Monthly Archives: January 2016

අතුරුදන් වූ ITN සේවකයා පැවිදි වෙලා

දැනට මාස එකොළහක කාලයක සිට අතුරුදන්ව සිටි මාතලේ, හුන්නස්ගිරිය පිහිටි ස්වාධීන රූපවාහිනී සම්ප්‍රේෂණාගාරයේ විදුලි කාර්මික සමන්ත ජාගොඩ මහතා පුල්මුණ්ඩේ, අරියමලේ ආරණ්‍ය සේනාසනයේ පැවිදි වී සිටියදී ඊයේ (30දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

2015.02.23 වැනි දින හුන්නස්ගිරිය ස්වාධීන රූපවාහිනී සම්ප්‍රේෂණාගාරයේ රාත්‍රී සේවයේ යෙදී සිටියදී මෙම පුද්ගලයා අතුරුදන්වී සිටින බව ඔහුගේ බිරිඳ වන ජාගොඩ ඒකනායක මහත්මිය මාතලේ පොලීසියට පැමිණිලි කර තිබුණි.

මාතලේ සෝමරත්න

 

Ease of Doing Business 3 වැනිදා

Ease of Doing Business වැඩසටහන් මාලාවේ 06 වැනි අදියර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 03 දා පස්වරු 2.00 සිට කොළඹ මිලෝදා ආයතනයේදී (පැරැණි ටයිම්ස් ගොඩනැගිල්ල) පැවැත්වේ.

ව්‍යාපාරික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද මෙම වැඩසටහනට සම්බන්ධ වන බැවින් ව්‍යාපාරිකයින්ගේ ගැටලු සඳහා එම අවස්ථාවේ දී ම විසඳුම් ලබාදීම මෙහිදී සිදුකෙරෙන බැවින්, ඊට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍යාංශය ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර සිටී.

PIMA ඔලිම්පික්ස් සඳහා අයදුම්පත් කැඳවේ

පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය හෙවත් PIMA විසින් සංවිධානය කරනු ලබන 'PIMA ඔලිම්පික්ස් – ජාතික කළමනාකරණ සම්මාන 2016' සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇතැයි එහි සංවිධායකයෝ පවසති. පසුගියදා එම ආයතනයේ 'විද්‍යා' ශාලාවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි. ඒ අනුව කළමනාකරණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ දක්ෂතා සහ විශිෂ්ඨත්වයන් ජාතික මට්ටමෙන් ඇගයීමට ලක්කිරීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මේ සම්මාන ප්‍රදානය සඳහා ලංකා වාණිජ මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩය සහ යුරෝපා වාණිජ මණ්ඩලයද එක්ව සිටියි.

පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයට අනුව, මෙම සම්මාන උළෙල සඳහා අයදුම්කරුවන් ශ්‍රී ලංකා වෘත්තික ව්‍යාපාරික සංසදයේ සාමාජිකයෙකු වීම අනිවාර්ය වෙයි. එහිදී අදාළ අයදුම්පත් PIMA ලේකම් කාර්යාලය නො 28, ලෙස්ලි රණගල මාවත, කොළඹ 08 ලිපිනයට එවිය යුතුය. එසේම වැඩිවිස්තර www.pima.lk  වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

විශාලතම ධාන්‍ය ගබඩා සංකීර්ණය ජනතා අයිතියට

අති නවීන තාක්ෂණය සහිතව, මොණරාගල බුත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කාර්මික ජනපදයේ  ඉදිකළ ශ්‍රී ලංකාවේ විශාලතම ධාන්‍ය ගබඩා සංකීර්ණය අද (31දා) ජනතා අයිතියට පත් කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම මත මෙරට ගොවි ජනතාවගේ ආර්ථික සුක්ෂිතතාව ශක්තිමත් කිරීම උදෙසා රු.මිලියන 260ක වියදමෙන් ගබඩා සංකීර්ණය ඉදිකෙරෙයි.

ගොවි අස්වනු කිසිදු හානියකින් තොරව ගබඩා කර තැබීම සඳහා සියලු තාක්ෂණික පහසුකම්වලින් මෙම ගබඩා සංකීර්ණය සමන්විතය.

ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ව්‍යාපෘතිය යටතේ ඉදි වූ මෙම ගබඩා සංකීර්ණයේ සුවිශේෂීත්වය වන්නේ එක් වරකට ධාන්‍ය මෙට්‍රික් ටොන් 20,000ක් සම්මත ක්‍රමවේදය තුළ ගබඩා කිරීමට ඇති හැකියාවයි.

එසේම විවිධ ධාන්‍ය වර්ගවල අනන්‍යතාව ආරක්ෂා වන පරිදි ඒවා ගබඩා කිරීමට පහසුකම් සලසා ඇත.


ඉන්දියාව හමුවේ ඔස්ට්‍රේලියාව දරුණුම පරාජය ලබයි

විස්සයි20 තරග බිමේ ඉන්දියාව හමුවේ ඔස්ට්‍රේලියාව ලැබූ දරුණුම පරාජය අත්විඳීමට අද (31දා) සිදුවිය.

ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අවසන් කරමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවති තෙවැනි හා අවසන් විස්සයි20 තරගෙයන් කඩුලු 07 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර, ඒ අනුව තරග 3 – 0 ක් ලෙස විස්සයි20 තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය.

ඉන්දීය කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී විස්සයි20 තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර දෙවතාවක් ඔස්ට්‍රේලියාවේ තරග සංචාරක නිරතවී ඇති ඉන්දියාව එක් තරගයක් (එක් තරගයක් පමණි) පරාජය වී ඇති අතර, එක් තරගාවලියක් (1-1) ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියක් පැවති පළමු අවස්ථාව මෙය වේ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 197 ක් රැස්කිරීමට සමත්විය. ශතක ඉනිමක් ගොඩනැගූ ශේන් වොට්සන් පන්දු 71කදී නොදැවී ලකුණු 124 ක් රැස්කළ අතර, එය විස්සයි20 තරග බිමේ පිතිකරුවෙකු ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව විය. ඔස්ට්‍රේලියාවේම ආරොන් ෆින්ච් (156/එංගලන්තයට එරෙහිව) මෙහි පෙරමුණේ පසුවෙයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

අවසන් පන්දුවාරයේදී ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 17 ක් අවශ්‍යව තිබුණි. එහි පළමු පන්දු තුනට මුහුණදුන් යුවරාජ් සිං 6,4,1 ලෙස ලකුණු 11 ක් දායක කළ අතර, ඉතිරි පන්දු තුනට මුහුණදුන් සුරේෂ් රෙයිනා 2,2,4 ලෙස ලබාගනිමින් ලකුණු 200 ක් රැස්කරජයග්‍රහණය සම්පූර්ණ කරගත්හ.

ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් රෝහිත් ශර්මා (52) හා අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි විරාට් කෝලි (50) හා ජයග්‍රහණය පහසු කළ අතර, සුරේෂ් රෙයිනා (නොදැවී 49) හා යුවරාජ් සිං (නොදැවී 15) ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

තරගයේ වීරයා ලෙස ශේන් වොට්සන් සම්මාන දිනාගත් අතර, තරගාවලිය පුරා නොකඩවා අර්ධ ශතක තුනක් (නොදැවී 90, නොදැවී 59, 50) ලබාගනිමින් ලකුණු 199 ක් රැස්කළ විරාට් කෝලි තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

 

 

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

මාලඹේට එරෙහිව පෙත්සමක්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයඑරෙහිව වෛද්‍යවරුන් 15,000 කගේ අත්සන් සහිත විරෝධතා පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අද (31දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ, විරෝධතා පෙත්සමට අත්සන් ලබාගැනීම අද (01දා) සිට දින 14 ක කාලයක් පුරා සිදුකරන බවයි.

 

 

 

වීදුරු පෘෂ්ඨයක් සහිත ලොව දිගම හා උසම පාලම

වීදුරු පෘෂ්ඨයක් සහිත ලොව දිගම සහ උසම පාලම මතින් ගමන් කිරීමේ දිනය වැඩි ඈතක නොවන බව එම පාලම ඉදිවන චීනයේ, හුනාන් පළාතෙන් වාර්තා වෙයි.

එම පාලම මතින් ඇවිද යනවිට පහළ ප්‍රපාතයේ වූ සැන්ග්ජියෑජි ජාතික වනෝද්‍යානයේ සොඳුරු දසුන් පහසුවෙන් විඳගැනීමටත්, ඒ මතින් ගමන් කිරීම අතිශය ත්‍රාසය කැටි වූ අත්දැකීමක් කරගැනීමටත් එහි පෘෂ්ඨයට වීදුරු මතුපිටක් යොදාගැනීමේ අරමුණ වී තිබේ.

ඒ අනුව, මෙම අතිශය විශ්මයජනක පාලමේ පෘෂ්ඨයට ප්‍රථම වීදුරු පතුර එළීම එහි ඉංජිනේරුවන් විසින් සිදුකර තිබුණි.

මීටර් 430ක් දිග, මීටර් 6ක් පළල මෙම පාලම මත සිට මීටර් 300ක ප්‍රපාතයක් පවතින අතර, මෙම සුවිශේෂී පාලම සිසාරා සොඳුරු භූ දර්ශනයක් පවතී.

2015 වසරේ සාදා නිම කිරීමට සැලසුම් කර තිබුණද, මෙහි ඉදිකිරීම් ඉදිරියේදී අවසන් කර එය එළැඹෙන මැයි මාසයේදී විවෘත කිරීමට චීනය සැලසුම් කර තිබේ.






සත්වවේදියෙකුට අලි දඩයක්කරුවන්ගෙන් වෙඩි

ටැන්සානියාවේ අලි ඇතුන් දඩයම්කරුවන්ගේ කුරිරු වෙඩි පහරකට ලක්ව බ්‍රිතාන්‍ය ජාතික හෙලිකොප්ටර් නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ටැන්සානියාවේ වනසත්ව ආරක්ෂණ අධිකාරිය සමග එක්ව කටයුතු කළ රොජර් ගවර් නමැති මොහු අලි ඇතුන් දඩයම්කරුවන් පිරිසක් සොයා සිය හෙලිකොප්ටරයෙන් ගමන් කරද්දී, එම ක්‍රෑර මිනිසුන්ගේ වෙඩි පහරට ලක්ව තිබුණි.

කෙසේ වෙතත්, මාරාන්තික තුවාල ලබා තිබියදීත් සිය යානය වනෝද්‍යානය වෙත විශාල හානියකින් තොරව ගොඩබස්වා ගැනීමට ඔහු සමත්ව තිබුණත්, ඒ වනවිට එම ස්ථානය වෙත පැමිණීම දුෂ්කර වීම නිසා මාරාන්තික තුවාල සමග ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අලි ඇතුන් දඩයම්කරුවන් ලුහුබඳින වනජීවී නිලධාරීන් වෙත ඔවුන් ගැවසෙන ස්ථාන පිළිබඳ ගුවනේ සිට තොරුතුරු ලබාදෙන මොහු, ඒ.කේ.47 අවියකින් සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

ඩමස්කස් නුවර ප්‍රහාර මාලාවක් – 45ක් නසී

සිරියාවේ අගනගරය වන ඩමස්කස් නගරයට ආසන්නයෙන් අද (31දා) සිදුවූ පිපිරීම් මාලාවක් හේතුවෙන් පුද්ගලයන් 45ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

බස් රථ නැවතුම් පොළකට කඩා වැදුණු බෝම්බ අටවාගත් මෝටර් රථයක් සමග තවත් මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් ලෙස මෙම ප්‍රහාර මාලාව දියත් වී තිබේ.

එහිදී, ප්‍රථම ප්‍රහාරයෙන් පසුව එම ස්ථානයට උදව්වට පැමිණි ජනතාව මෙන්ම, සෞඛ්‍ය සේවකයන් මෙම දෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරවල ඉලක්කය වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, මෙය ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරයක් ලෙස විශ්වාස කෙරෙයි.

දේශපාලනික පළිගැනීම දිගටම කරනවා

වැළිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය සොයොයුරාගේ සුවදුක් බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (31දා) එහි ගියේය.දේශපාලනික වශයෙන් පළිගැනීම තවදුරටත් ක්‍රියාත්මක බව එහිසී ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,  බොහෝ දෙනෙක්ට ලොකු වුවමනාවක් තිබුණා මේ කණ්ඩායමක් අත්අඩංගුවට අරන් හරි කමක් නෑ විපක්ෂය මර්දනය කරන්න. යහපානය ප්‍රජාතන්ත්‍රවාදය කියලා ලෝකෙට මවා පාලා අද ඇවිල්ලා අහිංසක කට්ටිය අත්අඩංගුවට අරගෙන බෙරු චෝදානා නගලා දේශපාලනික වශයෙන් පළිගැනීම තවමත් දිගටම ක්‍රියාත්මක වෙනවා.

ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට රජයේ නිලධාරියා දක්වා සියලුම දෙනාගෙන්ම මේ පළිගැනීම සිද්ධවෙනවා.අපෙන් පළිගැන්න අවධානය යොමුකරලා කාලය වැය කරලා සතුටුවෙනවා වගේම රටේ ජනතාවට සහනයක් දීලා රට සංවර්ධනය කරලා සතුවෙන්න් කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. යනුවෙනි.