Monthly Archives: April 2016

දකුණු අධිවේගය නොමිලේ – මෙහෙම යන්න

මැයි දිනය හේතුවෙන් දකුණු අධිවේගය මාර්ගය භාවිත කිරිමේදී පොලීසිය විසින් ජනතාවට උපදෙස් මාලාවක් ලබාදි තිබෙ. අධිවේගයේ හෙට දිනයේදී ගාස්තු අයකිරීමකින් තොරව ගමන් කිරීමකින් තොරව ගමන් කිරීමේ අවස්ථාවද ලැබී තිබේ.

 

 

 

කාර් රථයේ සිටි තිදෙනෙකුට වෙඩි

තිරප්පනේදි මෝටර් රථයක් තුළ සිටි තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. අද (30දා) පස්වරු තුනට පමණ මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය පවසයි. සිද්ධිය පිළිබඳව තිරප්පනේ පොලීසිය පරික්ෂණ පවත්වයි.

 

2020 දී අයවැය හිඟය සියයට 3 දශම 5 දක්වා අඩු කිරීම

සමස්ත අයවැය හිඟය වර්ෂ 2020 වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.5 දක්වා අඛණ්ඩව අඩු කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහනේ රාජ්‍ය වියදම වඩාත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළ ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී ටොඩ් ෂ්නයිඩර් මහතා මෙසේ සඳහන් කරයි.

හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ප්‍රාථමික හිඟය (පොලී වියදම හැර) ප්‍රාථමික මූල්‍ය අතිරික්තයක් දක්වා වර්ධනය වෙමින්, රාජ්‍ය ණය සැලකිය යුතු ලෙස අඩු වීමටත් මෙම වැඩපිළිවෙළ හේතු වන බවයි.

 

විග්නේශ්වරන්ට කථානායකගෙන් පිළිතුරු

උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ කථානායකවරයා හමුවි තිබේ. මෙලෙස හමුව ඇත්තේ උතුරු පලාත් සභාව වෙනුවෙන් දේශපාලන විසදුම් සහ ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථා යෝජනාවන් කථානායකවරයාට භාර දීම සදහාය‍. මෙහිදී කථානායක කරු ජයසුරිය මහතා පැවසුයේ නව ව්‍යවස්ථාවක් සාදන්නේ  සියළු ජාතීන්ට ගෞරවනීය පුරවැසියන් ලෙසට ජීවත් විය හැකි පසුබිමක් තහවුරු කිරීමට බවය.

ජාති ආගම් කුල පංති භේද නොමැතිව හැමකෙනාගේම නිදහස් අදහස්වලට ගරු කරමින් හැමෝටම නිදහසේ ජීවත් විය හැකි පරිසරයකට අවශ්‍ය කරුණු අලුත් ව්‍යවස්ථාවට ඇතුලත් කරන බව කථානායකවරයා මෙහිදී පැවසීය.

උතුරේ යෝජනාද අකුරක් නෑර සැලකිල්ලට ලක් කරන බවට සහතික වන යැයිද එහිදී කථානායකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

වල්ගයක් නැති වල්ගා තරුවක්

ප්‍රථම වරට වල්ගයක් නොමැති වල්ගා තරුවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

සෞරා ග්‍රහ මණ්ඩලයෙ ඇතිවීම හා පරිණාමය සම්බන්ධයෙන් මෙතෙක් සොයා නොගැනුණු තොරතුරු රැසක් මැන්ක්ස් යනුවෙන් නම් කළ මෙම වල්ගයක් නොමැති වල්ගා තරුව හරහා සොයා ගැනීමට හැකිවනු ඇති බවද තාරකා විද්‍යාඥයෝ පවසති.

වල්ගයක් නොමැතිව උපදින බළල් පැටවුන් මැන්ක්ස් යනුවෙන් හැඳින්වීම අදාළ වල්ගා තරුවට එම නම ලැබීමට හේතුව බවද කියැවෙයි.

සාමාන්‍යයෙන් පෘථිවියට ආසන්න ග්‍රහ ලෝකවල දැකිය හැකි පාෂාණවලින් මෙම වල්ගා තරුව සැකසී ඇති බවත්, මේ ආකාරයේ තවත් වල්ගා තරු පවතින්නේද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවත් තාරකා විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.

ශ්‍රී ලංකා – ඇමෙරිකා පස් අවුරුදු වැඩසටහනක්

ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර ද්වීපාර්ශ්වීය වෙළෙඳාම සහ ආයෝජනය කැපීපෙනෙන ලෙස වර්ධනය කිරීමේ අරමුණ ඇතිව දෙරටේ රජයයන් වෙළෙඳාම හා ආයෝජනය ඉහළ නැංවීමට ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරන පරිදි මෙම ඒකාබද්ධ වැඩසටහනට අනුව මෙම වෙළෙඳ හා ආයෝජන ඉහළ නැංවීමේ අරමුණු වසර පහක කාලයක් තුළ දිනාගැනීමට ඉලක්ක කර ඇත.

පසුගිය 28 වැනිදා වොෂිංටන් හිදී පැවති ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර 12 වැනි වෙළෙඳ හා ආයෝජන වැඩසටහන පිළිබඳ රැස්වීමේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ නියේජිත මයිකල් ෆ්‍රෝමන් සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග හා අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත.

ජනමාධ්‍ය ලේකම්ට අගමැතිගෙන් නියෝගයක්

ඒකාබද්ධ විපක්ෂය නාමය පාලනය කිරීමට හෝ වාරණය කිරීමට රජයට අවශ්‍යතාවයක් නොමැති බවත් අඩුම තරමින් රජය මේ පිළිබඳව සාකච්ඡාකොට හෝ නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයන් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතුවලට අදාළව ජනමාධ්‍ය ආයතන වෙත ලිපියක් යැවීම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතාට නියෝග කර ඇත. 

මෙම ලිපිය නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන සඳුදා අරලියගහ මන්දිරයේදී තමා හමුවන ලෙසත් අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇති බව සදහන්.

විදුලිය – ඉන්ධන මිල වෙළෙඳ පොළ මත තීරණය කරන්න – IMF

ශ්‍රී ලංකා රජය විසින් විදුලිය හා ඉන්ධන සඳහා වූ මිල ගණන් වෙළෙඳ පොළ මත තීරණය වීමට කටයුතු කරනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහන ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී ටොඩ් ෂ්නයිඩර් මහතා මෙසේ සඳහන් කරයි.

එමෙන්ම, ඉදිරි කාලය තුළ ප්‍රධාන රාජ්‍ය ආයතන සහ එම ආයතන සමග වූ රජයේ මූල්‍ය සබඳතා වාර්ෂිකව ප්‍රකාශ කරනු ලබන මූල්‍ය ප්‍රකාශන මගින් විනිවිදභාවයකින් යුතුව ඉදිරිපත් කෙරනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියි.

 

මහින්දගේ ප්‍ර‍ශ්ණවලට විසදුම් තියෙන්නේ මෛත්‍රීගේ අතේ විතරයි

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ අයට ඇති ප්‍ර‍ශ්නවලට විසදුම් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අත පමනක් බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන ඇමති එස්.බී දිසානායක මහතා පවසයි.

එබැවින් ඔහු ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හා පාක්ෂිකයන් හට ආදරය දක්වන්නේ නම් කළ යුතුව ඇත්තේ බලය පිළිබඳ ආසාව අතහැර මෛත්‍රීපාල ජනාධිපතිවරයාට  උදවු කිරීම බව පවසන ඇමැතිවරයා අවාසනාවකට මෙන් එවැනි තත්වයක් දක්නට නැතැයි සඳහන් කළේ බත්තරමුල්ලේදී දේශපාලන ක්‍රියාකාරින් පිරිසක් අමතමිනි.

එහිදි ඇමතිවරයා මෙසේද පැවසුවේය.

 මේ තත්වය තේරුම් අරගෙන මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයට හා පාක්ෂිකයන්ට ආදරේනම් පැත්තකට වෙලා මෛත්‍රීට උදවු කරන්න ඕන. එතුමාගේ පවුලේ ප්‍ර‍ශ්නවලටත් විසඳුම තියෙන්නේ එතන. තවම එතුමා බලය පිළිබඳව අදහස අත ඇරලා නැහැ. ඒකයි මේ තියෙන අවාසනාව.

මොකක් හෝ වාසනාවකට මෛත්‍රී ඇවිත් මේ පක්ෂයේ නායකත්වය භාරගත්තා. ඉතිං ඒ භාරගත්ත එකේ වාසිය පක්ෂයට හා පාක්ෂිකයන්ට දෙන්න, දීලා මේ පක්ෂය රැකගන්න ඕන නම් හිටපු ජනාධිපතිතුමා පොඩ්ඩක් පස්සට ගිහිල්ල මේ පක්ෂය මෙහෙයවගෙන යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දෙන එකයි තියෙන්නේ. අවාසනාවට ඒක වෙන්නේ නැහැ. ඒකට ප්‍ර‍ධාන හේතුව බලය පිළිබඳ ආසාව එයා තවම අතහැරලා නැහැ.

 

හැබැයි අපේ නැවත නැවතත් මතක තියාගන්න ඕන මේ පක්ෂයේ බහුතරය ඉන්නේ එතුමා එක්ක. මෙතුමා ඒක පාවිච්චි කරනවා එතුමගේ හා එතුමගේ පවුලේ අයගේ ආරක්ෂාවට . ඒක හොඳද?

මහ රෝහල් වල ඉදිකිරීම් කඩිනමින්

කොළඹ දන්ත රෝහල, නුවරඑළිය මහ රෝහල සහ හම්බන්තොට මහ රෝහලේ සිදුකෙරන ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව කොළඹ දන්ත රෝහලේ ඉදිකෙරෙන මහල් 09 කින් යුත් ගොඩනැගිල්ල ලබන ජුලි මස වනවිට ඉදිකර අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.