Monthly Archives: October 2016

එවරස්ට් ග්ලැසියර ජලාශය හිස් කිරීම සාර්ථක වෙලා

එවරසට් කඳු පාමුල ගම්මානවලට ගංවතුර තර්ජනයක් පිළිබඳ බියක් ඇති කළ ග්ලැසියර ජලාශයක වූ ජලය ඉවත්කිරීමේ කටයුතු අවසන් කළ බව නේපාල හමුදාව පවසයි.

ඉම්ජා ග්ලැසියර ජලාශය මුහුදු මට්ටමින් අඩි 16,400ක් ඉහළ එවරසට් කන්ද ආසන්නව ඇති අතර, මාස කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමකින් එහි ජල මට්ටම මීටර් 3කට පමණ ගෙන ඒමට හැකි වූ බව කියැවෙයි.

හිමාල කඳුකරයේ ඇති දහස් ගණනක් වූ ග්ලැසියර ජලාශවලින් එකක් ලෙස ඉම්ජා ග්ලැසියර ජලාශය සැලකෙයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ග්ලැසියර දියවීමත් සමග මෙම ග්ලැසියර ජලාශවල ජල මට්ටම් වේගයෙන් ඉහළ යන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

එමෙන්ම, පසුගිය වසරේ නේපාලයට බලපෑ භූ කම්පනයද මෙම ඉම්ජා ග්ලැසියර ජලාශයේ ජලය මහා ගංවතුරක් ලෙස පහළට ගලා එනු ඇතැයි යන බිය ඇති කර තිබුණි.

නේපාල හමුදාව පවසන්නේ මුහුදු මට්ටමින් ඉහළ ස්ථානයක සිදුකළ මෙවැනි ආකාරයේ ලොව ප්‍රථම ජලාපවහන ව්‍යාපෘතිය මෙය බවයි. එහිදී, නේපාල හමුදාව සහ නේපාලය ආශ්‍රිව ජීවත්වන ෂර්පාවරු එකතුව එම ජලාශයේ ජලය ක්‍රමයෙන් ඉවත්කිරීම සඳහා මාස හයක කාලයක් අගල් කැපීමක් සිදුකර තිබුණි.

ඉතාලි භූ කම්පනයෙන් 15000ක් අවතැන්වෙලා

වර්ෂ 1980 න් පසුව ඉතාලියට බලපෑ ප්‍රබලතම භූ කම්පනය හේතුවෙන් 15,000ක ජනතාවක් උන්හිටිතැන් අහිමිව දිවිගෙවන බව විදෙස් වාර්තා පවසයි.

නෝර්සියා නගරය ආසන්නව ඇති වූ මෙම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ජීවිත හානි වාර්තා නොවෙයි.

ඉරිදා උදෑසන ඇති වූ රික්ටර් පරිමාණ 6.6ක් ලෙස භූ කම්පනය වාර්තා වී තිබූ අතර, මෙම භූ කම්පනය පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලයන් 300කට දිවි අහිමි කළ භූ කම්පනය සිදුවූ ප්‍රදේශය ආශ්‍රිතවම ඇති වී තිබුණි.

ඉතාලි අගමැති මෙට්ටියෝ රෙන්සිගේ ප්‍රධානත්වයෙන් එරට කැබිනට් මණ්ඩලය විසින් හදිසි ආපදා රැස්වීමක්ද පවත්වා තිබුණි.

මධ්‍යම කඳුකර ප්‍රදේශයේ නගර හා ගම්මාන කිහිපයක ගොඩනැගිලිවලට මෙම භූ කම්පනවලින් බරපතල හානි සිදුවී තිබූ බවද විදෙස් වාර්තා පවසයි.

පොලීසිය දීපාවලී සමරයි

පොලිස් දීපාවලී උත්සවය අද (31දා) අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට නීතිය සහ සාමය අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගිවී සිටියහ.

හින්දු චාරිත්‍රානුකූලව සිදුවූ මෙම උත්සවය හින්දු සංස්කෘතියට අදාළ නර්තන අංගවලින්ද යුක්ත විය.

මෙම අවස්ථාවට හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහ පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝ විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ. 

ඡායාරූප ඉසුරු පෙරේරා

AID_1657 AID_1662 AID_1669 AID_1671 AID_1680 AID_1687 AID_1691 AID_1694 AID_1701 AID_1703 AID_1708 AID_1712 AID_1720
 


 

ශ්‍රී ලංකාව ලකුණු 169ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේතෙවැනි දින තේ පානය සඳහා අද (31දා) තරගය තෙවැනි දිනයට නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 5ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව සිම්බාබ්වේ දෙවැනි ඉනිමට වඩා තවත් කඩුලු 10ක් ඉතිරිව සිටියදී ශ්‍රී ලංක කණ්ඩායම ලකුණු 169ක් ඉදිරියෙන් සිටියි.

සිම්බාබ්වේ කණ්ඩායම අද දිනය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 88ක් රැස්කරගෙන සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 45ක් රැස්කරගෙන සිටි ටිනෝ මවෝයෝ දවාගැනීමට සුරංග ලක්මාල් සමත්විය. අසේල ගුණරත්න වෙත උඩ පන්දුවක් ලබාදී මවෝයෝ දැවී ගිය අතර, ඉන් අනතුරුව වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකිවූ හැමිල්ටන් මසකඩ්සාද, ලක්මාල්ගේ දෙවැනි කඩුල්ල ලෙස ගොදුරුවෙමින් දිමුත් කරුණාරත්න වෙත උඩපන්දුවක් ලබාදී ලකුණු 33කට දැවී ගියේය.  ඉන් අනතුරුව සිම්බාබවේ කණ්ඩායමට සැනසිලි දායක තත්ත්වයක් නොවූ අතර, ඔවුන් මුලු ලකුණු 139ක් සම්පූර්ණ කරන විටදී ඔවුන්ගෙන් කඩුලු 06ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී සුරංග ලක්මාල්, රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා කඩුලු 02 බැගින් දවාළීමට සමත් වූහ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බලාපොරොත්තු වූ පීඩනය සිම්බාබ්වේ වෙත එල්ලකිරීමට නොහැකිවූ අතර, 07 වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ පීටර් මුවර් හා ග්‍රැහැම් ක්‍රීමර් ලකුණු 132ක වටිනා සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. ලකුණු 79ක් රැස්කරගෙන සිටි මුවර්, ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කුසල් පෙරේරා වෙත උඩපන්දුවක් ලබාදී දැවීයාමත් සමග එම සබඳතාව බිඳ වැටුණි. තම කුලුඳුල්  ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ළහිරු කුමාරගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් කඩුල්ල මෙය වේ. ඉන් අනතුරුව නැවතත් ග්‍රැහැම් ක්‍රිමර් හා ඩොනල්ඩ් ටිරිපානේ අටවැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 92ක සබඳතාවක් ගොඩනැගීය.

එම සබඳතාව ටිරිපානෝගේ දැවීයාමත් සමග අවසන්විය. ඒ වන විට සිම්බාබ්වේ ඉනිම ලකුණු 363/8ක් වශයෙන් දිස්විය. ඉනිමට තවත් ලකුණු 10ක් එක්වන විට සිම්බාබ්වේ සියලුම ක්‍රීඩකයන් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත්වූහ. කෙසේ වෙතත් අනගි ඉනිමක් ක්‍රිඩා කළ ග්‍රැහැම් ක්‍රීමර් නොදැවි ලකුණු 102ක් රැස්කළේය. එය ඔහුගේ පළමු ටෙස්ට් ශතකයද විය. 

හරාරේ සමාජ ක්‍රීඩාංගණයේ පසුගිය සෙනසුරදා (29දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම තීරණය කළ අතර, ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන්සියල්ලන් දැවී ලකුණු 537ක් රැස්කළේය. ශ්‍රී ලංකා ඉනිම සැරසූ උපුල් තරංග (110 නොදැවී) හා කුසල් පෙරේදා (110) ශතක රැස්කළ අතර, කෞෂාල් සිල්වා (94), දිමුත් කරුණාරත්න (56) හා අසේල ගුණරත්න (54) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

 

 

දීපවාලී ගිනිකෙළි දුමෙන් දිල්ලි අගනගරය වැසී යයි

ඉන්දියාවේ දීපවාලී සැමරුම සමග පැවති ගිනිකෙළි සංදර්ශන නිසා දිල්ලි අගනගරය දුමාරයකින් වැසී ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා ඇති වායු දූෂණය මෙන් 30 ගුණයක වායු දූෂණයක් පවතින ප්‍රදේශද මෙම ගිනිකෙළි දුමාරයත් සමග වාර්තා වී තිබේ.

හින්දූන්ගේ අතිශය වැදගත් උත්සවයක් ලෙස සැලකෙන දීපවාලී යනු නපුර පරාජය කරමින් යහපත ජයග්‍රහණය කළ ආලෝක පූජා පැවැත්වෙන පූජෝත්සවයකි.

කෙසේ වෙතත්, සඳුදා දිනයේදී දිල්ලි නගරය පුරා පැවති අධික දුමාරය ඝන මීදුමක් ලෙස පැතිර තිබුණු අතර, ජනතාවට හැකි තරම් නිවෙස් තුළට වී සිටින ලෙසත්, පිටතට පැමිණෙන්නේ නම් මුඛ ආවරණ පැළඳ සිටින ලෙසත් අවවාද කර තිබුණි.

ඔක්තෝබර් මස මහ බැංකු පොලී අනුපාත නොවෙනස්

2016 ඔක්තෝබර් මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී මහ බැංකු පොලී අනුපාතවල වෙනසක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7% ක් සහ 8.5% ක් ලෙස නොවෙනස්ව පවතී.

ජනාධිපතිවරණය අත ළඟ හිලරි ඊමේල් පළහිලව්වක

ජනාධිපතිවරණය අත ළඟ තිබියදී FBI ප්‍රධානියා විසින් හිලරි ක්ලින්ටන් හා සබැඳි ඊමේල් පණිවුඩ පිළිබඳ පරීක්ෂණ ඇරඹීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ නායකයා චෝදනා කරයි.

නිලධාරීන් විසින් මැතිවණයකට බලපෑම් කිරීම වළකාලන නීති උල්ලංඝනය කිරීමක් FBI අධ්‍යක්ෂ ජේම්ස් කොමේ විසින් සිදුකර ඇති බව හැරී රීඩ් අවධාරණය කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට සති දෙකකටත් අඩු කාලයක් තිබියදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හා සම්බන්ධ මෙම ඊමේල් පරීක්ෂණය කරළියට පැමිණීම විශේෂත්වයක් ගෙන තිබේ.

කෙසේ වෙතත්, ක්ලින්ටන්ගේ ප්‍රධාන සහායිකාවක වන හූමා අබෙයිඩීන්ගේ ඊමේල් ගිණිම්වල කෑෂ් මතකයන් පරීක්ෂා කිරීමේ වරෙන්තුවක්ද FBI ආයතනය විසින් ලබාගනිමින් මෙම පරීක්ෂණ ඉදිරියට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසි.

මෙම ඊමේල් ඇයගෙන් වෙන්ව සිටින ඇගේ ස්වාමියාගේ ලැප්ටොප් පරිගණකයේ තිබියදී සොයාගෙන ඇති අතර, එහිදී ඊමේල් පණිවුඩ 650,000ක් පමණ හමුවී ඇති බව කියැවෙයි. කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමග හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ යම් දෙදරීමක් පවතින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

ඝාතන චෝදනාවකට එකම පවුලේ 5කට මරණ දඬුවම්

වසර පහළොවකට පෙර මරදාන ප්‍රදේශයේදී සිය ඥාතියෙකු ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ එකම පවුලේ ඥාතීන් ඇතුළු පස්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය අද (31දා) මරණ දඬුවම නියම කළාය.

විත්තිකරුවන්ගේ වැඩිමහල් සහෝදරයා මැරූ පළිය ගැනීමට රාජගෝපාල් විජේරත්න නමැති මරණකරු ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරිය විත්තිකරුවන්ට මෙලෙස මරණීය දඬුවම් පැනවූවාය.

මරණ දඬුවමට අමතරව මාස හය බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් 5,000 බැගින් දඩ මුදල්ද නියම කළ විනිසුරුවරිය දඩ මුදල් නොගෙවුවහොත් මාස 06 බැගින් අමතර සිර දඬුවම්ද නියම කළාය.

චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ මරදාන, සංඝරාජ මාවතේ පදිංචිකරුවන් වන තිරුචෙල්වම් නිකලස්, වඩිවෙල් රවීන්ද්‍රන් හෙවත් රඝු, දිනේෂ් කුමාර්, සිංහතම්බි සහ රමේෂ් හෙවත් රවි නමැත්තන්ටය.

2001 මාර්තු මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මරදානේදී රාජගෝපාල් විජේරත්න නමැත්තාගේ මරණය සිදු කිරීම පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, එම පොදු අරමුණ ඉෂ්ඨ කරගැනීම සඳහා වූ නීතිවිරෝධී රැස්වීමේ සාමාජිකයන් ලෙස කටයුතු කරමින් රාජගෝපාල් විජේරත්න නමැත්තාගේ මරණය සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

ප්‍රංශ රාජ්‍ය ඇමතිනියක් ශ්‍රී ලංකාවේ

ප්‍රංශයේ වාණිජ, කුඩා පරිමාණ කර්මාන්ත, පාරිභෝගික කටයුතු හා සමාජ හා සහයෝගිතා ආර්ථිකය පිළිබඳ රාජ්‍ය ඇමතිනී මාර්ටින් පින්විල් මහත්මිය හා විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතා අතර අද  (31දා)  විදේශ කටයුතු අමාත්‍යංශයේදී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විය.

2015 වසරේ දී නව රජය පත්වීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රංශ නිලධාරියෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වෙයි.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවය නව ක්‍රියාශීලී දේශපාලන, වෙළඳ හා ව්‍යාපාරික හවුල්කාරිත්වයක් බවට පත්කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා පවත්වා තිබේ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව උපුල් තැබූ වාර්තාව

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව උපුල් තරංග රැස්කළ ශතකය ලෝක වාර්තාවක් බවට පත්ව තිබේ. ඒ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව (1945න් පසුව) එක් ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමෙන් පසු ඊළඟ ටෙස්ට් ශතකය වාර්තා කිරීම සඳහා වැඩිම දින ගණනක් ගත කළ ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

උපුල් සිය පළමු ටෙස්ට් ශතකය 2006 වසරේ මාර්තු මස 08 වැනිදා වාර්තා කර තිබේ. නමුත් ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා වන්නේ ඉන් වසර 10කටත් පසුවය. එනම් 2016 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදාය. එම ශතක දෙක අතර කාලය දින 3888ක්වෙයි.

මීට ඉහත දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ශතකයක් රැස්කිරීම සඳහා වැඩිම දිනගණනක් වැය කර තිබූ ක්‍රීඩකයා වූයේ සිම්බාබ්වේ කණ්ඩායමේ හැමිල්ටන් මැසකඩ්සාය. ඔහුට ඒ සඳහා දින 3660ක කාලයක් බලා සිටීමට සිදුවිය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ශතකයක් වාර්තා කිරීමෙන් පසු අනෙක් ශතකය වාර්තා කිරීමට වැඩිම කාලයක් බලා සිටි ක්‍රීඩකයෝ

උපුල් තරංග දින 3888 (2006/මාර්තු  -2016/ ඔක්තෝබර්)

හැමිල්ටන් මැසකඩ්සා දින 3660 (2001/ජුලි – 2011/අගෝස්තු)

රොබ් සිම්සන් (ඔස්ට්‍රේලියාව) දින 3639 (1967 දෙසැම්බර්-1977 දෙසැම්බර්)

බර්ට් සුට්ක්ලිෆී (නවසීලන්තය) දින 3367 (1955/නොවැම්බර්-1965/මාර්තු)

මුස්ටාක් මොහොමඩ් (පාකිස්තානය) දින 3234 (1962/ජුලි-1971 ජුනි)