Monthly Archives: November 2016

චීන තානාපති අමාත්‍යාංශයට කැඳව්වේ නෑ

මුදල් අමාත්‍ය රවි කරුණනායක මහතා විවේචනය කිරීම පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශ පිළිබඳව විමසීම සඳහා ඔහුව විදේශ කටයුතු අමාත්‍යාංශයට නොකැඳවූ බව විදේශ කටයුුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය හර්ෂද සිල්වා මහතා පැවැසීය.

එසේම එම ගැටළු පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා හා චීන තානාපතිවරයා ඉතාමත් සුහදව දුරකතනය ඔස්සේ කරුණු හුවමාරු කර ගත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවැසීය.

මැලේරියා නැති බවට සහතිකය ලැබෙයි

ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන සහතිකය නිල වශයෙන් බාරදීම අද (30දා) පෙරවරුවේදී සිදුවිය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති උත්සවයකදී මෙම සහතිකය පිරිනැමිණි.

 

පොලීසියට ඔස්ට්‍රේලියා ජාතිකයෙකුගෙන් චෝදනාවක්

අධිවේගී මාර්ගයේදී අවස්ථා හතරකදී තමාව නැවැත්වූ පොලිස් නිලධාරින් වසින් තමාව අල්ලස් ලබාදීමට පොළඹවා ගැනීමට උත්සාහ කළ බව ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු චෝදනා කරනවා.

පසුගිය 23 දා අවසන්වරට මාලඹේදී ඔහු මෙම සිදුවීමට මුහුණ දී තිබේ. අධිවේගී මාර්ගයෙන් පිටත්වන අවස්ථාවේදී තමාව අධික වේගය යැයි පවසමින් පොලීසිය විසින් නැවැත්වූ බව ඔහු පවසයි. කෙසේ වෙතත් එම සිදුවීම වීඩියෝ ගත කිරීමට තමන් උත්සාහ ගත් විට තමාව නැවැත්වූයේ බලපත්‍ර පරීක්ෂා කිරීමට යැයි පවසමින් හේතුව වෙනස් කළ බවත් ඔහු කියයි.

ශ්‍රී ලංකා ජාතික කාන්තාවක් විවාහ කරගෙන ඇති ඇඩම් රොත් නම් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙම චෝදනාව පොලීසියට එල්ල කරයි. ඒ පිළිබඳව වීඩියෝවක්ද ඔහු සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබේ.

එසේම ඔවුන් විදේශිකයන් මේ ආකාරයෙන් ඉලක්කරගෙන තිබෙන බවත් ඔහු චෝදනා කරයි.

කෙසේ වෙතත් විඩියෝවේ එක් අවස්ථාවකදී ඔහු පොලිස් නිලධාරියාගෙන් මුදල් අවශ්‍යදැයි විමසන අතරෙ පොලිස් නිලධාරියා එය එපා යැයි පවසයි. එසේම මෝටර් රිය නතර කළේ බලපත්‍ර පරීක්ෂා කිරිමට බවත් පොලිස් නිලධාරියා සඳහන් කරයි.

 

 

 

 

ගැඹුරු පීඩන අවපාතයක් – පළාත් 4ට තද වැසි

දිවයිනට නැගෙනහිර දෙසින්, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති  පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ත්‍රිකුණාමලය සිට කි.මී. 480ක් පමණ දුරින් පවතින හෙයින් ඉදිරි පැය 12 තුළදී  සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ  ‍‍දෙසට බරව යාපනය අර්ධද්වීපය ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන් හේතුවෙන් දෙසැම්බර් මස 02 වැනිදා දක්වා, උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තද වැසි සහ තද සුළං බලාපොරොත්තුවිය හැකි බවද එම නිවේදනයේ සහන් වෙයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, සමහර ස්ථානවලට තරමක් තද වැසි (100mmට වැඩි) බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 

 

අගමැතිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් පවත්වන විරෝධතා හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30දා) පාර්ලිමේන්තුවට පැවැසීය.

පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා ඉන් පිටවීමේදී බාධාවකින් තොරව ඔවුන්ට ගමන් කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් එය මන්ත්‍රී වරප්‍රසාදයක් බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ඒ පිළිබඳව මන්ත්‍රිවරුන් ගණනාවක්ම තමාට පැමිණිලි කළ බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව එම කරුණ කතානායක කරු ජයසූරිය මහතාගේ අවධානය යොමු කරන ලෙසත් කතානායකවරයා හරහා එය අධිකරණයට ගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් උද්ඝෝෂණ පැවැත්වීමට තමා බාධා නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට සහාය දක්වන බව ටී.එන්.ඒ. මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා සඳහන් කළේය. 

ඇමෙරිකා ඔහිහෝ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තයන් භාරගනී

ඇමෙරිවේ ඔහියෝ විශ්වවිද්‍යාලය භූමියේදී මෝටර් රථයකින් පුද්ගලයන් යට කිරීමත්, පසුව පිහි ඇනුම් සිදුකිරීමත් යන ප්‍රහාරය තම හුදෙකලා ත්‍රස්තයෙකු සිදුකළ බව IS සංවිධානය පවසයි.

සෝමාලියාවේ උපත ලබා ඇමෙරිකාවට පැමිණි අබ්දුල් රසාක් අලි අර්ටාන් ලෙස මෙම ප්‍රහාරකයා හඳුනාගෙන ඇති අතර, ඔහු එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබමින් සිට 18 හැවිරිදි තරුණයෙකු බවද අනාවරණය විය.

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අමාඛ් පුවත් ඒජන්සිය පවසා සිටියේ ඔහියෝ, රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යනාංශයේ උපාධිධරයෙකු වූ මෙම තරුණයා තම සංවිධානයේ සෙබලෙකු බවයි.

එහිදී, මෙම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයා විශ්වවිද්‍යාල භූමියේදී සිය මෝටර් රථය පිරිසක් මතින් ධාවනය කරමින්, පසුව එම රථයෙන් බැස පිහි ඇණුම්ද සිදුකර තිබුණි. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 11 දෙනෙකු බරපතල තුවාල ලැබීය. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මෙම ප්‍රහාරකයා ජීවිතක්ෂයට පත්විය.

මෙම ප්‍රහාරය පිළිබඳව එෆ්.බී.අයි. ආයතනය විශේෂ පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ප්‍රහාරය සඳහා තවත් අයෙකුගේ සහාය ලැබී ඇතිද යන්න පිළිබඳවද පරීක්ෂණ මෙහෙය වෙන බව විදෙස් වාර්තා පැවසෙයි.

කැස්ත්‍රෝ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය

අභාවප්‍රාප්ත කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

 ඒ අනුව හෙට (01දා) පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ යෝජනාවේදී ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කිරිමට නියමිතය.අද (30දා) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. 

ප.ව. 5 සිට ප.ව. 7 දක්වා  ෆිදෙල් කැස්ත්‍රෝ මහතා පිළිබඳව මන්ත්‍රීවරු අදහස් දැක්වීමට නියමිතය. පාර්ලිමේන්තු කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සභාවට ගෙන ඒමට නියමිතය.

 

 

ජනපතිගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ

නිල්වලා ගඟ සංවර්ධන ව්‍යාපෘතියට පසුගිය ආණ්ඩුව රුපියල් මිලියන 4,012ක් ලබාගත්තද එක උදලු පහරක්වත් ගසා නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගාල්ලේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (30දා) පැවසීය.

තමා මේ සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත්, එහිදී හිටපු ජනාධිපතිවරයා මෙම කරුණ මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා ඇත්ත නැත්ත රටට හෙළිදරව් නොකළහොත් දේශපාලන මඩෙන් යැපෙන දේශපාලඥයන් තමන්ගේ උදර පෝෂණය සඳහා මෙම කරුණ යොදාගැනීමට ඉඩ තිබෙන බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"මීට පෙරත් වටේ සිටින උපදේශකයන් ජනාධිපතිවරයාට ලණු දීපු අවස්ථා තිබෙනවා. කාර්යබහුල නිසා ජනාධිපතිවරයාට මේ හැම දෙයක්ම පෞද්ගලිකව හොයලා බලන්න බැහැ. මීට පෙර නෙළුම් පොකුණ රඟහලේ සමරු ඵලකය ගළවලා කියලා මෙවැනිම ප්‍රකාශයක් කළා. එය අසත්‍යක් බව ඔප්පු වුණා.

එම නිසා මේක ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න. නැත්නම් මේ ප්‍රශ්නය අවුරුද්දක් විතර ඇදුනාම දේශපාලන මඩකරියන් විසින් අතට ගන්නවා. දේශපාලන මඩෙන් යැපෙන, මඩෙන් ජීවත්වෙන දේශපාලනඥයන් කොට්ඨාසයක් ඉන්නවා. ඔවුන් උදර පෝෂණය සඳහා මේ චෝදනා අත්පත් කරගන්නවා. කරුණකරලා මේකේ ඇත්ත කියන්න" යැයි පැවසීය.

වසීම් අක්‍රම්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් සම්මාන උළෙල අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 2015/16 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්‍ෂතා අගයනු වස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඩයලොග් ආසියාටා සමාගම එක්ව සංවිධානය කරන ඩයලොග් ක්‍රිකට් සම්මාන උලෙළ අද (30දා) බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වීමට නියමිතය. 

2015/16 යන වසරවල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් ක්‍රීඩිකාවන් හා විනිසුරුවරුන් දැක්වූ දක්‍ෂතා මෙහිදී ඇගයීමට පාත්‍රවන අතර, මෙවර ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහ‘යෙන් මෙම සම්මාන උලෙළ පැවැත්වනුයේ සිවුවැනි වරටය.

 මෙම සම්මාන උලෙළේදී දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් සම්මාන 65ක් පිරිනැමීමට කටයුතු සම්පාදනය කර තිබුණද, පසුව සම්මාන උලෙළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සඳහා සම්මාන 17කට පමණක් ලඝු කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් කරුණු විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ මෙවර සම්මාන උලෙළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්‍ෂතා සඳහා පමණක් වලංගු වන බවයි.

මෙවර සම්මාන උලෙළේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා හා වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුළුව සම්මාන 17ක් පිරිනැමේ. එහිදී වසරේ තරග විස්තර විචාරකයා, වසරේ ක්‍රිකට් ජනමාධ්‍ය‘වේදියා හා වසරේ අන්තර්ජාතික විනිසුරුවරයා යන ක්‍රිකට්වලට සම්බන්ධ ක්ෂේත්‍රවල දක්‍ෂයන්ටද සම්මාන පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මේ අතර මෙවරද ජනතාවගේ මනාපයෙන් වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගැනෙන අතර, ඒ සඳහා 2015/16 යන වසරවල ශ්‍රී ලංකාව අන්තර්ජාතික මට්ටමෙන් නියෝජනය කළ ක්‍රීඩකයන් 16ක් ඇතුළත්ය. එම නිර්දේශිත නාම අතරට දිනේෂ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ෂාන්, රංගන හේරත්, දිමුත් කරුණාරත්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, කුමාර් සංගක්කාර, කෞෂාල් සිල්වා, ළහිරු තිරිමාන්න හා ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩක නාමයන් ඇතුළත්ය.

සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස පාකිස්තාන හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් එක්වීමට නියමිතය.