Monthly Archives: December 2016

ඉන්දියාවේ පැරණි නෝට්ටු තැන්පත් කිරීම් තවදුරටත්

ඉන්දියාව තුළ භාවිතයෙන් ඉවත්කරන ලද රු.500/- සහ රු.1,000/- නෝට්ටු බැංකු හා තැපැල් කාර්යාලවල පිහිටි තම බැංකු ගිණුම්වල තැන්පත් කිරීම සිකුරාදා දිනය වනවිටත් සිදුවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එරට තුළ අප්‍රකාශිත මුදල් හා ව්‍යාජ මුදල් හඳුනා ගැනීමේ අරමුණින් මේ ආකාරයෙන් රු.500/- සහ රු.1000/- නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීම සඳහා පසුගිය මාසයේ සිට එරට මහ බැංකුව විසින් ජනතාවට සහන කාලයක් ලබාදුන්නේය.

ඒ අනුව, මෙම නෝට්ටු ලබාදෙමින් අලුත් නෝට්ටු ලබාගැනීම හෝ ඒවා බැංකුවල තැන්පත් කිරීමට ජනතාවට අවකාශය පැවති අතර, මෙය ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය.

විශේෂයෙන්ම, මෙම පැරණි මුදල් නෝට්ටු වෙනුවට නව මුදල් නෝට්ටු ලබාදීමේ අවසන් කාලසීමාව ඉක්මවා යෑමත් සමග මෙම පැරණි මුදල් නෝට්ටු තහනම ක්‍රියාවට නැංවෙන්නේ කෙසේද යන්න ගැන බොහෝදෙනා තුළ විවාදයක් ඇති විය.

මොරගහකන්ද මංගල දියවර ජනවාරි 11දා

මොරගහකන්ද ප්‍රධාන ජලාශයට මංගල දියවර මුදාහැරීම හා රු.මිලියන 65,000ක වියදමින් ඉදිවන ඉහළ ඇළහැර ඇළි මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීම නව වසරේ ජනවාරි මාසයේදී සිදුවෙයි.

ඒ අනුව, ජනවාරි 11දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සුවිශේෂී පියවර තැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ගල් අඟුරු පතලක් කඩා වැටී 9ක් නසී – 23ක් අතුරුදන්

නැගෙනහිර ඉන්දියාවේ, ජාර්ඛාන්ද් ප්‍රාන්තයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත්, පිරිසක් ඒ තුළ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රහස්පතිනිදා සවස් කාලයේදී ගොඩ්ඩා දිස්ත්‍රික්කයේ වූ රජයේ පාලන ගල් අඟුරු පතලක මෙම අනතුර සිදුව තිබේ.

කෙසේ වෙතත්, පතල තුළ සිරවී සිටින සෙසු පිරිස මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව තවදුරටත් සිදුවන අතර, ඔවුන් ජීවතුන් අතර සිටිනු ඇති බව බලධාරීන් විශ්වාස කරයි.

ජාර්ඛාන්ද් යනු ඉන්දියාවේ විශාලතම ගල් අඟුරු පතල් පිහිටි ප්‍රාන්තයක් වන වුවත්, මෙම පතල් ආශ්‍රිත ආරක්ෂිත තත්ත්වය ඉතාම දුර්වල තත්ත්වයක පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ප්‍රාන්ත පොලිස් ප්‍රධානී ආර්.කේ. මුල්ලික් රොයිටර් පුවත් සේවයට පවසා සිටියේ අනතුරින් පුද්ගලයන් 23 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි.

ජනමාධ්‍ය හැදෙන්න ඕන හැටි කියන්න

ජනමාධ්‍ය අයිතීන් හා ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සඳහා මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, විද්වත් සංවිධානවල සහ මහජන අදහස් ලබාදී තිබූ කාලසීමාව හෙට (31දා) දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණත් එය 2017 ජනවාරි 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

විවිධ පාර්ශ්ව මගින් ලබාගන්නා අදහස් ස්වාධීන විද්වත් මණ්ඩලයකට යොමු කිරීමෙන් පසුව අවසාන කෙටුම්පත සකස් කිරීමට නියමිතය.

අධ්‍යක්ෂ ජනරාල්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, අංක 163, කිරුළපන මාවත, නාරාහේන්පිට යන ලිපිනය,  ranga@dgi.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 0112-514753 ෆැක්ස් අංකයට  අදහස් යොමු කළ හැකිය.

 

 

ඇමති ප්‍රියංකරගේ ඉල්ලා අස්වීම ජනපති බාර නොගනියි?

රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යොමු කර ඇතැත් ජනපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වෙයි. අද පස්වරු 1.00ට පමණ ජනපතිවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුව පැවැති බවටත් වාර්තාවෙයි. රාජ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී පොදු විපක්ෂය හා එක්වන බවට වාර්තා පළවෙයි. 

‘දුම්රිය කොටස් කර විකුණා දමමින් සිටිනවා’

රාජ්‍ය ප්‍රවාහන සේවාවක් ලෙස දුම්රිය සේවාව මේ රටේ ජනතාවගේ මගී අවශ්‍යතා වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරයි. යටත්විජිත සමයේ විදේශීය ජාතිකයන්ගේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් ආරම්භ වූ මෙම සේවාව පසුව මගී සේවාවක් ලෙස ව්‍යාප්ත වූ අතර විදේශීය ජාතිකයන් මෙරටින් ගිය පසු අදාළ සේවා පවත්වාගෙන යාම දුම්රිය දෙපාර්තමේන්තුව සතු කර තිබේ.

එහෙත් දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය අනුග්‍රහය නිසිලෙස නොලැබීම නිසා එම සේවාව වර්තමානය වනවිට දැඩි අර්බුදයකට ලක්වෙමින් තිබෙන අතර, එම දෙපාර්තමේන්තු සතු දේපොළ විකුණා දැමීම හා බදු ලබාදීම සිදුකරමින් දෙපාර්තමේන්තුවේ ආදායම අහිමි කරන බවටත්, වර්තමාන ආණ්ඩුවට සහ පසුගිය ආණ්ඩුවලට දුම්රිය වෘත්තිය සමිති චෝදනා එල්ල වෙමින් පවතියි. සිදුකරන මෙම කටයුතු නිසා දුම්රිය සේවාව තව තවත් අර්බුදයකට ලක්වන බව වෘත්තීය සමිති පෙන්වා දෙති.මේ නිසා 'අද' මේ පිළිබඳව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සමග කතාබහක නිරත වීමු.

දුම්රිය සේවය පෞද්ගලිකරණය කිරීම

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී දුම්රිය සේවාව පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. සම්පූර්ණයෙන් ඒ දේ කරන්න බැරි වුණත් යම් යම් කොටස් පෞද්ගලීකරණය කළා. වර්තමාන ආණ්ඩුව බලයට පත් වෙන්නේ ඒ දේවල් කරන්න නැහැ කියන පොරොන්දුව මත. ඒත් මේ ආණ්ඩුවත් දුම්රිය සේවාව පෞද්ගලීකරණය කරන්න සැලසුම් හදමින් සිටිනවා. මොකද දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන්ට සිදුකළ හැකි වැඩකොටස් මේ වනවිට ඉන්දීය සමාගම්වලට, චීන සමාගම්වලට පවරමින් සිටිනවා.

මෙහෙම විදේශීය සමාගම්වලට දුම්රිය වැඩකොටස් පැවරීම යටතේ පසුගිය ආණ්ඩුව මුහුදු බඩ දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් 100 ක වේගයක් රඳවා ගන්න කියලා ඉන්දීය සමාගමක් වෙත දුම්රිය මාර්ගය සකස් කරන්න දුන්නා. මෙතනදී එක් කිලෝමීටරයක් හදන්න රුපියල් කෝටි 19 ක් වියදම් කරලා තිබුණා. උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නත් ඔවුන්ට ලබාදුන්නා. එතැනදී එක් කිලෝමීටරයක් සකස් කරන්න රුපියල් කෝටි 34 ක් වියදම් කරලා තිබුණා.

දුම්රිය සේවකයන්ගේ හැකියාව

2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනය නිසා මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 88 ක් විනාශයට පත්වුණා. මේ නිසා මෙම මාර්ගය සකස් කරන්න විදේශ සමාගම් විශාල මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම වසර 03 ක් වගේ කාලයක් ගතවන බවටත් ප්‍රකාශ සිදු කරලා තිබුණා. එහෙම වෙලාවක අපේ දෙපාර්තමේන්තු සේවකයන් එක්වෙලා දින 57 ක් වැනි කාලයක් තුළදී කිලෝමීටර් 88 යථා තත්ත්වයට පත්කළා. ඒ සඳහා වියදම් වුණේ රුපියල් මිලියන 45 ක්. මේ ආකාරයට දක්ෂතා ඇති සේවක පිරිසක් අපට හිටියත් වර්තමාන ආණ්ඩුවත් පසුගිය ආණ්ඩුව සේම දුම්රිය මාර්ග ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ඉන්දියාවට පවරනවා. මේ හරහා මෙරටේ ජනතාවගේ මුදල් අතිවිශාල ලෙස විනාශයට පත්වෙනවා.

මාතර – බෙලිඅත්ත මාර්ගය

මාතර-බෙලිඅත්ත මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කරලා තියෙන්නෙ. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 278 වියදම් කරනවා. මෙහි දුර කිලෝමීටර් 26ක්. මේ අනුව කිලෝමීටරයක් සකස් කරන්න රුපියල් මිලියන 1603 ක් වැය කරනවා. මෙය ඉදිකරන චීන සමාගම මෙහි ඉදිකිරීම් ආරම්භ කරන්නෙ 2013 ජුලි මාසයේදී. වැඩ නිම කරන්න තිබුණේ මේ වසරේ ජූලි මාසයේදී. ඒත් අදාළ සමාගම විවිධ හේතු කියමින් එම කාලය මේ මාසය දක්වා දීර්ඝ කරගත්තා. ඒත් වැඩ නිමකළේ නැහැ. මේ නිසා ගිවිසුමට අනුව අපට ඩොලර් මිලියන 26 ක ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු වෙනවා. ඒත් එම මුදල නොගෙවන ආකාරයට චීන සමාගම කටයුතු කරමින් සිටිනවා. 

එතැනදී ඔවුන් සඳහන් කරන්නෙ, දුම්රිය මාර්ගයේ ගල් ඇතිරීමට කටයුතු කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබාගත් යන්ත්‍රය යම් යම් දෝෂවලට ලක්වන නිසා මෙම මාර්ගය ඉදිකිරීම ප්‍රමාද වුණා කියලයි. හැබැයි මෙතනදී කියන්න ඕන මෙවැනි යන්ත්‍ර දෙපාර්තමේන්තුවට තිබුණේ එකයි. ඒක මගින් තමයි දෙපාර්තමේන්තු වැඩ කටයුතු කළේ. ඒත් නීතිවිරෝධී ආකාරයට රජය සතු දේපොළක් චීන සමාගමට දුන්නා. එහෙම දීපූ නිසා අප රටට ලැබිය යුතු ප්‍රමාද ගාස්තු අතිවිශාල ප්‍රමාණයක් අපට අහිමි වන තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ.

මහව සිට වවුනියාව දක්වා මාර්ගය ඉදිකිරීම

මේ කටයුත්ත වර්තමාන ආණ්ඩුව යටතේ ඉදිකිරීම් අදියර දෙකක් යටතේ සිදුවෙන්නේ. පළමු අදියර මහව සිට අනුරාධපුරයටත්, දෙවැනි අදියර අනුරාධපුරයේ සිට වවුනියාව දක්වාත් ඉදි කරනවා. මෙය ඉන්දියානු සමාගමක් විසින් සිදුකරන්නේ. මෙහි දුර කිලෝමීටර් 96 ක්. වියදම් කරන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 226 ක්. මෙතැනදී තියෙන ගැටලුව තමයි දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් මීට ටික කාලයකට පෙර මහව සිට අඹන්පොළ දක්වා දුම්රිය මාර්ගය සකස් කළා. එම මාර්ගයේ පැයට කිලෝමීටර් 80 ක වේගයකින් ධාවනය කළ හැකියි.

මෙම මාර්ගය ඉදිකිරීමට ඉන්දියාවට පැවරීමත් සමග ඉන්දීය සමාගම දෙපාර්තමේන්තුව සකස් කළ මාර්ගයත් ගලවලා දාන්න වැඩ කටයුතු කළා. මෙය දැවැන්ත අපරාධයක්. වවුනියාවේ සිට ඕමන්තය දක්වා කිලෝමීටර් 3.5 ක දුර ප්‍රමාණය සකස් කළේ දෙපාර්තමේන්තු සේවකයන්. මෙම මාර්ගයේ එක් කිලෝමීටරයක් හදන්න වියදම් වුණේ රුපියල් මිලියන 4.5 යි. එම මාර්ගයේ දුම්රිය ධාවනය වේගය පැයට කිලෝමීටර් 70 ක් 80 ක්. එම මාර්ගයත් ගලවලා නැවත සකස් කරන්න කටයුතු කළා. මෙය මෙරටේ ආර්ථිකයට කරන දැවැන්ත අපරාධයක්.

ඉන්දීය සමාගමේ යෝජනා

මෙරටේ දුම්රිය මාර්ග ඉදිකිරීම සිදුවෙන්න ඕන මෙරටේ බලධාරීන්ට ඕන විදිහට. එහෙම නැත්නම් ජනතාවගේ ඉල්ලීම්වලට අනුව. ඒත් අද දවස වනවිට දුම්රිය මාර්ග ඉදිකිරීම් විදේශීය සමාගම්වලට ඕන ආකාරයට සිදුවන ආකාරයක් දක්නට ලැබෙනවා. ඉන්දීය සමාගමක් යෝජනා කරලා තියෙනවා කුරුණෑගල ඉඳල හබරණ දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකරන්න කියලා. මෙම ඉල්ලීමට අනුව අදාළ ඉදිකිරීම් කරන්න අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදු කරමින් තියෙනවා.

ඉන්දියාවේ ඉදිකිරීම්

දුම්රිය මාර්ග ඉදිකිරීමට පසුගිය කාලයේ ඉන්දීය සමාගම්වලට පිරිනැමුවා. මේ සඳහා අතිවිශාල මුදලක් වැය කළා. ඒත් මේ ආකාරයට ඉදිකළ දුම්රිය මාර්ගවල පීලි පිපිරීම්වලට ලක්වෙනවා. කැඩීම්වලට ලක්වෙනවා. ඒ වගේම සිල්පර කොට කැඩෙනවා. උතුරු දුම්රිය මාර්ගය ගත්තොත් මේ වනවිට සිල්පර කොට 60,000 කට වැඩිය කැඩිලා තියෙනවා. මොකද ඔවුන් භාවිත කරන අමුද්‍රව්‍ය ඉතාමත් බාල දේවල්. දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් රුපියල් කෝටි 7 ක් 8 ක් වියදම් කරලා ප්‍රමිතියෙන් යුත් මාර්ග ඉදිකරද්දී රුපියල් කෝටි 19 ක්, 30 ක් වැනි අතිවිශාල මුදලක් වියදම් කරලා විදේශ සමාගම්වලට කියලා දුම්රිය මාර්ගය ඉදිකරගෙන පසුගිය පාලකයන් සේම, වර්තමාන පාලකයනුත් මෙරටේ ජනතාවට බර පටවමින් සිටිනවා. මේ කරන විනාශයට දුම්රියක් කවදාවත් දැකලා නැති කවදාවත් දුම්රියක ගිහින් නැති ජනතාවටත් දුම්රිය වෙනුවෙන් අතිවිශාල මුදලක් බදු වශයෙන් ගෙවන්න සිදුවෙලා.

මැදිරි අලුත්වැඩියා කිරීම

දුම්රිය මැදිරි අලුත්වැඩියා කටයුතු සිදුකරන්නෙ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් විසින්. ඒත් මේ වනවිට දුම්රිය මැදිරි 200 ක් අලුත්වැඩියා කරන්න පෞද්ගලික සමාගමකට පවරලා තියෙනවා. මෙතනදී එක් දුම්රිය මැදිරියක් අලුත්වැඩියා කිරීම වෙනුවෙන් අදාළ සමාගමට රුපියල් මිලියන 100 ක් ලබාදීමට සැලසුම් කරලා තියෙන්නේ. මෙය බරපතළ මුදල් නාස්තියක්. මොකද පහසුකම් අඩු තත්ත්වයක් තුළ පවා දුම්රිය සේවකයන් ඉතාමත් අඩු මුදලකින් මැදිරි අලුත්වැඩියා කටයුතු කරනවා. ඒ වගේම කියන්න ඕන අපේ සේවකයන් මාසයකට දුම්රිය මැදිරි 30 ක් අලුත්වැඩියා කටයුතු කරනවා. ඒත් මේ සමාගම දුම්රිය මැදිරි හදන්න ගත්තට පස්සේ මාසයකට සකස් කරන්නේ දුම්රිය මැදිරි 5 යි. මේ අනුව දුම්රිය 200 අලුත්වැඩියා කටයුතු කරන්න අවුරුදු 03 කට වැඩි කාලයක් ගත වෙනවා.

දුම්රිය මැදිරි පෞද්ගලික අංශයට පැවරීම

පසුගිය කාලයේ ඉඳලම මෙම කටයුත්ත ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මොකද දුම්රිය මැදිරි පෞද්ගලික අංශයට පැවරීම යටතේ පෞද්ගලික සමාගම් තුනකට මැදිරි බදු දීලා තියෙනවා. මෙම මැදිරි බදු දීලා තියෙන්නේ යම් මුදලකට. ඒත් ඒ මුදල් එකතු කරගැනීමක් සිදු කරන්නෙ නැහැ. ඒ වගේම ආදළ සමාගම ගෙවීම් කරන්න උත්සාහ කරන්නෙ නැහැ. මේ නිසා දෙපාර්තමේන්තුව අතිවිශාල මුදලක් දිනපතා අහිමි වෙනවා. හැබැයි මෙම සමාගම අධික ලෙස ආදායම් ලබන්නෙ දුම්රිය දෙපාර්තමේන්තු, මාර්ග දෙපාර්තමේන්තු මැදිරි භාවිත කරමින්.

දැන්වීම් පළ කිරීමට මුදල්

දුම්රිය පරිශ්‍රයන් තුළ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගමක් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ වනවිට රුපියල් ලක්ෂ 5060 ක් ගෙවන්න ඕන. ඒත් ඒ මුදල් අය කරගන්න පාලකයන් කටයුතු කරන්නෙ නැහැ. මෙයත් දෙපාර්තමේන්තුවට අතිවිශාල මුදලක් අහිමිවීමක්.

වෘත්තීය සමිති ඉල්ලීම්

අප එදා ඉඳන්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, දුම්රිය ශක්තිමත් කරලා මෙරටේ ජනතාවට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් දෙන්න කියලා. දෙපාර්තමේන්තු සතු දේපොළ පෞද්ගලීකරණය කරන විට ඒවා කරන්න එපා කියලා ඉල්ලුවා. වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයාගෙනුත් මෙම ඉල්ලීම කරලා තියෙනවා. මොකද ඇමතිවරයා වෘත්තීය සමිතිවලට කියනවා මම දුම්රිය සේවය පෞද්ගලීකරණය කරන්නෙ නැහැ කියලා. ඇමතිවරයා එහෙම කියමින් මැදිරි අලුත්වැඩියා කටයුතු කරන්න මාර්ග ඉදිකරන්න, දුම්රිය ගොඩනැගිලි ඉදිකරන්න, පෞද්ගලික අංශයට පවරමින් ඉන්නවා. දුම්රිය මැදිරි පවිත්‍රතා කටයුතු කරන එකත් පෞද්ගලික සමාගමකට පවරලා තියෙනවා. මේ අනුව දුම්රිය දෙපාර්තමේනතු සතු දේපොළ කොටසින් කොටස පෞද්ගලීකරණය කරමින් සිටිනවා. මේ නිසා පසුගිය ආණ්ඩුවට සේම යහපාලනය නමින් හඳුන්වාගන්නා වර්තමාන ආණ්ඩුවත් දිනෙන් දිනම දුම්රිය සේවය වළපල්ලට යවමින් සිටිනවා.

දුම්රිය ඉඩම්

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව රටපුරා තියෙන ඉඩම්වල අයිතිය තියෙන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා යටතේ. ඒත් මේ වනවිට ඉඩම්වල අයිතිය ප්‍රවාහන අමාත්‍යාංශය යටතට පවරාගෙන තියෙනවා. මෙම පවරා ගැනීම යටතේ ගන්න ඉඩම්, ඉඩම් කච්චේරි පිහිටුවලා ප්‍රවාහන අමාත්‍යවරයාගේ ඡන්ද බලප්‍ර‘දේශයේ පදිංචි පුද්ගලයන්ට බෙදාදෙමින් සිටිනවා. හැබැයි දුම්රිය ආඥාපනතට අනුව මේ ඉඩම්වල අයිතිය තියෙන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවට. මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව සතු දේපොළවලට අතිවිශාල අපරාධයක් සිදුවෙමින් තියෙනවා.

සේවක හිඟය 

දුම්රිය සේවයේ පුහුණු ශ්‍රමිකයන්ගේ 50% කට වැඩි හිඟයක් තියෙනවා. ඒත් බඳවා ගැනීම සඳහා කිසිදු ක්‍රමවේදයක් නැහැ. වසර 12 කින් පුහුණු ශිල්පියෙකු බඳවාගෙන නැහැ. මේ නිසා දුම්රිය වැඩකටයුතු කරන්න ගියාම විවිධ දුෂ්කරතාවන්ට ලක්වෙනවා. පොදුවේ ගත්තම දෙපාර්තමේන්තුව තුළ පුහුණු තාක්ෂණ ශිල්පීන් 4,670 ක් සිටිය යුතු වුවත් සේවයේ යෙදී සිටින්නේ 2776 ක් වගේ ප්‍රමාණයක්. මේ අනුව පුහුණු තාක්ෂණ ශිල්පින්ගෙනුත් 50% ක ආසන්න අඩුකමක් තියෙනවා. තාක්ෂණ ශිල්පීන් පුහුණු කරන්න දුම්රිය කාර්මික විද්‍යාලය ඇති කරලා තිබුණත් එම ආයතනය විසින් මේ වනවිටත් ආදළ පුහුණු වෙනුවෙන් බඳවා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් නෑ.

වටිනා කලා නිර්මාණ රැසක් අඩු ලංසුවකට පෝලන්තයට

ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩා වින්සිගේ සිතුවමක් ඇතුළු වටිනා කලා නිර්මාණ රැසක් පෝලන්ත රජය ඉතා අඩු මුදලකට මිලදී ගෙන තිබේ.

යූරෝ බිලියන 2කට ඇස්තමේන්තු කර තිබූ මෙම කලා නිර්මාණ එකතුවට පෝලන්ත රජය ලබාදී තිබුණේ යූරෝ මිලියන 100ක් තරම් ඉතා අවම වටිනාකමක් බව කියැවෙයි.

කෙසේ වෙතත්, මේ නිර්මාණ එකතුව වෙන්දේසි කළ සාට්රොස්කි කෞතුක පදනමේ ප්‍රධානියා කියා සිටියේ පරිත්‍යාගයක් ලෙස සලකා රජය වෙත එම නිර්මාණ වට්ටම් මුදලකට ලබාදුන් බවයි.‍

එනමුදු, එම පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලය මීට විරෝධය පාමින් සිය ධුරයන්ගෙන් ඉවත්ව ගොස් ඇත.

කෙසේ වෙතත්, පදනමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ තමා කවදත් තම මුතුන්මිත්තන් අනුගමනය කරමින් කටයුතු කරන බවය. මන්දයත්, ඔවුන් සෑමදාම පෝලන්තය වෙනුවෙන් කටයුතු කළ බව පවසමින්, ඔහු මෙම වටිනා කෞතුක භාණ්ඩ රැසක අඩු මුදලකට පෝලන්ත රජයට ලබාදීමට තීරණය කර තිබේ.  

2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි

සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් 2017 නව අවුරුදු උදාව වෙනුවෙන් විශේෂ ගිනිකෙළි සංදර්ශනයක් කොළඹ ගංගාරාම පාරේ බේරේ වැව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මුදල් අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි.

දෙසැම්බර් මස 31දා රාත්‍රී 11.50 සිට 2017 ජනවාරි මස 01 දා අලුයම 12.15 දක්වා එය පැවැත්වෙන අතර, මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්, ලාෆ්ස්, ජනශක්ති රක්ෂණ සමාගම ඇතුළු සමාගම් රැසක් අනුග්‍රහය දක්වන බවද මුදල් අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.

 

සමස්ත විල්පත්තුවම වන ජීවි භූමියක් ලෙස නම්කරයි

විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලුම වන බිම්ද ඇතුළත්වන පරිදි වන ජීවී කලාපයක් ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම විල්පත්තුව ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිත කරමින් ගුවනේ සිට නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග අද (30දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනපති මෙම උපදෙස් ලබාදී තිබේ.

කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙළි කිරීම්වලට අදාළව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේ, වනාන්තර හෙළි කිරීම් සහ කැලෑ කැපීම්වලට එරෙහිව දැනට පවතින නීතිය තුළ ඇති දඩමුදල හා සිර දඬුවම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස තමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරන බවයි.

මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ සිදුවන බව පැවසෙන වන විනාශයන් පිළිබඳ ඇතැම් පාර්ශ්ව එල්ලකරන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබාදීම සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙසද සිරිසේන මහතා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය.

පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පරිසර සංවිධාන නියෝජිතයන් මෙන්ම ජනමාධ්‍යවේදීන්ද මෙම නිරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

වන විනාශයන් සිදුකරනවා නම් ඊට එරෙහිව නීතිය උපරිම අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා අලුතෙන් ඉඩම් වෙන් කිරීමේදී වනාන්තර ප්‍රදේශවලින් දුරස් වූ ඉඩම් ඒ සඳහා යොදා ගැනීමටත්, එම ඉඩම් හඳුනාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් උපදෙස් දුන්නේය.

2016දී වැඩිම ආදායම් ඉපැයූ නිළිය ස්කාලට් ජොහැන්සන්

සුප්‍රකට ෆෝබ්ස් සගරාවේ සමීක්ෂණයට අනුව 2016 වර්ෂයේ හොලිවුඩයේ වැඩිම ආදායම් ඉපැයූවන් අතර සුප්‍රකට රංගන ශිල්පිනී ස්කාලට් ජොහැන්සන් ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ. ඇය රංගනයෙන් දායක වූ, 2016 වර්ෂයේදී තිරගත වූ 'Captain America: Civil War' (ඇ.ඩො. බිලියන 1.15 ක පමණ ඉපැයූ) සහ ඇ.ඩො බිලියන 1.2 ක පමණ ආදයමක් ඉපැයූ 'Hail Caesar' සිනමා පට මේ සඳහා බෙහෙවින් දායක වී ඇතැයිද වාර්තා වේ. 

මැයි මාසයේ තිරගත වූ මාවල් කොමික් ග්‍රන්ථ පාදක කරගනිමින් නිර්මාණය වූ 'අයන් මෑන්', 'ස්පයිඩර් මෑන්', 'බ්ලැක් විඩෝ' සහ 'ඈන්ට් මෑන්' සිනමාපට අතර වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිර්මාණය කරන ලද 'කැප්ටන් ඇමෙරිකා' සිනමාපටය ලොව පුරා දැවැන්ත ලෙස ආදායම් ලබමින් තිරගත විය.

මේ ලැයිස්තුව සඳහා ෆෝබ්ස් සඟරාව 2016 වර්ෂයේ ලොව පුරා අලෙවි වූ සිනමාපට ප්‍රවේශපත්වල ආදායම සැලකිල්ලට ගත් බව පැවසෙන අතර, මෙහිදී ඔවුන් පරිගණක සජීවීකරණ චිත්‍රපටවල හඬ නළු දායකත්වය ලබාදීම පිළිබඳ සැලකිල්ලට නොගත් බවද පවසයි. මෙම ලැයිස්තුවට ඇතුළත් වූ නව නාමයක් වූ මාග්‍රට් රොබී, ලොවපුරා තිරගත වෙමින් ඇ.ඩො මිලියන 745.6 ක ආදායමක් උපයමින් තිරගත වූ 'Suicide Squad' සිනමාපටයේ රංගනයෙන් දායක වූවෙකි. 

අනූෂි දන්තනාරායන

54daf94090795_-_esq-scarlet-johansson-2005-01-de bbfa957a-a2ea-48b3-99e9-59b5176933d5 BN-BY925_mag041_OZ_20140318165119   maxresdefault Scarlett_Johansson_081230009 scarlett-johannsen Scarlett-Johansson-High-Definition-Wallpapers Scarlett-Johansson-photographed-in-the-Jewel-Suite-at-the-New-York-Palace-hotel.-1 slide_193529_2278722_free