Monthly Archives: March 2017

ඩෙබී සුළි කුණාටුවෙන් ඔස්ට්‍රේලියාවට දැඩි හානි

ඩෙබී සුළි කුණාටුව වඩාත් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගනිමින් ඇති වූ ගංවතුර තත්ත්වය සමග ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක දියේ ගිලී මියගිය ජනතාව සිටිය හැකි බවට එරට බලධාරීහු බිය පළ කරති.

මේ වනවිට නිව් සවුත්වේල්ස් හා සදර්න් ක්වීන්ස්ලන්ඩ් යන ප්‍රාන්ත දෙකෙහි දස දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව පැවසෙයි.

පසුගිය අඟහරුවාදා සිව්වන තත්ත්වයේ සුළි කුණාටුවක් ලෙස උතුරුදික ක්වීන්ස්ලන්තයෙන් ඇතුළු වූ ඩෙබී සුළි කුණාටුවේ චණ්ඩ ස්වරූපය මේ වනවිට පහව ගොස් තිබුණත්, ඒ සමග ඇති වූ අධික ගංවතුර තත්ත්වය වර්ධනයක් පවතින බව කියයි.

විශේෂයෙන්ම සාමාන්‍යයෙන් වර්ෂාව අධික කාලයක් ලෙස සැලකෙන මෙම කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමග මෙම තත්ත්වය වඩාත් දරුණු අතට හැරී තිබේ.

දඹුල්ලේ චිත්‍ර සංරක්ෂණයට ඉතාලියේ සහාය

 

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දඹුලු ලෙන් සිතුවම්   සංරක්ෂණය කිරීම සඳහා විශේෂඥ සහය ලබා දීම පිණිස ඉතාලියේ (International Centre for the Study of the Preservation and Restoration of Cultural Property) (ICCROM)  ආයතනයේ බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ මහාචාර්ය වර්නර් ස්මිත් මහතා එළඹෙන අප්‍රේල් මස 3 වන දින ලංකාවට පැමිණීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාශය දැනුම්දෙයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා පශ්වාත් උපාධි ආයතනය විසින් දඹුලු චිත්‍ර සංරක්ෂණය සඳහා සහයෝගය ලබා දෙන මෙන් ඉතාලියේ (ICCROM)  ආයතනයෙන් කළ ඉල්ලීමකට අනුව ස්මිත් මහතා ඒ සඳහා යොමු කර තිබේ.

මේ වන විට දඹුලු චිත්‍ර දුර්වර්ණවීම් වලට ලක්වී ඇති අතර නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් එම චිත්‍ර සංරක්ෂණය කිරීමට ඒ පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය වර්නර් ස්මිත් මහතාගේ මග පෙන්වීම මත අවශ්‍ය පියවර ගැනීමට නියමිතය. අප්‍රේල් මස 3 වන දින සිට 9 වන දින  දක්වා කාලය තුළ දේශීය බිතු සිතුවම් සංරක්ෂණ ශිල්පීන් ද සමග වර්නර් ස්මිත් මහතා විසින්  දඹුලු චිත්‍ර සංරක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ බිතු සිතුවම් සංරක්ෂණ ශිල්පීන් සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

ශාක්‍ය ජනපදය සදහා වන ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රීලංකාවේ පවත්වනු ලබන 14 වන එක්සත් ජාතින්ගේ වෙසක් උලෙළට සමගාමිව පිළියන්දල ඉදිවෙන ශාක්‍ය ජනපදය සඳහා වන ගිවිසුමට අද දින  යෙදුනු සුභ මොහොතින් බුද්ධශාසන අමාත්‍යාංශය හා ලයිට් ඔෆ් ඒෂියා ( Light of Asia) පදනම අත්සන් තැබූහ.

 පිලියන්දල රෙජිඩේල් වත්තේ අක්කර 72ක වපසරියක රුපියල් මිලියන 500 ක වියදමින් මෙම ජනපදය සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතාත්  ලයිට් ඔෆ් ඒෂියා  පදනම වෙනුවෙන් එහි සභාපති නවීන් ගුණරත්න මහතාත් අත්සන් තැබූ අතර මෙම අවස්තාවට අමාත්‍යාංශයේ නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගී වූහ.

මන්ත්‍රී නිශාන්තට එරෙහිව ඇමති රංගේ අධිකරණයට

ආණමඩුව සමුපකාරයේ නිලවරණයේ ප‍්‍රතිපල වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නැයි ප‍්‍රධාන ජන්ද නිලධාරිවරයා සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා වෙත නිර්දේශ කර තිබෙ. ඊයේ (30දා) පැවැති ජන්ද විමසීම අසාධාරණ අයුරින් පැවැති බවට වූ නිරීක්‍ෂණ මත පදනම්ව මෙලෙස තීරණය කර ඇත.

මෙ අතර ඊයේ පැවැති ජන්ද විමසීම නිසි පරිදි සිදු කර ගැනීමට නොහැකි වුයේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසකගේ අවිසි මැදිහත්වීම හේතුවෙන් බව පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම සමුපකාර ජන්දයේදී සැබෑ ජන්ද දායකයින් 600 ට පමණ ජන්ද අයිතිය අහිමි වී ඇති බවත් විනාශ වී ඇති ආණමඩුව සමුපකාරය ගොඩ නැගීමේ වෑයමට ප‍්‍රබල අභියෝගයක් එල්ල වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ව්‍යාජ ලේඛණ පවා සකස් කරමින් මෙම ජන්ද ව්‍යාපාරය සිදුව ඇති බවත් බණ්ඩාර අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම මෙම දූෂණ හා වංචාව සම්බන්ධයෙන් හා ඊට සෘජුව වගකිවයුතු සනත් නිශාන්ත මන්ති‍්‍රවරයා ඇතුළු පිරිසට එරෙහිවත් ආණමඩුව සමුපකාර ජන්දය සාධාරණ ලෙස නැවත පැවැත්වීමට අවස්ථාව උදාකරන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙ නඩු පැවරීමට අද දිනයේදී පියවර ගන්නා බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

 

මිත්‍ර සංග්‍රහයට චෝදනා ලැබූ හිටපු නායිකාව අත්අඩංගුවට

දූෂණ චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපතිනී පාක් ග්වෙන්-හයි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එරට අධිකරණය විසින් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමත් සමග 65 හැවිරිදි හිටපු ජනපතිනිය සෝල් නුවර හිර අඩස්සියේ රඳවා තැබීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

තම සමීප මිතුරියක වූ චෝයි සූන්-සිල් වෙත මූල්‍ය වංචාවන් සඳහා අවස්ථාව සැලසීම ඇයට එරෙහිව නැගුණු ප්‍රධාන චෝදනාව වන අතර, එහිදී සූන්-සිල් විසින් එරට බොහෝ සමාගම්වලින් දේශපාලන හිතවත්කම් මත මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

මෙම මස මුලදී සිය තනතුරෙන් පහ කෙරුණු හිටපු ජනාධිපතිනිය තමාට එරෙහිව ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඩෙංගු දිවයින පුරා පැතිරයාමෙන් දිස්ත්‍රික්ක 11ක අවදානම් තත්ත්වයක්

දිවයින පුරා මේ වනවිට ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අතර, දිස්ත්‍රික්ක 11 ක් අවදානම් තත්ත්ව සහිත දිස්ත්‍රික්කලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් නම් කර තිබේ.

කොළඹ, ගම්පහ,කළුතර,ගාල්ල, මාතර,හම්බන්තොට,මඩකලපුව,ත්‍රිකුණාමලය, යාපනය, කල්මුණේ,රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක එලෙස අවදානම් සහිත දිස්ත්‍රික්ක ලෙස දක්වා තිබේ.

එම ඒකකය ප්‍රකාශ කර සිටින්නේ සිදුකරන ලද කීට විද්‍යා සමීක්‍ෂණ දත්තවලට අනුව මදුරුවන් බෝවන ස්ථාන බහුලව පවතින අවදානම් පරිශ්‍ර ලෙසට ආයතන, පාසල්,ඉදිකිරීම් පරිශ්‍ර සහ ආගමික ස්ථාන හඳුනාගෙන ඇති බවයි.

මෙම වර්ෂයේ පළමු ඩෙංගු මර්දන වැඩසටහන පසුගිය 29 වැනිදා ආරම්භ වූ අතර, පළමු දිනය තුළදී දිවයිනම ආවරණය වන පරිදි පරිශ්‍ර 83,274 ක් පරීක්‍ෂාවට ලක්කර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 1,542 ක් හඳුනාගෙන තිබිණි.

එහිදී මදුරුවන් බෝවය හැකි පරිශ්‍ර 11,969 ක් නිවැරදි කිරීමට පියවර ගෙන ඇති බවත්, 3,389කට නොතිසී හා 573කට නඩු පැවරීමට කටයුතු කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේමබස්නාහිර පළාත තුළ පමණක් පරිශ්‍ර 23,491 ක් පරීක්‍ෂාවට ලක්ව ඇති අතර, ඉන් මදුරු කීටයන් සහිත පරිශ්‍ර 561 ක් හඳුනාගෙන තිබිණි.

එහිදී 1517කට නොතීසි සහ 260කට නඩු පැවරීමටද කටයුතු කර ඇතැයි සඳහන් වේ.කෙසේ වුවද 2017 වර්ෂයේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 40 ක් සිදුව ඇතැයි අමාත්‍යාංශය වාර්තා කරයි.

නාමල් විමර්ශන කොමිසමට පැමිණේ

හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලාබාදීම සඳහා අද(31 දා)  බරපතල වංචා දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඒ ජාතික තරුණ සේවා සභාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට ආදාලවයි.

සතියේ පාර්ලිමේන්තුවෙන්

60 වසරක රුසියානු – ශී‍්‍ර ලංකා සබඳතා වර්ධනය කරමින් ජනාධිපතිවරයාගේ රුසියානු නිල සංචාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ වසර 43කට පසුව ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව එය වූ බැවිනි. අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්විය.

ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින්ම සිදුකළ විශේෂ නිල ආරාධනයක් පරිදි මෙම සංචාරයට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉහළම ගෞරවයක් ලබාදීම වෙනුවෙන් රුසියානු රජය සියලු කටයුතු සූදානම් කර තිබුණි. රුසියානු ජනාධිපති මන්දිරය වන ක්‍රෙම්ලින් මන්දිරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව උණුසුම් අන්දමින් පිළිගත් අතර, පැයක කාලයක් වෙන්කර තිබු ඔවුන්ගේ නිල සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් දක්වා දීර්ඝ විය.

මෙම නිල හමුවෙන් අනතුරුව සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා ඓතිහාසික තිළිණයක් සූදානම් කර තිබීමයි. 19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙහිදී පුටින් ජනාධිපතිවරයා විසින් සිරිසේන ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.1906දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති Sotheby නම් කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව මිලදී ගෙන තිබේ. දෙරට අතර සමීප සබඳතාවය සංකේතවත් කරමින් එම ඓතිහාසික කස්තානය මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත වෙත පිළිගැන්වීය.

හරියට හිටියනම් ඇහැ තියන්න තිබුණා

මෙම සතිය පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට වගේම කලාකරුවන්ටද තරමක් කාර්යබහුල සතියකි. ඒ වෙන කිසිවක් නිසා නොව රූපවාහිනී ආයතන ඇතුළු බොහෝදෙනා සංවිධානය කරන අලුත් අවුරුදු උත්සව සඳහා සහභාගී වීමට ඇති බැවිනි.

මැති ඇමතිවරුන් සහ කලාකරුවන් උදෙසා පවත්වනු ලබන රූපවාහිනී අලුත් අවුරුදු උත්සවය පසුගිය අඟහරුවාදා වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී පැවති අතර, ඒ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම කලාකරුවන්ද බොහොමයක් සහභාගී වූහ.

අවුරුදු උත්සවයේ අලියාට ඇස තැබීමේ තරගය ආරම්භ වූ අවස්ථාවේ බොහෝදෙනා අලියාට ඇස තැබීමට උත්සාහ කළද එය සාර්ථක නොවිණ.

ඇමති ගයන්ත කරුණාතිලක ඇතුළු එජාප මන්ත්‍රීවරුන් පිරිසක් එම ස්ථානයේ සිටින විට නියෝජ්‍ය අමාත්‍ය මනූෂ අලියාට ඇස තැබීමේ තරගයට ඉදිරිපත් වූ අතර, එය ජයග්‍රහණය කිරීමට ගයන්ත ඇමතිගෙන් උදව් ඉල්ලන්නට විය.

''ඇමතිතුමා අපි දෙන්නම ගාල්ලෙනේ… අලියට ඇහැ තියන්න පොඩ්ඩක් උදවු කරනවද?''

''හැමෝටම අලියට ඇහැ තියන්න පුරුදු කළේ අපි තමයි මනූෂ… ඇතුළෙ හිටිය නම් මොනවහරි කරන්න තිබුණා… ඒත් දැන් උදවු කරන්න බැහැ'' යනුවෙන් ගයන්ත පිළිතුරු දෙන විට, අසල සිටි එජාප මන්ත්‍රීවරුන් කියන්නට වූයේ 

''හරියට හිටිය නම් ඇහැ තියාගන්න තිබුණා'' කියාය.  කෙසේ හෝ මනූෂ නියෝජ්‍ය ඇමතිවරයාට අලියාගේ ඇසට තරමක් ආසන්නයෙන් සලකුණු කිරීමට හැකිවූ අතර, අලියාට ඇස තැබීමේ තරගයෙන් ජයගත්තේ තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයායි.

කොට්ටාපොර ගසන අවස්ථාවේදී එජාප මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර සහ විජයපාල හෙට්ආරච්චි කරට කර තරගයක් දුන් අතර, නියෝජ්‍ය ඇමති ඩුලීප් වෙදආරච්චි සමග කොට්ටපොරයට එක්වූයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ප්‍රසන්න රණවීරයි.

''හයියෙන්න ගහන්න එපා අයියේ'' කියමින් තරගයට අවතීර්ණ වූ ප්‍රසන්නට ඩුලීප් පහර දෙකක් එල්ල කළ අතර, ඒ පහර දෙකෙන්ම ඔහු ඇදවැටිණ.

''ප්‍රසන්න මන්ත්‍රීතුමා තංගල්ලෙන් බැඳලා ඉන්න නිසා ඊට වඩා ගහන්නෙ නැහැ… මොකද අපි ඒකට ගරුකරන්න එපැයි'' ඩුලිප් නියෝජ්‍ය අමාත්‍යවරයා කියන විට, සැවොම සිනහවෙන්නට විය.

අවුරුදු උත්සවයේ තවත් උත්කර්ෂවත් අවස්ථාවක් වූයේ බැලුම් ඩාන්ස් තරගයයි. මන්ත්‍රීවරුන් සහ කලාකරුවන් බොහෝදෙනෙක් මේ තරගයට එක් වූ අතර මන්ත්‍රී හේෂා විතාන සහ දුලීකා මාරපන පැය එකහමාරකට වඩා වැඩි කාලයක් බැලුම් ඩාන්ස් තරගයේ සිටීම කවුරුත් පුදුම කරවන්නට විය. තරගය අතරතුර දුලීකාගේ විහිළුවලට සිනහ නොවී සිටිය හැකි කෙනෙකු නොවීය. අවසානයේ බැලුම් ඩාන්ස් තරගය ජයගත්තේ දුලීකා සහ හේෂායි. එම අවුරුදු උත්සවය එලෙස අවසන් වූ අතර, ඉන්පසු දින තවත් නාළිකාවක අවුරුදු උත්සවයකට මේ සියල්ලන්ටම සහභාගී වන්නට ආරාධනා ලැබී තිබිණ.

 මම අභියෝගය භාරගන්නම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍ර‍ධානත්වයෙන් පසුගිය අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. කැබිනට් රැස්වීමට පෙර මෙම සාකච්ඡාව ගැන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබුණි.

දහවල් දෙක පමණ වනතුරු ශ්‍රීලනිප කණ්ඩායම් සාකච්ඡාව ඇදී ගියේය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුව තිබුණේ මැයි රැලිය පැවැත්වීම සම්බන්ධවයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සඳහන් කළේ මෙවර ශ්‍රීලනිප මැයි රැලිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට තමන්ගේ අදහසක් ඇති බවයි. ඒ සම්බන්ධව අදහස කුමක්දැයි ජනාධිපතිවරයා විමසීය. තමන් ඊට කැමති බව සියලුදෙනා පැවසූහ.

''එස්බී මහනුවර ඉන්න අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙක්. එහෙනම් මැයි රැලියේ සියලුම සංවිධාන කටයුතු එස්බීටම පවරමු'' යනුවෙන් ජනාධිපතිවරයා කීවේය.

''හොදයි සර් මං ඒ අභියෝගය බාරගන්නම්. පක්ෂයේ සාර්ථකම මැයි දිනය මහනුවර මම පවත්වා පෙන්වන්නම්'' යැයි එස්බී පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකයන් සමග සාකච්ඡාකර වැඩ පටන් ගන්නා බවද එස්බී කීවේය.

මේ අතර කැබිනට් සංශෝධනයක් පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ හඹා යන සුළඟ අතරින් අමාත්‍ය එස්.බී දිසානායකගේ නමද කියවෙන්නට පටන්ගෙන ඇති අතර, ඔහු දැනට උසුලන සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයට අමතරව උඩරට සංවර්ධන අමාත්‍ය ධුරයටද එකතු වනු ඇති බව දේශපාලන ප්‍ර‍බලයන්ගේ මතයයි. ඊට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයටද අමාත්‍ය එස්.බී.දිසානායකගේ නම යෝජනා වී ඇති බව පක්ෂ අභ්‍යන්තර තොරතුරු වලින් සඳහන් විය.

මණ්ඩලේ දෙපිළ නිසා ඇමති කලකිරීමෙන්

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අවුරුදු දෙක හමාරක කාලය තුළදී විදුලිබල මණ්ඩලයේ දැඩි අර්බුද කිසිවක් හට නොගත් අතර, හදිසියේම මේ වන විට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් සහ අනිකුත් සේවකයන් පිල් දෙකකට බෙදී ඇත.

මෙලෙස විදුලිබල මණ්ඩලය පිල් බෙදුණු සැම අවස්ථාවකම අදාළ විෂයභාර ආමත්‍යවරයා ඉවත්කර ඇති බව ඉතිහාස තොරතුරු සාක්ෂි දරයි. එය චම්පික රණවක, පවිත්‍රා වන්නිආරච්චි, ජෝන් සෙනවිරත්න අමාත්‍යවරුන්ට අයත් වූ ඉරණමකි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියද මේ දිනවල නොසන්සුන්තාවයෙන් සිටින්නේ එම ඉරණම තමාටද අත්වේවිදෝ යැයි සිතමිනි.

එමෙන්ම මෙලෙස විදුලිබල මණ්ඩලය දෙකඩ කරමින් ඉංජිනේරුවන් මෙහෙයවන්නේ මීට පෙර මෙම ආමත්‍යාංශය භාරව සිටි වත්මනෙහිද මහා අමාත්‍ය ධුරයක් දරන අමාත්‍යවරයකු යැයි සියඹලාපිටිය අමාත්‍යවරයා සැක පහළකර සිටියි.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තුන වන ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය සහ ලංකා විදුලිසේවක සංගමය වෙනුවට අලුතින් පත්වීම් ලබාගත් සේවකයන්ගේ එකතුවෙන් සාදා ඇති විදුලි පොදු සේවක සංගමය තරමක් වෙනස් ආකාරයෙන් කටයුතු කරමින් සිටියි. මේ අතර අනිකුත් සියලුම වෘත්තීය සමිති ගෙන එන යෝජනා පැත්තකට විසිවන විට මෙම සංගමයේ යෝජනා අනුමත වන්නේද සභාපතිවරයාගේ අශිර්වාදය ඇතුවයි.

විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය අකාර්යක්ෂම බව පවසමින් මඩ ව්‍යපාරයක් මේ වන විට එක්පිරිසක් ආරම්භකර ඇත. නියඟය පැවති සමයේ විදුලිබල මණ්ඩලය කප්පාදුවකින් තොරව විදුලිය ලබාදුන් අතර, ඒ වෙනුවෙන් යම් වියදමක් දැරීමට සිදුවූයේ ජලය හිඟ බැවිනි.

ඒ සඳහා විදුලිබල මණ්ඩලයට මුදල් ලබාදීමට ජනාධිපතිවරයාද එකඟතාවය පළකර තිබුණි. එසේවුවද මෙම කටයුතු හුවා දක්වමින් විදුලිබල අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාව මත විෂයභාර අමාත්‍යවරයා වෙනස් කිරීමට කටයුතු කරන බවට තවත් අමාත්‍යවරයකුගේ පාර්ශ්වයෙන් බොරු කටකතා පතුරවමින් සිටියි.

ඇමති මාරුවක් සිදුවන බවට සමාජයේ කතිකාවක් පවතින මේ මොහොතේ මෙම සියලු කාරණා හේතුවෙන් විෂයභාර සියඹලාපිටිය අමාත්‍යවරයා සිටින්නේ දැඩි කලකිරීමෙනි.

පොරොන්දු එකක්වත් ඉටුකළේ නැහැ

ලෝක නාට්‍ය දිනයට සමගාමීව 45 වැනි රජ්‍ය නාට්‍ය උලෙළ සඳුදා දිනයේදී නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණ. වසරේ හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය ඇතුළු සම්මාන හයක් දිනාගනිමින් වසරේ නාට්‍යය ලෙස රාජිත දිසානායකගේ ''නැතුව බැරි මිනිහෙක්''  සම්මානයට පාත්‍ර විය. එමෙන්ම මෙහිදී නාට්‍ය කලාව වෙනුවෙන් සිදුකරන ලද අමිල මෙහෙවර අගයමින් ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන නාට්‍යකීර්ති සම්මානය ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණි සහ ප්‍රවීණ නාට්‍යවේදී මානා මකීන් හට ප්‍රදානය කරන ලදී.

පසුගිය නාට්‍ය උලෙළ සමග සැසදීමේදී මෙවර නාට්‍ය උලෙළේ සංවිධාන කටයුතු සාධනීය මට්ටමක තිබුණි. නාට්‍ය කණ්ඩායම් සඳහා වෙන් වෙන් වශයෙන් අසුන් වෙන්කර තිබූ අතර, එය ශිල්පීන්ට පහසුවක් විය.

සාමාන්‍යයෙන් සම්මාන උලෙළක් පැය දෙකකදී පමණ අවසන් විය යුතු අතර, එම අරමුණින් නියමිත වෙලාවටම සම්මාන උලෙළ ආරම්භ කළද එම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි විය.

එලෙස සම්මාන උලෙළ අවසාන වූ අතර, අඟහරුවාදා උදෑසනම සමාජවාදී කලා සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ කලාකරුවන්ගේ මහගෙදර බඳු වූ ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර ඇති බව පවසමින් එයට විරෝධය දැක්වීමටය.

චන්ද්‍රසෝම බිංදුහේවා, දීපානි සිල්වා ඇතුළු ප්‍රවීණ කලාකරුවන් මේ සඳහා එක්ව සිටි අතර, මෙම තීරණය සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දීපානි සිල්වා සෘජුවම චෝදනා කරන ලැබුවේ ජනාධිපතිවරයාටයි.

''නාට්‍යකරුවන් හැටියට සාධාරණ මුදලකට නාට්‍ය පෙන්වන්න තිබුණු එකම ආයතනය ජෝන් ද සිල්වා රඟහලයි. දැන් ඒක කඩල දාලා ඉවරයි. අලුතෙන් හදනවා කියපු නිසා අපි බලාගෙන හිටියා හදල අපිට භාර දෙනකම්. මම මේ වෙලාවේ ඇඟිල්ල දික් කරන්නේ ජනාධිපතිට. මොකද එතුමා ජනාධිපති වෙලා දවස් තුනකට පස්සෙ අපිත් එක්ක සාකච්ඡාවක් තියලා මේ ගැන කතා කළා. එතැනදී ජනාධිපති අපිට පොරොන්දු උනා මේ ගැන සොයා බලා කඩිනමින් මේ රඟහල කලාකරුවන්ට පවරන්නට.

ඊට දවස් ගාණකට පස්සෙ ආයෙ සාකච්ඡාවකට කැඳවලා කිව්වා මේ රඟහල හදාගෙන යනවා ඒකෙ වැරදි තියෙනවා නම් බලන්න කියලා. හැකි ඉක්මනින් මේ රඟහල කලාකරුවන්ට දෙනවා කියල ජනාධිපති කියල දැන් අවුරුදු දෙකක් පහු වුණා. ජනාධිපති පොරොන්දු වුණ කිසිම පොරොන්දුවක් ඉටුකළේ නැහැ කියල අපි දන්නවා. අසරණ කලාකරුවෝ තවත් අසරණ කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා'' ඇය ආවේගයෙන් කියන්නට විය.

අගමැති උපන් දිනය වෙනුවෙන් ඇත්රජගම

අග්‍රාමාත්‍යවරයාගේ 68 වැනි උපන් දිනය නිමිත්තෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ලුණුගම්වෙහෙර, පහළ මත්තල 'ඇත්රජගම' නමින් නව උදා ගම්මානයකට මුල්ගල් තැබීමට ඉකුත් සතියේ කටයුතු සංවිධානය කළේය. මේ ගම්මානය නිවාස 68කින් සමන්විතය. එය 359 වැනි උදා ගම්මානයද වෙයි. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ සජිත් කීවේ, ''අගමැතිතුමා තමන්ගේ උපන් දිනය අඬබෙර ගහලා සමරන කෙනෙක් නෙවෙයි. එතුමා ඉතාම චාම් ජීවිතයක් ගෙවන කෙනෙක්. මම විශ්වාස කරනවා මේ ගම්මානය නිසා පවුල් 68ක් අඳුරෙන් ආලෝකය දැකීම ගැන එතුමා සතුටට පත්වේවි කියලා. මේ ගම්මානය එතුමා වෙනුවෙන් පිදෙන උපහාරයක්'' කියාය.

ඡන්ද පොරොන්දු වෙනස් කරන්නේ නැහැ

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 27 සහ 28 දෙදින පැවැති '2017 ගෝලීය ව්‍යාපාර සමුළුව'සංවිධානය කළ විද්වත් ප්‍රජාව විසින් කර තිබූ ඇරයුම පරිදි සජිත් ප්‍රේමදාස ඊට සහභාගී වීම සඳහා 27 වැනිදා නවදිල්ලිය බලා ගියේය. පසුවදා පෙරවරුවේ 'ඔබ්සර්වර් රිසර්ච් පදනම' (Observer Research Foundation) විසින් සංවිධානය කළ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ බුද්ධි මණ්ඩපයේදී වත්මන් ශ්‍රී ලංකාවේ සිදුවන ප්‍රතිසංස්කරණ, ප්‍රතිසංවිධාන හා සංහිඳියා ක්‍රියාදාමයන් ගැන සෙසු නියෝජිතයන්ට බොහෝ කරුණු පැහැදිලි කරමින් ඇතැම් දුර්මත දුරු කිරීමටත් සජිත්ට එහිදී අවස්ථාව හිමි විය.

''ඉකුත් මහ මැතිවරණයේදී අප ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව ඒකීය ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා. එමෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිකර දෙනවා'' යි සජිත් කියද්දී එක් නියෝජිතයෙකු ඇසුවේ,

''ඒක ෆෙඩරල් ව්‍යවස්ථාවක් නෙවෙයිද?'' කියාය.

''නෑ අපි ඡන්ද පොරොන්දුවක් දී තිබෙන්නේ ඒකීය ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමටයි. එය කිසිසේත්ම වෙනස් වෙන්නේ නෑ'' යන්න සජිත්ගේ පිළිතුර විය.

'බෙංගාල බොක්ක අවට රටවල ආර්ථික හා සහයෝගීතා සංවිධානය' හෙවත් 'බිම්ස්ටෙක්^ (BIMSTEC) සංවිධානයට අයත් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියෙන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡා වාරය පැවැත්වුණේ 28 වැනිදා පස්වරුවේදීය.

බිම්ස්ටෙක් කලාපයේ රටවල පුරවැසියන් බලගැන්වීම, දුප්පත්කම පිටුදැකීම මෙන්ම කාන්තාවන් සහ යෞවනයන් සවිබල ගැන්වීම ගැන එහිදී විශේෂ අවධානය යොමු කළ සජිත් කීවේ ''මේ සංවිධානය කතා සාප්පුවක් නොවී දුප්පත්කම පිටුදැකීමටත්, තරුණ විරැකියාව දුරු කිරීමටත්, ජන සමාජය තුළ සම්පත් සාධාරණව බෙදී යන ක්‍රමවේදයන් සැකසීමටත් ක්‍රියාත්මක විය යුතුය'' කියාය. බිම්ස්ටෙක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂිත සංවර්ධන අරමුදලක් ස්ථාපනය කිරීමටද සජිත් යෝජනා කළේය.

එමගින් සමාජ සාධාරණය ඉටුවන හා ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු වන නව වැඩපිළිවෙළක් වෙත යොමු විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම සැසිවාරය මෙහෙයවන ලද්දේ 'බිම්ස්ටෙක්' සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා විදේශ සේවාවේ පළපුරුදු නිලධාරියෙකු වන සුමිත් නාකන්දලය.

29 වැනිදා උදෑසන නවදිල්ලියේ රාජ්‍ය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දකුණු කොටසේ (South Block) පිහිටි ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එහි රාජ්‍ය අමාත්‍ය එම්.ජේ අක්බාර් හමුවීමට ලැබුණු අවස්ථාවේදී සජිත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාව වැඩි වැඩියෙන් අතහිත ලබාදිය යුතු බවය.

''දෙරට අතර වෙළෙඳ කටයුතුවලදී පවතින අසමතුලිතභාවය නිසා ශ්‍රී ලංකාවට අවාසියක් සිදුවනවා. එය නැති කිරීමටත් රජයේ සැලකිල්ල යොමු කරන්න'' සජිත් රාජ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

අපිට රථ ගායක් නැහැ හාමුදුරුවනේ

සඳුදා සවස පූජ්‍ය ආචාර්ය  ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවේදී බුදුගල ජිනවංස හිමියන් කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමතිවරයාට ප්‍රශ්නයක් එල්ල කළහ.

''ඇමතිතුමා මොකක්ද මේ යන කතාව, ඔබතුමා කෝටි හතරක වාහනයක් ගෙන්නගන්න යනවා කියලා''

''හාමුදුරුවනේ, මට එහෙම රථ ගායක් නැහැ. ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයට දිගටම නියෝජ්‍ය ඇමති කෙනෙක් ඉඳලා නැහැ. ඒ නිසා ඉතින් වාහන විතරක් නෙමෙයි වෙන පහසුකම් තිබිලත් නැහැ. ඉතින් වාහනයක් නැති නිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට කිව්වා මම මීට කලින් පළාත්පාලන නියෝජ්‍ය ඇමති වෙලා හිටිය කාලෙ පාවිච්චි කරපු වී එයිට් වාහනේම දිගටම පාවිච්චි කරන්න කියලා. ඒක පරණ වාහනයක්. ඒක මීට කලින් ඒ අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිලා වෙලා හිටපු සනත් ජයසූරිය, ඉන්දික බණ්ඩාරනායක මහත්මයලා දීර්ඝ කාලයක් තිස්සේ පාවිච්චි කරපු වාහනයක්.

මට රථ ගායක් තිබුණ නම් මම අලුත් වාහනයක් ඒ කාලෙම ඉල්ලනවනේ. ඒත් මම ඒ පරණ වාහනේම පාවිච්චි කළා. නමුත් ප්‍රශ්නෙ උනේ, පහුගිය අවුරුද්දෙ පළාත් පාලන නියෝජ්‍ය ඇමති විදියට ප්‍රියංකර ජයරත්න පත්වෙලා ආපුවාම එතුමා එතුමාලට අයිති ඒ වාහනේ බාරදෙන්න කියල ඉල්ලලා එව්වා. එතකොට තමයි මට උපදෙස් ලැබුණේ අලුත් වාහනයක් ඉල්ලන්න කියලා. මොන වාහනයක්ද ගේන්නෙ කියල ඇහුවහම මම කිව්වා ඒ තියන වාහනේ වගේ එකක් ගේන්න කියලා.

ඔය වාහනේ ඇත්ත වටිනාකම ලක්ෂ හැත්තෑවයි. ඉස්සරනම් ආණ්ඩුවට වාහන ගෙන්නද්දී ඒ ගාන විතරයි කිව්වේ. නමුත් දැන් අලුත් ප්‍රතිපත්තිය අනුව බදු මුදලත් එකතු කරලම තමයි මිල කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ වාහනේට ලංකාවේ ආණ්ඩුව වියදම් කරන්නේ ලක්ෂ හැත්තෑවයි. ඉතිරි මුදල ආණ්ඩුව ආණ්ඩුවටම ගෙවන බදු මුදල. මට කලින් තිබුණ වාහනේ තිබුණ නම් කවදාවත් අලුත් වාහනයක් ගන්නෙ නැහැ.‘  ගයන්ත ඇමතිතුමාටත් එහෙම රථ ගායක් නැහැ''

''ඔබතුමා ඔය පැහැදිලි කිරීම මිනිස්සුන්ටත් කළා නම් ගොඩක් හොඳයි''

''මම මගේ බ්ලොග් එකෙනුයි ෆේස්බුක් එකෙනුයි මේ ගැන පැහැදිලි කළා හාමුදුරුවනේ. මොනවා කිව්වත් වැඩක් නැහැ, සමහරුන්ට  ඕන මඩ ගහන්නමනේ. එයාලට ඉතින් කියල වැඩක් නැහැ. තමන්ට සුපිරිම වාහන පහ හය ගෙන්නගෙන යාළුවන්ටයි, නෑදෑයන්ටයි තවත් වාහන දහය පහළොව බෙදාගත්තු අය තමයි දැන් අපිව විවේචනය කරන්න එන්නේ. ඉතින් මොනව කියන්නද?''

දියවන්නාරාළ විසිනි

නැතුවම බැරි මිනිහෙක් ඇගයීමට ලක්වෙන්න එහි කතා පුවත ඉවහල් වෙන්න ඇති

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහාය නිළිය ඇතුළුව ප්‍රමුඛ සම්මාන හයක් හිමිකර ගැනීමට සමත් වූයේ රාජිත දිසානායක විසින් නිර්මාණය කරනු ලැබූ 'නැතිව බැරි මිනිහෙක්' නාට්‍යයයි.

සමකාලීන සමාජයේ තවත් අඳුරු පැතිකඩක් නිරාවරණය කරමින් සමාජය හමුවේ තැබූ 'නැතිව බැරි මිනිහෙක්' නාට්‍යයට ලැබුණු ඇගයීම් පිළිබඳව කතාබහ කරන්නට අපි රාජිත දිසානායකව 'අද'ට සම්බන්ධ කර ගතිමු.

'නැතිව බැරි මිනිහෙක්' නාට්‍යයේ මීළඟ දර්ශනය අප්‍රේල් 2 දා සවස 7.00ට ලයනල් වෙන්ඩ්ට් හිදී වේදිකාගත කිරීමට නියමිතව තිබේ.

Q වසර කිහිපයකට පසුව ඔබේ නාට්‍ය නිර්මාණයක් මෙවර නාට්‍ය උලෙළේදී ඉහළ අගය කිරීමකට ලක්වුණා. මේ ගැන මුලින්ම කතා කරමු?

නිර්මාණකරුවෙකුට යම් ඇගයීමක් ලැබෙනකොට කිසියම් විදිහකට සතුටක් හා කලාවේ නිරත වෙන්න හයියක් ලැබෙනවා. නාට්‍යයක් කියල කියන්නේ සාමූහික කලාවක්. ඒ අනුව සමූහයකගේ ශ්‍රමය තමයි මේ ඇගයීමට ලක්වුණේ. ඒ ගැන ඇත්තටම සතුටක් තිබෙනවා.

'නැතුව බැරි මිනිහෙක්' නාට්‍ය කණ්ඩායම ඉතා හොඳින් පුහුණුවීම් ක්‍රියාවලියේ සිටම කැපවීමෙන්, මහන්සිවෙලා වැඩ කළා. මේ නාට්‍යයේ මංගල දර්ශනයේ ඉඳලා ඉතා ඉහළ ප්‍රතිචාර අපට හිමිවුණා. ඒකත් එක්ක මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී මේ නාට්‍යය ඇගයීමට ලක්වීම ගැන සතුටක් තිබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් තිබෙනවා.

එවැනි ප්‍රතිචාර සහිත නාට්‍යයකට මෙවැනි ඇගයීමක් ලැබුණම අධ්‍යක්ෂවරයා ලෙසත්, කණ්ඩායම ගත් මහන්සියට ලැබිච්ච දේ ගැනත් බෙහෙවින් සතුටු වෙනවා.

මගේ නාට්‍ය මීට ඉහත අවස්ථා කිහිපයකදීම ඇගයීමට ලක්වෙලා තිබෙනවා. මෙවර කාලයක් තිස්සේ මාත් එක්ක වැඩ කරපු පිරිසක් සේම එකතුවෙලා කරපු නාට්‍යයට ඇගයීමක් ලැබීම ගොඩක් විශේෂයි.

Q 'නැතිව බැරි මිනිහෙක්' මෙතරම් ඉහළ ඇගයීමකට ලක්වෙන්න බලපෑවේ කවර හේතුවක් කියලද ඔබ විශ්වාස කරන්නේ?

මේ නාට්‍යයට පාදක කරගත්තු කතා පුවත ඊට ඉවහල් වෙන්න ඇති. විශේෂයෙන් සමකාලීන සමාජයේ දේශපාලනය පිළිබඳව සිතීමක් රසිකයා තුළ ඇති කිරීමට සමත්වීම හා එය අප ඉදිරිපත් කරන්න භාවිත කළ රංග සම්ප්‍රදාය ඒ ඉහළ ඇගයීමට හේතු වුණා. ඇගයීම් මණ්ඩල හේතුපාඨවල මේ කරණු සඳහන් වෙලා තිබුණා.

Q මේ නාට්‍යයෙන් කතා කරන්නේ ජරාජීර්ණ සමාජයේ එක් පැතිකඩකුයි. ඇත්තටම අපේ සමාජය මෙලෙස ජරාජීර්ණ වෙමින් පවතින්නේ ඇයි?

සමාජයක් ලෙස අප ගමන් කරමින් සිටින දිශාව ගැන ඇතැමුන් පවසන්නේ සමාජයක් ලෙස අප මිය යමින්, කුණු වෙමින් සිටින බවයි. මේ තත්ත්වය වෙනස් වීමක් ලෙසිනුත් සමහරු සඳහන් කරනවා. ඇත්තටම මේක සම්පූර්ණ මිය යන්න හෝ කුණු වීමට ලක්විය යුතු සමාජයක්ද? යන්න වහා අවබෝධ කරගෙන පුරවැසියෙක් ලෙස අපේ ශක්ති ප්‍රමාණයෙන් යමක් කරන්න දැනුවත් වෙන්න, අවබෝධය ඇතිවෙන්න උවමනායි.

පරාජයට පත්වුණ රෙජීමය තුළ සිටි සාමාජිකයෙක් තමන් ආරක්ෂා වෙන්න ක්‍රියාකරන ආකාරය සහ බලය කියන දේ සඳහා කොයි විදිහටද ජාතිවාදය හා ආගම පාවිච්චි කරන්න හදන්නේ කියන කාරණය ඇතුළේ මානුෂීය කාරණාත් බොහෝමයක් යටපත් වන ආකාරය තමයි මේ නාට්‍ය හරහා අපි මතු කරන්නේ.

ඒ හරහා අපි උත්සාහ කරන්නේ තමන්ට තමන්ව දකින්න යම් කැඩපතක් අල්ලන්න සහ මේ සිදුවන පරිහානියට නිහඬවම අපිත් අහුවෙනවද නැත්නම් අපි ඒ ගැන අවබෝධයෙන් කළ හැකි දේ හොයනවද කියන කාරණයයි අපිට මතුකරන්න උවමනාව තියෙන්නේ. මේ ගත්තු උත්සාහය තමයි මේ නාට්‍යය ඇගයීමට හේතුවන්නේ සහ ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ඉහළ ප්‍රතිචාර ලබන්න හේතු වන්නේත්.

Q ලංකාවේ නාට්‍ය කලාව ඇගයීමට තිබෙන එකම සම්මාන උලෙළ වන මෙම සම්මාන උලෙළට රාජ්‍ය මට්ටමින් හෝ මාධ්‍ය තුළින් ලබාදෙන අනුග්‍රහය ප්‍රමාණවත් නැහැ නේද?

රටක කලා සංස්කෘතියේ වර්ධනය ඒ රටේ දියුණුව කියාපාන දෙයක්. අපේ රටේ පරිහානිය කලා සංස්කෘතික ක්‍රියාවලිය තුළ පවා දකින්න ලැබෙන දෙයක්. පසුගිය වසරට සාපේක්ෂව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ පැවැත්වීමේදී හොඳ තත්ත්වයක් පෙන්නුම් කළා. හැබැයි මීට වඩා සාධනීය ලෙස පවත්වන්න උවමනාවක් තියෙනවා නම් අපහසු නැහැ.

මම මේ වන විට ඉල්ලීමක් කර තිබෙනවා නාට්‍ය අනුමණ්ඩල ලේකම්වරිය හරහා සංස්කෘතික අධ්‍යක්ෂවරියව හමුවෙන්න. මොකද දියුණු නාට්‍ය සංස්කෘතියකට උදව් වන විදිහට රාජ්‍ය නාට්‍ය උලෙළ යොදාගන්න අපේ තිබෙන යෝජනා ඉදිරිපත් කරන්න. තැන තැන විවේචනය කරනවාට වඩා හමුවෙලා කරුණු ඉදිරිපත් කරන එක හොඳයි.

කොහොම වුණත් නාට්‍ය කලාව හා සාහිත්‍ය කලාව පිළිබඳව අපේ සමාජය තුළ වැඩි අවධානයක් ඇතිකරන්න මාධ්‍යයට ඇති නොහැකියාව ගැන කණගාටු වෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙළ ගත්තාම සමහර විද්‍යුත් නාළිකාවල තත්පර 15ක් වත් මේ වෙනුවෙන් වැය කරන්න කටයුතු කළේ නැහැ. සමහර මුද්‍රිත මාධ්‍ය නිසි වටිනාකමකින් වාර්තා කළේ නැහැ. එවන් පසුබිමක'අද' පුවත්පත පමණයි නිසි වටිනාකමක් ලබාදෙමින් මේ වන තෙක් (29දා) වාර්තා කළේ.

කලාත්මක ශ්‍රමය ගැන අපේ සමාජයේ තිබෙන ඇගයීමත්, වටිනාකමත් හරි අඩුයි. මේ වන විට ඉතා දියුණු නිර්මාණ ශිල්පීන් බිහිවෙමින් ඉන්නවා. එවැනි අයව හඳුනාගෙන අගය කිරීම, සමාජයට හඳුන්වාදීම සඳහා ඉඩක් වෙන්කර ගන්න අවබෝධයක් සමහරුන්ට නැහැ.

හැබැයි හොඳම නළුවා වෙනත් වංචාවකට, දූෂණයකට සැකකරුවෙක් වුණා නම් ඊට විශාල ඉඩක් ලබාදේවි. අපේ ජනමාධ්‍ය වාර්තා කරන්න බලාගෙන ඉන්නෙම හොරකම්, මැරකම් විතරමද? සාධනීය දේ වෙත අවධානය යොමු කරන්නේ නැද්ද? මේ ගැන මාධ්‍ය ආයතන හිමිකරුවන් කතුවරුන් සිතිය යුතු වෙනවා.

මිය යමින් පවතින සමාජයක තවමත් මිය නොගිය ක්ෂේත්‍ර බොහෝමයක් තිබෙනවා. විශේෂයෙන්ම කලාව හා අධ්‍යාපනය ගැන ලබාදෙන ඉඩ තව වැඩි කළ හැකිනම් එය සමාජයට යහපත් බලපෑමක් වේවි. අපේ  රටේ විද්‍යුත් නාළිකාවල ප්‍රවෘත්ති ගත්තොත් වැඩකට නැති දේශපාලනඥයන්ගේ ප්‍රකාශ තමයි අපි වැඩි වශයෙන් දකින්නේ.

එය දේශපාලඥයන් නිත්‍ය පුවත් සපයන්නන් වගේ හැමදාම පෙනී සිටිනවා. BBC, CNN, NDTV හෝ අල්ජසිරා පුවත් සේවාවන් ගත්තොත් ඒවායේ මේ වගේ විහිළු සපයන වැඩකට නැති දේශපාලනඥයන්ගේ කතා පෙන්වන්නේ නැහැ. ඒක නෙවෙයි ප්‍රවෘත්ති කියන්නේ. ඉහත කියූ සෑම විදෙස් නාළිකාවකම අලුතෙන් එන පොතක්, අලුතෙන් එන චිත්‍රපටයක්, අලුතෙන් එන නාට්‍යයක් ගැන පළවෙනවා. ඇගයීමේ උලෙළවල් ගැන කතා කරනවා. නිරෝගී සමාජයකට දියුණු කලා සංස්කෘතියක් අවශ්‍යයි.

Q පසුගිය සමයේ ඔබ නිර්මාණය කළ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වූ නාට්‍ය ඇතැමුන්ගේ දැඩි බලපෑම් මත නාට්‍ය උලෙළ වලින් නොසලකා හැරි බවක් දිස්වුණා. මේ වන විට ඒ බලපෑම් අවසන් බවද මෙවර ප්‍රතිඵලයෙන් පැහැදිලි වෙන්නේ?

මම කවදාවත් සම්මාන උලෙළක්, විශේෂයෙන් සම්මාන නොලැබුණා කියලා විවේචනය කරලා නැහැ. හැබැයි මෙවර විනිශ්චය මණ්ඩලයේ ගරු කටයුතු කිහිපදෙනෙක් සිටීම නිසා ඒ විනිශ්චය මණ්ඩලයට පිළිගැනීමක් හිමිවනවා. සමහර අවස්ථාවල ඇතැම් පුද්ගලයන් කොහොමද මේ විනිශ්චය මණ්ඩලයට ආවේ කියන ගැටලුව ඇති වෙනවා.

කලා ඇගයීම් සඳහා විවෘතව බැලිය හැකි අයව යොමුකිරීම වැදගත්.

මම 'ආදර වස්තුව' නාට්‍යය වේදිකාගත කරන සමයේ මට ඉතා අමිහිරි අත්දැකීමකට මුහුණපාන්න සිදුවුණා. එවකට ආණ්ඩුවේ උපදේශකවරයෙකු වූ විශ්වවිද්‍යාල අමාත්‍යවරුන් සම්බන්ධයෙන් තමයි මේ නාට්‍යය නිර්මාණය කර තිබෙන්නේ යනුවෙන් ඔහු මට පෞද්ගලිකව දෝෂාරෝපණය කළා.

එතැනින් නොනැවතී කෙටි නාට්‍යයක්වත් විනිශ්චය නොකළ අදාළ කථිකාචාර්යවරයා කිසිදු ශික්ෂණයකින් තොරව නිලබලය භාවිත කරලා ඒ වගේම පුද්ගලයෙක් සභාපති ලෙස පත්කරගෙන නාට්‍ය ඇගයීම සඳහා පැමිණ එම නාට්‍යයට එරෙහිව පෙනී හිඳ තිබුණා.

එතැනදී 'රාජිතට එරෙහි වුණේ' වැනි මතයක් හදාගෙන බොහෝ දෙනෙක් මෙය ප්‍රශ්න කළේ නැහැ. මමත් එය නිශ්ශබ්දව විඳ දරා ගත්තා. මෙවැනි තත්ත්වයක් සම්පූර්ණයෙන්ම තවදුරටත් නොවෙනවාම නෙවෙයි. ඉදිරියටත් වෙන්න පුළුවන්. මේ නිසා බොහොම විවෘතව ඇගයීමේ ක්‍රියාවලිය සිද්ධකරන්න පුළුවන් නම් එය වැදගත්.

කිසියම් අයෙක් ඇගයීමක් ලබනවා කියන්නේ තවත් කෙනෙක් පරාද කිරීමක් නෙවෙයි. එය ඇගයීමේ මණ්ඩලයක් විසින් කරන ඇගයීමක්. හොඳම රංගනය පිළිබඳව සම්මානයක් හිමිවනවා කියන්නේ අනිත් රංගනයන් දුර්වලයි කියන එක නෙවෙයි. එසේ ඇගයීමට ලක් කිරීම කලාව පිළිබඳව සේම කලාවේ පවතින මූලික කාරණා පිළිබඳව අදහසක් ඇතිව සිදුකරන දෙයක්. එහිදී පෞද්ගලික කෝන්තර ඇතිව සිද්ධ කරන්න ගියොත් එය සුදුසු දෙයක් නෙවෙයි.

මෙවැනි තත්ත්ව නිසාම අපේ බොහෝ ඇගයීම් මණ්ඩල පිළිබඳව තිබෙන විශ්වාසය මේ වන විට අඩුවෙලා තිබෙනවා. සමහර අවස්ථාවල සැමියාගේ නිර්මාණයක් විනිශ්චය සඳහා ඇගයීමේ මණ්ඩලයට බිරිඳ වාඩි වෙනවා. බැඳුම්කර සිද්ධිය ගත්තොත් විශාල ආචාරධර්ම කඩවීමක් සිදුවූ බවක්නේ පැවසෙන්නේ.

සැමියාගේ නාට්‍ය විනිශ්චය කරන්න බිරිඳ ඉදිරිපත් වීමත් එවැනිම ආචාරධර්ම කඩකිරීමක් තමයි. අපේ රටේ ඉතා හොඳ කලා ඇගයීමක් කළ හැකි පුද්ගලයන් සිටිනවා. එවැනි අයව කල් ඇතිව සහභාගී කරවන වැඩපිළිවෙළක් මේ අනුමණ්ඩල වලට, සංස්කෘතික දෙපාර්තමේන්තුවට නැහැ. අවසාන මොහොතේදී එවැනි අයව සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරීම ඔවුන්ට කරන නිගරුවක්. ඒ කලා නිර්මාණවලට කරන නිගරුවක්.

හොඳ ඇගයීම් මණ්ඩලයක් වෙතින් විනිශ්චයට ලක්වී සම්මාන නොලැබුණත් එය කලාකරුවෙක් ලබන ගෞරවයක්. කෙසේ හෝ මෙවර ඇගයීම් මණ්ඩලයේ සභාපතීත්වය අශෝක හඳගම විසින් දැරීම නාට්‍යකරුවන්ට ලැබුණු ගෞරවයක්. ඔහු වැනි කෙනෙකුට තමන්ගේ කාලය මිඩංගු නොකර මෙවැනි වගකීමක් භාර නොගෙන ඉන්න තිබුණා. නමුත් ඔහු මීට සහභාගී වීමම විශාල ගෞරවයක්.

මෙවැනි අයව ඇගයීම් මණ්ඩලවලට සම්බන්ධ කර ගැනීම සම්මාන වලට පිළිගැනීමක් ලැබෙන හේතුවක් වෙනවා. ඒ වගේම අවසන් වටය සඳහා මූලික වට වලින් නිර්මාණ තෝරා ගැනීම කළ යුතුයි. මේ වසරේ අවසන් වටයට තේරුණු නාට්‍ය 10න් අඩක් පමණ අවසන් වටයේ තිබිය යුතුද කියන ගැටලුව මතුවෙනවා. ඒ නිසා දෙවැනි වටයේ ඇගයීම් මණ්ඩල ඊට වග කිවයුතුයි.

Q 'නැතිව බැරි මිනිහෙක්' ඉදිරි ගමන් මග කොහොමද සැලසුම් කර තිබෙන්නේ?

අපි මේ අවුරුද්ද පුරාවටම මේ නාට්‍යය රංගගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට අගෝස්තු වන තෙක් නාට්‍ය දර්ශන සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම ගිය වසරේ සැප්තැම්බර් 2-3 තමයි මේ නාට්‍යයේ මංගල දර්ශනය පැවැත්වුණේ. ගෙවුණු කාලය තුළ මසකට දර්ශන කිහිපයක්ම රංගගත කරන්න අවස්ථාව ලැබුණා.

එය සතුටුදායක තත්ත්වයක්. මොකද මෑත කාලයේ ප්‍රචලිත වෙච්ච වාණිජ නාට්‍ය රැල්ලක් විශාල ලෙස ව්‍යාප්ත වෙලා තිබෙන පසුබිමක මෙවන් නාට්‍යයක් පවත්වාගෙන යන්න ලැබීම විශාල ජයග්‍රහණයක්. අගෝස්තු මාසය වන විට මෙහි 50 වැනි දර්ශනය සපුරන්න අපට අවස්ථාව ලැබෙනවා. මේ නාට්‍යයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිවෙනවා.

අපේ මීළඟ දර්ශනය අප්‍රේල් 2 වැනිදා සවස 7.00ට ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී රංගගත කරනවා. මේ දර්ශනය නරඹන්න එදිනට එක්වන්න කියලා මම මේ මොහොතේදී ඔබට ආරාධනා කරන්න කැමතියි.

ඒ වගේම අපි වසරකට වරක් ලයනල් වෙන්ට්ඩ් හි පවත්වන නාට්‍ය උලෙළ අගෝස්තු 25,26 හා 27 දිනවල පැවැත්වීමට සූදානමින් සිටිනවා. මෙහිදී 'නැතුව බැරි මිනිහෙක්' සේම 'ආදර වස්තුව' හා 'මට වෙඩි තියන්නෙ නැද්ද' නාට්‍ය රංගගත කිරීමට අදහස් කරගෙන සිටිනවා.

077 3 502 700

ඡායාරූප – ඉසුරු පෙරේරා

AID_4339

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ 8ක් අත්අඩංගුවට

මන්නාරම, වන්කාලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු ඊයේ(30 දා) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදාව සඳහන් කරයි.

එහිදී ඩිංගි යාත්‍රා 2 ක්, මීටර් 220 ක පමණ දිගකින් යුත් තහනම් මාළු දැල් 2 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 10 ක් ද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදාව සඳහන් කරයි.

ඒ අනුව අත්අඩංගුවටපත් පුද්ගලයන්, ධීවර ආම්පන්න සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දුන් බවත් නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි. 

1 2 3