Monthly Archives: July 2016

අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් තමයි ගැටලුව – ට්‍රම්ප්

කැප්ටන් ඛාන් ඇමෙරිකානු ජනතාවට වීරයෙකු බවට විවාදයක් නොමැති බවත්, තමා කතා කරන්නේ ඛාන්ගේ ජීවිතය උදුරාගත්, තවදුරටත් හානි ගෙනදෙන අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් ගැන බවත් ඇමෙරිකානු ජනපති සටනේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පසුගියදා නිමාවට දුටු ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයේදී අදහස් දක්වමින් ඇමෙරිකානු ජාතික මුස්ලිම් පියෙකු වන ඛිසර් ඛාන් තමාගේ පුතා ඉරාක යුද්ධයේදී රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාව පාලනය කළේ නම් තම පුතාට ඇමෙරිකානුවෙක් වීමට අවස්ථාව නොලැබෙන බවත් පවසමින් සිදුකළ කතාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ පවසා ඇත.

එමෙන්ම, පක්ෂ සම්මේලන කතාවේදී ඛිසර් ඛාන් වැඩිදුරටත් පවසා ඇත්තේ ඇමෙරිකාව වෙනුවෙන් ට්‍රම්ප් කිසිදු පරිත්‍යාගයක් සිදුකර නොමැති බවය.

ඊට ප්‍රතිචාර දක්වා ඇති ට්‍රම්ප් පවසන්නේ, ඉරාක යුද්ධයේදී මියගිය කැප්ටන් හියුමයුන් ඛාන් ඇමෙරිකාවට වීරයෙකු බවට විවාදයක් නොමැති බවය. ඔහු රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ කැප කිරීමට ඔහුට හිමිවිය යුතු සියලු ගෞරවය හිමිවිය යුතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නමුත්, සැබෑම අර්බුදය නම් ඔහුව ඉරාකයේදී ඝාතනය කර ඇත්තේ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් බවත්, එකී අන්තවාදීන් තවදුරටත් රටට ඇතුළු වීම වැළැක්වමින්, ඔවුන්ගෙන් සිදුවිය හැකි හානිය වැළැක්වීම තමාගේ ව්‍යායාමය බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියි.

එමෙන්ම, තමන් රට වෙනුවෙන් රැකියා දහස් ගණනක් බිහිකරමින් බොහෝ කැපවීම් කර ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටී.

ඇමෙරිකාව තුළ සිදුවූ දරුණුම වා බැලූන අනතුර

ඇමෙරිකාවේ, ටෙක්සාස් ජනපදයේදී සිදුවූ වා බැලූන ගිනිගැනීම එරට ඉතිහාසයේ සිදුවූ දරුණුතම වා බැලූන අනතුර බව විදෙස් වාර්තා පවසයි.

මෙම අනතුර හේතුවෙන් එම වා බැලූනයේ ගමන් කළ 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ ලොක්හාර්ට් ආසන්න ප්‍රදේශයේදී මෙම බැලූනය කඩා වැටීම නිසාය.

මෙම වා බැලූනය අනතුරට මුහුණදීමට පෙර විදුලි රැහැන් කිහිපයක් අසලින් ගමන් කරමින් තිබූ බවත් කියැවෙයි. එමෙන්ම, එහි වූ පිපිරිමක්ද අනතුරට හේතුව බවට අදහසක් පවතී. කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් පැහැදිලිව අනාවරණය කර ගෙන නොතිබුණි.

ප්‍රංශ පියතුමාගේ ඝාතකයන්ට ඉස්ලාම් භූමදානයත් අහිමිලු?

උතුරුදිග ප්‍රංශයේදී ජැක්ස් හැමෙල් පියතුමා ගෙළ සිඳ ඝාතනය කිරීමට කටයුතු කළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් දෙදෙනාගෙන් අයෙකුගේ මළ සිරුර භූමදානය කිරීම එම මුස්ලිම් ප්‍රජාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඉස්ලාම් දහම කෙළෙසීමට කටයුතු කළ මොවුන්ගේ සිරුරු භූමදානය කළ නොහැකි බව පවසමින් ඔවුන් එසේ පවසා ඇතැයි ප්‍රංශ මාධ්‍ය කියයි.

ඇල්ජීරියානු ජාතික 19 හැවිරිදි අඩෙල් කෙර්මිෂ් 85 වැනි වියෙහි පසුවූ පියතුමාගේ ඝාතනයට සම්බන්ධ වූ එක් ඉස්ලාම් ත්‍රස්තයෙකි.

ප්‍රංශය තුළ පසුගිය කාලය පුරා සිදුවූ ඝාතන රැල්ලේ වඩාත් උච්චතම අවස්ථාවක් ලෙස හැමෙල් පියතුමාගේ ඝාතනය සැලකෙන අතර, එය ආගම් භේදයකින් තොරව බොහෝ දෙනෙකුගේ හද කම්පා කළ සිදුවීමක් විය.

රජයෙන් පැහැදිලි කිරීමක්

චීන රජයේ මැදිහත් වීමෙන් හම්බන්තොට සහ මත්තල ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳව ඇතැමුන් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිදුකළ ඉල්ලීම චීන රජය ඉවත දමා ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති බවත් එය සාවද්‍ය බවත්, රටේ ආර්ථික සංවර්ධනය අවහිර කිරීමේ අපේක්ෂාවෙන් අදාළ වාර්තා කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්ය.

මතින් තොර පොරොන්දුව ආණ්ඩුවට නැතිලු

මතින් තොර රටක් හදන බවට වර්තමාන ආණ්ඩුව ජනතාවට පොරොන්දු ලබාදුන්නත්, වර්තමාන ආණ්ඩු පාලන කාලය තුළදී හෙරෝයින් හා කොකේන් මත්ද්‍රව්‍ය පමණක් කිලෝ 500කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම සඳහන් කරයි.

මීට අමතරව විෂ දුම් කොළ කුඩු අඩංගු කුප්පි 75,000කට අධික ප්‍රමාණයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද අද (31දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංවිධානයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කළේය.

අදාළ කුප්පි තොගය ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, අදාළ මත්ද්‍රව්‍ය තොගය රේගුවෙන් මුදාගෙන රට තුළට රැගෙන ඒමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවටත් තොරතුරු හෙළි වී ඇතැයි ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.

මේ නිසා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉතාමත් කඩිනමින් විනාශ කර දමනා ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතු බවද හෙතෙම පවසා සිටියේය. 

 

ජාතික මව්කිරී දීමේ සතිය හෙට සිට

ජාතික මව්කිරී දීමේ සතිය හෙට(01දා) සිට ආරම්භ වේ. ‘‘මව්කිරෙන් සපිරි – ජාතියක අසිරි’’ යන්න මෙවර එහි තේමාව වී ඇත. දරුවෙකුට මුල් මාස හය තුළ මව්කිරී දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය යන්න ප‍්‍රවර්ධනය කළ යුතු බවත් 2012 වසරේ රටවල් 51ක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකට අනුව මවුකිරි ලබාදීමේ වැඩිම ප‍්‍රතිශතය ඇති රට බවට ශී‍්‍ර ලංකාව පත් වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

දරුවෙකු ඉපිද පළමු පැය තුළ මව්කිරීදීමේ ප‍්‍රතිශතය සියයට 92ක් වන අතර එය සියයට 95ක් දක්වා වැඩි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉළක්කය වී ඇත.

 

විභාග ප්‍රවේශ පත්‍රයේ ගැටලුවක් නම් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න

අගෝස්තු 02 වැනි දින සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රයේ වෙනසක් තිබේ නම් ඒ පිළිබඳව වහාම විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස අයදුම්පත් කරුවන්ගෙන් විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

විභාගයට පැමිණීමේදී නිවැරදි ප්‍ර‘වේශ පත්‍රය රැගෙන ඒම අනිවාර්ය බවත්, මේ නිසා අයදුම්කරවන් සතුව තිබෙන ප්‍ර‘වේශ පත්‍රයේ ඉල්ලුම් කළ විෂයයන්, මාධ්‍යය අත්සන සහතික කිරීම ආදී වැදගත් කරුණු පිළිබඳව හොඳින් නිරීක්ෂණය කරන ලෙසද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව සියලුම විමසීම් හා දැනුම්දීම් 0112784208, 0112784537 හෝ 1911 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය. 

අවශ්‍ය වුණොත් වෙනස්කම් කරනවා

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ හොඳින් ක්‍රීඩා නොකළ බැවින් ක්‍රීඩාලෝලීන්ද කණ්ඩායමෙන් ඈත්වෙන තත්ත්වයක තිබුණු නමුත්, ඒ සියල්ලන්ට ලබාදුන් හොඳම පිළිතුර වන්නේ පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (30දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිව්ස් මෙලෙස පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිව්ස් පවසා සිටියේ, කුසල් මෙන්ඩිස්, ධනංජය, චන්දිමාල් හා රංගන හේරත් හැරෙන්න අනෙකුත් සියලුම පිතිකරුවන් අසාර්ථකවූ බවයි. විශේෂයෙන්මආරම්භක පිතිකරු යුගලය කණ්ඩායමට බෙහෙවින්වටින බව මැතිව්ස් මෙහිදී පවසා සිටියේය. කෙසේනමුත් ඔහු අනාවරණය කර සිටියේ, තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කර අවශ්‍ය වුවහොත් වෙනස්කම් කිරීමට වුවද තමන් සූදානම් බවයි.

"අපි කණ්ඩායමක් වශයෙන් පසුගිය මාස කිහිපයේදී හොදින් ක්‍රීඩාකළේ නැහැ, ඒක අපි දන්නවා. විශේෂයෙන් ක්‍රීඩාලෝලීනුත් අපෙන් ඈත්වෙන තත්ත්වයක් තිබුණා. ක්‍රීඩකයන් වශයෙන් අපිට ඒ දේවල් තේරෙනවා. අපි හොඳින් ක්‍රීඩා කරනකොට හැමෝම අපට ආදරෙයි, තරග පරදිනකොටත් අපට ආදරෙයි. නමුත් දිගින දිගටම තරග පරදිනකොට ප්‍රේක්‍ෂකයන්ට යම්කිසි දුකක් ඇතිවෙනවා.

ඒ නිසා ඒ සියලු දේවල් වලට අපි කළ හොඳම දේ තමයි මේ තරගය ජයග්‍රහණය කළ එක. අපි හැමෝම උත්සාහ කරන්නේ තරග ජයග්‍රහණය කරන්න, නමුත් සෑම දවසකදීම ඒ දේ කරන්න බැරි වෙනවා. මෙය අපේ කණ්ඩායමටහොඳ අත්දැකීමක්. අපිව අතහරින්නෙනැතිව අපිත් එක්ක හිටිය ක්‍රීඩාලෝලීන්ට ස්තූතිවන්ත වෙනවා. ඔවුන් ලබාදෙන සහයෝගය අපි හැමෝටම ගොඩක් වටිනවා.

අපිට පළවෙනි දවස හොඳින් ක්‍රීඩාකරන්න බැරිවීම ගැන කණ්ඩායම ගොඩක් පසුතැවුණා. නමුත් අපි දැනගෙන හිටියා ඔස්ට්‍රේලියානු කණ්ඩායමටත් පන්දුවට පහරදෙන්න මේ කඩුල්ල එතරම් පහසු නැහැ කියලා. අපි හොඳින් පන්දු යැව්වොත්, ඔවුන්වද අඩු ලකුණු සංඛ්‍යාවක තබාගන්න හැකිවෙයි කියලා අපි විශ්වාස කළා.

දෙවැනි ඉනිමේදී හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න තමයි සැලසුම තිබුණේ. එය සාර්ථක වුණා. විශේෂයෙන් කුසල් මෙන්ඩිස් ඉතාමත් හොඳින් ක්‍රීඩාකළා. ඔහු වටේ අනික් අය ක්‍රීඩාකළා. චන්දිමාල්, ධනංජය හා රංගන හේරත් අමතක කරන්න බැහැ. මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් ඉතාමත් හොඳට ක්‍රීඩාකළ නිසයි හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න අපට අවස්ථාව ලැබුණේ.

 

අපි දන්නවා කුසල් ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේමඅනික් ක්‍රීඩකයනුත් දක්‍ෂයි. නමුත් සෑම දිනකම හැමෝම හොඳින් ක්‍රීඩා කරන්නේ නැහැ. එමනිසා හොඳ තත්ත්වයකට එන්න නම්, හොඳට ක්‍රීඩාකරන කෙනා ලොකු ඉනිමක් ක්‍රීඩාකළ යුතුයි. මෙම තරගයේ කුසල් කළ දේ තමයි හරි. ඔහු වටේ අනික් අය ලකුණු රැස්කළා. මම හිතන්නේ පළමු පිතිකරුවන් සිවුදෙනාගෙන් අයෙක් ශතකයක් ලබාගත්තොත් අපට ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන්.

ඔස්ට්‍රේලියාව වගේ කණ්ඩායමක් වේගපන්දු යවන්නන්ට හොදින් ක්‍රීඩා කරනවා. නමුත් මෑත කාලයේදී අපේ දඟ පන්දු යවන්නන් තමයි ඉතාමත් හොඳින් දස්කම් දක්වා තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කළේ දඟපන්දු යවන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලබාගන්න.විශේෂයෙන් සුරංග ලක්මාල් ආබාධයකට ලක්වූ නිසා සඳකැන්ව කැඳවන්න තීරණය කළෙත් ඒ නිසා. එයත් කණ්ඩායමේ හොඳ පැත්තට බලපෑවා.

අපි පසුගිය මාස කිහිපයේදී ගොඩක් දක්‍ෂ, ළාබාල ක්‍රීඩකයන් කණ්ඩායමට ගෙනාවා. නමුත්ඒ දවස්වල අපි ගුටිකෑවා. හැබැයි ඉදිරියට යනකොට ක්‍රීඩකයන් ලබන ආත්ම විශ්වාසය ගොඩක් වටිනවා. එමනිසා තරගයක් දෙකක් පරාජය වුණාට ඒ කට්ටියත් එක්ක ඉන්න ඕන. කුසල් මෙන්ඩිස් හොඳ ඉනිමකට ගියෙත්, සඳකැන් කඩුලු හතක් ලබාගත්තෙත් ඔවුන්ට ලොකු ආත්ම විශ්වාසයක් තිබුණ නිසා.

මේ තරගයේදී කුසල් මෙන්ඩිස්, ධනංජය, චන්දිමාල් හා රංගන හේරත් හැරෙන්න අනෙක් සියලුම දෙනා අසාර්ථකයි. ආරම්භක පිතිකරු යුගලය සෑහෙන්න වටිනවා. නමුත් ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් ඉතාමත් හොඳින් නව පන්දුවෙන් පන්දු යවනවා. එය ආරම්භක පිතිකරුවන්ට බලපානවා. එමනිසා තේරීම් කමිටුවත් එක්ක කතා කරලා හැකිතරම් ඔවුන්ට අවස්ථාව දෙනවා. අපි පුළුවන් තරම්එකම කණ්ඩායමක ඉන්න බලනවා. නමුත් අවශ්‍ය වුණොත් ඒ වෙනස්කම කරන්නත් අපි ලෑස්තියි." 

 

 

 

රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මෝටර් රථ යළිත්

රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මිලට මෝටර් රථ ගෙන්වීමේ ක්‍රමවේදය සංශෝධනය කරමින්,  සහනදායී මිලට මෝටර් රථ ගෙන්වීමේදී උපරිම මිල ඇ.ඩො.30,000 ට සීමා කර, එයට 50%ක බදු සහනයක් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.

මේ යටතේ, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, වෛද්‍යවරු, නීතීඥවරු, විශ්වවිද්‍යාල කුලපතිවරු, ආචාර්යවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමිකමට ඇතුළත් වේ. නව චක්‍රලේඛය යටතේ අදාළ නිලධාරීන්ගේ සේවා කාලය සලකා බලපත්‍ර ලබාදෙන අතර, එය රාජ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වසර 6 කි. රාජ්‍ය සංස්ථා සහ ව්‍යාවස්ථාපිත ආයතන සඳහා මෙම කාලය වෙනස් වන බවද පෙන්වා දෙයි.

එහිදී, නිලධාරියකුට ලබාගත හැකි උපරිම බලපත්‍ර සංඛ්‍යාව 02ක් වන අතර, ප්‍රථම බලපත්‍රය නියමිත කාලය තුළ ලබාගත් පසුව දෙවැනි බලපත්‍රයේ හිමිකම පළමු වැනි බලපත්‍රය ලබා වසර 10කට පසු හිමිවන බවද කියයි. මෙම චක්‍ර ලේඛයට සමගාමීව රාජ්‍ය පරිපාලන 22/99 චක්‍ර ලේඛයද ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ විශ්‍රාම යන අවස්ථාවේ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරීන් සඳහා සහනදායී බලපත්‍ර නිකුත් කෙරෙන බවද අමාත්‍යාංශය පවසයි.

සහනදායී පදනම මත ලබාදෙන මෝටර් රථ බලපත්‍රයේ වටිනාකම ඇ.ඩො. 30,000 කි.  ඒ සඳහා ගෙවිය යුතු මුළු බද්දෙන් 50% ක බදු සහනයක් හිමිවේ. රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මීට පෙර මෝටර් රථ බලපත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනක් ලබාගෙන ඇත්නම් එම නිලධාරීන්ට මෙම අවස්ථාව හිමි නොවනු ඇති බවද පෙන්වා දෙයි.

රජය විසින් 2010 වර්ෂයේ සිට රාජ්‍ය සේවකයන් වෙත මෙතෙක් ලබාදී ඇති නිදහස් බලපත්‍ර ගණන 38,000ක් ඉක්මවන අතර, ඒ වෙනුවෙන් ලබාදී ඇති බදු සහනවල වටිනාකම රු.බිලියන 143ක් පමණ ඉක්මවන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

මීට අදාළ චක්‍රලේඛය www.treasury.gov.lk මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ චක්‍රලේඛ යටතේ ඇති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛයක් ලෙස ඩවුන්ලෝඩ් කරගත හැකි බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

ආසියානු රග්බි කිරුළක් ශ්‍රී ලංකාවට

ආසියානු රග්බි ඉතිහාසයේ තම කුළුඳුල් කුසලාන ශූරතාව හිමි කරගැනීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ(20 න් පහළ) රග්බි කණ්ඩායම සමත් විය. ඒ අද (31) මැලේසියාවේ ජොහෝර් බහාරු හිදී  නිමාව දුටු ආසියානු කනිෂ්ඨ (20 න් පහළ) රග්බි තරගාවලියේදීය. එහිදී  අවසන් තරගයේදී ප්‍රබල දකුණු කොරියාව ලකුණු 38-00 ක් ලෙසින් පහසුවෙන් පරාජයට පත්කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමක් ආසියානු රග්බි  කුසලාන ශූරතාවක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වන අතර පසුගිය වසරේ ආරම්භ වූ තරගාවලිය මෙවර දෙවැනි වරට පැවැත්විණි.

තරගාවලියේ පළමු දිනයේ තමන් සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජයගැනීමට ශ්‍රීලංකාව සමත් විය. එහිදී  පිලිපීනය ලකුණු 22-05 ක් හා තායිලන්තය ලකුණු 31-05 ක් ලෙසින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ජපානය හමුවේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 19-14 ක් ලෙසින් පරාජයට පත්වීමට සිදු විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව අද (31)  එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගින් පැවති තරගය ලකුණු 45-05 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකාව කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී මැලේසියාව ලකුණු 29-14 ක් ලෙසින් පරාජය කරමින් ශ්‍රී ලංකාව  අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් පෑ තුවාන් රීසා රෆයිඩීන් උත්සාහක දිනුම් 7 ක් වාර්තා කරමින් තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියාගේ වාර්තාව තමන් සතු කරගැනීමට සමත් විය.

ඊට අමතරව නායක කෙවීන් ඩික්සන්  සමස්ත ලකුණු 43 ක් (උත්සාහක දිනුම් 5, ප්‍රවර්තන 9) වාර්තා කරමින් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.