Monthly Archives: February 2017

පොඩි මැණිකේ දුම්රිය පීලි පනී

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණකේ දුම්රිය අද (28දා) පස්වරුවේ පීලි පැන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට කිසිදු බාධාවක් නොවන බවත්, පීලී පැන ඇති දුම්රිය ඉතා කඩිනමින් පීලිගත කරන බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.DSC02593 DSC02599 IMAG0017 IMAG0019

තණතිලි වෙනස් කළාට ඉන්දියාවට වැඩ වරදියි

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පුනේ හි පැවැති පළමු ටෙස්ට් තරගයට යොදාගත් මහාරාස්ට්‍ර ක්‍රීඩාංගණයේ තණතීරුව දුර්වල තණතිරුවක් බවට එම තරගයේ තරග තිරක ලෙස කටයුතු කළ ක්‍රිස් බොඩ් චෝදනා කර තිබෙනවා.

තණ තීරුවක් දුර්වල වීමට බලපාන කරුණු හතරක් පවතින අතර එහිදී නියමිත දඟ කැවීමට වඩා වැඩි දඟ කැවීමක් පෙන්වන අයුරින් තණ තීරුව වෙනස් කිරීම ඉන්දියාවට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

මෙම තරගයේ බිඳ වැටුණු කඩුලු 40න් කඩුලු 31ක්ම දවා ගත්තේ දඟ පන්දු යවන්නන් විසින් වන අතර තරගය ලකුණු 333කින් ජයගත්තේද සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

මෙම චෝදනාවට පිළිතුරු දිම සඳහා ඉන්දියාවට දින 14ක කාලයක් ලබා දී ඇති අතර ඒ සඳහා ඉන්දියාව ලබාදෙන පිළිතුර ඇඟයීම සඳහා අයි.සී.සී. ප්‍රධාන තරග තීරක රංජන් මඩුගල්ලේ විසින් හා අයි.සී.සි. සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලර්ඩිස් විසින් සිදු කිරීමට නියමිතය.

යම් හෙයකින් ඉන්දියාව මෙම චෝදනා සඳහා වරදකරු වුවහොත් අවවාදයක්, ඩොලර් 15000ක් නොඉක්මවන දඩයක් හෝ ඒ දෙකම පැනවෙනු ඇත.  තණ තීරු වෙනස් කිරීම පිළිබඳව ඉන්දියාවට අවස්ථා කිහිපයකදී චෝදනා එල්ල වී තිබේ.

ප්‍රථමාධාරය නිසා වැළකුණු ජීවිත විනාශය

ප්‍රථමාධාර ලබා දීමට පුහුණුවක් ලබා තිබීම ඕනෑම පුද්ගලයෙකුට වැදගත් වන්නේ හදිසි අවස්ථාවකදී යමෙකුගේ දිවි බේරා ගැනීමට එහි අගය කියා නිමකර නොහැකි වීමට ඉඩ ඇති හෙයිනි.

සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම ක්‍රීඩාවේදීද මෙම ප්‍රථමාධාර පිළීබඳ පුහුණුවක් ලබා තිබීම එහි අනතුරු වලින් ක්‍රීඩකයෙකුට වන හානිය වළක්වා ගැනීමට අතිශය වැදගත් වේ.

පාපන්දු පිටියේදී පසුගියදා සිදුවූ එවැනි සිදුවීමක් ලොව පුරා මාධ්‍ය වල දැඩි අවධානයක් දිනා ගත්තේ ප්‍රථමාධාර පිළීබඳ දැනුම නිසා සිදුවීමට ඉඩ තිබූ  මහා විනාශයක් ඉන් වැළකී යාම නිසාය.

චෙක් ජනරජයේ ලීග් පාපන්දු තරගාවලියක්දී බොහේමියන්ස් හා ස්ලෝවැකෝ අතර පැවති තරගයකදී බොහේමියන්ස් කණ්ඩායමේ දැල් රකින්නා වූ මාටින් බර්කෝවික් ප්‍රතිවාදී ගෝලයක් රැක ගැනීමට දිව යාමේදී තම කණ්ඩායමේම ක්‍රීඩක ඩැනියෙල් ක්‍රිච් හා එකට ගැටුණු අතර ඒ සමගින් සිහි විසඥ තත්වයට පත්වූ මාටින් පිටිය තුළ ඇද වැටුනේ අසළ සිටි පිරිස අන්දමන්ද කරමිනි.

කෙසේ වෙතත් එහිදී ඔහු  අසල සිටි ප්‍රතිවාදී ස්ලොවැකෝ කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ෆ්‍රැන්සිස් කෝන් එක්වරම මාටින් ට ප්‍රථමාධාර ලබා දිමට උත්සුක වූයේ එතෙක් පිටිය තුළදී පැවති එදිරිවාදිකම් අමතක කරමිනි. සිය දිව ගිලීම හේතුවෙන් හුස්ම හිරවීමේ අවධානමක් තිබූ මාටින්ගේ දිව නැවතත් ප්‍රකෘති තත්වයට ගෙන ඒමට ෆ්‍රැන්සිස් මෙහිදී ක්‍රියා කළ අතර ඉන් අනතුරුව තරග බළධාරීන් වහාම ක්‍රියාත්මක වෙමින් මාටින්ව රෝහළ වෙත රැගෙන යාමට කටයුතු කලේය.

කෙසේ ‍වෙතත් ෆ්‍රැන්සිස්ගේ තැනට සුදුසු නුවණ නිසාවෙන් මාටින්ගේ ජිවිත අවධානය පහව ගිය අතර ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බව වාර්තා වේ.

සිදුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මේ පිළිබඳ අදහස් දැක්වූ ටොගෝ ජාතික ෆ්‍රැන්සිස් පවසා ඇත්තේ මෙවැනි සිදුවීමකට තමන් මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවන බවත් මෙවැනි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ තමන් හොඳින් දැනුවත් වී සිටි බවත්ය.

 

ලක්ෂ 1368ක ලක් ධීවර යාත්‍රා ෂීසෙල්ස් මිලදී ගනියි

ලංකාවේ නිෂ්පාදිත රුපියල් මිලියන 136.8ක් වටිනා විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රා 05ක් මිලදී ගැනීමට ෂීසෙල්ස් රාජ්‍යයේ ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

ලංකාවේ සංචාරයක නිරතව සිටින ෂීසෙල්ස් ජනාධිපති ඩැනී ෆවුර් මහතා ඊයේ (27දා) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ විශාල බෝට්ටු නිෂ්පාදන සමාගම වන සිනෝර් ආයතනය සමග මේ සම්බන්ධව සාකච්ඡා පැවැත්වූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව ලංකාව තුළ මත්ස්‍ය සැකසුම් කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සඳහා ෂීසෙල්ස් රාජ්‍යයේ උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත්, ඉදිරි මාස හයක කාලය තුළ මෙම යාත්‍රා 05 නිපදවා අපනයනය කරන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. 

ප්‍රතිජීවකවලින් පාලනය කළ නොහැකි බැක්ටීරියා – WHO

ප්‍රතිජීවක ඖෂධවලින් පාලනය කළ නොහැකි හා මිනිසාගේ ශරීර සෞඛ්‍යයට ප්‍රබල තර්ජනයක් එල්ල කරන බැක්ටීරියා වර්ග ලැයිස්තුගත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.

මෙම ලැයිස්තුවේ මුලටම ඊ.කොයිල් හෙවත් කිසියම් රෝගාබාධයකින් දුර්වල තත්ත්වයකින් පසුවන රෝගීන්ගේ රුධිර සංසරණය ආශ්‍රිතව මරණීය ආසාධන හා නියුමෝනියා තත්ත්ව ඇති කරන බැක්ටීරියාව නම් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එලඹෙන G20 සමුළුවට පෙර මෙම ලැයිස්තුව සාකච්ඡාවට බඳුන් කරමින්, ආසාධනයන්ට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ නිපදවීම සඳහා ලෝකය තුළ විවිධ රාජ්‍යයන් හි අවධානයට ලක්කරන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ වනවිට ඖෂධවලින් ප්‍රතිකාර කළ නොහැකි පශ්චාත් ප්‍රතිජීවක යුගයක කඩඉමටම ළඟා වී ඇති බවයි. මේ තත්ත්වය තුළ දැනට පවතින සාමාන්‍ය ආසාධනයක් පවා ව්‍යාප්තව ගොස් මාරාන්තික තත්ත්වයක් ඇතිකළ හැකි බවද ඔවුහු අනතුරු අඟවති.

විශේෂයෙන්ම ඖෂධ සමාගම් විසින් අධික ලාභ ඉපයීමේ හා පහසුවෙන් නිපදවිය හැකි ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කෙරෙහි පමණක් වැඩි අවධානයක් යොමුකිරීම තුළ මේ තත්ත්වය තවදුරටත් අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

සයිටම් CEO ඉවත්කරයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ වෛද්‍ය සමීර සේනාරත්න මහතා එම තනතුරින් තාවකාලිකව ඉවත්කළ බව සයිටම් සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේම සමීර සේනාරත්න මහතාද එම තනතුරින් තාවකාලිකව ඉවත්වෙන  බවට සයිටම් ආයතනය ලිපියකින් දන්වා ඇතැයිද මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි. සමීර සේනාරත්න මහතා වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සිදුකරන පොලිස් පරික්ෂණවලදී මේ වන විට හෙළිව ඇත්තේ ඔහුට ජිවිත තර්ජනයක් ඇති බවට පෙන්විම සඳහා එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙම සිදුවීම සඳහා සයිටම්හි හෝ නෙවිල් ප්‍රනාන්දු රොහලේ කිසිඳු පුද්ගලයෙකු සෘජුව සම්බන්ධ වී නොමැති බවත් ඒ සඳහා අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර වරදකරුවන්ට එරෙහිව කටයුතු කරන බවත් නිකුත් කළ නිවේදනයේ වෙයි. 

පාසල් නිල ඇඳුම වෙනස්කිරීමට කාලය ඇවිත්

 

පාසල් නිල ඇඳුම පවා වෙනස් වියයුතු කාලයක් එලඹ ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සීග්‍රයෙන් වෙනස් වන ලෝකය තුල අනාගතය ජයගත හැකි අයුරින් සිදුකල යුතු වෙනස්කම් අදම සිදු කිරීමට පියවර ගත යුතු බවත් විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල එම වෙනස්කම් සිදුකිරීමට වර්තමානයේ කටයුතු නොකළහොත් අනාගතයේදී දරුවන් අපට දොස් පවරනු ඇති බවද අමාත්‍යවරයා කීවේය.

පාසල් නිල ඇඳුම පවා වෙනස් වියයුතු කාලය එලඹ ඇති බව සඳහන්කල ඇමතිවරයා සම්ප්‍රධායික රාමුව තුල කොටුවී සිට තීන්දු තීරණ ගැනීමෙන් ඔබ්බට ගොස් අනාගතය ජයගත හැකි ගුණාත්මක බවින් ඉහල තීන්දු තීරණ ගැනීමට තමන් කිසි විටෙකත් පසුබට නොවන බවද අවධාරණය කළේය.

ඉදිරියේදී ගර්භනී ගුරුවරියන්ට පහසු ඇඳුමක් හඳුන්වා දීමට අදහස්කර ඇති බවද පැවසු අමාත්‍යවරයා ප්‍රායෝගිකත්වයට මුල්තැන ලබාදෙමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද සිහිපත් කළේය.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත ශ්‍රවණාගාරය සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.

 

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ලියාපදිංචිකරයි

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ලියාපදිංචි කිරීමට අදාළ ලියකියවිලි මැතිවරණ කොමිසම වෙත භාරදීම අද සිදු විය. එම සන්ධානයේ නායක,ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේසන් ,අමාත්‍ය පලනි තිගාම්බරම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකරාජ් යන මහත්වරුන් සහ එහි මහලේකම්,නියෝජ්‍ය මහලේකම් විසින් ඊට අදාළ ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීම සිදු කෙරිණි.

අමාත්‍ය මනෝ ගනේසන් මහතා නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ,අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා නායකත්වය දරණ ජාතික කම්කරු පෙරමුණ සහ රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා නායකත්වය දරණ කඳුරට ජනතා පෙරමුණ එක්ව 2015 වසරේ දී දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පිහිටුවනු ලැබීය.

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට චන්දිමාල් එක්වෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාං සංචිතය නම් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. රංගන හේරත්ගේ නායකත්වයෙන් යුතු ටෙස්ට් සංචිතයට නවක ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාරද ඇතුළත්වෙයි.

එසේම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියේදී අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලියේදීත් අවස්ථාව හිමිව තිබේ. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව හා පැවැති විස්සයි20 තරගාවලියේදී චන්දිමාල්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය හිමි නොවුණි. 

ශ්‍රී ලංකා සංචිතය – රංගන හේරත්, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, නුවණ් ප්‍රදීප්, විකුම් සංජය බණ්ඩාර, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, මලින්ද පුෂ්පකුමාර

 

 

දුමින්ද සිල්වාට අධිකරණයට නොයැමට තරම් රෝගී නෑ

භාරත ලක්‍ෂමන් ඝාතන සිද්ධියට අදාළව මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට අධිකරණයට ඉදිරිපත් නොවී සිටීමට තරම් රෝගී තත්වයක් නැතැයි ඔහු පරීක්‍ෂාවට ලක් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය  වාර්තාවක් මඟින් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රංග කලංසුරිය මහතාට අද (28)  දැනුම් දුන්නේය.

එම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ  වාර්තාව සැළකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරයා දුමින්ද සිල්වා මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

මෙම නඩු යළි කැඳවන ලබන අපේ‍්‍රල් (06 දා) දුමින්ද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට වැඩිදුරටත් නියම කළේය.