Monthly Archives: March 2017

මහ සයුරේ දැවැන්තයන් හැබැහින්ම දැකගන්න

නැගෙනහිර මුහුදේ වාර්ෂික තල්මසුන් නැරඹීමේ සමය ආරම්භ වීමත් සමග මිහිකත වෙසෙන දැවැන්තම ක්ෂීරපායී සත්වයාගේ අපූරු ක්‍රියාකාරකම් හැබැහින්ම දැකගැනීම සඳහා ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන් වෙත සංචාරය කරන ඔබට අවස්ථාව උදාවී තිබේ.

පසුගියදා නැගෙනහිර මුහුදේදී ප්‍රථම නිල් තල්මසා නිරීක්ෂණය කිරීමේ අවස්ථාව උදාවූ බවත්, සිනමන් නේචර් ට්‍රෙල්ස් හි ප්‍රවීණ සොබාදම්වේදීන්ගේ මඟපෙන්වීම යටතේ තල්මසුන්ගේ වාර්ෂික අසිරිය නැරඹීම සඳහා ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන් සියලු සංචාරකයන් සාදරයේන පිළිගන්නා බවද ඔවුහු පවසති.

මෙහිදී, තල්මසුන් නැරඹීම සඳහා පූර්ණ පහසුකම් සපයනු ලබන අතරම, සැලකිය යුතු ප්‍රමාණයක් ස්පර්ම් තල්මසුන් සහ නිල් තල්මසුන් නැරඹීමට වෙරළේ සිට සැතපුම් 6කට වඩා දුර යා යුතු නොවන බවද ඔවුහු පවසති. මෙම සමයේදී තල්මසුන් නැරඹීම සඳහා ත්‍රිකුණාමලය වඩාත් ජනප්‍රිය වන අතර, කාලගුණය සහ දේශගුණය යහපත් අන්දමින් පැවතියහොත් තල්මසුන් විශාල සංඛ්‍යාවක් නැරඹීමේ වරම් ලැබෙන බවත් සිනමන් නේචර් ට්‍රෙල්ස් සහතික වෙයි.

මෙම සහතිකය වඩාත් විශ්වාසය තැබිය හැකි වන්නේ පසුගිය වසර 6ක කාලය පුරාවට සිනමන් නේචර් ට්‍රෙල්ස් විසින් ජී.පී.එස්. තාක්ෂණය ආධාරයෙන් නැගෙනහිර මුහුදේ තල්මසුන් ගැවසෙන සියලු ස්ථාන නිරීක්ෂණය කිරීමට සමත්ව ඇති නිසා බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

ගව ඝාතනයට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් -ඉන්දියාව

ගවයෙකු ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදිය හැකි නීතියක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී සම්මත වී තිබේ.

ඉන්දියාවේ බටහිර ප්‍රාන්තයක් වූ ගුජරාට් ප්‍රාන්තයේ දැනට පවතින සත්ව ආරක්ෂණ පනතට සංශෝධනයක් එක්කරමින් මෙම නව නීතිය සම්මත වී ඇති අතර, මීට අනුව යමෙකු ගව මස් ප්‍රවාහනය කර හසු වුවහොත් වසර 10ක සිර දඬුවමකටද ලක්කළ හැකිය.

ඉන්දියාවේ හින්දු සමාජය තුළ ගවයා යනු අතිශය පූජනීය වස්තුවක් වන අතර, එරට බහුතර ප්‍රාන්ත තුළ ගව ඝාතනය නීති විරෝධී කටයුත්තකි.

කෙසේ වෙතත්, ගුජරාට් ප්‍රාන්තය විසින් සම්මත කළ මෙම නව නීතියට අනුව රටේ සියලුම ප්‍රාන්තවල ගව ඝාතනයට එරෙහි නීතිවලට වඩා ප්‍රබලතම දඬුවම් පැමිණවීමක් සිදුව ඇත.

මේ ආකාරයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්වලට අමතරව ගව ඝාතනය හා සම්බන්ධ වැරදි සඳහා ඉන්දීය රු.ලක්ෂයක් දක්වා දඩ මුදල්වලටද ලක්වීමට වැරදිකරුවන්ට සිදුවනු ඇත.

ගුජරාට් ප්‍රාන්ත අමාත්‍ය ප්‍රදීප්සිං ජඩේජා මාධ්‍යවේදීන් අමතමින් පවසා සිටියේ ගවයා යනු ඉන්දීය සංස්කෘතියේ සුවිශේෂී සලකුණක් බවයි. මෙය ප්‍රාන්තයේ ජනතාව සමග සංවාදයට බඳුන්කර ගෙනඑනු ලැබූ නීතියක් බවද මෙතෙම පවසා සිටියේය.

මේ අතර, ප්‍රධාන අමාත්‍ය විජෙයි රූපනි මාධ්‍ය අමතමින් පවසා සිටියේ ඉදිරියේදී යමෙකු ගව ඝාතනයක යෙදෙන්නේ නම් ඔහුට දැඩි දඬුවම්වලට යටත්වීමට සිදුවනු ඇති බවයි.

මෙම නව නීතිය සෙනසුරාදා (01දා) සිට බලාත්මක වන බව සඳහන් වෙයි.

අලි ඇතුන් රැකීම සඳහා චීනය ඇත්දළ වෙළෙඳාමට වැට බඳී

ලෝකයේ අලි ගහණය බේරාගැනීම සඳහා ඇත් දළ වෙළෙඳාම චීනය විසින් තහනම් කිරීමට පියවර ගැනීමත් සමග ඇත් දළ ආශ්‍රිත කර්මාන්තයන්හි නරත චීන ජාතිකයන් කණස්සල්ල පළකර ඇති බව පැවසෙයි.

ඔවුන් පවසන්නේ තම පාරම්පරික ව්‍යාපාරය මේ තහනමත් සමග නැතිවී යන බවයි.

ලෝකයේ වෙළෙඳාම් වන ඇත් දළවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා චීනය එම ඇත් දළ යොදාගෙන පෙන්ඩන්ට්, ප්‍රතිමා ආදී විවිධ නිර්මාණ සිදුකරයි.

එමෙන්ම, මේ සුවිශේෂී නිර්මාණ අති විශාල මිල ගණන්වලට අලෙවි වන ආකාරයද දැකිය හැකිය.

කෙසේ වෙතත්, මේ ආකාරයෙන් ඇත් දළ ආශ්‍රිත නිර්මාණවලට ඇති ආකර්ෂණය හේතුවෙන් ලෝකයේ ජීවත්වන අලි ඇතුන් විශාල ප්‍රමාණයකට සිය දිවියට සමුදීමට සිදුවී ඇති බව පරිසර සංවිධාන නිතර පෙන්වා දෙන්නකි.

විශේෂයෙන්ම, අත් දළ ලබාගැනීම සඳහා ක්‍රෑර අන්දමින් අලි ඇතුන් මරා දැමීම වර්තමානයේදී අප රටේද සුලභව දැකිය හැකි තත්ත්වයකි.

මේ තත්ත්වය සලකා බලා චීනය විසින් මෙම ඇත් දළ වෙළෙඳාමට තිත තැබීමට කටයුතු කරමින් සිටියි.

අපි ඉන්නෙ අවදියෙන් – නිදි නැහැ

 

විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට විශේෂ කමිටුවක් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ කමිටුවේ තීරණ මත මේ වසරේ අගෝස්තු මාසය වන විට ලංවිම සේවකයින්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි විසඳුමක් ලබාදෙන බවත් ඒ සඳහා අපිට සාධාරණ කාලයක් ලබාදෙන් ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය  වර්ජන උද්ඝෝෂණ අවශ්‍ය වෙන්නේ නිදාගත් පාලකයින් කූද්දන්න. නමුත් වර්තමාන පාලකයින් වශයෙන් අපි හැමදෙනාම ඉන්නෙ අවදියෙන්. අපි නිදි නැහැ. නිද්‍රාශීලී ස්වරූපයෙන් ඉන්නෙත් නැහැ. ඒ නිසා කූද්දන්න අවශ්‍ය නැහැ. මේ හැම ප්‍රශ්නයක් ගැනම අපි අවදියෙන් ඉන්නේ,

විදුලිබල  මණ්ඩලය වශයෙන් අපි හොද ශක්තිමත් ප්‍රගතිශීලි ගමනක් යන මොහොතක්. මේ දිනවල අපේ අවධානයට භාජනයවුණ සංකීර්ණ ප්‍රශ්නයක් තිඛෙනවා. හැබැයි කිසිඳු ප්‍රශ්නයකට විසඳුමක් නැති වෙන්න බැහැ. මම සෑම සතියකම අගහරුවාදා නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැස්කරගෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කරනවා. අපි ඒ කතා කරන්නේ විදුලිබල මණ්ඩල සේවක සහෝදර දහෝදරියන්ගේ, විදුලිබල මණ්ඩලයේ මෙන්ම විදුලිබල ක්ශේත්‍රයට බලපාන ගැටළු සහ අනාගතය සම්බන්ධවයි.  යැයි පැවසීය.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(31) නගරසභා ශාලාවේ පැවති ලංවිම ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගි වෙමිනි. 

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක්

ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය‍. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (31)පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා මේබව කියා සිටියේය.

මේසම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසූයේ  ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිළිබද බියක් ඇතිකර ගන්න එපා පසුගිය කාලය පුරා කාලගුණික වෙනස්වීම් හේතුවෙන් වෛරස් පවා වෙනස් වී තිබෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. අතිවිශේෂ තත්ත්වයක් නොවෙයි. වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් ආරක්ෂා විය හැකියි. එම වෛරස් රෝගයට ගොදූරුවූවන් ලගට යාමෙන් වැළකීම, රෝගය වැළදූන දරුවන් පාසල් යැවීමෙන් වැළකීම, පොදූ ස්ථානවල ගැවැසීම අවම කිරීම වැනි උපදෙස් ද පිළිපැදීම ඉතාම වැදගත් වෙනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් ඇතිවිය හැකි බලපෑම අවම කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. සංක්‍රමණිකයින් නිසා ද වෛරසය බෝවිය හැකි වුවත්, සංක්‍රමණිකයින් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීම සදහා කටුනායක ගුවන්තොටුපළේ සියලු පියවර ගෙන තිබෙනවා. ගර්භනී මාතාවන්, ළදරුවන්, වකුගඩු බද්ධ කළ පුද්ගලයින් මෙහිදී ප්‍රවේසම් විය යුතුයි. මෙම රෝගය සදහා ලබාදෙන ඖෂධ අවශ්‍ය තරම් රෝහල්වලට ලබා දී තිබෙනවා.

ලොරි-බස් අනතුරින් 10ක් රෝහලට

බදුල්ල – මයියංගණය මාර්ගයේ 9 කණුව අසළදී බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 10ක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි. අනතුරින් බස් රථයේ රියදුරුද තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයන් මිගහකිවුල රෝහලට ඇතුළත් කර තිබේ. 

ශ්‍රී ලංකන් කෙයාර්ස් මුලතිව් තරුණ ප්‍රජාව සවිබල ගන්වයි

ශ්‍රීලංකන්  ගුවන් සමාගමේ  ආයතනික සමාජ වගකීම්  අංශය වන  ශ්‍රීලංකන් කෙයාර්ස්  මුලතිව්  දිස්ත්‍රික්කයේ දස දහස් ගණනාවක් වූ තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ ළමයින් සවිබල ගැන්වීම සඳහා විශාල වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකන් කෙයාර්ස් ගුණ ජය සතුට පදනම (Foundation of Goodness) සමග දිගුකාලීන සහයෝගිතා ව්‍යාපෘතියක් වන ගැමි හදගැස්ම ව්‍යාපෘතිය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් සඳහා අත්සන් තැබූ බව ඔවුහු පවසති.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා, මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල මහතා, ගුණ ජය සතුට පදනම වෙනුවෙන් එහි ප්‍රාරම්භක සහ  මහා භාරකරු කුෂිල් ගුණසේකර මහතා, ව්‍යාපෘති කළමනාකාර ප්‍රධානී ෆසීනා ඉබ්‍රාහිම් මහත්මිය කොළඹ ශ්‍රී ලංකන් ප්‍රධාන කාර්යාලයේදී මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් කළ බව ඔවුහු වැඩිදුරටත් පවසති.

කිම් ජොන්ග්-නාම් හිලව්වට මැලේසියානුවන්ට නිදහස

උතුරු කොරියනු නායකයාගේ මියගිය සහෝදරයාගේ දේහය යළි එරටට භාරදීමත් සමග උතුරු කොරියාවේ රඳවාගෙන සිටි මැලේසියානු ජාතිකයන් නව දෙනෙකුට යළි සිය රට වෙත පැමිණීමට අවස්ථාව හිමිව තිබේ.

පසුගිය මාසයේදී මැලේසියාවේ ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී කිම් ජොන්ග්-නාම් කාන්තාව විසින් සිදුකරන ලද විෂ ශරීරගත කිරීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

කෙසේ වෙතත්, මෙම මරණය උතුරු කොරියාවේ උවමනාව මත සිදුවූවක් බවට නැගෙන චෝදනා සමග ඔහුගේ මෘත ශරීරය භාරදීම සම්බන්ධයෙන් දෙරට අතර මතභේදකාරී තත්ත්වයක් ඇති විය.

දකුණු කොරියාව විසින් මෙම චෝදනාව දැඩිව සිදුකළත් උතුරු කොරියාව එය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, මාසයකට අධික කාලයක් මැලේසියාවේ තැන්පත් කර තිබූ කිම් ජොන්ග්-නාම් ගේ මෘත ශරීරය පසුගියදා ප්යොන්ග්යැන් පාලනය වෙත භාරදීම නිල වශයෙන් සිදුවිය.

කිම් ජොන්ග්-උන්ගේ අර්ධ සහෝදරයෙකු ලෙස සැලකෙන කිම් ජොන්ග්-නාම් හිටපු උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-ඉල්ගේ වැඩිමහල් පුත්‍රයෙකි.

පාකිස්ථාන බෝම්බ පිපිරීමක් – 22ක් මරුදකී 70ක් තුවාලයි

වයඹදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 22 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 70ක් තුවාල ලබා තිබේ.

ෂියා මුස්ලිම්වරුන් බහුතර ගැවසෙන පරාචිනාර් ප්‍රදේශයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක් අසල මෙම පිපිරීම සිදුව ඇති අතර, මෙය ඇෆ්ගන් දේශසීමා ආසන්න නගරයක් ලෙස සැලකෙයි.

සිකුරාදා දේව මෙහෙය සඳහා මිනිසුන් සූදානම් වන අවස්ථාවේදී කාන්තාවන් දේවස්ථානයට ඇතුළුවන දොරටුව ආසන්නයේ පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථයක් පුපුරුවා හරිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

තුවාලකරුවන් ඉක්මණින් රෝහල්කරා ගෙනයෑම සඳහා පාකිස්ථාන හමුදාව හෙලිකොප්ටර් යානාවක්ද ප්‍රදේශය වෙත පිටත්කර යවා ඇත.

ප්‍රදේශයේ රෝහල් විසින් වහ වහා ලේ පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.

පිපිරීම සිදුවූ ස්ථානය ආසන්නයේ වූ කඩ සාප්පු හා වාහනවලටද බරපතල හානි සිදුව ඇති අතර, අගමැති නවාස් ෂෙරීෆ් මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ.

සුන්නි ඉස්ලාම් අන්තවාදී තලේබාන්වරු මෙම ප්‍රහාරය පසුපස සිටින බව විශ්වාස කෙරෙයි.