Monthly Archives: March 2016

විරුසර වරප්‍රසාද කාඩ්පතින් රණවිරුවන්ට සහනදායී දුම්රිය ගාස්තු

ආබාධිත රණවිරුවන් සඳහා විශේෂ සහන සලසා දීමේ රජයේ වැඩපිළිවෙ‍ළෙහි එක් අංගයක් ලෙස හඳුන්වා දෙනු ලැබ ඇති 'විරුසර' වරප්‍රසාද කාඩ්පත මඟින් ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් රජයේ හා ඇතැම් පෞද්ගලික ආයතනවලින් සේවාවන් ලබාගැනීමේදී එම සේවාවන් සඳහා සහන සලසා ගැනීමේ වරප්‍රසාදය ඔවුනට සලසා දී ඇත. මෙම සහන තවදුරටත් පුළුල් කරමින් 'විරුසර' වරප්‍රසාද කාඩ්පත හිමි ආබාධිත රණවිරුවන්ට දුම්රිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් වටිනාකමින් 50%ක් පමණක් ගෙවා දුම්රියෙන් ගමන් කිරීමට අවස්ථාව සලසා දිම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

දිවිනැගුම නිළධාරින්ගේ මාසික වැටුප් දිවිනැගුමෙන්ම

රාජ්‍ය බැංකු දෙකක් වෙත මෙතෙක් මාස්පතා යවන ලද දිවයින පුරා සේවය කරන දිවිනැගුම නිළධාරින්ගේ මාසික වැටුප් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල රාජ්‍ය බැංකු වෙත නොයවා ලබන මාසයේ සිට දිවිනැගුම ප්‍ර‍ජාමූල බැංකුවල තැන්පත් කරන ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස් .බී. දිසානායක මහතා අමාත්‍යාංශ ඉහල නිලධාරින් හට උපදෙස් දී තිබේ.

අද (31) දිවිනැගුම කළමණාකරුවන්ගේ සංගමයේ නිලධාරින් හා පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

දිවයින පුරා සිටින දිවිනැගුම සංවර්ධන නිලධාරින් 20869 ක් දිවිනැගුම කළමණාකරුවන් 2427 දෙනෙක් ඇතුළු ලිපිකරු හා රියදුරු තනතුරු හා වෙනත් තනතුරු දරණ 24000 කට ආසන්න පිරිසක් දැනට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන අතර ඔවුන් හට දිවිනැගුම ප්‍ර‍ජාමූල බැංකු හරහා ක්ෂණික ණයක් ලබා දීමේ වැඩපිළිවෙල පහසු කරවනු පිණිස ඇමතිවරයා මෙම පියවර ගෙන තිබේ.

ව්‍යවසාය 2016 ප්‍රදර්ශනය 01දා ඇරඹේ

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලබන 'ව්‍යවසාය 2016' අලෙවි ප්‍රදර්ශනය අප්‍රේල් 01දා කොළඹ BMICH හිදී ආරම්භ වෙයි.

අප්‍රේල් 01, 02 හා 03 යන දින තුන පුරා පැවැත්වෙන මෙම වෙළෙඳ ප්‍රදර්ශනයේදී රට පුරා විසිරී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාව උදා කරලීම අරමුණ බව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පවසයි. විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයන් රටට හඳුන්වාදීම එහි ප්‍රධාන ඉලක්කයද වී තිබේ.

එසේම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ 'SED' වෙළෙඳ නාමය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් SEDෆැෂන්, SED ජුවලරි, SED ෆුඩ් කෝර්ට් යනාදී ලෙස විවිධ ක්ෂේත්‍රවලට අදාළ වෙළෙඳ කුටිද මෙහි ඉදිරිපත් කෙරේ. එළැඹෙන අවුරුදු සමය ඉලක්ක කරගනිමින්ද විශේෂ ‍වෙළෙඳ කුටි විශාල ප්‍රමාණයක්ද, අලුත් අවුරුදු ගෙදරක්ද මෙම ප්‍රදර්ශන පරිශ්‍රයේ ඉදි කර ඇත. ඒ හරහා විශේෂයෙන්ම සිංහල දෙමළ නිවෙස්වලට ආවේණික අලුත් අවුරුදු ආහාර රටාවන් ඉදිරිපත් කිරීමක් සිදු කෙරේ. ප්‍රදර්ශනය සාර්ථකත්වයට පත් කරගැනීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන බවද කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පවසයි.

Cinnamon TBCasia සමුළුව ජුනි 07දා

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමග එක්ව ලොව විශිෂ්ටතම සංචාරක බ්ලොග්කරුවන් 60 දෙනකු එකට එක්කරමින් වර්තමානයේ ගෝලීය සංචාරක ක්ෂේත්‍රයට සංචාරක බ්ලොග්කරණයේ ඇති බලපෑම අනාවරණය කෙරෙන හා ඇගයීමට ලක්කෙරෙන Cinnamon TBCasia 2016 ගෝලීය සමුළුව මහත් අභිමානයෙන් යුතුව දියත් කරනු ලැබීය.

මෙරටට පැමිණෙන ලොව මුල් පෙළේ සංචාරක බ්ලොග්කරුවන් වෙනුවෙන් සමුළුවට පෙර රට වටා සංචාරයක්ද සූදානම් කරමින් සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් විසින් සත්කාරකත්වය දරනු ලබන අතර, ඉන් අනතුරුව 2016 ජුනි 7 වැනිදා එක්දින සමුළුව පැවැත්වේ. මෙම සමුළුවට පෙර සිදුකෙරෙන සංචාරයන් දිවයිනේ සියලුම ජනපි‍්‍රය සංචාරක ගමනාන්ත ආවරණය වන අද්විතීය සංචාර 4ක් ලෙස සංවිධානය කොට ඇති බවද ඔවුන් කියයි.

එහිදී, මෙම සත්කාරකත්වය සැපයීමට අමතරව සමුළුවේදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා මාධ්‍ය ප්‍රවීණයන්ට දේශන පැවැත්වීමේ අවස්ථාවද සලසා තිබේ. මෙම කීර්තිමත් දේශක මඩුල්ල සඳහා CNN Digital නිෂ්පාදක චක් තොම්සන්, NatGeo සංචාර සංස්කාරක ජෝජ් ස්ටෝන්, Digital Jungle නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සහ චීන අලෙවි හා සමාජ මාධ්‍ය විශේෂඥ ආචාර්ය මැතිව් මැක්ඩෝගල්, Digital උපාය මාර්ගිකයකු වන ඉවෝ ටෙරා, Travel Click International සභාපති ජැන් තිසේරා, Hubspot APAC අලෙවි අධ්‍යක්ෂ රයන් බොනිසි, වෘත්තීය සංචාරක බ්ලොග්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ලෝරන්ස් නෝරා, ශාන්තිකර ආසියා සංචාරක සංගමයේ (PATA) ජාත්‍යන්තර සහයෝගීතා අධ්‍යක්ෂ හැලෝනා පැඩියචි, Dragon Trail නිර්මාතෘ ජෙනිස් ත්‍රෙන්හාට්, ගුවන්විදුලි මාධ්‍යවේදී හෙන්රි බාචෙට්, Dave & Deb, The Planet D සහ Liz Carlson ආදීහු ඇතුළත් වෙති.

ගෝලීය මුහුදු මට්ටම් දෙගුණයකින් ඉහළ යෑමේ අවදානමක්

ගෝලීය මුහුදු මට්ටම් දැනට ඇති ඇස්තමේන්තුවලට වඩා දෙගුණයකින් ඉහළ යා හැකි බව ඇන්ටාක්ටිකාව ආශ්‍රිතව සිදුකළ නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් මේ වනවිට ඇන්ටාක්ටිකාව ආශ්‍රිතව සිදුවන ග්ලැසියර දියවීම නිසා මෙම ශතවර්ෂය අවසානයේදී තවත් මීටරයකින් පමණ මුහුදු මට්ටම් ඉහළ යා හැකි බවද කියැවෙයි.

මෙම සමීක්ෂණ වාර්තාවට අනුව වර්ෂ 2500 වනවිට ලොව පුරා මුහුදු මට්ටම මීටර් 13කින් පමණ ඉහළ යනු ඇති බවද කියැවෙයි.

කාබන් විමෝචනයේ ශීඝ්‍ර කපා හැරීමකින් පමණක් මෙම අවදානමෙන් මිදිය හැකි බවද විද්‍යඥයෝ පෙන්වා දෙති.

පැරිස් ප්‍රහාරයේ මහ මොළකරු පිටුවහල් කිරීමට අවසර

පැරීස් නගරය වෙත පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එල්ල කළ අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සලේහ් අබ්දේස්ලාම් ප්‍රංශයට පිටුවහල් කිරීමට බෙල්ජියම් අධිකරණය අවසර දී තිබේ.

මෙම මස මුලදී බ්‍රසල්ස් හිදී අත්අඩංගුවට පත් අබ්දේස්ලාම් පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවූ එම ප්‍රහාරයේ මහ මොළකරුවෙකු ලෙස සැලකුණි.

විශේෂ මෙහෙයුමකින් පසුව අබ්දේස්ලාම් අත්අඩංගුවට පත්වූ අතර, ඔහුගේ අත්අඩංගුවට පත්වීමෙන් දින හතරකට පසුව බ්‍රසල්ස් නගරය වෙතද දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.

කෙසේ වෙතත්, ඔහුට විරුද්ධව ඇති චෝදනා ගොනුවීම සඳහා මෙම පිටුවහල් කිරීම කවරාකාරයෙන් සිදුවිය යුතුද යන්න පිළිබඳව ප්‍රංශ සහ බෙල්ජියම් බලධාරීන් වැඩිදුරටත් සාකච්ඡා කරනු ඇති බවද කියැවෙයි.

ජනපති සූමා ව්‍යවස්ථා උල්ලංඝනයක් කරලා

තම පෞද්ගලික නිවසක් වෙනුවෙන් වැය කළ රජයේ මුදල් යළි රජයට ගෙවීමට අපොහොසත් වෙමින්, දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා ව්‍යවස්ථා උල්ලංඝනයක් සිදුකර ඇති බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.

ඒ අනුව, කොපමණ මුදලක් රජය වෙත අය විය යුතුද යන්න පිළිබඳ සොයා බලන ලෙස දින 60ක කාලයක් එරට මහා භාණ්ඩාගාරයට ලබාදී තිබේ.

ජේකෝබ් සූමාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන දකුණු අප්‍රිකානු විපක්ෂය ලැබූ ජයග්‍රහණයක් ලෙසද මෙම අවස්ථාව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඔවුන් චෝදනා කළේ රජයේ මුදල් අවභාවිතයේ යොදවමින් තම පෞද්ගලික නිවාසය සඳහා සුවිශේසී වරප්‍රසාද ලබාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත්, ජනාධිපති සූමා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඉන්දියාව ඉවතට

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 193ක ඉලක්කය අවසන් පන්දුවාරයේදී පසුකර යාමට කොදෙව් කණ්ඩායම සමත්විය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ලින්ඩ්ල් සිමන්ස් නොදැවී ලකුණු 83ක් රැස්කළේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම හා අවසන් මහ තරගයට කොදෙව්වෝ සුදුසුකම් ලැබූහ.

 

 

ජනාධිපති වියදම සියයට 60 කින් අඩු කළා

අවුරුද්දකට වැඩි කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දි මුල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණය පිළිබද සිය වගකීම් නිසි ලෙස ඉටු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. මේ වන විට ජනාධිපති කාර්යාලයේ වියදම සියයට 60 කින් අඩු කිරීමට කටයුතු කර තිබෙන අතර විදේශ සංචාර සදහා තමා කිසිවිටෙකත් පෞද්ගලික ගුවන් යානා ගෙන නොගිය බවත් සාමාන්‍ය මගී ගුවන් යානයකින් ඉතා සීමිත පිරිසක් සමග ඒ සදහා සහභාගී වූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශකළේය.

ශී‍්‍ර ලංකන් ගුවන් සේවය විශාල අලාභයක් ලබා ඇත්තේ පසුගිය නායකයින් සිය හිතමිත‍්‍රාදීන් සමග විදේශ සංචාර සදහා වෙනම ගුවන් යානා රැගෙන ගොස් දින ගණන් එම රටවල ඒවා රදවාගෙන සිටි නිසා බවත් ජනතා මුදල් විනාශ කරන එවන් කි‍්‍රයා තම පාලන කාලය තුළ අවසන් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

 

කොල්කටාවේ ගුවන් පාලම කඩා වැටීම දෙවියන්ගේ වැඩක්ලු – මරණ 22යි

ඉන්දියාවේ, කොල්කටා හි වැඩ අවසන් වෙමින් පැවති ගුවන් පාලමක් කඩා වැටීමෙන් මියගිය පිරිස මේ වනවිට 22 දක්වා ඉහළ ගොස් ඇති අතර, එම ඉදිකිරීම් සමාගම පවසන්නේ මෙම අනතුර දෙවියන්ගේ ක්‍රියාවක් බවයි.

ඉන්දීය මාධ්‍ය පවසන ආකාරයට එම පාලමේ විශාල වානේ කඳන් හා කොන්ක්‍රීට් තට්ටුවලට යටවී තවත් විශාල පිරිසක් සිරවී සිටිති.

කිලෝමීටර් 2.2ක් දිගින් යුතුව ඉදිවෙමින් පැවති මෙම ගුවන් පාලමේ මීටර් 250ක පමණ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර, දහවල කාර්ය බහුල වේලාවක මෙම අනතුර සිදුවීම ජීවිත හානි වැඩි වීමට හේතු වී තිබේ.

එම ආසන්නයේ තිබූ සී.සී.ටී.වී. දර්ශනවලට අනුව මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථ, ලොරි රථ, මෝටර් රථ, ත්‍රීවීලර් මෙන්ම මගීන්ද මෙම දැවැන්ත වානේ කඳන් හා කොන්ක්‍රීට් තට්ටුවලට යටවී පොඩිවී ගිය බව කියැවෙයි.

"මේක වෙන දෙයක් නෙමෙයි. මේක දෙවියන්ගේ වැඩක්. වසර 27ක අපේ ඉතිහාසයේ අපි මෙවැනි පාලම් රැසක් ඉදිකර තිබෙනවා. නමුත්, මේ වගේ දෙයක් කොහෙත්ම සිදුවුණේ නෑ." යැයි පවසන්නේ හයිද්‍රාබාද් නගරය කේන්ද්‍ර කරගත් අයි.වී.ආර්.සී.එල්. ගුවන් පාලම් සමාගමේ ප්‍රකාශකයෙකි.

අද සවස වනවිට 80කට ආසන්න පිරිසක් මෙම සුන්බුන් අතරින් තුවාල සහිතව බේරාගෙන තිබුණි.