Monthly Archives: April 2017

‍ගොහාගොඩ කුණුකන්ද විශේෂ ඩ්‍රෝන කැමරා පරීක්ෂාවට

අවදානම් තත්ත්වයේ පවතින මහනුවර ගොහාගොඩ කුණුකන්ද සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මේ මස 02 වැනිදා ඩ්‍රෝන කැමරා යොදවා විශේෂ පරීක්ෂා කිරීමකට සැලසුම් කර තිබේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර, ඉන් ලබාගන්නා තොරතුරු පිළිබඳව ලබන මස 05 වැනිදා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටත් සැලසුම් කර තිබේ.

දිල්ලි කණ්ඩායම ලකුණු 67 දැවී යයි

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම හා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම අතර අද (30දා) පැවැති තරගයේදි දිල්ලි කණ්ඩායම ලකුණු 67කට දැවී ගියේය. තරගාවලියේ 36 වැනි තරගය ලෙසින් මෙය පැවැතියේය.

මෙම තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්ට දිල්ලි කණ්ඩායමේ ස්ථානය අහිමි විය. දිල්ලි කණ්ඩායමේ කසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසුකර යෑමට නොහැකි වූ අතර වැඩිම ලකුණු ලාභියා වූ කුරේ ඇන්ඩර්සන් ලකුණු 18ක් රැස්කළේය. පංජාබ් කණ්ඩායමේ සන්දීප් ශර්මා සිය පන්දුවාර 4 දී ලකුණු 20ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය. ආක්ෂාර් පටේල් හා වරුන් ආරෝන් කඩුලු දෙක බැගින් දවාගත්හ.

ලකුණු 68ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පංජාබ් කණ්ඩායම කිසිඳු කඩුල්ලක් ලබානොදෙමින් තරගය ජය ගත්තේය. ආරම්භක පිතිකරු මාටින් ගප්තිල් පන්දු 27කදී නොදැවී ලකුණු 50ක් රැස්කළේ හයේ පහර 3ක් හා හතරේ පහර හයක් සමගිනි.

තරගයේ වීරයා ලෙස සන්දීප් ශර්මා සම්මාන ලැබීය.

ඒකාබද්ධයේ සිටින ශ්‍රී.ල.නි.ප තනතුරු දරන්නන්ට වැඩ වරදින ලකුණු

ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා ශ්‍රීලංකා නිදහස් පක්ෂ තනතුරු දරන්නන්ගේ සියලුම තනතුරු ඉවත් කරන ලෙසට මධ්‍යම කාරක සභාවට ඉදිරි දිනවලදී යෝජනාවක් ගෙන එන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභික, තරුණ පෙරමුණ ජාතික සංවිධායක, රවි ක්‍රිෂාන්ත මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනතුරු දරන්නන් තම වගකීම් කොටස නිසිලෙස ඉටුනොකරන නිසා මේ යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී  හෙතෙම පවසා සිටියේය.

සරණාගතයන් ලෙස පැමිණි 32ක් නාවික හමුදාවේ අත්අඩංගුවේ

සරණාගතයන් ලෙස මෙරටට ඇතුළු වීමට උත්සාහ කළ මියන්මාර් ජාතිකයන් 30 දෙනෙකු හා ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මියන්මාර් ජාතිකයන් 30 දෙනාගෙන් 16 දෙනෙකු කුඩා දරුවන් බවත්, එම දරුවන් අතර දින 15ක් වයසැති බිලිඳියකද සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේය.

පාද තුනකින් එළිය දුටු දැරියට සාර්ථක සැත්කමක්

පාද තුනක් ඇතිව මෙළොව එළිය දුටු බංග්ලාදේශ දැරියකට ඔස්ට්‍රේලියාවේදී සාර්ථක සැත්කමක් සිදුකරමින් ඇගේ එක් පාදයක් ඉවත්කර තිබේ.

චෝටි ඛාටන් නමැති තුන් හැවිරිදි දැරිය මෙම අසාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ ඇයගේ කලව ආශ්‍රිතව තවත් නිවුන් දරුවෙකුගේ කොටසක් සමග ඇය ගර්භාෂය තුළ වර්ධනය වීම තුළිය.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු ශල්‍ය වෛද්‍යවරුන් මාස ගණනාවක් පුරා සිදුකළ අධ්‍යයනයන්ගෙන් පසුව ඇයගේ මෙම අමතර පාදය ඉවත් කරමින්, ඇයගේ කලව ආශ්‍රිත ප්‍රදේශය සාමාන්‍ය තත්ත්වයට ගෙන තිබේ.

චිල්ඩ්රන් ෆස්ට් පදනම විසින් මෙම දැරිය ඔස්ට්‍රේලියාවට රැගෙන විත් මෙම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.  

හොර දොස්තර කෙනෙකු දඹුල්ලේදී අත්අඩංගුවට

දඹුල්ලමූලිකරෝහලආසන්නයේපෞද්ගලිකවෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සහ ඒ ආසන්නයේ වෙළෙඳ සැල් හිමියන් රවටමින් මුදල් හා පලතුරු ලබාගන්නා ව්‍යාජ දොස්තරවරයෙකු අද (30දා) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිංහල ජාතිකයෙකු ලෙස පෙනීසිටි මුස්ලිම් ජාතිකයෙකු බවද පොලීසිය සඳහන් කර සිටියේය.

මොහු පිළිබඳ සැක සිතූ වෙළෙඳ සලක කාන්තාවක් හා පිරිසක් මෙම සැකකරු ලුහුබැඳ ගොස් අල්ලා පොලීසියට බාරදී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

දඹුල්ල කාංචන කුමාර ආරියදාස

ජනතාවගේ ආරක්ෂාවට මෙහෙයුම් මැදිරි 02ක්

හෙට දිනයේ (01දා)පැවැත්වෙන මැයි දින රැළිවලදී හෝ එයට සහභාගීවීමේදී කොළඹ හා මහනුවර ප්‍රදේශවල සිදුවන නීතිවිරෝධී සිදුවීම් පිළිබඳව සොයා බැලීමට මෙහෙයුම් ඒකක දෙකක් ස්ථාපිත කර තිබේ.

මෙම මෙහෙයුම් දෙකට ජනතාවටත් පැමිණිලි කළ හැකි අතර, මේ අනුව කොළඹ නගරය තුළ සිදුවන සිදුවීම් 011 2 433 333 සහ මහනුවර නගරයේ සිදුවන සිදුවීම් 081 2 233 333 යන දුරකථන අංක මගින් දැනුම්දීමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මීට අමතරව කොළඹ නගරය තුළ සිදුවන ක්‍රියාකාරකම් නිරීක්ෂණයට අමතර ආරක්ෂිත කැමරා පද්ධතියක්ද සකස් කර තිබෙන බව හෙතෙම පවසා සිටියේය.

අනූ නවයෙන් බේරුණු මාරක අනතුර

ගාල්ල, පියදිගම ප්‍රදේශයේ අසලින් ගමන් කළ ත්‍රිරෝද රථයක් දුම්රිය මාර්ගයට ඇදවැටීමක් සිදුව ඇති අතර, මේ හේතුවෙන් සිදුවීමට ගිය මාරක රිය අනතුරක් වළාකා ගැනීමට තමන්ට හැකිවූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.

අදාළ ත්‍රිරෝද රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ වෙනත් වාහනයකට ඉඩලබාදීම සඳහා කටයුතු කිරීමේදී පාලම අසල වූ විදුලි පහන් කණුවද පෙරළාගෙන දුම්රිය මාර්ගයට ඇඳ වැටී තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු සුලු තුවාල ලබා ඇති අතර වහාම ඒ සඳහා මැදිහත්වූ ප්‍රදේශවාසීන් එම ප්‍රදේශයට පැමිණෙමින් තිබූ දුම්රිය නවතා ගැනීමට හැකිවීමෙන් සිදුවීමට ගිය මාරක අනතුරු වලකාගන්නට හැකිවී තිබේ.

මේ හේතුව මත ගාල්ල කොළඹ දුම්රිය මාර්ගය පැය භාගයකට අධික කාලයක් ප්‍රමාද විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදේශවාසීහු ඉක්මනින් අලුත්වැඩියාවක් නොකළහොත් පියදිගම කළු පාළමද දුම්රිය මාර්ගයට කඩා වැටෙන දිනය වැඩි ඈතක නොවන බව සඳහන් කර සිටියහ.

unnamed (1) unnamed (2) unnamed (3) unnamed

ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා උලෙළේ තෙවැනි අදියරේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

තායිවානයේ, තායිපේ නුවරදී පැවැත්වෙන ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි හා අවසන් අදියරේදී මැදි දුර ධාවන ඉසව්වලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් දිනා දීමට ගයන්තිකා අබේරත්න හා ඉඳුනිල් හේරත් සමත් වූහ. එමෙන්ම කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නිමාලි ලියනාරච්චි සමත් විය.

මෙහි සියලු තරග ඉසව් අද (30දා) දිනයේදී තායිවානයේ තායිපේ නුවරදී පැවැත්විණි.

මෙහිදී කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට සහභාගි වූ ගයන්තිකා අබේරත්න තියුණු තරගයකින් අනතුරුව මිනිත්තු 2තත්පර 03.87කින් එම ඉසව්ව නිමා කරමින් එහි පෙරමුණ හිමි කරගැනීමට සමත් වූ අතර, මෙය ඇයගේ මේ තරග සමයේදී හොඳම කාලය වේ.

ගයන්තිකා පසුගියදා (09දා) ශ්‍රී ලංකා මීටර් 800 ධාවන ඉසව්වේ වාර්තාව නැවතත් අලුත් කිරීමට සමත් වූයේ මිනිත්තු 02 තත්පර 2.55කින් එම ඉසව්ව නිමා කරමිනි. කෙසේ නමුත් මෙහිදී ඇයට එම දක්ෂතාව අබිබවා යාමට නොහැකි විය.

මේ අතර එම ඉසව්වටම සහභාගි වූ නිමාලි ලියනාරච්චි තෙවැන්නා ලෙසින් තරගය නිම කළේ මිනිත්තු 02තත්පර 06.30 ක් ලෙසිනි. මෙය නිමාලිගේද මේ තරග සමයේ හොඳම කාලය විය.

මේ අතර පිරිමි මීටර් 800 ධාවන ඉසව්වට සහභාගි වූ ඉඳුනිල් මුණසිංහ මෙහිදී මිනිත්තු 01 තත්පර 51.34කින් තරගය නිම කරමින් එහි රන් පදක්කමට හිමිකම් කීවේය.

කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකාවේ විශාලම පදක්කම් බලාපොරොත්තුවක් වූපිරිමි මීටර් 100 ධාවන ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවක හිමාෂ ඒෂාන්ට මෙවර පදක්කමක් දිනාගැනීමේ අවස්ථාව ගිලිහී ගියේ එම ඉසව්වේ 04 වැන්නා ලෙසින් තරගය නිම කිරීම නිසාවෙනි.හිමාෂ මීට පෙර මෙහි චීනයේ පැවැති පළමු හා දෙවැනි අදියර ද්විත්වයේදීම මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට සමත් විය.

කෙසේ වෙතත් හිමාෂ මෙහිදී තත්පර 10.41කින් තරගය නිමා කිරීමට සමත් වූ අතර,එය මෙවර තරග වාරයේදී ඔහුගේ හොඳම කාලය ලෙසින් වාර්තා විය.

මේ අතර මීටර් 100 කාන්තා ධාවන ඉසව්වට සහභාගි වූ පසුගිය ආසියානු ක්‍රිඩා උලෙළේ රන් පදක්කම්ලාභි රුමේෂිකා රත්නායකට මෙහිදී පස්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු විය. ඇය එහිදී තරගය නිම කළේ තත්පර 11.87කිනි.

මේ අතර පිරිමි මීටර් 400 තරග ඉසව්වට සහභාගි වූ අජිත් ප්‍රේමකුමාර මිනිත්තු 47.89කින් තරගය නිමා කරමින් එම ඉසව්වේ 05 වැන්නා ලෙසින් තරගය නිම කළද එය ඔහුගේ මෙවර තරගවාරයේ හොඳම කාලය විය.

මෙහිදී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ වාර්තාව හොබවන සුමේධ රණසිංහ මෙන්ම කාන්තා යගුලිය විසි කිරීමේ ශ්‍රී ලංකා වාර්තාව හොබවන තාරිකා කුමුදුමලී සිය ඉසව්වලින් අසාර්ථක වූ අතර, එහිදී සිය පෞද්ගලික හොඳම දක්ෂතා අසලට හෝළඟාවීමට නොහැකි විය.

අනියම් ඇසුරක් හේතුවෙන් පුද්ගලයෙක් ගින්නට බිලි

මාතර, කොටවිල, නිවසක් අසල ත්‍රිරෝද රථයක් තුළ පිළිස්සීමෙන් සිදුවූ පුද්ගල මළසිරුරක් අද (30දා) හමුවූ බව කොටවිල පොලීසිය සඳහන් කර සිටියේය.

අනියම් ප්‍රේමසබඳතාවයක් හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමක් බව මූලික පරීක්ෂණවලින් හෙළිව ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව මෙම මියගිය පුද්ගලයා හා සිදුවීම වූ නිවසේ කාන්තාවක හා තිබූ අනියම් සබඳතාවක්, එම කාන්තාව විසින් නවතා දැමීමට උරණව මෙම පුද්ගලයා එම කාන්තාවගේ නිවසට ගොස් මෙසේ ගිනි තබා ගෙන ඇතැයි  මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගොඩගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු අතර, මේ හේතුවෙන් ඔහුගේ ත්‍රිරෝද රථයට, නිවසේ නවතා තිබූ මොටර් රථයට හා එම නිවසට දැඩි හානි සිදුව ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සිදුවීම සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

DSCF0860 DSCF0861 DSCF0864 DSCF0866 DSCF0867