Monthly Archives: May 2016

ලංකාවේ දිනකට කසල මෙටො 8000ක්

 

ශ්‍රී ලංකාවේ දිනකට කසළ මෙට්‍රික් ටොන් 7500 – 8000 පමණ ප්‍රමාණයක්  එකතුවන අතර, ඉන්වැඩිම ප්‍රමාණය වන කසළ මෙට්‍රික් ටොන් 1,500 ක් බස්නාහිර පළාතෙන් පරිසරයට එකතුවන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා %අද^ ට පැවසීය.

එමෙන්ම මෙරට පොලිතින් භාවිතයද ශීඝ්‍රයෙන් වැඩිවී ඇතිබවත්, ඒ අනුව දිනකට පොලිතින් බෑග් මිලියන 15 ක් භාවිත කරන බවත් ධර්මසිරි මහතා පෙන්වාදුන් අතර,එක් පොලිතින් බෑගයක් උපරිම වශයෙන් නැවත එක්වරක් හෝ භාවිත කරන්නේනම් දිනකට එකතුවන පොලිතින් බෑග් ප්‍රමාණය අඩකින් අඩුකරගැනීමට හැකියාව ඇති බවද ධර්මසිරි මහතා ප්‍රකාශකළේය.

සමස්තයක් ලෙස බොහෝ ප්‍රදේශතුළ කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොතිබීම මෙලෙස කසළ වැඩි වශයෙන් එකතු වීමට හේතුව වී ඇතිබවත්, නැවත නැවත භාවිත කිරීම සහ නිසි ක්‍රමවේදයකින් යුතුව කසළබැහැර කිරීම තුළින් කසළ ප්‍රමාණය බොහෝ ලෙස අවම කරගැනීමට හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

දිවයින පුරා කසළ කළමනාකරණය පැවරී ඇත්තේ පළාත් පාලන ආයතනවලට බවත්, ඒසඳහා සහයෝගයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මගින් පළාත් පාලන ආයතන ආශ්‍රයෙන් කොම්පෝස්ට් සකස්කරන බවත් කී ඒ මහතා ඒසඳහා අවශ්‍ය තාක්ෂණික, මූල්‍ය සහ උපදේශකාත්මක සහායද ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.

දිරන කසළසහ නොදිරන කසළ ලෙස වෙන්කර බැහැර කිරීම කසළ කළමනාකරණයට පහසුවක් වන බවත්,ගෘහස්ථ කසළ කළමනාකරණය තුළින් නිෂ්පාදනය කරගතහැකි කොම්පෝස්ට්, පොහොර ලෙස යොදාගැනීමෙන් ආර්ථික වාසියක් ලබාගැනීමට හැකියාව පවතින බවත්  ධර්මසිරි මහතා පෙන්වා දුන්නේය.

ජාතිකපරිසර සතිය තුළදී මේසම්බන්ධයෙන් අවධානය යොමුකිරීම රටේ සෑම පුරවැසි යුතුකමක් වනඅතර, මේසම්බන්ධයෙන් අවධානය යොමුකර රටේ කසළ ප්‍රමාණය අඩුකරගැනීමට දායක වන ලෙසත්, රට පවිත්‍රව තබාගැනීමට දායක වන ලෙසත්මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අලි ඇතුන් පෙරහැරට යොදා ගැනීම ගැන ජනපති අවධානයට

 

හීලෑ අලි ඇතුන් පිලිබඳව මතුව ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ පෙරහැර සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

චිරාගතව පැවත එන පෙරහැර සංස්කෘතිය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙල ඔස්සේ මෙම ගැටලූවට විසදුම් සෙවීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

කෙටි කාලීන වැඩපිළිවෙලක් ලෙස අධිකරණ නියෝග මත දැනට වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටින හීලෑ අලි ඇතුන් වන ජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටියදීම අදාළ නීතිමය තත්ත්වයන් යටතේ පෙරහැර සඳහා භාවිතා කිරීමට ඇති හැකියාව පිලිබඳ අවධානය යොමු කෙරුණු අතර අනුගමනය කළ හැකි දිගු කාලීන වැඩසටහන් රැසක් පිලිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

මීට අමතරව වෙනත් කර්මාන්තයන් සඳහා යොදවා ඇති හීලෑ අලි ඇතුන් පෙරහැර කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව ද අවධානයට ලක් විය.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් එස්.පී.බී. මීගස්මුල්ල යන මහත්වරුන් ද ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල බස් නායක නිළමේවරුන් ද සාකච්ඡාවට එක්ව සිටියහ.

 

මිලියන 45ක් නූතන වහල්භාවයේ

ලෝක ජනගහනයෙන් මිලියන 45ක් නූතන වහලුන් බවට පත්ව ඇති බවත්, ඉන් තුනෙන් දෙකක් ආසියානුවන් බවත් 2016 ගෝලීය වහල්භාවය පිළිබඳ දර්ශකය පවසයි.

ඔස්ට්‍රියාව කේන්ද්‍ර කරගත් වෝක් ෆ්‍රී පදනම විසින් ඉදිරිපත් කරන මෙම දර්ශකයට අනුව, නූතන වහලුන් ලෙස ගැනෙන්නේ බියවැද්දීම, ප්‍රචණ්ඩත්වය, බලහත්කාරය, අපයෝජනය සහ බලෙන් හෝ මුලාවෙන් අපයෝජනය කිරීම හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට හෝ නිදහස් වීමට නොහැකිව සිටින පිරිසයි.

එහිදී, ණය ගෙවීමට නොහැකි වීමෙන් ණයට හිලව් වීම පිණිස සේවයෙහි යෙදවීමද නූතන වහල්භාවයේ එක් ස්වභාවයකි. එහිදී, ළමා විවාහ, බලහත්කාර විවාහ, ගෘහස්ත දාසභාවය සහ බලෙන් වැඩෙහි යෙදවීමද ප්‍රචණ්ඩත්වයෙන් හෝ තැතිගැන්වීමෙන් සිදුකරන බව කියයි.

යුරෝ 2016 ත්‍රස්ත අවදානමක

ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත යුරෝ 2016 පාපන්දු ශූරතාවලිය ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරයක ඉලක්කයක් විය හැකි බවට ඇමෙරිකානු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.   

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව පෙන්වා දෙන පරිදි ගිම්හාන සෘතුවේ පැවැත්වෙන මෙම තරගාවලිය නැරඹීම සඳහා යුරෝපයේ බොහෝ රටවලින් සංචාරකයන් ප්‍රංශය වෙත ඇදී එමද ඊට ප්‍රධාන හේතුවක් වී ඇත.

මෙම තරගාවලිය ජුනි මස 10  සිට ජූලි මස 12 වැනිදා දක්වා ක්‍රීඩාංගණ කිහිපයකදීම පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේදී ප්‍රංශයට එල්ල වූ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයත් සමග එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

එහිදී, සංචාරක පෙදෙස්, අවන්හල්, වෙළෙඳ සංකීර්ණ හා ප්‍රවාහන මධ්‍යස්ථාන වෙතද, මිනිසුන් විශාල වශයෙන් රැස්වන ක්‍රීඩා තරග වෙතද මෙවැනි ත්‍රස්ත ප්‍රහාරවල අවදානම දැඩිව පවතින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා තිබේ.

උතුරු කොරියා මිසයිල අත්හදා බැලීම වරදී

උතුරු කොරියාවේ නැගෙනහිර වෙළෙඳ සීමාවේ සිට සිදුකළ බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් අසාර්ථක වී ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.

කෙසේ වෙතත්, මෙසේ අත්හදා බැලීමට උත්සාහ කළ බැලස්ටික් මිසයිලය කවර වර්ගයක මිසයිලයක්ද යන්න පැහැදිලි නැතත්, පසුගිය අප්‍රේල් මාසයේ සිට ඔවුන් සිදුකළ මැදි දුර මුසුඩාන් මිසයිල අත්හදා බැලීම් තුනක්ම අසාර්ථක විය.

කෙසේ වෙතත්, කිසිය ආකාරයක බැලස්ටික් මිසයිල තාක්ෂණයක් භාවිත කළ නොහැකි බවට උතුරු කොරියාව වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තහනමක් පනවා තිබේ.

මෙම තහනම් නොතකා උතුරු කොරියාව සිදුකරන මිසයිල අත්හදා බැලීම් හමුවේ ඔවුන් වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්බාධකද පනවනු ලැබ ඇත.

පැරීසියට ළඟදීම සංක්‍රමණික කඳවුරක්

උතුරදිග පැරීසියේදී ඉදිරි සති හය තුළ සංක්‍රමණිකයන් වෙනුවෙන් කඳවුරු ඉදිකරන බව පැරිස් නගරාධිපතිනිය කියයි.

අදාළ කඳවුර ඉදිකිරීම සඳහා යෝග්‍යතම ස්ථානය පිළිබඳ ඉදිරි දින කිහිපයේදී සිදුකරන නිරීක්ෂණයන්ගෙන් පසුව එම කඳවුරු ඉදිවන ස්ථානය පිළිබඳ නිවැරදිම තොරතුරු ලබාදෙන බව නගරාධිපතිනී ඈන් හිඩල්ගෝ පවසයි.

මේ වනවිට සිය ගණනක් සංක්‍රමණිකයන් නගරය පුරා තැනිත් තැන කඳවුරු බැඳ සිටින බව කියැවෙයි.

එමෙන්ම, යුරෝපය වෙත ඇතුළු වීමට උත්සාහ කිරීමෙන් පසුගිය සතිය අවසානයේදී මධ්‍යධරණී මුහුදු කලාපයේදී මියගිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Siemens ශ්‍රී ලංකාව හා අත්වැල් බැඳගනී

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ Siemens සමාගම ස්මාට් නගර සහ නව නගර සැලසුම් ඇතුළත් බස්නාහිර මෙගා පොලිස් සැලස්ම පිළිබඳ සංකල්පීය අධ්‍යයනයක් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබේ.

ලොව පුරා ස්මාට් නගර නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා වන Siemens සමාගම මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමෙන් සිය සබදතාව ශක්තිමත් කර ගෙන තිබේ. ඒ අනුව, බස්නාහිර පළාතේ නගර නිර්මාණයේදී ජාත්‍යන්තර අත්දැකීම් සහිත Siemens සමාගම සිය විශේෂඥ දැනුම, අත්දැකීම්, නව්‍යතා සහ නව අදහස් මගන් ස්මාට් නගර සංකල්පයක් පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

මෙම අවබෝධතා ගිවිසුමට බස්නාහිර පළාතේ මෙගාපොලිස් සැලසුම් ව්‍යාපෘතියේ අධක්ෂ, කණ්ඩායම් නායක ලක්ෂ්මන් ජයසේකර, Siemens සමාගමේ ශ්‍රී ලංකා කළමණාකාර අනිරුද් තන්ඩන් යන මහත්වරුන් විසින් අත්සන් තබන ලදී. මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතියේ ආයෝජන ප්‍රධානී නයන මාවිල්මඩ, නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එම්. එම්. අනුර ප්‍රසන්න, Siemens ඉන්දියා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් මතූර්, සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ යන මහත්වරු එක්ව සිටියහ.

ඩයලොග් ආයෝජනයෙන් ශ්‍රී ලංකාව 100G-Plus වෙත

ඩයලොග් සමාගමේ ආයෝජනයෙන් 100G-PLUS Bay of Bengal Gateway ෆයිබර් ඔප්ටික් සමුද්‍රීය රැහැන (BBG සමුද්‍රීය රැහැන) හා ශ්‍රී ලංකාව සම්බන්ධ කෙරුණු බව ඔවුන් නිවේදනය කරයි. ඩයලොග් සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන, ගල්කිස්සේ ස්ථාපනය කර ඇති, BBG සමුද්‍රීය රැහැන් සම්බන්ධීකරණ පර්යන්තය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විදුලි සංදේශන හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.

BBG සමුද්‍රීය රැහැන සමගින් දැන් ශ‍්‍රී ලාංකිකයින්ට ලොව විශිෂ්ටතම තාක්ෂණයෙන් යුත් රැහැන් පද්ධතියක් සමග සම්බන්ධ වීමට හැකියාව ලැබෙන අතර, මෙය ශ‍්‍රී ලංකාව හා එක් වන සුවිශාලතම ගෝලීය බෑන්ඩ්විත් පරාසය බවද ඩයලොග් සමාගම පවසයි.

දූෂිතයන්ට රාජ්‍ය සේවයේ ඉඩක් නෑ – මුදල් ඇමති

දූෂණ චෝදනාවලට ලක්ව සිටින, අනූෂ පැල්පිට මහතා ධුරයෙන් ඉවත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගත් තීරණය අගය කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යවරයා පවසන්නේ, නිර්භය ලෙස මෙවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් රාජ්‍ය සේවා කොමිසන් සභාව සමස්ත රටටම දී ඇති පණිවිඩය යහපාලන රජයේ විනිවිදභාවය හා දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් සඳහා ගමන් මඟ විශද කරන බවයි.  

මෙම පියවර ගත යුතුව තිබුණේ මීට පෙර ඔහුට එරෙහිව චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේදී බවද පෙන්වාදෙන මුදල් අමාත්‍යවරයා, තවදුරටත් රාජ්‍ය සේවයේ මෙවැනි දූෂණ චෝදනාවලට ලක්ව ඇති නිලධාරීන් ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිසි පියවරක් ගන්නා අතරම, එය පාරදෘෂ්‍යභාවයෙන් යුතුව ක්‍රියාවට නංවනු ඇති බව, රජය මෙන් ම සමස්ත ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනය බවද කියයි.  

දිනකට පැයක් ක්‍රීඩාකරන්න

පාසල් යන දරුවන් අතර අධිපෝෂණ තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් වර්ධනය නිසිලෙස පවත්වාගැනීමට ළමුන් සෑම දිනකම පැයක ක්‍රියාශ්‍රීලී ක්‍රීඩාවක නියුතු විය යුතු බවත් පිළිබඳ විශේෂඥ හා ප්‍රජා වෛද්‍ය විශේෂඥ රේණුකා ජයතිස්ස මහත්මිය ප්‍රකාශකළාය.

ජාතික පෝෂණ මාසය පිළිබඳව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අද (31)  පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය මේ බව පැවසුවාය.

මෙලෙස දරුවන් අධි පෝෂණ තත්ත්වයෙන් වසර තිහක් පමණ ගිය විට බෝ නොවන රෝගවලට ගොඳුරුවීමේ හැකියාව වැඩි බවද වෛද්‍යවරුය පෙන්වා දුන්නාය. එහිදී තවදුරටත් අඳහස් දැක්වූ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය, ආහාරපාන වර්ග භාවිතයේ දී සමතුලිතභාවයක් තිබිය යුතුයි.ශරීරය මනාව පවත්වාගැනීමට හැකියාව ලැබෙනවා.

වැඩිපුර ආහාර ගැනීම හා ක්‍රියාශීලී නොවීමෙන් ශරීර බර වැඩි වෙනවා.සෞඛ්‍ය සම්පන්න ලෙස බර පවත්වාගැනීමට නම්, සෞඛ්‍ය සම්පන්න ලෙස බර ප්‍රමාණය රැක ගත හැකියි.අපි නොසිතා ගන්නා ආහාර නිසා නොදැනීම ශරීරයට කැලරි වැඩි කරගන්නවා. තෙල් සහිත ආහාර, පාන වර්ග,හොට් ඩොග්ස් කැම, ක්ෂණික ආහාර නිසා කැලරි වැඩි වෙනවා.එම කැලරි දහනය කිරීමට වෙහෙස වෙන්න වෙනවා. ඇවිදීම, ව්‍යායාම කිරීමට සිදු වෙනවා යැයි ද වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවාය.