Monthly Archives: June 2016

ආසියානු යටිතල පහසුකම් බැංකු වාර්ෂික සමුළුවෙන්

ආසියාවට අයත්වන මෙම සියවසේදී ලෝකයේ විවිධ දෙසින් උකහාගත හැකි ප්‍රතිලාභ අපගේ ජාතීන් උදෙසා ධෛරයෙන් යුතුව එක්රැස් කිරීමත්, ඒවා ජනතාවගේ ජීවන තත්ත්වය උසස්කරලීම සඳහා යොදාගැනීමත් අප ජාතීන්ගේ භාරධූර වගකීම හා කාර්යභාරය බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ මංගල සමුළුව අමතමිනි. සාමාජික රටවල් 46ක පමණ නියෝජිතයන් එක්ව සිටි මෙවර සමුළුව පසුගිය ජූනි මස 25 සහ 26 වැනි දිනවල චීනයේ බීජිං නුවරදී පැවැත්විණි.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ මංගල සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ එහි සාමාජික රටවල් දැනුම්වත් කෙරුණු බවද මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යවරයා ඔවුන් අමතමින් ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක් තුළම සිදුවෙමින් පවතින සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳවත්, ඒ සඳහා 2016 අයවැය මගින් සකස් කරදුන් පසුබිම සහ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙනුත් අදහස් පළ කළ බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

මෙවර සමුළුවේදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට අදාළ අවබෝධතා ගිවිසුම්වලටද ශ්‍රී ලංකාව සෙසු රටවල් සමග අත්සන් තබා ඇති අතර, මෙම සමුළුව සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් චන්ද්‍රා ඒකනායක මෙනවිය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

විශාලතම දියමන්තිය සිතන තරම් වටින්නේ නැද්ද?

මෙම ශතවර්ෂයේ සොයාගනු ලැබූ විශාලතම දියමන්තිය සිතන තරම් නොවටිනා තත්ත්වයක් උද්ගත වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ටෙනිස් බෝලයක් තරමේ ලෙසේඩි ලා රෝනා නම් වූ මෙම දියමන්තිය අලෙවි කිරීම සඳහා ලන්ඩනයේදී සංවිධානය වූ වෙන්දේසියේදී ලංසු තැබූ මිලට එය මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම මෙම තත්ත්වයට වී තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බොස්ට්වානා හිදී පොළොවෙන් මතුකර ගත් මෙම දුර්ලභ දියමන්තිය කැනඩාවේ ලුකාරා ඩයමන්ඩ් ආයතනය සතු වූවකි. ඔවුන් පවසන පරිදි කැරට් 1,109ක් වූ මෙම දියමන්තිය එදාමෙදාතුර ඉතිහාසයේදී සොයාගනු ලැබූ අනර්ඝ තත්ත්වයේ රළු දියමන්තියකි.

වෙන්දේසියේදී මෙම දියමන්තිය වෙනුවෙන් ඇ.ඩො.මිලියන 61ක මිලක් නියම වුවද, වෙන්දේසිකරුවන් අවම වශයෙන් ඇ.ඩො.මිලියන 70ක් (රු.කෝටි 1,000ක් පමණ) ඒ සඳහා බලාපොරොත්තු වී තිබුණු බැවින් විශාලතම දියමන්තිය සිතන තරම් නොවටිනා බවට අදහසක් ඇති වී තිබේ.

ඇමෙරිකාවේ සහාය ශ්‍රී ලංකාවට හිමිවෙනවා – කේශාප්

මෙම මස මුල භාගයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඇ.ඩො.බිලියන 1.5 ක ණය මුදලක් සැපයීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහාය දක්වන බවත්, මෙමගින් රජයට අවශ්‍ය කරන්නාවූ මූල්‍ය සහ ආර්ථික සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට මහඟු අවස්ථාවක් උදාකරදෙන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් මහතා පවසා සිටියේය.

එක්සත් ජනපද තානාපතිවරයා මෙසේ පවසා සිටියේ පසුගිය 28 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ 177 වැනි වාර්ෂික මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අතුල් කේශාප් මහතා පවසා සිටියේ,  

"එක්සත් ජනපදය පසුගිය වසර 60 පුරා ශ්‍රී ලංකාවට සංවර්ධන සහ මානුෂීය සහාය ලබාදෙනවා. මේ ආධාර සුවහසක් ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට උපකාරී වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය, ව්‍යවසාය සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සත්කාර, බලශක්තිය සහ ස්වාභාවික සම්පත්, යහපාලනය හා මානුෂික ක්‍රියාකාරකම් යනාදී සියලුම ක්ෂේත්‍රයන්හි අපි සුවිශාල ආයෝජනයන් සිදුකර තිබෙනවා.

මේ වසරේදී එක්සත් ජනපදය ඇ.ඩො.මිලියන 40ක ආධාර ශ්‍රී ලංකාවට ලබාදෙන අතර, ඉදිරි වසර සඳහාත් මේ හා සමාන ආධාර ලබාදෙන ලෙස අපි ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ රජය යහපාලනය සම්බන්ධයෙන් දක්වන කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ක්‍රියාවලියට පහසුකම් සැලසීමට අමතරව ඩොලර් මිලියන ගණනාවක් ලබාගැනීමට අවස්ථා උදාකරන වැඩසටහනක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා වූ ඇගයීම්වල නියැළී සිටිනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රථම වටය නිමාවට පත්වූ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පාර්ශ්වකරණය පිළිබඳව සාකච්ඡාවන් අපට දෙරට අතර සම්බන්ධතාව වර්ධනය කිරීම සඳහා වූ තවත් එක් මාවතක්. මේ සාකච්ඡාවන් ප්‍රධාන කරුණු 04ක් ඔස්සේ සිදුවූ අතර මේවායින් එකක් ලෙසට ආර්ථික සහයෝගීතාව සැලකිය හැකියි. මේ යටතට කාන්තාවන් සවිබල ගැන්වීම සහ ආයෝජනයන් දිරිගැන්වීමටද ඇතුළත් වෙනවා. එක්සත් ජනපද ශ්‍රී ලංකා වෙළෙඳ සහ ආයෝජන වැඩසැලසුම් සභා රැස්වීම (TIFA) අප්‍රේල් මාසයේදී වොෂින්ටන් නුවරදී පැවැත්වීම සඳහා අප අනුග්‍රහය ලබාදුන් අතර, මෙමගින් අපගේ වෙළෙඳ සහ වාණිජ සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කරනවා." යනුවෙනි.

MS804 යානා අනතුරට හේතුව ගින්නක්ද?

අනතුරට පත් MS804 ඊජිප්තු යානයේ එක් කළු පෙට්ටියක දත්ත පරීක්ෂා කිරීමේදී යානයෙහි දුමක් ඇති වූ බවට හෝඩුවාවක් පිළිබඳ අනතුරු ඇඟවීමේ හඬක් එහි පටිගත වී තිබූ බව කියයි. එමෙන්ම, මධ්‍යධරණී සාගර පතුලෙන් සොයාගනු ලැබූ යානයේ ඇතැම් සුන්බුන් කොටස් ආශ්‍රිතව දැලි හමුවීමෙන් යානය තුළ ගින්නක් හටගත් බවට වූ අදහස වඩාත් තහවුරු වන බවද පර්යේෂකයෝ පවසති.

එයාර්බස් A320 යානය පසුගිය මැයි මාසයේ 19 වැනිදා කයිරෝ නුවර සිට පැරීසිය බලා පියාසර කරමින් තිබියදී අනතුරට පත්වූයේ එහි ගමන්ගත් පුද්ගලයන් 66 දෙනාගේද ජීවිත අහිමි කරමිනි. කෙසේ වෙතත්, මෙසේ පරීක්ෂාවට බඳුන් වූ කළු පෙට්ටියේ දත්තවල යානය ගුවන්ගත වූ අවස්ථාවේ සිට එය මධ්‍යධරණී සාගරයට අඩි 37,000ක් ඉහළින් සිය ගමන අවසන් කිරීම දක්වා වූ සියලු දත්ත පටිගත වී ඇති බවද කියැවෙයි.

ගුවන්යානා සන්නිවේදන ඇමතීමේ හා වාර්තා කිරීමේ පද්ධතිය හෙවත් Acars  සමග යානය නිරන්තරයෙන් සබඳතා පවත්වා ඇති බවද පටිගත වූ දත්තවලින් කියැවෙයි. එහිදී, වැසිකිලියකින් දුමක් නිකුත් වීමක් පිළිබඳවද පටිගත වී අති බව ප්‍රංශයේදී මෙම කළු පෙට්ටිය අලුත් වැඩියාවට ලක්වීමෙන් දින දෙකකට පසුව අනාවරණය කර තිබේ.

Brexit නිසා උණුසුම් වූ බ්‍රිතාන්‍යය අගමැති සටන

Brexit ජනමතවිචාරණයෙන් පසුව අගමැති කැමරන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම නිසා හිස්වන බ්‍රිතාන්‍යය අගමැති පුටු සටන මේ වනවිට වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට පසුගියදා පැවති ජනමතවිචාරණයේදී එරට ජනතාව ප්‍රකාශ කිරීමත් සමග එරට තුළ දේශපාලන කුණාටුවක් හමා යමින් තිබේ.

එහිදී, මුලින්ම කන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා එරට ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් තේරේසා මේ සහ අධිකරණ ලේකම් මයිකල් ගෝව් අතර මේ වනවිට තරගයක් උද්ගත වී ඇති බව කියැවෙයි. මීට පෙර තේරේසා හා හිටපු ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් මේ තරගයේ සිටියත් පසුව, බොරිස් ඉන් ඉවත්වන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම, විපක්ෂ නායකයා වීමේ සටනද වඩාත් කැපී පෙනෙන මුහුණුවරක් ගෙන තිබූ අතර, මුලින් කම්කරු පක්ෂයේ නායකයා මෙන්ම, හිටපු විපක්ෂ නායක කෝබියන් ඊට ඉදිරිපත් වුවද, ඔහුට එරෙහිව ආ දෝෂාභියෝගය ඒ ගමනට යම් බාධා කිරීමක් කර තිබුණි. මේ තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය ඡායා කැබිනෙට්ටුවේ ව්‍යාපාර කටයුතු පිළිබඳ ලේකම්වරිය වූ ඇන්ජෙලා ඊගල් මේ වනවිට එම ධුරය සඳහා ඉදිරිපත්ව සිටින්නීය.

කෙසේ වෙතත්, ‍කෝබින්ට අභියෝගයක් කිරීමට ඇයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරුන් 51 දෙනෙකුගේ සහාය හිමිවිය යුතුව ඇත.

පසුගිය ජූනි 24 වැනිදා පැවති ජනමතවිචාරණයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට 52% ක ජනතාවක් පවසද්දී, 48% ක ජනතාවක් රැඳී සිටිය යුතු බවට ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

IS ඉස්ලාම් රාජ්‍යයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය?

ඉරාකයේ, ෆලූජා නගරය ආශ්‍රිතව ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

එමෙන්ම, මෙම ප්‍රහාරයේදී ඔවුන්ගේ වාහන 40කට වැඩි ප්‍රමාණයක් විනාශ කළ බවද ඇමෙරිකානු බලධාරීහු පවසති.

මෙම දත්ත වඩාත් නිවැරදි නම්, මෙම ජිහාඩ් සංවිධානය වෙත මෙතෙක් එල්ල කෙරුණු දරුණුතම ප්‍රහාරය මෙය වනු ඇති බව කියැවෙයි.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ බල කඳවුරක් ලෙස සැලකෙන ෆලූජා නගරයෙන් දකුණුදිග පෙදෙසට මෙම දරුණු ප්‍රහාරය එල්ල කර තිබේ.

ඉස්ලාම් රාජ්‍ය සිරියාව හා ඉරාකය යා කොට ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පසුගිය කාලය පුරාවට ඔවුන් වෙත එල්ල කෙරුණු දරුණු ප්‍රතිප්‍රහාර හමුවේ මේ වනවිට ඔවුන්ගේ ඒ සිහින රාජ්‍ය බොහෝ සෙයින් විනාශ වෙමින් ඇති බවද ඒකාබද්ධ ආරක්ෂක අංශ පවසයි.

මේ තත්ත්වය තුළ එම සංවිධානය විදේශයන්ගේ වඩාත් සංවේදී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින්, ඔවුන්ගේ දරුණු පසුබෑම සාධාරණීකරණය කරගැනීමට උත්සාහ දරන බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

කෝප් වාර්තානව ඉක්මණින් ජනතාවට ඉදිරිපත්කළ යුතුයි

මහබැංකුවේ බැදුම්කර සිදුවීම සම්බන්ධ කෝප් වාර්තානව ඉතා ඉක්මණින් ජනතාවට ඉදිරිපත්කළ යුතු බවත් ඒ හරහා රටට සිදුවූ අලාබය දැන්විය යුතු බවත් ජාතික හෙළ උරුමය පැවසීය

මහබැංකුවට අලුතින් අධිපතිවරයෙකු පත් කළ පමණින් එහි සිදුවූ අක්‍රමිකතා නොවිසඳෙන බවත්, අර්ජුන මහේන්ද්‍රන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එළිදැක්වූ කෝප් වාර්තාවේ තොරතුරු ජනතාවට හෙළිකළ යුතු බවත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද පැවැති  මාධ්‍ය හමුවකදී පවසා සිියේය.

කෝප් කමිටු සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්ති මහතාට ද එහි වගකීමක් ඇති බව පැවසූ ඒ මහතා හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට එහි කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති නම් ඊට හේතු ද හෙළි කළ යුතු බව හෙතෙම පැවසීය.

සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනයට රු මිලියන 2400

ශ්‍රී ලංකා හා ජපාන රජයන් අතර පවත්නා දීර්ඝකාලීන ආර්ථික සහයෝගීතාවය හේතුකොට ගෙන වාර්ෂික ප්‍රදාන ආධාර යටතේ ජපාන රජය වෙතින් රු.මිලියන 2,400 ක ප්‍රදානයක් සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා ලබාදීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව සතු වෙරළ තීරයෙහි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකරන මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ඔවුන් සතු හැකියාව වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ බව කියයි. ඒ සඳහා, ජපාන රජය විසින් කිලෝවොට් 1,440 ක ජවයකින් යුතු ඩීසල් එන්ජින් මගින් බල ගැන්වෙන මීටර් 30ක පමණ දිගින් යුතු මුර සංචාරක යාත්‍රා 02ක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්‍රදානය කිරීමට නියමිතය.

මෙම ප්‍රදානය ලබාගැනීම සම්බන්ධ හුවමාරු පත්‍ර හා ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම ඊයේ (30දා) මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. හුවමාරු පත්‍ර අත්සන් කිරීම ජපන් රජය වෙනුවෙන් ශී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා විසින්ද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින්ද, මෙම ප්‍රදානයෙහි ගිවිසුම අත්සන් කිරීම ජපන් රජය වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි අමඩා මහතා විසින්ද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින්ද සිදුකරන ලදී.

තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයකින් ඇෆ්ගන් පොලීසියේ 30 නසී

ඇෆ්ගන් පොලිස් නිලධාරීන් රැගත් රථ පෙළකට කාබුල් නගරයේදී තලේබාන් ත්‍රස්තයන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 30ක් මියගොස් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

මියගිය පිරිසෙන් දෙදෙනෙකු හැර අන් සියලු දෙනා පොලිස් කැඩෙට් නිලධාරීන් බවත්, ඔවුන් නිල උත්සවයක්  නිමවී යළි පැමිණෙමින් සිටියදී නගරයේ බටහිර ප්‍රදේශයකදී ඔවුන් රැගත් බස් රථ දෙකකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් කියැවෙයි.

ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන ඇති අතර, ඔවුන් මීට සතියකට පෙර බස් රථයක් ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

බ්‍රහස්පතින්දා (30දා) එල්ල වූ ප්‍රහාරය විස්තර කරමින් තලේබාන් ප්‍රකාශකයෙකු පවසා සිටියේ එක් බස් රථයක් වෙත එල්ල කෙරුණු ප්‍රහාරයෙන් පසු ඔවුන් මුදාගැනීමට සෙසු පිරිස් පැමිණෙද්දී, බෝම්බ පුරවාගත් මෝටර් රථයක් අනෙක් බස් රථයක වෙත ධාවනය කරමින් ප්‍රහාරය සිදුකළ බවයි.

GMOA යළි වැඩ වරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජුලි මස 04දා යළි සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඒ අනුව ජුලි මස 04 වන සඳුදා දිනයේ පෙරවරු 8 සිට දහවල් 12 දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකිරීමේ අරමුණින් වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව නිවේදනයේ සඳහන්ය.