Monthly Archives: January 2017

කාන්තා ව්‍යවසාය සංවර්ධන ඉලක්ක කළ BIMSTEC

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපය වෙනුවෙන් පෙනී සිටින BIMSTEC සමුළුව පසුගිය 13දා ඉන්දියාවේ, නවදිල්ලි නුවරදී පවත්වා තිබේ.

මෙම සමුළුව සඳහා බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය, හා නේපාලය යන රටවල් නියෝජනය කර තිබේ.

මෙවර සමුළුවෙහි තේමා පාඨය වී ඇත්තෙ කාන්තා ව්‍යවසායනක්තය සංවර්ධනය කිරීම සඳහා පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම යන්නයි.

ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේනය 2016 වසරේ ජූලි මාසයේ සිට මෙම සමුළුවෙහි සාමාජිකත්වය දරණ අතර, මෙවර සමුළුව සඳහා සම්මේලනයේ උප සභාපතිනී ෂර්ලි ජයවර්ධන මහත්මිය සහභාගී වී තිබේ.

ඉන්දියාවේ වයස්ගතම හස්තියා මෙළොව හැරයයි

ලෝකයේ ජීවත් වූ වයස්ගතම හස්තියෙකු ලෙස සැලකෙන ඉන්දියාවේ ඉන්ද්‍රා ඇතින්න මියගිය බව එරට වනජීවී නිලධාරීහු පවසති.

රෝගී තත්ත්වයේ පසුවී ඇති ඉන්ද්‍රා ඇතින්න මෙම වසර ආරම්භයේ සිට ආහාර ගැනීම අත්හළ බවද පැවසෙයි.

දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පශු වෛද්‍යවරයෙකු මෙම ඇතින්න වෙනුවෙන් ප්‍රතිකාර සිදුකර ඇති අතර, මිය යනවිට ඇය වයස අවුරුදු 85 – 90ත් අතර වයසේ පසුවූ බව සැලකෙයි.

සාමාන්‍යයෙන් හස්තියෙකුගේ ආයු කාලය අවුරුදු 70ක් පමණ වෙයි.

දැනට වාර්තා වී ඇති ආකාරයට හීලා අලි ඇතුන් අතර වයස්ගතම හස්ථියා ලෙස සැලකෙන්නේ තායිවානයේ, තායිපේ සත්වෝද්‍යානයේ සිටි ලින් වැන්ග් හස්තියාය. 2003 වසරේදී ජීවිතක්ෂයට පත්වන විට එම හස්තියාගේ වයස අවුරුදු 86ක් ලෙස වාර්තා වී තිබුණි.

ඉන්දියාව තුළ මේ ආකාරයේ දීර්ඝ වයසකින් යුතු තවත් හස්තියෙකු කේරළ ප්‍රාන්තය ආශ්‍රිතව ජීවත් වන බවද වාර්තා වෙයි.

ඉන්ද්‍රා හස්තියා කර්නාටක ප්‍රාන්තයේ සක්‍රේබයිලූ අලි අනාථාගාරය හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඇත්තේ මීට වසර 50කට පමණ පෙරය.

ඇගේ ආහාරය සඳහා පළා වර්ග මෙන්ම කොළ සහිත එළවළු වර්ග ලබාදීම ඇගේ ආයුෂය වැඩිවීමට හේතුවක් බවද වනජීවී නිලධාරීහු පවසති.

ආර්ථික වර්ධන හා දිළිඳුකම පිටුදැකීම ගැන සාකච්ඡාවක්

ඇමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් නිමා කරමින්, ආර්ථික වර්ධනය හා දිළිඳුකම පිටුදැකීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

කොළඹ, ඇමෙරිකනු තානාපති කාර්යාලය පෙන්වාදෙන පරිදි මෙම පිරිස ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ පෞද්ගලික අංශයේ ඉහළ නිලධාරීන් හමුවී ඇති අතර, ඔවුන් කිලිනොච්චියේ ක්‍රියාත්මක වන සාර්ථක ව්‍යාපාර කිහිපයකද සංචාරය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂප් මහතා පවසා සිටියේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයේ සංගතවීම සඳහා ශ්‍රී ලංකාව තේරීපත්වීම මෙරට තුළ යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික නිදහස සහ තම ජනතාව තුළ ආයෝජනය කිරීමෙහි සිදුවී ඇති ප්‍රගතිය පිළිබඳව මනාව සනාථ වන්නක් බවයි.

ඇමෙරිකානු නීතිපති වෙත සෙනට් කැමැත්ත විමසීමක්

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට නව නීතිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට කැමැත්ත පළ කර ඇති ජෙෆ් සෙෂන්ස් වෙත සෙනට් මණ්ඩල අධිකරණ කමිටුවෙහි කැමැත්ත විමසීමට නියමිතව තිබේ.

මුල සිටම ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි සෙනට් සභිකයෙකු වූ ජෙෆ් සෙෂන්ස් වෙත වර්ගවාදී චෝදනා එල්ල වී තිබූ අතර, එය ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිතතා ඇති කර තිබූ බවද විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, ට්‍රම්ප් විසින් පත්කළ සෞඛ්‍යය හා භාණ්ඩාගාර යන සෙසු නිලධාරීන් වෙත සෙනට් මණ්ඩල අධිකරණ කමිටුවේ අනුමැතිය හිමිවෙද්දී, ඩිමොක්‍රටික් සෙනට් සභිකයන් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මේ අතර, ජෙෆ් සෙෂන්ස් සම්බන්ධ ඡන්දය විමසීම තවත් විශේෂ වී තිබෙන්නේ ට්‍රම්ප් එරට වැඩබලන නීතිපතිනිය ලෙස කටයුතු කළ සැලී යේට්ස් ධුරයෙන් ඉවත්කර දිනකින් එම ඡන්ද විමසීම පැවැත්වෙන නිසාය. ට්‍රම්ප්ගේ විධායක නියෝගය ක්‍රියාත්මක කිරීමට ඇය අපොහොසත් වීම හා ඊට එරෙහිව සිටීම නිසා ඔහු, නව වැඩබලන නීතිපති ලෙස වර්ජිනියා දිස්ත්‍රික් නීතිපති ධුරය හෙබවූ ඩානා බොයෙන්තේ පත්කරනු ලැබීය.

ඇන්ඩ්‍රේ රසල්ට වසරක් ක්‍රිකට් තහනම්

බ.ඉ.කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රස්ල් හට වසරක තරඟ තහනමක් පනවා ඇත. මීට හේතු වී ඇත්තේ ඔහු විසින් තහනම් උත්තේජක පරීක්ෂනයන්ට පෙනි නොසිටීම හේතුවෙනි. 2015 වර්ෂයේදී හෙතෙම මෙලෙස තෙවරක් තහනම් උත්තේජක පරීක්ෂණයන් මග හැර ඇති අතර මේ පිළිබඳ සලකා බලා තිදෙනෙකුගෙන් යුත් කොදෙව් පරීක්ෂණ කමිටුවක් මගින් රසල්ට අද (31) මෙම දඩුවම නියම කොට ඇත.

ඒ අනුව ඇනඩ්‍රේ රසල් ගේ දඩුවම් කාළය අද (31) සිට බලපැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ මෙම දඩුවමේ සම්පූර්ණ වාර්තාව මේ වනතෙක් එළි දක්වා නොමැති බවයි.

 

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවට

2008 වසරේදී ඉන්දියාවේ මුම්බායි නුවර ඉලක්ක කරමින් ජීවිත 166ක් බිලිගත් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන ජාතික පූජකයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

එරට තුළ තහනමට ලක්ව ඇති ලක්ෂාර්-ඊ තයීබා සටන් කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන හෆීස් සයීඩ් නමැති මෙම පූජක තැනගේ හිස වෙනුවෙන් ඇ.ඩො.මිලියන 10ක ත්‍යාගයක් ලබාදීමටද ඇමෙරිකාව මීට පෙර නිවේදනය කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්තානයේ නගර කිහිපයක විරෝධතා රැළි පැවැත්වී ඇති බවද කියයි. මොහු අවස්ථා කිහිපයකදීම මෙම ප්‍රහාරයේ වගකීමෙන් තමන් නිදොස් බව පවසා සිටියේය.

කෙසේ වෙතත්, ඉන්දියාව හා ඇමෙරිකාව නිරන්තරයෙන් කියා සිටියේ වෙඩි ප්‍රහාර හා බෝම්බ ප්‍රහාර එල්ල කළ මුම්බායි ප්‍රහාරය සැලසුම් කිරීමට මොහු උදව් කළ බවයි.

ඒ අනුව, මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකාව විසින් පාකිස්තාන රජයට බලකර ඇති බවටද මොහුගේ අනුගාමිකයන් චෝදනා කරයි.

ආසියානු සම්මේලන කුසලාන පාපන්දු තරගයේ පළමු අදියරෙන් ශ්‍රී ලංකාවට පරාජය

 

ආසියානු සම්මේලන කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ ඉන්දියාවේ මොහුන් බගාන් සමගින් පැවැති තරගයේ පළමු අදියර ගෝල 2-1ක් ලෙස පරාජයට පත්වීමට කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයට සිදුවිය.

ආසියානු පාපන්දු සම්මේනය විසින් සංවිධානය කරන ලද තරගය ඊයේ (31දා) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

තරගයේ  13 වැනි මිනිත්තුවේදීම ක්‍රියාත්මක වූ මොහුක් බගාන් ක්‍රීඩකයෝ පළමු ගෝලය සිය කණ්ඩායම සතු කර ගැනීමට සමත් විය.

කෙසේනමුත්, 30 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ඉදිරිපෙළ ක්‍රීඩක අෆීස් ඔලායෙමි ප්‍රතිවාදී ගෝල කණු අතරින් පන්දුව සාර්ථකව රිංගවා හැරියේ ශ්‍රී ලංකාවට පළමු ගෝලය හිමිකර දෙමිනි.

ඒ අනුව පළමු අර්ධය ගෝල 1-1ක් ලෙසින් කණ්ඩායම් දෙකටම සම තත්ත්වයෙන් යුතුව නිමා විය.

නමුත් මොහුන් බගාන් ක්‍රීඩකයෝ 70  වැනි මිනිත්තුවේදී සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත්වූයේ තරගයේ අවසන් වන තුරුම ශ්‍රී ලංකාවට තවත් ගෝලයක් වාර්තා කිරීමට ඉඩක් නොතබමිනි.

අදියර දෙකකින් යුත් මෙහි දෙවැනි අදියර එළඹෙන පෙබරවාරි 07 වැනිදා ඉන්දියාවේ කොල්කටාහිදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවට තරගය ජයගැනීමට නම් එම තරගය ගෝල දෙකක පරතරයකින් යුතුව ජයගත යුතුය. 

 

ඡායාරූප – ඉසුරු පෙරේරා

 

 

බුර්කාව තහනම් කිරීමට ඔස්ට්‍රියාවත් කටයුතු කරයි

මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයෙන් මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව හැඳීම තහනම් කිරීමට ඔස්ට්‍රියාවේ පාලක සන්ධානය තීරණය කර තිබේ.

ඒ අනුව, අධිකරණ පරිශ්‍ර, පාසල් සහ පොදු ස්ථානවල සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ආකාරයෙන් බුර්කාව හැඳීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

මෙම තීරණයට යොමුවීම සඳහා එරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ජනතා ස්වාධීන පක්ෂය අතර සතියක පමණ කාලයක් පාර්ලිමේන්තු විවාදයක් ඇති වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තහනම පැනවුණු බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම යුරෝපය පුරා එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර මෙවැනි තීරණයකට හේතු වූ අතර, යුරෝපා රාජ්‍යයන් කිහිපයකම බුර්කාව තහනම් කිරීම් වාර්තා විය.

GMOA හෙට විශේෂ රැස්වීමක්

සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය රැකගැනීමට හා වෛද්‍ය සේවයේ ප්‍රමිතිය රැකගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට තම සංගමයේ ශාඛා සමිති 112 හෙට (01දා) රැස්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව 02 වැනිදා හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක්ද කැඳවා ඇතැයි එම සංගමෙය් ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

එහිදී සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය හා වෛද්‍ය සේවාවේ ප්‍රමිතිය රැකගැනීමට තීන්දු තීරණ ගණනාවක්ම ගැනීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය. 

 

රුසියාවේ නවතම MiG-35 ප්‍රහාරක යානය ගුවන කරා

රුසියාවේ නවතම සැහැල්ලු ප්‍රහාරය යානාව වන MiG-35 හමුදා යානය සිය පරීක්ෂණ පියාසරිය සාර්ථකව සිදුකර තිබේ.

රුසියානු ගුවන් හමුදාවේ මීට පෙර පරම්පරාවේ මිග් යානා ඉවත් කරමින්, නුදුරු අනාගතයේදීම එරට ගුවන් හමුදාව සමග එකතු වන මෙම යානය ලේසර් අවිවලින්ද සන්නද්ධ වූවක් බව කියයි.

රුසියාවේ මිකොයාන් එයාර්ක්‍රාෆ්ට් කෝපරේෂන් (මිග්) විසින් නිෂ්පාදනය කරන මෙම යානයට පැයට කිලෝමීටර් 2,700ක වේගයකින් පියාසර කළ හැකි අතර, එය අඩි 57,400ක් තරම් උසකින් පියාසර කිරීමේ හැකියාවෙන් යුතු යානයක් බවද කියයි.

එමෙන්ම, මෙම යානයේ ප්‍රහාරක වපසරිය කිලෝ මීටර් 1,000ක අරයකින් යුතු ප්‍රදේශයක් වන අතර, මෙය පෙර පරම්පරාවේ යානය මෙන් දෙගුණයක ක්‍රියාකාරීත්වයකින් යුතු ප්‍රහාරයක යානයක් බවද එම සමාගම වැඩිදුරටත් පවසයි.

මේ අතර, නවතම ප්‍රහාරක යානයේ දෙවැනි නියමු ආසනය වෙනුවට අමතර ඉන්ධන ටැංකියක් සඳහා ඉඩ වෙන්කිරීමේ හැකියාවද පැවතීම තවත් විශේෂත්වකි.