Monthly Archives: September 2016

ඊශ්‍රායල් නායකයාට ගෞරව කිරීමට ලෝක නායකයන්

ඊශ්‍රායල් හිටපු නායක ෂිමොන් පෙරේස් අවමංගල්‍ය උත්සවය ලෝක රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් ජෙරුසිලමේදී පැවැත්වෙයි.

ආරක්ෂාව පිළිබඳ දැඩි තර්ජනයක් පැවතියත් මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා, හිටපු ජනපති බිල් ක්ලින්ටන්, පලස්තීන නායක මොහොමඩ් අබ්බාස්, බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු, විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් සහ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්, ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, කැනඩා අගමැති ජස්ටින් ට්‍රෑඩෝ, යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක්, ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්දේ, ඉතාලි අගමැති මැට්ටියෝ රෙන්සි, ජපාන හිටපු ආරක්ෂක අමාත්‍ය ජෙන් නකාටානි, ජෝර්දාන ජ්‍යෙෂ්ඨ අමාත ජවාඩ් අනානි, මෙක්සිකෝ ජනාධිපති පේනා නීටෝ, නෙදර්ලන්ත අගමැති මාර්ක් රුටේ, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග්, ස්පාඤ්ඤ හය වැනි ෆිලිප් රජු, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මෙන්ම තවත් රාජ්‍යයන් රැසක නියෝජිතයන් මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වී සිටිති.

ඊශ්‍රායලය විසින් අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ජෙරුසිලම ආශ්‍රිතව 8,000ක පොලිස් බලකායක් යොදවා ඇති බව කියයි.

ඊශ්‍රායලයේ ආදිකර්තෘවරයෙකු ලෙස සැලකෙන පෙරේස් පසුගිය බදාදා අවුරුදු 93ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්වූයේ හදිසි ආඝාත තත්ත්වයක් හේතුවෙනි.

එමෙන්ම, මෙම අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ඊශ්‍රායලය සමග නිරන්තර ගැටුමක සිටින පලස්තීන නායකයාගේ පැමිණීමද විශේෂත්වයක් වූ අතර, 2010 වසරින් පසුව පලස්තීන නායකයෙකු දූත පිරිසක් සමග ඊශ්‍රායලයට පැමිනි ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.

ඉසිරි නිරූපණයට ආපු හේතුව

තවමත් නව යොවුන් වියේ පසුවන ඉසිරි දේශානි, කලා ක්‍ෂේත්‍රයට පිවිස කෙටි කාලයකින් නිරූපණයට මෙන්ම රංගනයටද එක්වුණි. ඉතාමත් කුඩා කාලයක් තුළදී වෙළෙඳ දැන්වීම් සහ රූපවාහිනී ටෙලි නාට්‍ය සඳහාද ඇය දායකත්වය ලබාදුන්නාය. සිය කලා කටයුතු සහ නිරූපණ ක්ෂේත්‍රයේ තොරතුරු පිළිබඳව ‘ඇය අපත් සමග මෙසේ සංවාදයක නිරත වූවාය.

Q මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?

මම ඉසිරි දේශානි. ඉන්නෙ පානදුරේ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, අක්කයි.

Q ඉසිරි ඔබ තවම ඉගෙන ගන්නවාද? රැකියාවක් කරනවාද?

මම ගිය මාසේ තමයි උසස් පෙළ විභාගය අවසන් කළේ. ඉතිං දැන් ප්‍රතිඵල එනකම් කලා කටයුතු සහ නිර්මාණ කිහිපයක් සඳහා දායක වෙමින් ඉන්නවා.

Q මුලින්ම කලාවට, නැත්නම් නිරූපණට එකතු වෙන්නෙ කොහොමද?

2015 වර්ෂයේදී ITN හි පැවත්වූ අවුරුදු කුමරිය ඔස්සේ තමයි නිරූපණය ක්ෂේත්‍රයට පිවිසුණේ. 2015 ITN අවුරුදු කුමරිය අවසන් 12 දෙනා අතරට එන්න අවස්ථාව උදාවුණා. එතැනින් ආරම්භ වුණ ගමන තමයි මේ දැනට ඉදිරියට එමින් පවතින්නේ.

Q නිරූපණයෙන් වැඩකටයුතු සඳහා දායක වුණාද?

ඔව්, ටෙලිනාට්‍ය කිහිපයකට දායක වුණා. ඊට අමතරව මේ දවස්වල අලුත් ටෙලිනාට්‍යයක රූපගත කිරීම් කරගෙන යනවා. තව මියුසික් වීඩියෝ කිහිපයකටත් දායක වුණා. තව ඉස්සරහට වැඩ ටිකක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා ඒ ගැනත් කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Q දායක වූ ටෙලි නාට්‍ය ගැන කිවුවොත්?

‘කාසිවත්ත’ සහ ‘කොළඹ අපි ආවා’ ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වුණා. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම් පැත්තෙන් ‘ඇස්ට්ට්‍රා’, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්’ සහ තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහා දායක වුණා.

Q නිරූපණයට එකතු වෙන්න හිතුවෙ ඇයි?

පොඩි කාලේ ඉඳලම රඟපාන්න ආසාවක් තිබුණා. කලා පවුලකට නෑකම් කියන නිසා ඒ ආසාව ඇති වෙන්න ඇති කියලා මම හිතනවා.

Q කලා පවුලකට නෑකම් කියනවා කිවුවෙ? ඒ ගැන වැඩිදුරටත් කිවුවොත්?

කලා පවුලක් සඳහා නෑකම් කියනවා කිවුවේ, රුක්මනී දේවි කියන්නෙ මගේ මිත්තනියක් නිසා.

Q මේ ක්ෂේත්‍රයට එකතු වුණාට ගෙදරින් අකමැත්තක් නැද්ද?

කොහෙත්ම නැහැ. ගෙදරින් අකමැත්තක් නැහැ. අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

Q ඉදිරි කටයුතු ගැන කිවුවොත්?

රූපගත කිරීම් අවසන් වුණු මියුසික් විඩීයෝ කිහිපයක් එන්න තියෙනවා. තවත් අලුත් ටෙලිනාට්‍යයක් විකාශනය වෙන්න තියෙනවා.

Q උදවු කරපු පිරිසක් ඇති නේද මතක් කරන්න?

අනිවාර්යයෙන්ම ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ අම්මාව. එයා තමයි මගේ පස්සෙන්ම ඉඳලා මං ගැන හැමදේම හොයල බලන්නෙ. මගේ ගමනට ගොඩක් අය උදවු කළා. නම් නොකියන්න බැරි වුණාට සමාව ඉල්ලනවා.

ඡායාරූප කවීත් මිලින්ද

 

සිසුවියන් අපයෝජනය කළ විදුහල්පති පොලිස් දැලේ

බාල වයස්කාර ශිෂ්‍යාවන් 4 දෙනෙකුට අපයෝජනය කළේ යැයි සැකපිට 44 හැවිරිදි විදුහල්පතිවරයෙක් අද (30දා) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .

මෙසේ අතරවයට ලක්ව ඇත්තේ, ඇල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් යහලවෙල විද්‍යාලයේ ‍ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් සිවු දෙනෙකි.

විද්‍යාලයේ  බුදුමැදුරේදි හා ගුරුවිවේකා ගාරයේදි මෙම ශිෂයාවන් වෙන් වෙන් වශයෙන් ගෙන්වා අතවර කර ඇති අතර ඒ ශිෂ්‍යාවන් මේ සිද්ධිය පිළිබඳව දෙමාපියන්ට හා ගුරුවරුන්ට පැවසීමෙන් පසු දෙමාපියන් විසින් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මින් පෙරද බාලයස්කාර ඥාති දියණියකට අපයෝජනය කළ බවට චෝදනා ලැබු අයෙකු බවද පරීක්ෂණවලදී අනාවරණය විය.

බදුල්ල – පාලිත ආරියවංශ/ඇල්ල – ප්‍රසාද් රුක්මල්

 

මුඛ පිළිකාව වැඩි පුරුෂ පක්ෂයේයි

ශ‍්‍රී ලංකාවේ පිරිමින් අතර මුඛ පිළිකාව ප‍්‍රමුඛස්ථානයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවැසීය.

මහරගම අපේක්ෂා රෝහලේ ඊයේ (30දා) පැවැති උත්සවයකදී ඔහු මෙම අදහස් දැක්වීය. වැඩිදුරයටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා “මතින් සහ දුමෙන් මෙන්ම පිළිකාවෙන් තොර දේශයක් නිර්මාණය කිරිම සදහා සියළු දෙනා කැපවිය යුතුයි. මෙය නොනවතින අරගලයක්. බාධක මැද ඉදිරියට යා යුතුයි. අද ජතික වශයෙන් දුම්වැටිය සදහා බදු පනවා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සහ ජනාධිපතිතුමාගේ උපදෙස් මත දුම්වැටියට වැට් බදු ක‍්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරුනා. දුම්වැටි මිල ද ඉහළ දමා තිබෙනවා. ලෝකය පුරා මිලියන 14.1 ක් පිළිකා රෝගීන් අලුතෙන් වාර්තා වෙනවා. ලෝක සංඛ්‍යාලේඛණ වලට අනුව ළය පිළිකාව ප‍්‍රථම ස්ථානයට පත්ව ඇතත්, මුඛ පිළිකාව ඇත්තේ ඉතාම පසුපසින්. නමුත් ශ‍්‍රී ලංකාවේ පුරුෂ පක්ෂය අතර මුඛ පිළිකාව ප‍්‍රමුඛස්ථානයේ තිබීම කණගාටුවට කරුණක්. මෙය වළක්වා ගත යුතුයි.” යැයි ද පැවැසිය. 

උතුරු මහ ඇමතිට ඉවත්වෙන්න කියයි

උතුර රකින රට සුරකින වන්නි බලවේගය උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට විරෝධය දක්වමින් අද (30දා) වව්නියාව නගරයේ උද්ඝෝෂණයක් ආරම්භ කළේය.

බොදු බලසේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර  හිමියන් රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද මෙම විරෝධතාවට එක්ව සිටිති.

දහසකට වැඩි ජනතාවක් එක්වෙමින් ඔවුහු පවසන්නේ උතුරු මහ ඇමති සිය ධූරයෙන් ඉවත් විය යතු බවත් වහාම ඔහු අත්අඩංගුවට ගත යුතු බවත්වය.

unnamed-(1) unnamed-(4) unnamed-(5) unnamed-(6) unnamed-(7) unnamed

අගමැති නවසීලන්තයට ළඟා වෙයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ආරාධනයකට අනුව නවසීලන්තයේ තෙදින නිල සංචාරයක නිතර වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූත පිරිස අද (30දා) පෙරවරුවේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නවසීලන්තයට ළඟා විය.

ඕක්ලන්ඩ් නගරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබූයේ නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නැතන් ගයි මහතා විසිනි. එම අවස්ථාවට නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්දකුමාර් මහතා ද එක්ව සිටියේය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු හා පැසිෆික් අංශ අධ්‍යක්ෂිකා සාවිත්‍රි පානබොක්කේ යන මහත්ම මහත්මීහුද මෙම දූත පිරිසට එක්ව සිටිති.

 

Pix-01 Pix-03 Pix-04 Pix-05 Pix-06 Pix-07

ශ්‍රී ලංකා වාර්තා දෙකක් අලුත්වෙයි

සංජීව ධර්මසේන / ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු

(යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ සිට)

Update

මීටර 400 කඩුලු පැනීම පිරිමි

අද පැවති මීටර 400 කඩුලු පැනීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සබරගමුව පළාතේ ඒ.එල්.ඒ.අයි. රත්නසේන (තත්. 51.20) සමත්වූ අතර, එහි රිදී පදක්කම ඌව පළාත නියෝජනය කළ එස්.එම්.ඒ. චතුරංග (තත්. තත්. 51.30) විසින්ද, ලෝකඩ පදක්කම නැගෙනහිර පළාතේ එස්.පී.ඒ. දර්ශණ (තත්. 53.50) විසින්ද දිනාගත්තේය.

මීටර 400 කඩුලු පැනීම කාන්තා

වයඹ පළාත නියෝජනය කළ ඊ.පී.කේ. මධුශානි (තත්. 60.90) මීටර 400 කඩුලු පැනීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර, එහි රිදී පදක්කම එම පළාතේම ටී.ජී.එම්.ඩී. වික්‍රමසිංහ (තත්. 61.50) විසින්ද, ලෝකඩ පදක්කම දකුණු පළාතේ ජී.ඒ.එස්. දුලානි (තත්. 61.60) විසින්ද දිනාගත්තේය.

උස පැනීම පිරිමි

සුපුරුදු පරිදි උසපැනීම පිරිමි ඉසව්වේ රන් පදක්කම මෙවරද තමන් සතුකරගැනීමට ජාතික ශූර මංජුල කුමාර සමත්විය. වත්මන් ශ්‍රී ලංකා වාර්තාවේද හිමිකරුවා වන මංජුල, මීටර 2.16ක දක්‍ෂතාවක් දක්වමින් සිය පදක්මට හිමිකම් කියූහ. මංජුල ජාතික මහා ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ නොකවා මෙම ඉසව්වේ රන් පදක්කම දිනු 07 අවස්ථාව මෙන්ම උස පැනීම ඉසව්වේ ජාතික ශූරයා වූ 09 වැනි අවස්ථාව වේ. මෙහි රිදී පදක්කම දකුණු පළාතේම බී.ආර්.අයි.යූ. කුමාර (මී. 2.04) විසින්ද, ලෝකඩ පදක්කම වයඹ පළාතේ ඒ.කේ. පතිරණ (මී. 2.04) විසින්ද දිනාගත්තේය.

 


ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුව එක්ව සංවිධානය කරනු ලබන 42 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ පළමු දිනය අදයි (30දා).

අද දිනයේ බිහිවූ පළමු ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට යගුලිය විසිකිරීම කාන්තා ඉසව්ව නියෝජනය කළ බස්නාහිර පළාතේ තාරිකා ප්‍රනාන්දු සමත් වූවාය. මීටර් 15.25ක දක්‍ෂතාවක් දක්වමින් ඇය මෙම වාර්තා පිහිටුවීය. ඇය විසින් බිඳලනු ලැබූවේ 2008 වසරේ බෙලිඅත්තේ පැවති ජාතික මහා ක්‍රීඩා උලෙළේදී මීටර් 14.88ක දක්‍ෂතාවක් දක්වමින් නදීකා මුතුනායක විසින් පිහිටුවා තිබූ වාර්තාවයි. මෙම ඉසව්වේ රිදී පදක්කම පී.ඒ. ප්‍රියංගිකා කුමාරි (මී. 11.88) විසින්ද, ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේ එෆ්. ශාමීයාහ් රිශාද් විසින්ද (මී. 11.46) විසින් දිනාගත්තාය.

තාරිකා ප්‍රනාන්දු

මීට අමතරව දිනයේ බිහිවූ දෙවැනි ශ්‍රී ලංකා වාර්තාව රිටි පැනීම කාන්තා ඉසව්ව නියෝජනය කළ උතුරු පළාතේ ජෙගනේෂ්වරන් අනීතා විසින් පිහිටුවනු ලැබුවාය. මීටර 3.41ක දක්‍ෂතාවක් දක්වමින් ඇය මෙම වාර්තාව පිහිටවූවාය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ ඩබ්.ජී.එච්.එස්.කේ. ධර්මරත්න මෙම වසරේදී (2006) මීටර 3.34 දක්‍ෂතාවක් දක්වා තිබුණාය. මෙම ඉසව්වේ රිදී පදක්කම උතුරු මැද පළාතේ පී.එම්.ඒ.එච්. දිල්රුක්‍ෂි (මී. 3.10) විසින්ද, ලෝකඩ පදක්කම උතුරු පළාතේ ජේ. සුගීර්තා (මී. 3.10) විසින්ද දිනාගත්තාය.

ජෙගනේෂ්වරන් අනීතා

මීට අමතරව අද දිනයේ තරග ආරම්භ කරමින් පෙ.ව. 6.30ට ආරම්භ වූ මීටර 10000 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට මධ්‍යම පළාතේ ලයනල් සමරජීව සමත්විය. ඔහු විනාඩි 31.28.20 කාලයක් වාර්තා කළේය. එම ඉසව්වේ රිදී පදක්කම සබරගමුව පළාතේ පී.ඒ.එම්. මධුරංග (වි. 31.44.50) විසින්ද, ලෝකඩ පදක්කම ඌව පළාතේ කේ.ජී.ආර්.එස්. කුමාර (වි. 31.57.20) විසින්ද දිනාගත්තේය.

ලයනල් සමරජීව

දිනයේ දෙවැනි ඉසව්ව ලෙස පැවති මීටර 5000 කාන්තා ඉසව්වේ රන් පදක්කම සබරගමුව පළාතේ නිලානි රත්නායක (වි. 17.07.60) විසින් දිනාගත්තේය. එහි රිදී පදක්කම සබරගමුවේම ඒ.එන්.එල්. ආරියදාස (වි. 17.20.50) විසින්ද ලෝකඩ පදක්කම ඌව පළාතේ එස්.ඒ. ළමාහේවා (වි. 17.28.40) විසින්ද දිනාගත්තේය.

නිලානි රත්නායක

අද පැවති මිටිය විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දකුණු පළාතේ එම්.ආර්.එස්. කුමාර (මී. 46.49) විසින්ද, රිදී පදක්කම දකුණු පළාතේ කේ. නිලන්ත (මී. 46.43) විසින්ද දිනාගත් අතර, ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේ එල්.ඒ.ඩී.පී. අලෙන්සන් (මී. 45.40) විසින්ද දිනාගත්තේය.

එම්.ආර්.එස්. කුමාර

 

යහපාලනය නිසා ඇඩො මිලියන 800ක ප්‍රදානයක්

නව පාලනයක් යටතේ රට තුළ ඇති කර තිබෙන අධිකරණය, ස්වාධීනත්වය හා යහපාලන ක්‍රම‘වේදයන් නිසා සංවර්ධන අභියෝග අරමුදල මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 800 ක ප්‍රදානයක් රටට හිමි වී ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදුකළ ඇමෙරිකානු සංචාරයේදී සංවර්ධන අභියෝග අරමුදලේ ප්‍රධානියා මුණගැසුණු බවත්, එහිදී ඔහු මෙම ප්‍රදානය ලබාදීමට කටයුතු පොරොන්දු වී තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

පසුගිය ආණ්ඩු සමයේදී මෙවැනි ප්‍රදානයක් සිදු කිරීමට සැලසුම් කර තිබුණද, එම කාලයේ රට තුළ තිබූ තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රදානය සිදුනොවූ බවද ඒ මහතා සඳහන් කළේය.
ඊයේ (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙය මුදල් ප්‍රදානයක් ලෙස ලැබෙන බවයි. මීට අමතරව රට තුළ ඇති වී තිබෙන යහපාලන තත්ත්වය මත ජාත්‍යන්තරයෙන් විශාල ප්‍රශංසා හිමි වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

 

සාම්පූර් බලාගාරය ඕනෑ – නැත්නම් විදුල් අර්බූදයක්

සාම්පූර්හි යෝජිත ගල්අඟුරු බලාගාරය ඉදි නොකළහොත් 2019 වනවිට විදුලි අර්බුදයකට ලක්වන බවත්, යෝජිත බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පත් වුවහොත් එමගින් රටට වාර්ෂිකව රුපියල් බිලියන 10කට වැඩි මුදලක් අහිමි වන බවත් ලංකා විදුලි බලමණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ඉදිකිරීම පමා කිරීම නිසා රටට රුපියල් බිලියන 900 ක මුදලක් අහිමි වූ බවත්, එම මුදල ඉතිරි කරගැනීමට හැකියාව තිබුණා නම් රට තුළ විශාල සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට තිබූ බවද එම සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

ගෝලීය උෂ්ණත්වය, පරිසර විනාශය ගැන කියම්න් මෙරට සමහර දේශපාලඥයන් පුනර්ජනනීය බලශක්තියක් ගැන කතා කළද, ඔවුන් සෑමවිටම කටයුතු කරන්නේ තම හිතවතුන් නගා සිටුවීමට බවද ඔහු පවසා සිටියේය.

පුනර්ජනනීය බලශක්ති ක්‍රම යටතේ සූර්ය බලය, සුළං බලය හා ස්වභාවික වායු මගින් විදුලි බලය උත්පාදනය කිරීමේ කටයුතුවලට යායුතු බවත්, එවැනි කටයුතුවලට යෑමට නම් මුලින්ම රට සංවර්ධනය කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

රටේ ආර්ථිකය විදුලි බලය හා බැඳී පවතින බවත්, එම කටයුතු සඳහා අඩු මුදලට විදුලිය ලබාදිය යුතු බවත් සභාපතිවරයා කියා සිටියේය.විදුලි ඒකකයක් අඩු මුදලකට ලබාදීමට නම් ගල්අඟුරු උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කළ යුතු බවත්, ගල්අඟුරු භාවිත කර විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වියදම් වන්නේ රුපියල් හතරයි ශත පනහක මුදලක් බවත් ඉංජිනේරුවරයා පවසා සිටියේය. 

එහෙත් පුනර්ජනනීය බලශක්තිය යටතේ සුළං විදුලිය ගැන කතා කළද එහි ඒකකයක් රුපියල් 22කට වැඩි මුදලක් වන බවත්, ඉන්ධන භාවිත කර නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්ද රුපියල් 17 ඉක්මවන බවත් සභාපතිවරයා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය නිෂෟෂ්පාදනය කරන ජල විදුලිය සඳහා ශත 50 – රුපියල් 1.50 අතර මුදලක් වැයවන බවද අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

මීට අමතරව සූර්යබල විදුලි ඒකකයකට රුපියල් 23කට ආසන්න මුදලක් වැය කර මිලදීගැනීමට සිදුව තිබෙන බවත්, එයට හේතු වී තිබෙන්නේ විදුලිබල මණ්ඩලයට සූර්ය හෝ සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට මෙතෙක් හැකියාව ලැබි නොමැති හෙයින් පෞද්ගලික අංශයෙන් මෙවැනි දේවල් මිලදී ගැනීමට සිදුව තිබෙන බවත් හෙතෙම  පවසා සිටියේය.

ගල්අඟුරු බලාගාරවලින් පරිසර හානියක් සිදුවන බවට හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යන බවටද බිල්ලෙකු මවාපාමින් සිටින බවත්, එහෙත් පොදුවේ අප රට තුළින් විශාල හානියක් සිදු නොවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

2014 වසරේ ලෝක ලෝක සංඛ්‍යාලේඛනවලට අනුව බලශක්ති උත්පාදනයෙන් 39% ක් ගල්අඟුරු මගින් ලබාගෙන තිබෙන බවත්, එහිදී උපදවාගත් විදුලි ඒකක ප්‍රමාණය (වොට් අවර්ස්) ට්‍රිලියන 22,433 ක් බවත් ඔහු කීය. මෙම ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව  නිෂ්පාදනය කර තිබෙන්නේ විදුලි ඒකක ට්‍රිලියන 3.2 ක් වැනි සුළු ප්‍රමාණයක් බවද ඒ මහතා පවසා සිටියේය.

ලෝකය වසරකට කාබන්ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් මිලියන 32,000 ක් වාතලයට මුදාහරින බවත්, එම ප්‍රමාණයෙන් ලංකාව මුදාහරින්නේ මෙට්‍රික් ටොන් 15 ක් පමණක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ නිසා අප සියලුම සංවර්ධන කටයුතු නවතා දමා කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම නතර කළ පමණින් ලෝකය ආරක්ෂා නොවන බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා සාම්පූර් ගල්අඟුරු බලාගාරය ස්ථාපිත කරගැනීම සඳහා අරගල කිරීමට පවා සූදානම් බවත් හෙතෙම තවදුරටත් පවසා සිටියේය.

 

42 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ යාපනයේදී ඇරඹේ

ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කෙරුණු 42 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය විචිත්‍රවත් සංස්කෘතික අංග රැසකින් අලංකාරව යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී ඊයේ (29දා)පැවැත්විණි. ජාතික මහා ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ යාපනයේ පැවැත්වෙන පළමු ක්‍රීඩා උලෙළ මෙය වේ.

සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස කථානායක කරු ජයසූරිය, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් යන මහත්වරුන්ඇතුළු පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ක්‍රීඩා නිලධාරීහු රැසක් සහභාගි වූහ.

කෙසේ නමුත් මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහභාගිවීමට නියමිතව තිබුණද, ඔහු සහභාගි නොවීම සුවිශේෂත්වයක් විය.

ක්‍රීඩා උලෙළේ පහන දැල්වීම උතුරු පළාත් ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකා දෙපළක් වූ එස්. ඇන්තනිපිල්ලේ මහතා හා ජයන්ති සෝමසේකරම් මහත්මිය විසින් සිදුකරනු ලැබූ අතර, ක්‍රීඩක ප්‍රතිඥාව ලබාදීම කේ.ඒ.එම්. මංජුලා කුමාරසිංහ ක්‍රීඩිකාව විසින් සිදුකෙරිණි.

කෙසේ නමුත් ඊයේ (29දා) දිනයේදී දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය තුළ කිසිදු ක්‍රීඩා ඉසව්වක් නොපැවැත්වුණු අතර, ක්‍රීඩා උලෙළ අද සිට එළඹෙන ඉරිදා (02දා) දක්වා තෙදිනක් පුරා පැවැත්වේ. අද දිනයේදී මලල ක්‍රීඩා ඉසව් 12ක අවසන් තරග පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර පෙරේදා (29දා) උදෑසනමෙම ක්‍රීඩා උලෙළට සමගාමීව පොළොන්නරුවේදී වොලිබෝල් අවසන් තරග හා අනුරාධපුරදී දැල්පන්දු අවසන් තරග පැවැති අතර, එහි වොලිබොල් පිරිමි හා කාන්තා ශුරතා ද්විත්වයම බස්නාහිර පළාත විසින් දිනාගනු ලැබිණි.

මීට අමතරව වොලිබෝල් පිරිමි රිදී පදක්කම සබරගමුව පළාතද, ලෝකඩ පදක්කම උතුරු මැද පළාතද දිනාගත්තේය. මීට අමතරව දැල්පන්දු රිදී පදක්කම මධ්‍යම පළාත විසින්ද, තෙවැනි ස්ථානය දකුණු පළාත විසින්ද දිනාගනු ලැබිණි.

ඊයේ දිනය වනවිට පවත්වා අවසන්ව තිබූ තරග අනුව බස්නාහිර පළාත රන් 91ක්, රිදී 44ක් හා ලෝකඩ 36ක් වශයෙන් පදක්කම් දිනා පදක්කම් සටහනේ පෙරමුණෙහි පසු වූ අතර, මධ්‍යම පළාත රන් 24ක්, රිදී 25ක් හා ලෝකඩ 22ක් ලෙස පදක්කම් දිනා දෙවැනි ස්ථානයේද, වයඹ පළාත රන් 15ක්, රිදී 26ක් හා ලෝකඩ 26ක් ලෙස පදක්කම් දිනා තෙවැනි ස්ථානයේද පසුවිය.

 

ඡායාරූප – ඒශාන් ප්‍රනාන්දු