Monthly Archives: September 2016

පින්නවලට දෙහිවලට හෙට යන ළමයින්ට ටිකට් නෑ

හෙට (01දා) දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල සත්ත්වෝද්‍යානයට, පින්නවල සත්ත්වෝද්‍යානයට, පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන වයස අවුරුදු 12 න් පහළ සියලුම දරුවන් නොමිලේ ඇතුළු කිරීමට තීරණය කර තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.

ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් මෙම අවස්ථාව ලබාදී තිබෙන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

මීට අමතරව දරුවන් සඳහා විවිධ තරග සහ විනෝද ක්‍රීඩා රැසක්ද ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේනතුව මගින් දෙහිවල සත්ත්වෝද්‍යානය, පින්නවල සත්ත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය යන ස්ථානවල සංවිධානය කර ඇත.

උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා දවස පුරා දරුවන් වෙනුවෙන් විවිධ තරග හා විනෝද ක්‍රීඩා සංවිධානය කර ඇති අතර මීට සහභාගීවන සියලුම දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කරන බව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.

 

 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වාර්තා ගත ආදායමක්

2016 වසරේ පළමු මාස 8 තුල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇමරිකන් ඩොලර් මිලියන 200ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. මීට ඉහතදී 2009 වසරේදීද මෙවැනිම ආදායමක් උපයා ඇති බවත් ඇය පැවැසුවාය.

2018 වසරේ සිට රැකියා සඳහා විදෙස් ගතවන අය සඳහා ඉංගි‍්‍රසි දැනුම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය ඉංගි‍්‍රසි පාඨමාලා කාර්යාංශය හරහා ආරම්භ කර ඇති බවද කියා ඇය පැවැසුවාය.

 

යාන්ගල්මෝදර දුම්රිය හරස්මාර්ගය වැසෙයි

ප්‍රධාන දුම්රිය මාර්ගයේ අලව්ව හා පොල්ගහවෙල අතර පිහිටා ඇති යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ සිදුකරනු ලබන හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (01දා) ප.ව 6.00 සිට 02 වැනිදා පෙ.ව 6.00 දක්වා යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය වසා තබනු ලැබේ.

ඉහත සඳහන් කාලය තුළ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය භාවිත කිරීමෙන් වැළකී විකල්ප මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය දුම්රිය වාණිජ අධිකාරි එස්.ඒ.ආර්. අබේරත්න මහතා මගී ජනතාව වෙත දන්වා සිටියි.

 

ජාතික වැඩිහිටි දින සැමරුම පොල්ගොල්ලේදී

ජාතික වැඩිහිටි දින සැමරුම් උළෙල හෙට (01දා) පෙරවරු 9.00 සිට ප.ව. 1.00 දක්වා පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතන නව රඟහලේදී පැවැත්වීමට නියමිතය.සමාජ සවිබලගැන්වීමේ හා සුබ සාධන අමාත්‍ය අමාත්‍යවරුන් වන එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවයට පැවැත්වෙයි.

අමාත්‍ය සරත් අමුණුගම, මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායක, මධ්‍යම ආණ්ඩුකාර නිලූකා ඒකනායක හා මධ්‍යම පළාත්  ඇමැති බන්දුල යාලේගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

 

 

ළමයින් වෙනුවෙන් ඇති මෙහෙයුම ගන ජනපති කියයි

දරුවන්ට නිසි පෝෂණ සහ සෞඛ්‍ය පහසුකම් සැලසීම, අධ්‍යාපනයේ අයිතිය තහවුරු කිරීම, සුරක්ෂිත පරිසරයක හැදී වැඩීම ආදී දෑ ලබාදීමට බැදී සිටියද රටක් ලෙස අම අවශ්‍යතා තහවුරු කර ඇති බවට සතුටු විය නොහැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක ළමා දිනයට නිවේදනයක් නිකුත් කරමින්  පවසයි.

දරුවන්ට එරෙහිව නැගෙන මිලේච්ඡ ප්‍රචණ්ඩත්වයෙන් රටක් ලෙස තවමත් මිදී නොමැති බවත පවුල, පාසල, ඥාති හිතමිත්‍ර සමාජය ඇතුළු සියලු තැන් දරුවන් සඳහා සුදුසු තැන් බවට පත් කිරීමේ බරපතළ සමාජ මෙහෙයුමක් අවශ්‍ය බවත් ජනපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ජනපතිගේ ලෝක ළමා දින පණිවුඩය

සෑම දරුවෙකුම මෙලොව එළිය දකින්නේ ස්වභාදහමේ නිමැවුම් පිළිබඳව ඇවිළුණු කුහුලින් යුතුව, විශ්මයෙන් අයා ගත් නෙතින් ද ප්‍රහර්ෂයෙන් විවර කරගත් මුවින් ද යුතුවය. ඔවුන්ගේ ලෝකය සෞන්දර්යයෙන්ද විචිත්‍රත්වයෙන්ද පිරුණු තැනකි.

දේදුන්නේ වර්ණ රටාද කුරුලු කූජනයක ශබ්ද මාධූර්යයද මල් පෙත්තක මුදු මෙළෙකද විනා වැඩිහිටියන් වන අප කරපින්නා ගත් වාර්ගික, ආගමික හෝ දේශ සීමාමය බෙදීම් දරුවන්ගේ ලෝකයට විෂය නොවේ.

“ඔවුන්ට ආදරය දෙන්න. ඔබගේ කල්පනාවන් නොදෙන්න මක් නිසාද යත් ඔවුන්ට ඔවුන්ගේම කල්පනාවන් ඇති බැවිනි” යනුවෙන් දාර්ශනික කිවියර බලීල් පිබිරාන් පියා ලැබුවේ මේ පණිවුඩය සිහිකැඳවනු සඳහාය. ලෝක ළමා දිනය සමරමින් යළි යළිත් අප අවධාරණය කළ යුත්තේද මේ ගැඹුරු සිහිකැඳවීමයි.

දරුවන්ට නිසි පෝෂණ සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමට ද අධ්‍යාපනයේ අයිතිය තහවුරු කොට දීමටද සුරක්ෂිත පරිසරයක හැදී වැඩීමටද අවකාශ සපයා දීමටද විශ්වීය වශයෙන් අප බැඳී සිටිමු.

එහෙත් රටක් ලෙස මෙම අවශ්‍යතා සියල්ල තහවුරු කොට ඇති බවට කිසිසේත්ම අප සතුටු විය නොහැකිය. දරුවන්ට එරෙහිව නැගෙන මිලේච්ඡ ප්‍රචණ්ඩත්වයෙන් අප මිදුණු බවට තවමත් අපට සතුටු විය නොහැකිය. පවුල, පාසල, ඥාති හිතමිත්‍ර සමාජය ඇතුළු සියලු තැන් දරුවන් සඳහා සුදුසු තැන් බවට පත් කිරීමේ බරපතළ සමාජ මෙහෙයුමක් වෙත අප ගමන් කළ යුතුව ඇත්තේ එබැවිනි.

ජනාධිති කාර්යාලයේ මෙහෙයවීමෙන් ‘දරුවන් සුරකිමු’ නමින් වන ජාතික වැඩසටහන් අප ඇරඹුවේ එම බරපතළ සමාජ අවශ්‍යතාවට ප්‍රමුඛතාව දෙමිනි.

ලෝකය දරුවන්ට නිදහසේ සැරිසැරීමට සුදුසු සුරක්ෂිත හා විචිත්‍රවත් තැනක් වනු දැකීමේ රිසින් අද දින ලෝක ළමා දිනය සමරන සියලු දෙනා සමග හදවතින්ම එක්වෙමින් ලොව වෙසෙන සෑම දරුවෙකු වෙතම මගේ ආදරයත් සුභාශිංසනයත් පළ කරමි.

මිලියන 16ක හෂීෂ් අත්අඩංගුවට

නීති විරෝධී අයුරුනි නේපාලයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් මිලියන 16ක් පමණ වටිනා හෂීස් මත්කුඩු කිලෝ 10ක් අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ (29දා) සමත්ව තිබේ. කල්පිටියෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක හා පිරිමියෙකු අත්අඩංගුවට ගැනීමටත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව තිබේ.

 

 

ජනපතිගේ වැඩිහිටි දින පණිවිඩය

ජාත්‍යන්තර වැඩිහිටි දිනය ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස අප සමරන්නේ අනාදිමත් කාලයක් පුරා රැකගෙන ආ වටිනා ගුණධර්මයන්ද ලෝකයට පිළිබිඹු කරමිනි. අපේ ආර්ථිකය සේම සංස්කෘතිය, සාරධර්ම පෝෂණය කළ වැඩිහිටි ප්‍රජාව පිළිබඳව ලොව අන් කිසිදු සමාජයකට නොදෙවෙනි ගෞරවයක් ආදරයක් අප සතු වෙයි. එය හුදු දිනයකට සීමා වූවක් නොවීම පිළිබඳව අප තුළ ඇත්තේ මහත් ආඩම්බරයකි.

වැඩිහිටි ප්‍රජාවගේ නිදහස හා රැකවරණය සේම ආත්මාභිමානය ආරක්ෂා කිරීම අප සතු යුතුකම වන්නේය. ඔවුන් දිවිය තුළ කළ කැපකිරීම් කිසිවිටක අප ලඝු කළ නොහැක. ඒ අපට වැඩිහිටියන් සමාජය විෂයෙහි අනේකවිධ දුක් කම්කටොළු උසුලා ඇති නිසාය. සැබැවින්ම වැඩිහිටියන් සමාජ ප්‍රගමනයේත් එක් එක් පුද්ගල ජීවිතයේත් කළ කී දෑ කෘතවේදීව ආවර්ජනය කිරීමට ඔවුන් කෙරෙහි දැක්විය යුතු ගෞරවය ආදරය හා රැකවරණයට මග පාදන්නක් වෙයි.

“වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂිත හෙටක්’ යන්න මෙවර ජාත්‍යන්තර දින තේමාවය. අපේ සංස්කෘතියේ වටිනාම ගුණාංගයක් සේ සැලකූ වැඩිහිටියන් සුරක්ෂිත කිරීම ඉතිහාසය පුරා ලෝකයට ආදර්ශය කොට සැමරීමට ලැබීම ද අපගේ සතුටට හේතුවන්නකි.

ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් වැඩිහිටි ප්‍රජාවගේ සිත් සතුටු කරවන අවධානය දක්වන වටිනාම අවස්ථාවක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.”

දකුණු ආසියානු සමුළුවට ශ්‍රී ලංකාව එක්වෙයිද?

එළැඹෙන නොවැම්බර් මස 9 දා හා 10 දා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්විමට නියමිත 19 වැනි දකුණු ආසියානු සමුළුව පැවැත්වීම පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

වත්මන් තත්ත්වය අනුව එම සමුළුව පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බව එම නිවේදනයේ දැක්වෙයි.  කෙසේ වෙතත් සම්මුතියෙන් යුතුව සෑම මට්ටමක තීරණ ගත යුතු බවද එම නිවේදනයේ දැක්වෙයි.

මෙවැනි කලාපීය මට්ටමේ සමුළුවක් පැවැත්විම සඳහා සාමය හා ආරක්ෂාව අත්‍යාවංශය බවද සාක් සාමාජික රටක් වශයෙන් එවැනි ආකාරයක ආරක්ෂාවක් හා සාමයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි. 

පසුගිය වර ශූරයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනිති.

 

කොත්මලේ චොක්ස් 19 පහළ අන්තර්පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පසුගිය වර ශූරයන් වූ යාපනය ශා. හෙන්රි විදුහල සමත් විය.

ඒ  ඊයේ (29)  පැවැති තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් මීගමුව මාරිස්ටෙලා විදුහල ගෝල 2-0 ක් ලෙසින්පරාජයට පත් කරමිනි. කොළඹ සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී  සී. ක්‍රිශාන්ත් හා එන්.ලකී ශා. හෙන්රි කණ්ඩායම වෙනුවෙන්  ගෝල වාර්තා කළ හ.

 

තරගාවලියේ 04 වැනි හා අවසන් අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද (30දා) කොළඹ සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, කොළඹ සහිරා හා කඳාන ද මැසනද් විද්‍යාල ඒ වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියි.

 

 

 

 

 

 

 

ගෝඨාට සේනාධිපතිට ඇප

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ට්ගාඩ් සභාපති නිශාන්ක සේනාධිපති ඇතුළු හත් දෙනෙකුට ඇප නියම කිරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ඇවන්ට්ගාඩ් සමාගමේ අවි ආයුධ මෙහෙයුම්වලින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කළ නඩුවකට මෙසේ ඔවුන්ට ඇප නියම විය.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් හා මිලියන 10 බැගින් වන ශරීර ඇපයක් මත ඔවුන්ට ඇප ලැබුණි. එසේම සැකකරුවන්ට විදෙස් ගමන්ද තහනම් කෙරිණි.