යාග යොමු කළ හැකි බවද මුදල් අමාත්‍යාංශය කියයි. විදේශයන්හි සිට මුදල් සම්ප්‍රේෂණය කිරීම සඳහා එම බැංකු ගිණුම් සඳහා වන SWIFT සංකේතය වනුයේ BSAMLKLX ය.

 

 

විදේශ මුදල් වර්ගය

බැංකු ගිණුම් අංකය

1.

ඇමෙරිකානු ඩොලර් (USD)

5029 6000 2000

2.

ස්ටර්ලින් පවුම් (GBP)

5029 6100 2000

3.

ජපන් යෙන් (SPY)

5029 6400 2000

4.

ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD)

5029 6600 2000

5.

යූරෝ (EUR)

5029 6900 2000

 

මෙසේ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මෙම සියලු මුදල් ආපදාවෙන් විපතට පත්වූවන්ගේ දේපල පුනරුත්ථාපනය කිරීමේ රජයේ වැඩසටහන හා අවශ්‍යතාවය පරිදි සහන කටයුතු සඳහා කඩිනමින් යොදා ගනු ලැබේ.