Monthly Archives: July 2016

බණ්ඩාරනායක සමාධියට හිස්වැසුම් ගලවා ආචාර කළා

මහනුවර සිට පාගමනින් පැමිණෙන පිරිසට බණ්ඩාරනායක සමාධියට පුෂ්ප උපහාර දැක්වීමට තිබූ අවස්ථාව අහිමි කළත්, හිස්වැසුම් ගලවා ගෞරව කරමින් පාගමන ඉදිරියට පැමිණි බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගේ ඒකාබද්ධ සංවිධානය සඳහන් කරයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අනිසි බියක් ඇති කරගෙන පාගමනේ පැමිණෙන පිරිසට සමාධියට පුෂ්ප උපහාර දැක්වීම වැළැක්වුවත් බණ්ඩාරනායකවරුන්ගේ ආශිර්වාදය ලබාගැනීමට හිස්වැසුම ගලවා ආචාර කළ බවද එම සංවිධානයේ කැඳවුම්කරු හිටපු ප්‍රා‘දේශීය සභා සභාපති උදේනි අතුකෝරළ මහත්මිය සඳහන් කළේය.

පාගමනේ පැමිණි පිරිස් සමාධියට මල්දම් පලඳවා පුෂ්ප උපහාර දැක්වීමට සැලසුම් කළ බවද පවසා සිටියේය.

ටෙක්සාස් ප්‍රහාරයෙන් ජීවිත හානි – 4ක් තුවාලයි

ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, ඔස්ටින් නගරයේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිවු දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 30ක පමණ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු රෝහල්ගත කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිව්වැනි පුද්ගලයෙකු ගැන කියවුණත්, ඔහු ප්‍රතිකාර ලබාගෙන ඇතිද යන්න තහවුරු කර නැත.

මෙම වෙඩි තැබීම් සඳහා පාදක වී ඇති සිදුවීම් දෙක අතර සබඳතාවක් නොමැති බවත්, මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සක්‍රීය ප්‍රහාරකයෙකු ගැන වාර්තා නොවන බවත් පොලිස් ප්‍රධානියා පවසා තිබේ.

කෙසේ වෙතත්, පසුගිය කාලය පුරා ඇමෙරිකාව තුළ සිදුවූ වර්ගවාදී ගැටුම් හේතුවෙන් එරට තුළ සාමය හා සංහිඳියාව බිඳ වැටීම නිරන්තරයෙන් දැකගත හැකි වූ අතර, පොලීසියෙන් කළු ජාතිකයන් වෙත එල්ල කෙරෙන ප්‍රහාර මෙන්ම, පොලීසිය ඉලක්ක කරමින් එල්ල වූ සමූල ඝාතනයන්ද වාර්තා විය.

ඒකාබද්ධ විපක්ෂයේ රැළිය ගාලු මුවදොර පිටියේදී

ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්‍රා‘වේ අවසන් රැළිය ගාලු මුවදොර පිටියේදී හෙට (01දා) පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.

කොළඹ හයිඩ් පාර්ක් ක්‍රීඩාංගණය ලබාගත නොහැකි තත්ත්වයක තිබෙන බැවින් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මෙම තීරණයට එළැඹි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ වනවිට පාද යාත්‍රාව යක්කල නගරය පසු කරමින් තිබෙන බවද ඔහු කීය.

උතුරු මහ ඇමතිගේ ප්‍රකාශය ගැන කණගාටු වෙනවා

ජාතීන් අතර සංහිඳියාව ඇති කරවීමට යන ගමනේදී කිසිවකුගේ දේශපාලන අරමුණු ඉටුකිරීමට රජය සූදානම් නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. එමෙන්ම මොරගහකන්ද ජලාශය සම්බන්ධයෙන් උතුරු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරම් මහතා සිදුකළ ප්‍රකාශ පිළිබඳ තමා කණගාටුවන බවද අමාත්‍යවරයා පැවසුවේ අද කොළඹදී පැවති උත්සවයකදීය.

ජනතාවට වතුර දෙන්න කා සමගවත් සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. දේශපාලන වාසිගන්න අපි වැඩකරන්නේ නැහැ. රටේ සංහිඳියාව ඇති කරන්න අපි උපරිම උත්සහ කරනවා. ඒවෙනුවෙන් කැපවෙනවා. විවිධ පුද්ගලයන්ගේ දේශපාලන අරමුණු ඉටුකරන්න අපි සූදානම් නැහැ. සියලුම ජනයා අතර සංහිඳියාව ඇති කරන්න මේරජය කටයුතු කරනවා. මොරගහකන්ද ජලාශය සම්බන්ධයෙන් උතුරු ප්‍රධාන අමාත්‍යවරයාගේ කතාව ගැන මම කණගාටු වෙනවා* යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු

DSC_5911 DSC_5913 DSC_5917 DSC_5942 DSC_5943 DSC_5947

DSC_5952 DSC_5954 DSC_5961

රාජපක්ෂ පාලනයක් ඉල්ලන හේතුව

මහනුවර සිට කොළඹට පා ගමනින් පැමිණ ඉල්ලා සිටින්නේ රාජපක්ෂ පාලනයක් නම් ඒ සියලුදෙනා යළිත් උත්සාහ කරන්නේ වංචාව, දූෂණය, මැරකම යළි උදාකර ගැනීමක් බව රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

පා ගමන් ගොස් එක්සත් ජාතික පක්ෂයට හෝ ආණ්ඩුවට කිසිවක් කළ නොහැකි බවත්, වර්තමාන ආණ්ඩුව ශක්තිමත් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටින බවද අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

වර්තමාන ආණ්ඩුව වංචා, දූෂණය, මැරකම නැති කර රටට යහපාලනය උදාකර අධිකරණය ස්වාධීන කර තිබෙන බවද පවසා සිටියේය.

01 දා විශේෂ ප්‍රකාශයක් නෑ – මහින්ද

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්‍රාව අවසානයේ කොළඹදී පවත්වන රැළියේදී කිසිඳු විශේෂ ප්‍රකාශයක් නොකර බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එසේම තමා හැමදාම සිදුකරන්නේ ප්‍රකාශ යැයිද ඔහු සඳහන් කළේය.

හිරිපිටියාගමදී ඊයේ (30දා) පැවැති ආගමික උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය. එසේම ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන රැළියට හයිඩ් පිටිය ලබානොදීමට ගත් ක්‍රියාමාර්ගයට විවේචන ඉදිරිපත් කළ හිටුපු ජනපතිවරයා ඒ වෙනුවන් ගත හැකි පියවර පිළිබඳව  සෙයා බැලීමට නීතිඥවරුන්ට පවරන බවද පැවැසීය. 

පාද යාත්‍රාවට සහභාගිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා එහි මහලේකම් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව බලාගෙන සිටින බවත් දියපට්ටා එන තුරු පාද යාත්‍රා ගොස් ආණ්ඩුව පෙරළිය නොහැකි බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය ඔහුගේ ප්‍රකාශයක් පමණක් වෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

 

වසර 71ක ඉතිහාසයේ ප්‍රථම වරට ICAO සභාපති පැමිණේ

ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිත සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වැනි ආසියා ශාන්තිකර කලාපීය සමුළුවට සහභාගී වීම සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයා හා මහලේකම්වරයා අද (31දා) අලුයම දිවයිනට පැමිණියහ.

මෙම සම්මේලනයට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයා හා මහලේකම්වරයා මෙන්ම කලාපීය අධ්‍යක්ෂවරයා ද සහභාගි වන අතර,  ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයෙක් හා මහ ලේකම්වරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම සංවිධානයේ 71වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට වීමද විශේෂත්වයකි.

MH 0179 දරණ ගුවන් යානයෙන් ඔවුන් අද අලුයම මෙසේ දිවයිනට පැමිණි තිබුණු අතර, සමුළුව 2016 අගෝස්තු 01 වන දින සිට 05 වන දින දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මැක්ස්වෙල් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්විමට නියමිත එක්දින තරගාවලියෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රවේගකාරී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් ඉවත්කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරිම් කමිටුව කටයුතු කර තිබේ.

එක්දින තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (31දා) නම් කර තිබෙන අතර මැක්ස්වෙල් 2012 වසරේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනීමෙන් පසුව ඔහු කණ්ඩායමෙන් ඉවත් කළ පළමු අවස්ථාව මෙය වෙයි. මැක්ස්වෙල් ක්‍රීඩා කර ඇති අවසන එක්දන තරග 10දී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 10ට අඩුවෙන් පැවැතීම හේතුවෙන් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ.

ඔස්ට්‍රේලියානු සංචිතය – ස්ටීවන් ස්මිත්,  ඩේවිඩ් වෝනර්, ජොර්ජ් බේලි, නේතන් කෙල්ටර් නයිල්, ජේම්ස් ෆෝල්ක්නර්, ආරෝන් ෆින්ච්, ජෝස් හැසෙල්වුඩ්, මොයිසස් හෙන්රික්ස්, ෂෝන් මාෂ්, මිචෙල් මාෂ්, උස්මාන් කවාජා, නෙතන් ලයන්, මිචෙල් ස්ටාක්, මැතිව් වේඩ්, ඇඩම් සැම්පා.

 

තුර්කියේ නේටෝ කඳවුරක් 7000ක බලකායක් වටලයි

නේටෝ හමුදා විසින් තුර්කියේදී භාවිත කරන ඉන්කිර්ලික් ගුවන් හමුදා කඳවුර තුර්කි ආරක්ෂක අංශ 7,000කට වැඩි පිරිසක් විසින් වට කරමින් ආරක්ෂක දැලක් යොදා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙය හදිසි සෝදිසි මෙහෙයුමක් බව තුර්කි අමාත්‍යවරයෙකු පැවසුවත්, තවත් හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ ඉඟියක් මෙම වැටලීමට හේතු විය හැකි බවටද විදෙස් වාර්තා පවසයි.

ආඩේන් පොලීසිය වෙත තවත් හමුදා කුමන්ත්‍රණයක ඉව වැටීමෙන් ක්ෂණිකව හමුදා කණ්ඩායම් ඒ වෙත රැස්කර තිබූ බවත්, එම ගුවන් හමුදා කඳවුර වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට කටයුතු කළ බවත් කියැවෙයි.

මෙම සෝදිසි මෙහෙයුම සඳහා එරට හමුදා සාමාජිකයන් මෙන්ම, කැරලිමර්ධන පොලීසියේ සාමාජිකයන් සහ ප්‍රහාරක රථද යොදාගෙන තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසා ඇත.

තුර්කියේ යුරෝපා සංගම් කටයුතු භාර අමාත්‍යවරයා විසින් මෙය හමුදා සෝදිසියක් පමණක් බවත් කලබල වීමට කාරණයක් නොමැති බවත් ට්විටර් පණිවුඩයකින් තිබුණේ, "අප සාමාන්‍යයෙන් සිදුකරන සෝදිසි මෙහෙයුමක් පමණයි. වැරදි වැටහීමක් ඇති කරගැනීමට කිසිදු කාරණයක් නෑ" යනුවෙනි.

කෙසේ වෙතත් මෑතකදී තුර්කිය තුළ ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එරට ආරක්ෂක අංශ සාමාජිකයන් රැසක් අත්අඩංගුවට ගැනුණු අතර, අධිකරණ විනිසුරුවන්ගේ සිට රාජ්‍ය නිලධාරීන් රැසකටද සිය ධුරයන් අහිමි විය.