Monthly Archives: February 2017

සම්බා නර්තනය ලෙල්ලම් වී ශිල්පීන් රැසක් රෝහලේ

බ්‍රසීලයේ, රියෝ ද ජැනීරෝ නුවර සම්බා සැණකෙළියක් අතරතුර නර්ථන රථයක වේදිකාවක් කඩා වැටීමෙන් නර්ථන ශිල්පීන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

එරට සම්බා පාසල්වල නර්තනයන් රැගෙන වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්බා සැණකෙළියට විශාල පිරිසක් සහභාගී වෙති.

නර්තනයේ යෙදෙමින් ඔවුන් ගමන් ගන්නා අතරතුර එම නර්තන රථයේ ඉහළ වේදිකාවක් මෙසේ කඩා වැටී ඇති අතර, ඊට පහළින් සිටි පිරිස් ඊට යට වීමෙන් තුවාල ලබා ඇති බව කියැවෙයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ එම වේදිකා රථය මත පිරිසක් කෑ ගසන හඬ ඇසුණත්, සැණකෙළියේ මහා හඬ නිසා සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි නොවූ බවයි.

කෙසේ වෙතත්, මෙම අනතුරුට පෙර දිනයේදීද මේ ආකාරයේම අනතුරක් සිදුව තිබුණු අතර, එදින අසල වැටකට සිරවීමෙන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබුණි.

මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන්ම රියෝ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

ඇමෙරිකාව අනතුරේ හෙළීම පිටුපස ඔබාමා – ට්‍රම්ප් කියයි

ඇමෙරිකාව වෙත රටවල් කිහිපයකින් සිදුවන සංක්‍රමණ තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව ගෙනයන විරෝධතා මෙන්ම, එරට ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු පිටවීම පිටුපස හිටපු ජනපති බරැක් ඔබාමා සිටින බව තමා විශ්වාස කරන්නේ යැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

"මා හිතන්නෙ හිටපු ජනපති ඔබාමා මේ පිටුපස සිටින බවයි. මොකද එයාගෙ මිනිස්සු තමයි, නිසැකවම මේක පිටුපස්සෙ ඉන්නෙ. කොහොම වුණත් මේක සාමාන්‍ය දේශපාලනික ක්‍රියාවක් වෙන්නත් පුළුවන්" මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවන් පිටුපස ඔබාමා සිටින බව තහවුරු කිරීම සඳහා ජනපති ට්‍රම්ප් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළ අතර, ඔහු පවසා සිටියේ තමන් එවැන්නක් විශ්වාස කරන බවය.

එමෙන්ම, ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වෙන මාධ්‍ය සගයන් වෙනුවෙන් පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී නොවීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති ට්‍රම්ප් පවසන්නේ, මාධ්‍ය අසත්‍ය ප්‍රචාර කරන බවට චෝදනා කරමින් ඔවුන් වෙනුවෙන් පැවැත්වෙන භෝජනයට සහභාගී වූයේ නම් තමා කුහකයෙකු වන බවයි.

කිම් ජොන්ග් නැම් ඝාතකයන්ට මරණ දඬුවම හිමිවන ලකුණු

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන්ගේ අර්ධ සොහොයුරු කිම් ජොන්ග් නැම් ඝාතනය කළ බවට සැක කෙරෙන තරුණියන් දෙදෙනාට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතව තිබේ.

ඉන්දුනීසියානු සහ වියට්නාම ගමන් බලපත්‍ර හිමි මෙම චූදිතයන් දෙදෙනා අදාළ චෝදනාවට වරදකරුවන් වුවහොත් ඔවුන්ට මරණ දණ්ඩනය හිමිවනු ඇති බවද හෙතෙම පවසා ඇත.

ක්වාලලම්පූර් අගනුවර ගුවන් තොටුපලේ රැඳී සිටි කිම් ජොන්ග් නැම් ඝාතනය කිරීම සඳහා වී එක්ස් නමැති විෂ රසායනය භාවිත කොට තිබුණු අතර, එය තමන් ඝාතනයක් බව නොදැන කළ දෙයක් බවද මෙම තරුණියන් දෙදෙනා පසුව පොලිසියට පවසා තිබුණි.

ඔවුන් සඳහන් කර තිබුණේ, තමන් රූපවාහිනී රියැලිටි වැඩසටහනක පෙනී සිටින බව දැනගෙන එවැන්නක් සිදුකළ බවයි.

මේ අතර, කිම් ජොන්ග් නැම්ගේ මෘත ශරීරය තමන් වෙත භාරදෙන ලෙස ඉල්ලා උතුරු කොරියාවේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයෙකු මැලේසියාවට පැමිණ ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් ගැන ජනපති අවධානය

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට නියමිත හෘද රෝග ඒකකය සහිත අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් හා කාර්යක්ෂම කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

යළිත් ඩෙංගු මර්දන සතියක්

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම්දී තිබේ.

ඒ අනුව මාර්තු මස 29 වැනිදා සිට අප්‍රේල් මස 04 දින දක්වා ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

2017 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 16,479ක් වාර්තා වී ඇති අතර, පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවත්, ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මසයේදී රෝගීන්ගේ වැඩිවීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මදුරු මර්දන ක්‍ෂේත්‍ර සහායකයන් 500ක් බස්නාහිර පළාත කේන්ද්‍රගතව බඳවා ගැනීමටද නියමිතය. එම සහායකයන් වෙත පත්වීම් ලිපි ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (01දා) පස්වරුවේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේදී සිදුකිරීමට කටයුතු යොදා තිබේ. 

ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරට පත්කර ඇතිබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අසංක ගුරුසිංහ මහතා ඉදිරියේදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර එළැඹෙන 07 දා පැවැත්වීමට නියමිත බංග්ලාදේශ සංචාරයෙන් සිය කටයුතු ආරම්භ කිරිමට නියමිතය. 

වැලිකඩ සිදුවීමේ අගතියට පත් සිරකරුවන්ට වන්දි

වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ බව පැවසෙන කැරැල්ලේදී ආරක්‍ෂක අංශවල නිලධාරීන් විසින් තබන ලද වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්‍ෂයට පත්වූ රැඳවියෙකුට රුපියල් ලක්‍ෂ 20 බැගින්ද, තුවාල වූ රැඳවියෙකුට රුපියල් ලක්‍ෂ පහ බැගින්ද වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩලය ඊයේ (28දා) අනුමැතිය ලබාදී තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ.

පසුගිය රාජ්‍ය පාලන සමයේදී 2009 නොවැම්බර් මස 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ බව පැවසෙන කැරැල්ලේදී වෙඩි වැදීමෙන් රැඳවියන් 26 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූ අතර, තවත් රැඳවියෝ 20 දෙනෙක් තුවාල ලැබූහ.

එලෙස ජීවිතක්‍ෂයට පත්වූ හා තුවාල ලැබූ රැඳවියන්ට වන්දි ගෙවිය යුතු බවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුව වන්දි ගෙවීමට තීරණය කෙරිණි.

විශ්‍රාම යන අගවිනිසුරු ජනපති හමුවෙයි

ධූරයෙන් විශ්‍රාම යන අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා අද (28දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. එහිදී අගවිනිසුරුවරයාගේ සේවය අගය කරමින් ජනාධිපතිවරයා අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වා තිබේ.

 

 

බිග් මැච්වල විනය කඩකරන පාසල්වලට වැඩ වරදියි

-  සියලුම බිග්මැච් විමර්ශනය කිරීමට පාසල් ක්‍රිකට් සංගමයෙන් තරග කොමසාරිස්වරයෙකු පත්කරන්නැයි          නියෝගයක්

-  විනය කඩකිරීම් සහා දඬුවම් ලබාදීමේ බලය පාසල් ක්‍රිකට් සංගමයට

-  සියලුම විනය කඩකිරීම් පිළිබඳ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට

-  නීතිය ක්‍රියාත්මක කිරීමේ පළමු රැස්වීම හෙට ලුම්බිණි විද්‍යාලයේදී

මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බිග්මැච් වල (වාර්ෂික මහා ක්‍රිකට් තරග) විනය විමර්ශනය සඳහා පාසල් ක්‍රිකට් සංගමයෙන් තරග කොමසාරිස්වරයෙකු (Match Commissioner) පත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ක්‍රිකට් සංගමයට නියෝග කර තිබේ. ඒ අනුව බිග් මැච්වලදී විනය කඩ කරන ක්‍රීඩකයන්ට පෞද්ගලිකවත් කණ්ඩායම්වලට පොදුවේත් දඬුවම් කිරීමේ ක්‍රියාපටිපාටියක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල් ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ. මෙහිදී විනය කඩ කරන පාසල්වලට හා කණ්ඩායම්වලට එරෙහිව පියවර ගැනීමේ නෛතික බලය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ක්‍රිකට් සංගමය වෙත පවරා ඇතැයි පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කපිල ජයලත් මහතා 'අද' පුවත්පතට පැවසීය.

එමෙන්ම බිග්මැච්වලදී වන සියලුම විනය කඩකිරීම් සම්බන්ධ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළයුතුව තිබේ.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ හමුවක් සියලුම බිග් මැච් සඳහා ආචාර්යවරු, අධ්‍යාපන අමාත්‍යාංශයේ හා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (01දා) කොළඹ ලුම්බිණි විද්‍යාලයේදී ප.ව.2.00ට පැවැත්වීමට නියමිතය.

බිග්මැච්වල විනය කඩකිරීම් සම්බන්ධයෙන් ගෙන ඇති මෙම ක්‍රියාදාමය පිළිබඳව වැඩිදුර අදහස් පළකළ පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා,

“පාසල් ක්‍රිකට් සංගමය වශයෙන් අපිට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නියෝගයක් ලබාදී තිබෙනවා සියලුම බිග්මැච් තරග සඳහා තරග කොමසාරිස්වරයෙකු පත්කරන ලෙස. ඔහුගේ ප්‍රධාන කාර්යභාරය වනුයේ බිග්මැච්වලදී ක්‍රීඩකයන්ගේ හා කණ්ඩායම්වල විනය පිළිබඳව පෞද්ගලිකව හා පොදුවේ සොයාබලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පාසල් ක්‍රිකට් සංගමය හරහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදීමයි.

ඒ වගේම යම් විනය කඩ කළ ක්‍රීඩකයන් හෝ පාසල් කණ්ඩායම් වෙතොත් ඔවුනට එරෙහිව පියවර ගැනීමේ බලය පාසල් ක්‍රිකට් සංගමයට පවරා තිබෙනවා.

යම් ක්‍රීඩකයෙක් වරදක් කර ඇත්නම් එම වරදට හිමිවන දඬුවම් මොනවාද යන්න ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදුකර පාසල් ක්‍රිකට් සංගමය වශයෙන් අපි තීන්දු ගන්නවා.

බොහෝ විට ක්‍රීඩා පිටියේදී ළමයින් අතින් සිදුවන විනය කඩකිරීම් නිසා ඒවා ගැටුම් දක්වා පරිවර්තනය වනවා අපි දැක තිබෙනවා. එනිසා එම තත්ත්වයන් යම් තරමකට පාලනය කිරීමට මෙමගින් හැකිවේවි" යැයි පවසා සිටියේය.

කෙසේ වෙතත් බිග්මැච්වලදී සිදුවන මෙම විනය විරෝධී හැසිරීම් පාලනයට මෙන්න ජීවගුණය සුරැකි ක්‍රීඩාවක් හා ක්‍රීඩකයන් බිහිකිරීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල් ක්‍රිකට් සංගමය මෙවැනි පියවරක් ගැනීම පැසසිය යුතුය. මෙමගින් බිග්මැච්වලදී සිදුවන විනය පිළිබඳ ගැටලුකාරී තත්ත්ව පාලනය කිරීමට හා ඒවා අවම කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් මෙවර තරගවාරයේ සිට එය ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතු යැයි පැවසීමට කැමැත්තෙමු.

1609731_10203894957322592_2118714784_n 10009878_10203894963802754_425492439_n

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ගැන සීෂෙල්ස් අධ්‍යයනයක

මෙරට ධීවර කර්මාන්තය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා තම රටේ ධීවර ක්ෂේත්‍රයේ නියුතු වන්නන් ශ්‍රී ලංකාවට එවීමට අපේක්ෂා කරන බව සීෂෙල්ස් රාජ්‍ය පවසයි.

සීෂෙල්ස් රාජ්‍යයේ ධීවර අමාත්‍ය මයිකල් බෙන්ස්ට්‍රෝන්ග් මහතා අද (28දා) පස්වරුවේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.