Monthly Archives: February 2016

ඇළ සමාජ පිහිටුවීමේ සංකල්පය කොළඹින්

කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ ප්‍රදේශයේ ඇළ මාර්ග පවිත්‍ර කිරීම සඳහා 'ඇළ සමාජ' පිහිටුවීමේ නව සංකල්පය හඳුන්වාදීමේ උත්සවය ඊයේ (29දා) කොටහේන රෙඩ්බානා ඇළ අසලදී පැවැත්විණි.

මෙම 'ඇළ සමාජ' පිහිටුවීමේ අරමුණ වූයේ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සහ පවිත්‍ර කිරීමේ කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමය. එමෙන්ම ඇළ පවිත්‍රව තබාගැනීමේ වගකීමද මෙමගින් ඔවුන් වෙත පැවරෙන බව මුදල් අමාත්‍යාංශය කියයි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, කොළඹ නාගරික මන්ත්‍රීවරුන් වන මහේන්ද්‍ර සිල්වා, අලුත්ගෙදර චමින්ද යන මහත්වරුද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවට උපරිම සහාය නවසීලන්තයෙන්

ශ්‍රී ලාංකිකයන්ගේ ගරු සත්කාරය අතිශය අගය කරන අතර, කලාපයේ කැපී පෙනෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇති බවත්, අදට වඩා හොඳ හෙට දවසක් වෙනුවෙන් ශ්‍රී  ලංකාවට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පවසා සිටියේය.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යෑමට පැය කිහිපයකට පෙර, එනම් පසුගිය 26දා කොළඹ හෝර්ටන් ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී පැවති රත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් හෙතෙම මෙසේ පවසා සිටියේය.

මෙම අවස්ථාව සඳහා සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාද එක්ව සිටි අතර, මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන්ද එක්ව සිටිම සුවිශේෂී වී තිබේ.

රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ,  

"ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත ඉතා සුළු කාලය තුළ වුවත් මෙවන් හමුවකට සහභාගී වීමට ලැබීම  සතුටට කරුණක් වෙනවා. මා ශ්‍රී ලංකාවේ සිටි කාල සිමාව ජීවිතයේ අමතක නොවත අත්දැකීමක් වෙනවා.

ශ්‍රී ලාංකිකයන්ගේ ගරු සත්කාරය අතිශය අගය කරනවා. ශ්‍රී ලංකාව කලාපයේ කැපී පෙනෙන රටක් ලෙස ඉදිරියට පැමිණ ඇති බව පැහැදැලියි. ඒ අනුව, අදට වඩා හොඳ හෙට දවසක් වෙනුවෙන් ශ්‍රී  ලංකාවට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙනවා." යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටියේ නවසීලන්ත රජය ශ්‍රී ලංකාව  කෙරෙහි දක්වා ඇති ප්‍රමුඛතාව ඉතා ප්‍රශංසනීය බවය. එමෙන්ම, එය ශ්‍රී ලංකාවට ගෞරවයක් වනවා සේම, ශ්‍රී ලංකාවේ  අනාගත සංවර්ධනය උදෙසා නවසීලන්ත රජය ලබාදෙන සහායද අමාත්‍යවරයා  මෙහිදී පැසසුමට ලක් කළේය.

සුරාබදු පරීක්ෂකවරු 46කට නව පත්වීම්

සුරාබදු දෙපාර්තමේන්තුවට බඳවා ගත් සුරාබදු පරීක්ෂකවරුන් 46 දෙනකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය පසුගිය 24 වැනිදා, මුදල් අමාත්‍යාංශ රන්දොර ශ්‍රවණාගාරයේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව තරුණ තරුණියන්ට රාජ්‍ය සේවයට ඇතුළු විය හැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා, පැවැති පාලන සමයේ රාජ්‍ය සේවය සඳහා පත්වීම් ලබාදුන් ආකාරය කිසිවකුට අනුමත කළ නොහැකි බවද කියා සිටියේය.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී. ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

යුරෝපයට බලෙන් ඇතුළු වීමට ගිය සංක්‍රමණිකයන්ට කඳුළු ගෑස්

ග්‍රීසිය හා මැසඩෝනියාව අතර දේශසීමා බිඳීමට උත්සාහ කළ අනවසර සංක්‍රමණිකයන් පිරිසකට මැසඩෝනියානු පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

යකඩ පොලු යොදා ගනිමින් මෙම දේශසීමාවේ වූ යකඩ වැට කඩා ඉවත් කිරීමට සංක්‍රමණිකයන් ක්‍රියාකිරීමත් සමග මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, සංක්‍රමණිකයන්ද පොලීසිය වෙත ගල්මුල්වලින් පහර දෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම ගැටුම් අවස්ථාවේදී කිසිදු සංක්‍රමණිකයෙකු දේශසීමා තරණයේ කළේ දැයි පැහැදිලි නොමැති බවද කියැවෙයි.

මෙසේ යුරෝපය වෙත ඇතුළු වීමට උත්සාහ දරණ බොහෝ සංක්‍රමණිකයන් සිරියාවේ හා ඉරාකයේ සිට පැමිණි අනවසර සංක්‍රමණිකයන් බව පැවසෙයි.

ග්‍රීසිය වෙත දහස් ගණනින් සංක්‍රමණිකයන් පැමිණ සිටියත් මේ වනවිට බෝල්කන් රාජ්‍යයන් සිය දේශසීමා හදිසියේ වසා දැමීම තුළ එරට තුළ විශාල පිරිසක් සිරවී සිටිති.

ඉරාකයේ මොසූල් වේල්ල පුපුරා යාමේ අවදානමක

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ප්‍රධාන වේල්ලක් ලෙස සැලකෙන මොසූල් වේල්ල පුපුරායාමේ අවදානමක් හටගෙන ඇති බවට එරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවයි.

2014 වසරේදී මෙම වේල්ලේ බලය අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් අතට පත්වීමත් සමග මෙම වේල්ලෙහි නඩත්තු කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිටිණි. ‍

මේ තත්ත්වය තුළ අබලන් තත්ත්වයට පත්ව ඇති වේල්ල පුපුරා ගියහොත් එය ටයිග්‍රීස් ගංගාව ආශ්‍රිතව ජීවත් වන මිලියන 1.5ක පමණ ප්‍රබල ගංවතුර තත්ත්වයක් ඇති කරනු ඇති බවද කියැවෙයි.

බලධාරීන් පෙන්වා දෙන්නේ මොසූල් හා ටික්රිට් ජනතාව මෙම අනතුරින් බේරීමට නම් අඩුම තරමින් ගංගාව ආසන්නයේ සිට කිලේමීටර් 6ක් වත් ඔබ්බට ගමන් කළ යුතු බවය.

පොලිස් නිලධාරිනිය ප්‍රථම දින රාජකාරියේදීම අවසන් ගමනේ

ඇමෙරිකානු පොලිස් නිළධාරිනියක් තම සේවයේ දිවුරුම් දුන් දිනට පසුදින, එනම් සේවයට වාර්තා කළ ප්‍රථම දිනයේදීම වෙඩි වැදී ඝාතනයට ලක්ව තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසක ආරවුලක් විසඳීමට ගිය අවස්ථාවේදී එම හමුදා නිලධාරියා සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර පසුව, පොලිස් නිලධාරිනියන් දෙසටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් මියගිය 28 හැවිරිදි ගුයින්ඩොන් නමැති පොලිස් නිලධාරිනිය හිටපු හමුදා සාමාජිකාවකද වන අතර, ඇය පසුව සිය හමුදා ජීවිතයෙන් සමුගෙන පොලිස් සේවයට ඇතුළු වී දිනක් තුළ මෙම අවාසනාවන්ත ඉරණමට පත්ව තිබේ.

ගැමුණු අල්ලස් කොමිසමට යයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වර්තමාන පාලකයන් සහ කැබිනට් මණ්ඩලයේ සමහර අමාත්‍යවරුන් අධිවේගී මාර්ගයට මාර්ග බලපත්‍ර ලබාදීමේදී ජාවාරම් ක්‍රියාවල නිරතවන නිසා ඒ පිළිබඳව සොයා බලන ලෙසට අද (29දා) අල්ලස් කොමිසමට පැමිණිලි කළ බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව පසුගිය ආණ්ඩු සමයේදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සහ මාතර බස් සමාගමේ හිටපු සභාපතිවරයෙකු හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකුගෙන් පසුගිය කාලයේදී මාර්ග බලපත්‍ර ජාවාරම්වල නිරත වී තිබෙන නිසා ඒ පිළිබඳවද සොයාබලන ලෙසට එම පැමිණිල්ලට ඇතුළත් කළ බවද එම සංගමයේ සභාපති ගැමුනු විජේරත්න මහතා සඳහන් කළේය.

 

අයවැයේ පොහොර සහනය හෙට සිට ක්‍රියාත්මකයි

වී ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා මුදල් ලබාදීමේ කටයුතු හෙට (01දා) සිට ආරම්භ කරන බවත්, වී ගොවීන් සතු ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකට අදාළ මුදල් බැර කෙරෙන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ අද (29දා) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නව තීරණය අනුව හෙක්ටයාර් 1කට රු.25,000/- බැගින් හෙක්ටයාර් 2ක් දක්වා වී වගා කරන සියලුම ගොවීන්ට මෙම යල කන්නයේ සිට පොහොර විවෘත වෙළෙඳ පොළෙන් මිලදී ගැනීම සඳහා මුදල් ලබාදෙනු ලැබේ. යුරියා, ටී.එස්.පී සහ එම්.ඕ.පී කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටියක් රු.2,500/- ක උපරිම මිලකට අලෙවි කෙරේ. ගොවීන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සියලු පොහොර මලුවල මිල සඳහන් කිරීමටද තීරණය කර ඇත.

මීට පෙර රජය ලබාදුන් පොහොර සඳහා හිස් පොහොර මල්ලක් වෙනුවෙන් රු.150/- ක මුදලක්ද ගෙවීමට සිදු විය. එහෙත් මෙම නව ක්‍රමවේදය යටතේ ගොවීන් ගෙන් ඇසුරුම් කරනලද මලු වෙනුවෙන් අතිරේක මුදලක් අය නොකෙරේ. එබැවින් එම මුදලද ගොවීන්ට සම්පූර්ණයෙන්ම ඉතිරි වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ රවි කරුණානායක මහතා සඳහන් කළේ රාජ්‍ය අංශයෙන් සහ පෞද්ගලික අංශයෙන් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා සිටින සියලුම ගොවීන්ට පොහොර ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන මහත්වරුද එක් ව සිටියහ.

SLFP සංවිධායකවරුන් පත්කිරීම අතීසාරයට අමුඩ ගැසීමක්

“අපි හැමවෙලාවෙම හඬක් නැගුවෙ ඉදිරි මැතිවරණයකදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයජයග්‍රහණය කරවන්නෙ කොහොමද කියලා. ජනතාව මහින්ද රාජපක්ෂ මහත්තයව ඉල්ලන නිසා අපි කිවුවෙ මහින්ද මහත්තයවත් මේ වැඩේට හවුල් කරගන්න කියල‍. ඒක කිව්වම සංවිධායකකම් දරපු අපිව අයින් කරලා මහමැතිවරණයෙන් පරාද වෙච්ච අය සංවිධායකවරුන් හැටියට පත් කිරිම ‘අතීසාරයට අමුඩෙ ගහනව වගේ’වැඩක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙයියන්ගේම පිහිටයි”යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා  ‘අද’ ට පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව කීය. 

නව පත්කිරීම් සමග දිලුම් අමුණුගම මහතාට තමන් මෙතෙක් දැරූ ආසන සංවිධායක ධුරය අහිමිවී තිබේ.

“මේ අවස්ථාවෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න හඬක් නගපු නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිව සංවිධායකකම්වලින්අයින් කරලා, එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල්වෙලා කැරලි ගහන කන්ඩායමක් දැන් නිලතලවලට පත් කරගෙන යනවා. මේ විදිහට ජනතාව ප්‍රතික්ෂේප කරපු අය නිලතලවලට දාල ඉදිරි මැතිවරණයකට ගියාම ඒ මැතිවරණයකදි එක්සත් ජාතික පක්ෂය දිනවීමේ වැඩපිළිවෙළක පෙරනිමිත්තක් හැටියට නව ආසන සංවිධායකවරුන් පත් කරල තියෙන්නෙ. මේ විදිහට ගියාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි මැතිවරණයකදි ජයග්‍රහණය කරන්න බැරි වෙනවා” යනුවෙන්ද ඔහු තවදුරටත් කියා සිටියේය.