Monthly Archives: May 2017

සෞදියට අසත්‍ය චෝදනා කළොත් සෞදියේදී දැඩි ක්‍රියාමාර්ග

සෞදියේ සේවය කරන ශ්‍රමිකයන් සෞදි රජයට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළහොත් වසර 05 සිට 20 දක්වා අපරාධ වරදක් සම්බන්ධයෙන් සිර දඬුවමකට හෝ සෞදි රියාල් මිලියනයක් දක්වා දඩ මුදලකට සෞදියේදී යටත් වන්නට සිදුවන බව සෞදි අරාබි රජය තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතන දැනුවත් කර තිබේ.

 සෞදි අරාබියට ගෘහ සේවිකාවක ලෙස ගිය දඹුල්ලේ පදිංචිව සිටි ඩබ්.ඩබ්. ඉන්ද්‍රකාන්ති නැමැති කාන්තාව තමන්ගේ වකුගඩුවක් බලෙන් ලබාගැනීමට හාම්පුතා විසින් රඳවාගෙන සිටිනබවට නගා තිබූ චෝදනා අසත්‍ය බවට විමර්ශනවලින් හෙළිවීමෙන් පසුවය.

මෙම සිදුවීම පිළිබඳ සොයාබැලීමට සෞදි තානාපති කාර්යාල නිලධාරීන් රියාද් සිට කි.මී 475ක පමණ දුරගෙවා ඇය සේවය කරන නිවස පිහිටා තිබෙන දාරිහා පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කර ඇති අතර,කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් හාම්පුතා සමග අදාළ කාන්තාව පොලීසියට ගෙන්වා තිබිණි.

ඉන්ද්‍රකාන්ති නමැත්තිය විසින් අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව එම විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. අනතුරුව ඇයව පොලිස් බාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, සෞදි තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් සිදුවූ අපහසුතාව පිළිබඳව ඉන්ද්‍රකාන්ති වෙනුවෙන් සමාව අයැදීමෙන් අනතුරුව ඇයව නිදහස් කර තිබේ.

රියාද්හි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටි ඉන්ද්‍රකාන්ති නමැත්තිය ඊයේ (31දා) මෙරටට ගෙන්වා ගැනීමට විදේශ රැකියා අමාත්‍යවරිය කටයුතු යොදා තිබිණි.

 

කැබිනට් ප්‍රකාශකකම තියෙන්නේ දේශපාලන මතවාද‍ කියන්න නෙවෙයි

 

කැබිනට් ප්‍රකාශක යනු රජයේ ප්‍රකාශ නිකුත්කිරීම සඳහා ස්ථාපිත කළ තනතුරක් මිස දේශපාලන මතවාදයන් ප්‍රකාශකිරීම සඳහා ස්ථාපිත කළ තනතුරක් නොවන බව නව සමකැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(31දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.

සතියේ කැබිනට් මාධ්‍ය හමුව තුළ රජයේ ප්‍රකාශයන් නිවැරදිව සන්නිවේදනය කිරීමේ පහසුව වෙනුවෙන් තවත් සමකැබිනට් ප්‍රකාශකවරයෙකු පත්කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අපේ ප්‍රකාශ රජයේ ප්‍රකාශ විදිහට තමයි ක්‍රියාත්මක කරන්නෙ. එහෙම නැතුව මේ ප්‍රකාශ එකඑක පක්ෂවල දේශපාලන මතවාදයන් ප්‍රකාශ කරන ස්ථානයක් නොවෙයි. කැබිනට් ප්‍රකාශක කියන එකෙන් අදහස් කරන්නෙ රජයේ ප්‍රකාශ නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහායි. යැයි අමාත්‍යවරයා පැවසිය.

 

ආපදා පළාත් පාලන ආයතනයන්ට මිලියනයක ප්‍රදානයක්

ආපදාවන්ට ලක්වූ පළාත් පාලන ආයතනවලට දෛනික කටයුතු සිදුකරගැනීම සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් පරිත්‍යාගයන් ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මීට අමතරව ආපදාවන්ට ලක්වූ පළාත් පාලන ආයතනවල ප්‍රතිසංස්කරණය කටයුතු කිරීම සඳහා අනෙකුත් පළාත් පාලන ආයතනවල සහයෝගය ලබාදීමට හා යන්ත්‍ර උපකරණ ලබාදීමටත් විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කර තිබේ.

ආපදාවන්ට ලක්වූ ප්‍ර‘දේශවල පානීය ජල සැපයුම යථාතත්ත්වයට පත්වන තුරු බවුසර් යොදාගෙන පානීය ජලය බෙදාහැරීමටත් සැලසුම් කර තිබේ. 

රාජිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු පුටුවකට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෝරා පත්කරගෙන ඇති බව අමාත්‍යාංශ නිවේදනය කළේය. විධායක සභාවට සාමාජිකයන් 34 කු පත්කරගන්නා අතර එම සාමාජිකයින්ගේ නිලකාලය වසර දෙකක් වෙයි. මෙවර විධායක සභාවට ආසියානු රටවල් 04 ක නියෝජිතයින් තේරී පත්වී ඇත.

ගංවතුරින් ආර්ථිකට වු හානිය ගැන වාර්තාවක්

ගංවතුර හා නායයෑම් මගින් රටේ සමස්ත ආර්ථිකයට සිදුවූ හානිය පිළිබඳ තක්සේරු වාර්තාවක් අනිද්දා(02දා) වනවිට සකස් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව පසුගිය දිනයන්හිදී ඇතිවූගංවතුර හා නායයෑම් හේතුවෙන් ආර්ථිකයට සිදුවූ අලාභ හානි දිස්ත්‍රික්ක මට්ටමින් අදාළ දිසාපතිවරුන් මාර්ගයෙන් අනිද්දා(02දා)ට පෙර ලබාදෙන ලෙස අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායනමහතා උපදෙස් දී ඇති බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

බන්ධනාගාර ලොකු පුටු වෙනසක්

බන්ධනාගාර සියල්ලගේම ඉහළ තනතුරු වෙනස් කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා තීරණය කර ඇති බවට වාර්තාවේ.

බන්ධනාගාර තුළින් දිගින් දිගටම නීති විරෝධී කටයුතු පිළිබඳව වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මීට අමතරව මීගමුව බන්ධනාගාරයෙන් සැකකරුවන් හතර දෙනෙකු පැනයාම පිළිබඳව විශේෂ වාර්තාවක් කැඳවීමටත් අමාත්‍යවරයා තීරණය කර තිබේ. 

කොටි සාමාජිකයා ඝාතනයට මරණ දඬුවම

හලාවත නගරයේ ආපන ශාලාවක් තුළදී කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත්  අයෙකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයෙකුට හලාවත මහාධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණරාජ මහතා ඊයේ (30දා) මරණ දඬුවම නියම කළේය.

වාලච්චේන – කරදිවෙල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකුට මෙසේ මරණ දඬුවම නියම කෙරුණි.

2005 ජූලි මස 16දා හෝ ඊට ආසන්න දිනයකදී හලාවත ප්‍රදේශයේ ආපන ශාලාවකදී ආරුමුගන් පුවේන්ද්‍රන් (23) නමැති අයට වෙඩි තබා ඔහු ඝාතනය කිරීම හා එම අවස්ථාවේ එහි රැදීසිටි තවත් පුද්ගයෙකුට තුවාල කිරීම හා නීති විරෝධී ගිනි අවියක් ළඟ තබාගැනීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කළ අවස්ථාවේදී විත්තිකරු තමන් නිවැරදි කරු බව පළ කිරීමෙන් පසු සාක්කි විභාගය ආරම්භ විය.සාක්කි විභාගයෙන් අනතුරුව දඬුවම් කියම කිරීමට පෙර කිසිවක් පැවසීමට ඇත්නම් පවසන ලෙසට විනිසුරුවරයා විසින් විත්තිකරුට අවස්ථාව ලබාදුන් අවස්ථාවේ තමන් නිවැරදිකරු බව එම අවස්ථාවේදී  ද ඔහු පවසා සිටියේය.

රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර හලාවත පොලීසිය වෙනුවෙන් කොස්තාපල් ජනක් කීර්ති  මහතා පෙනී සිටියේය. නීතිඥ දේශප්‍රිය දිසානායක මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

හලාවත සුපුන් හංසන

සාම්පූර් වෙරළට ඩොල්ෆින් ගොඩගසති

මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසා ඇතිවී තිබෙන මුහුදේ රළු බව නිසා රීසස්ගේ ඩොල්ෆින් 10-15 ප්‍රමාණයක් සාම්පූර් වෙරළට ගොඩ ගසමින් තිබිණි. නාවික හමුදාව සහ ප්‍ර‘දේශවාසීහු එක්ව ඔවුන් යළිත් මුහුදට මුදාහැරීමට කටයුතු කළහ.

1 2 3 4 5

අමදෝරු අමරජීව

විනාශ වූ විහාරස්ථානවල සංවර්ධන කටයුතු කඩිනමින්

ගංවතුරෙන් හා නායයෑම්වලින් විනාශ වූ සියලු විහාරස්ථානවල තොරතුරු වහාම ලබාගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්ට  හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

මේ වැඩපිළිවෙළ කෙටි කාලීන හා දීර්ඝ කාලීනව කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙසත්, කඩිනමින් කළ යුතු සියලු අවශ්‍යතා සපුරාලීමටත් කටයුතු කිරීමට අමාත්‍යවරයා උපදෙස්දී තිබේ.

ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලය මගින් හා සමායෝජක ස්වාමීන් වහන්සේලා මගින් මෙම තොරතුරු කඩිනමින් ලබාගැනීමට බුද්ධශාසන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ. 

මරණ 203 – පීඩාවට පත් පිරිස 681346

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආරක්ෂිත කඳවුරුවල රඳවා සිටි ප්‍රමාණය පවුල් 19,876 ක පුද්ගලයන් 77,684 ක් දක්වා අඩුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එහෙත් මියගිය පුද්ගලයන්ගේ ප්‍රමාණය 203 දක්වා ඉහළගොස් තිබෙන අතර ඊයේ (31දා) වනවිට නිවාස 9127 ක් විනාශයට පත්වී තිබේ. පුද්ගලයන් 96 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර පොදුවේ පවුල් 164,264 ක අයත් පුද්ගලයන් 681,346 පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.