Monthly Archives: December 2015

බස්නාහිර අයවැය සම්මතයි

බස්නාහිර පළාත් සභාවේ 2016 වසර සඳහා ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශනය ඒකච්ඡන්දයෙන් අද (31දා) සම්මත විය.

පසුගියදා පැවැති ඡන්ද විමසීමේදී සෞඛ්‍ය විෂයයට අදාළ වැය ශීර්ෂය පරාජයට පත්ව තිබීම නිසා අද දිනයේදී විශේෂ සභාවාරයක් කැඳවා සියලු විෂයන් වලට අදාළව අයවැය සම්මත කර ගැනීමට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කටයුතු කළේය.

අද දිනයේදී සභාවට පැමිණි එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂ බව ප්‍රකාශ කළහ.

ජනතා විමුක්ති පෙරමුරණේ මන්ත්‍රීවරුන් හයදෙනා සහ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් තිදෙනා පළාත් සභා රැස්වීමට නොපැමිණියහ.

මතිවානන් – අසංග ක්‍රිකට් නිලවරණයට එති

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීම තහනම් කළ අපෙක්ෂකයන් පස් දෙනෙකුට තිබූ එම බාධා ඉවත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31දා) කටයුතු කළේය. ඒ අනුව තිලංග සුමතිපාල පාර්ශ්වයේ කේ. මතිවානන් හා නිශාන්ත රණතුංග පාර්ශ්වයේ අසංග සෙනෙවිරත්න, නිහාල් ලෙව්කේ, සුජීව ලොකුහේවා හා ඊෂ්මන් නාරාංගොඩට මෙවර නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව ලැබුණි.  කේ. මතිවානන් හා  අසංග සෙනෙවිරත්න ක්‍රිකට් උපසභාපති තනතුර සඳහා තරග කරනු ලබති.

කුසල්ගේ ගැටලුව මුල්‍ය අපරාධ ඒකකයට යයි

තහනම් උත්තේජක චෝදනාවට ලක්ව ඇති කුසල් ජනිත් පෙරේරාව කිසියම් පුද්ගලයෙකු තරග පාවාදීම් සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වී තිබෙන බවත්, එම පුද්ගලයා පිළිබඳව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

 'අද' පුවත්පතට ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කුසල්ගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝටක ඇතුළත්ව තිබුණේ ඉතාමත් කුඩා ප්‍රමාණයක් බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "කුසල්ගේ කාරණය ගත්තාම ඔහු ප්‍රකාශ කරන්නේ තහනම් උත්තේජකයක් අරගෙන නෑ කියලා. ඔහුගේ මුත්‍රා සාම්පලවල තිබුණේ ඉතාමත් කුඩා ප්‍රමාණයක් (තහනම් උත්තේජක සංඝටක) අපි මේ ගැන පරීක්ෂණයක් කරනවා. ඔහුගේ සිද්ධිය වටා තරග පාවාදීමේ වැඩසටහනක් යටතේ යම් පුද්ගලයෙක් ක්‍රියාකාරීව සම්බන්ධ වෙලා තිබෙනවා.

මම බලන්නේ මේක මුල්‍ය අපරාධ කොට්ඨාසයට වාර්තා කරන්න. එහිදී අදාළ පුද්ගලයාව ප්‍රශ්න කරලා මොකක්ද ගන්න ඕන ක්‍රියාමාර්ගය කියලා තීරණය කරන්න. තරග පාවාදීම් සඳහා ඔහුව යොදාගැනීමට බැරිවීම තුළ ඔහුව නෙරපීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණාද කියා දන්නේ නෑ. මේක වටේ විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟ ලෝක කුසලානයේ කුසල් වැදගත් සාධකයක්" යැයි පැවැසීය.

එසේම නවසීලන්තය හා පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ  තමා සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට අවශ්‍ය කණ්ඩායම ලබාදීමට පියවර ගත් බවත් ඒ කණ්ඩායම සමගින් ක්‍රීඩා කිරීම ඔවුන්ගේ වගකීම බවත්යි. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨයන්ගේ අසාර්ථකවීම හා මහේල හා සංගා කණ්ඩායමෙන් ඉවත්වීමද කණ්ඩායමට විශාල පීඩනයක් වී ඇති බවයි.

"දැනට ජෙරෝම් ජයරත්න (ශ්‍රී ලංකා ක්‍රිකට් තාවකාලික පුහුණුකරු) මහතාගේ අඩුවක් දකින්නේ නෑ. ඔහු ඉතාම හොඳින් කණ්ඩායම හසුරනවා. අඩු පාඩු ගණනාවක් කණ්ඩායමේ තිබෙනවා. මම ඇන්ජලෝ මැතිව්ස්ට ඕන කරන කණ්ඩායම තෝරා දුන්නා මිසක මම කිසිම වෙලාවක මට වුවමනා කණ්ඩායම නෙමෙයි තේරුවේ. ඒ කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කිරීම ඒ අයගේ වැඩක්. පන්දුවාර දෙකකට විකට් දෙක තුනක් යද්දී තමන් දැනගන්න ඕන මොකක්ද ඊළඟට වෙන්න යන්නේ කියලා. ඒක නිසා ඔළුව පාත් කරගෙන පන්දුවාර කිහිපයක් සිටීමේ වැදගත්කම මෙහිදී පෙනෙනවා.

මම හිතන්නේ මහේල සංගා ඉවත්වීමත් එක්ක විශාල පීඩනයක් සියලුම දෙනාට ලැබුණා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අසාර්ථක වීම තුළ මේක දරා ගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. මම පුහුණුකරුටත් කතා කළා. එතුමා කිව්වේ එළියට ආවම හොඳට වැඩකරනවා. නමුත් පිටිය ඇතුළේ යම් යම් ප්‍රශ්න තියෙනවා කියලයි. ඒක නිසා ඒ ගැනත් අපි සලකා බලන්න වෙනවා"  යැයි වැඩිදුරටත් පැවැසීය. 

ඡායාරූපය – ශමීර රාජපක්ෂ

 

රතුපස්වල ගැටළුවලට විසදුම් දෙන්න සති දෙකක්

රතුපස්වල ගැටළුවලට දෙසතියක් ඇතුළත විසඳුමක් නොලැබුණහොත් වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගොස් නැවතත් උද්ඝෝෂණ ආරම්භ කරන බව රතුපස්වල ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා අවධාරණය කළේය. ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගම් ශාලාවේ ඊයේ  (30) පැවැති මාධ්‍ය හමුවකදී මේබව පැවසීය.

ගම්වාසීන් අරඹන උද්ඝෝෂණයට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සහයද ලබා දෙන බව මෙම මාධ්‍ය හමුවය සහභාගී වු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සහ රාවය මාධ්‍යවේදීන් තරිඳු උඩුවරගෙදර යන මහත්වරුද එහිදී පැවසූහ. 

එහි දී අදහස් දැක්වූ ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා -

‘‘රතුපස්වල වෙඩි තියලා දැන් අවුරුදු දෙක හමාරක්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා විදියට තෙරිපැහැ සිරිධම්ම හාමුදුරුවන්ගේ පංසලට ඇවිත් 2014 දෙසැම්බර් 25 වැනි දා පොරොන්දු වුණා ජනාධිපති වෙලා තුන් මාසයක් ඇතුළත ප්‍රශ්න විසඳන බව. ඒ ප්‍රකාශය කරලත් පසුගිය 25 වැනි දාට අවුරුද්දක් වුණා. අද වෙන කම් කිසිම දෙයක් කරලා නෑ.

මේ මාධ්‍ය සාකච්ඡාවේදි විශේෂ කාරණා කීපයක් කියන්න ඕන. පළමු කාරණය තමයි ගම්පහ හිටපු දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහත්මයා, ගම්පහ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොනිකා මානප්පෙරුම, වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලි, ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ, මහර ආසන සංවිධායක ලසන්ත අලගියවන්න ආදී පිරිස් වතුර ප්‍රශ්නය පටන් ගනිද්දිම අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා නම් මෙච්චර ප්‍රශ්නය දුර දිග යන්නේ නෑ.

රතුපස්වල උද්ඝෝෂණ මාලාව පටන් ගත්තේ 2013 ජූලි 27. මේ ප්‍රශ්නය ගැන අපි ජූලි 16 වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට සහ ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැන්වුවා. වැලිවේරිය ස්ථානාධිපතිට තිබුණා මේක ගැන සොයා බලා කම්හලට නඩු දාන්න. නමුත් කළේ නෑ. ගමේ ප්‍රශ්න සොයා බලනවා වෙනුවට ඔහු මිනිස්සුත් එක්ක රන්ඩුවට ආවේ. මේ පොලිස් නිලධාරියාට ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට අද කතරගම පොලිස් ස්ථානාධිපති කරලා දාලා.

ඒවගේම ගම්පහ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රකාශ මාධ්‍යවල ගියා. මිනිස්සු උද්ඝෝෂණය කළාට එයාට පැමිණිලි කළේ නෑ කිව්වා. මිනිස්සු පැමිණිලි නොකළත් ප්‍රශ්නයක් ගැන දැනගන්න ලැබුණා නම් ඔහුගේ වගකීමක් නෙමෙයිද් හොයා බලන එක? දින කිහිපයකට පසු ඔහු සමග තිබ්බ සාකච්ඡාවකදි වාර්තා කැදවන්න තීරණය කළා. අද වෙනකම් ඔහු ඒ වාර්තා එළියට දැම්මේ නෑ.  එදා එහෙම කළ දිස්ත්‍රික් ලේකම්   අද අමාත්‍යංශ ලේකම්වරයෙක්. අද ඔහු රටට හෙළි කළ යුතුයි ඇයි වාර්තා එළියට දැම්මේ නැත්තේ කියලා. කවුරුත් බලපෑම් කළාද කියා සොයා බැලිය යුතුයි.

2013 අගෝස්තු පළමු වැනි දා තමයි වෙඩි තිබ්බේ. එදින උදේ   බ්‍රිගේඩියර් දේශප්‍රිය කිව්වා බලන් ඉඳපල්ලා හවස තොපිට වතුර දෙනවා කියලා. ඉන් පස්සේ හවස ඇවිදින් වෙඩි තිබ්බා.

අපි මේ ආණ්ඩුවට අවුරුද්දක් කල් දුන්නා. තවත් සති දෙකක් කල් දෙනවා. තව සති දෙකක් ඇතුළත අපට සාධාරණයක් නොවුනොත් යුද හමුදාවෙන් වෙඩි තියලා මිනිස්සු මැරුණු වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගිහින් පැල් බැඳගන්නවා. අපි පාරට බැස්සට පස්සේ සාකච්ඡා කරන්න එන්න එපා. ආයෙත් වෙඩි තියලා මරලා දාලාම තමයි මිනිස්සුන්ව අයින් කරන්න වෙන්නේ.‘‘

නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා -

‘ජලය කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක්. සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට සෑම පුද්ගලයකුටම අයිතියක් තිබෙනවා. ඒ සදහා පිරිසිදු ජලය අවශ්‍යයි. එය ලෝකයම පිළිගෙන තිබෙනවා. රතුපස්වල සහ වැලිවේරිය ජනතාව පාරට බැස්සේ පිරිසිදු පානීය ජලය ඉල්ලා. එම උද්ඝෝෂණ ආණ්ඩුවෙන් වෙඩි තබා මර්දනය කරන්න උත්සාහ කළා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැලිවේරිය ප්‍රශ්නය ගැන විමර්ශනයක් සිදු කර මීට වසර එකහමාරකට පෙර වාර්තා දෙකක් නිකුත් කළා. එක් වාර්තාවක් ජල ප්‍රශ්නය ගැනයි. අනිත් වාර්තාව වැලිවේරිය වෙඩි තැබීම ගැනයි.

එම වාර්තාවේ සාධනීය නිර්දේශ තිබෙනවා. වෙඩි තැබූ හමුදා නිලධාරීන්ට අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස සහ අණ දුන් නිලධාරීන්ට යුද හමුදා නීතිය යටතේ කටයුතු කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. නමුත් අද වන තුරු එම නිර්දේශ ක්‍රියාත්මක කර නෑ.‘‘

 

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් -

‘‘තමන් ජනාධිපති වී තුන් මාසයක් ඇතුළත රතුපස්වල ජල ගැටළුවට විසඳුම් ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී 2014 දෙසැම්බර 25 වැනි දා රතුපස්වල තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ පංසලට ගොස් ප්‍රතිඥාවක් දුන්නා. එම ප්‍රතිඥාව දී වසරක් ගත වෙනවා. නමුත් අද වන තුරු පොරොන්දු ඉටු කර නෑ. රතුපස්වල වෙඩි තැබූවන් නිදැල්ලේ සිටිය දී උද්ඝෝෂණය කළ ගම්වාසීන්ට නඩු පටලවා තිබෙනවා. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා යුද හමුදාව වෙඩි තබා තිදෙනකු ඝාතනය කර විශාල පිරිසකට තුවාල සිදු කළ බව. මානව හිමිකම් නිර්දේශවත් තවම ක්‍රියාත්මක කර නෑ.‘‘

 

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් -

ප්‍රශ්නගත කම්හල පවත්වාගෙන යෑමට කොන්දේසි සහිත සහතිකයන් නිකුත් කර ඇත්තේ 1994 මාර්තු 03 වැනි දා. එම කම්හල සම්බන්ධයෙන් 1997 මධ්‍යම පරිසර අධිකාරිය විමර්ශනයක් කර වාර්තාවක් නිකුත් කලා. කම්හලෙන් පිට කරන අප ජලය සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රතිකාර පද්ධතියක් සම්පූර්ණ කරන තෙක් කම්හල ආරම්භ නොකළ යුතු බවට වූ කොන්දේසිය කඩ කරමින් කම්හල ආරම්භ කර ඇති බව එම වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා. කම්හලේ ක්‍රියාකාරිත්වය නිසා හට ගන්නා අප ජලය බාහිර පරිසරයට මුදා හැර ඇති බවත් එහි දැක්වෙනවා. එලෙස කොන්දේසි කඩ කර ඇත්නම් කම්හලට එරෙහිව කටයුතු කළ යුතුයි. එය පාරිසරික පනත උල්ලංඝණය කිරීමක්. අපරාධ නීතිය යටතේ නඩු දැමිය හැකියි. මිනිස්සු පාරට බැස උද්ඝෝෂණ කරන්නේ 2013 වසරේ. වසර 16ක් තිස්සේ වාර්තාව තබාගෙන හිටියට නඩු පවරා නෑ.

තවමත් රතුපස්වල ජනතාව බොන්නේ විෂ මුසු ජලයයි. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එසේ නොවුනොත් ගම්වාසීන් සමග අපිත් පාරට බහිනවා.‘‘

 

සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ සභාපති ප්‍රසන්න පෙරේරා -

‘‘රතුපස්වල සහ අවට ගම්මාට 28කට තිබුණු ජල ප්‍රශ්නයට තවම විසඳුම් ලැබී නැහැ. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ජල සම්පාදන ඇමැතිවරයාව සිටිය දී වෝටර් බෝඩ් එකයි ගම්වාසීයි එක්ක කතා වෙලා එකඟතාවයකට ආවා රුපියල් 17500 ජල සම්බන්ධතාවය මේ ප්‍රශ්නගත ගම්මාන 28ට රුපියල් 3000 ගානේ දෙනවා කියලා. ඒ සඳහා සිතියමක් හැදුවා. නමුත් එය අතරමග නැවතුනා. ගම්මාන 10කට පමණ අර්ධ වශයෙන් දුන්නා. ඉතිරි ගම්මානවලට දීලා නෑ.

ඒ වගේම වෙඩි වැදුණු පිරිසට තවම වන්දි ලබා දීලා නෑ. වෙඩි වැදීම නිසා තවමත් ඔවුන් අතුරු විපාක විඳිනවා. ගමේ උද්ඝෝෂණ කළ පිරිසට පොලිසිය බොරු නඩු පටලවලා.

මේ සිද්ධි ගැන   මීට සති දෙකකට පෙර ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා සමග සාකච්ඡාවක් තිබ්බා. අපි ඔහුට කිව්වා දෙසැම්බර 25ට පෙර අපට විසඳුම් අවශ්‍ය බව. ඔහු කිව්වා ඊට සාධාරණ කාලයක් අවශ්‍යයි නමුත් එදින වෙන්න පෙර වැඩ කරන්න පටන් ගන්නවා කියා. නිලධාරීන් සමග සාකච්ඡාවක් දෙන්නම් කිව්වා. අද වෙනකම් කිසිම දෙයක් කරලා නෑ.

මේ කම්හල ඉවත් කරගෙන ගියා කියලා ප්‍රශ්න ඉවරයි කියලා බොහෝ දෙනෙක් හිතනවා.    කම්හළෙන් පරිසරයට මුදා හැර ඇති අපද්‍රව්‍ය තවම ඉවත් කර නෑ. මේ තැන් තවම එහෙමමයි.   කම්හල ඉවත් කරගෙන ගියා කියලා නිලධාරීන්ට අත පිහදාගන්න බැහැ. මේවට මොකද කළේ කියා නිලධාරීන් හෙළි කළ යුතුයි.‘‘

 

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු උඩුවරගෙදර –

‘‘යුද හමුදාව වැලිවේරියේ වෙඩි තිබ්බේ 2013 අගෝස්තු පළමු වැනි දා වුවත්   ජූලි 29 වෙනිදා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන රතුපස්වලට ගියා. අපි ගාව ඡායාරූප හා වීඩියෝ සාක්ෂි තිබෙනවා.   වෙඩි තැබීම සිදු වුණ අගෝස්තු පළමු වැනි දා දවල් ආරක්ෂක ආමාත්‍යංශයෙන් එවූ වාහනයක ගමේ කිහිප දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ සමග රැස්වීමකට ගියා.  හවස 3ත් 4ත් ඇතුළත තමයි නුවර පාරේ ඔරුතොට හංදියට මුලින්ම යුද හමුදාවෙන් ගැහුවේ. චානුක කුලසේකර ඡායාරූප ශිල්පියා තුවාල ලැබුවේ ඒ වෙලාවේ. ඔහුගේ කැමරා කුඩු කළා. ඉන් පසු බැලුම්මහර හංදියට ඇවිත් ගැහුවා.

මේ අවස්ථාවේ මාධ්‍යවේදීන් එවකට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියට කතා කරලා මේ ගැන කිව්වා. ඔහු කිව්වේ ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්චා තියෙද්දි පාර හරස් කරගෙද උද්ඝෝෂණය කරන එක වැරදි නිසා පාර හරස් කළ අය ඉවත් කළ බව. මාධ්‍යවේදීන්ට හිතා මතා ගැහුවේ නෑ කිව්වා. ඒ කියන්නේ ඔහු දැනගෙන හිටියා යුද හුමුදාව පැමිණි බව හා මිනිස්සුන්ට ගැහුව බව. මාධ්‍යවේදීන් වරින් වර ඔහුට කතා කර ඉල්ලා සිටියා ගහන එක නවත්වන්න කියලා. ඔහු ඒ අවස්ථාවේ මැදිහත් වුණා නම් ඊට පැයකට පමණ පසු වැලිවේරිය වෙඩි තැබීම වලක්වා ගන්න තිබුණා.

ගෝඨාභය රාජපක්ෂ සමග තිබුණු සාකච්ඡාව අවසන් වුණේ පස්වරු 6.30ට පමණ. ඒ වන විට වැලිවේරියටත් ගහනවා.  කම්හල වැහුවා කියන පණිවිඩය මිනිස්සුන්ට දෙන්න ආවා කියන කතාව බොරු. බ්‍රිගේඩියර් වැලිවේරියට ආව ගමන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ලෙස සිටි එක් කේ උපාලි සමග කතා කරනවා. යුද හමුදාව එන බව වැලිවේරිය ඕඅයිසී කලින් දැනගෙන හිටියේ නැතිනම් ඇයි යුද හමුදාව මැදිහත්වීමට විරුද්ධ නොවුණේ? ඔහු අත්දෙක බැදගෙන බලාගෙන හිටියා විතරයි. ඔහු තමන්ගේ ප්‍රධානියා වෙච්ච ගම්පහ ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී ලෙස සිටි කොමසාරු මහත්මයට කතා කරලා ඒ බව දැනුම් දුන්නද? වෙඩි තියද්දි ඔහු බලාගෙන හටියා. ඉන් පසු කකුල තුවාල වූ බව කියා රෝහල් ගත වුණා. ඔහු අද කතරගම පොලිස් ස්ථානාධිපති.

රුවන් වනිගසූරිය මාධ්‍යවලට කිව්වා පොලිසියේ ඉල්ලීම උඩ උද්ඝෝෂණය පාලනය කරන්න යුද හමුදාව ආ බව හා පොලිසිය සමග එක්ව අවම බලය යොදා උද්ඝෝෂණ පාලනය කළ බව. අවම බලය කියන්නේ වෙඩි තියලා මරණ එකද? රුවන් වනිගසූරිය සහ යුද හමුදාපති ප්‍රකාශයක් කළ යුතුයි පොලිසියේ කාගේ ඉල්ලීම උඩද ආවේ කියලා.

ශ්‍රී ලංකා මානව හිමිකම් වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා වැලිවේරියට යුද හමුදාව කැඳවීම ගැන ලැබුණු ප්‍රකාශ පරස්පර බව. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ව සිටි අනුර සේනානායක මානව හිමිකම් කොමිසමට වාර්තාවක් මගින් දැනුම් දී තිබෙන්නේ ගම්පහ කොට්ඨාස භාර පොලිස් අදිකාරීව සිටි විජිත ඩී කොමසාරු මහතා තමයි හමුදාව යැව්වේ කියලා. එහෙම කියපු අනුර සේනානායක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ අතට දින රහිත ලිපියක් දෙනවා යුද හමුදාව කැඳෙව්වේ පොලිස්පති එන් කේ ඉලංගකෝන් කියා කියන්න කියලා. .පොලිස් අධිකාරී කොමසාරු මහතා ඒ ලියුම උසාවියට ඉදිරිපත් කළා ඔබට මතක ඇති. අනුර සේනානායකට කොහෙන්ද එවැනි ලිවුමක්? එය ඔහු හදපු ලිවුමක්ද ඇත්ත ලිවුමක්ද කියන එක ප්‍රශ්නයක්. විජිත කොමසාරු මහතා මානව හිමිකම් කොමිසමට කිව්වේ යුද හමුදාව කැඳෙව්වේ කවුද කියලා දන්නේ නැහැ කියලයි. ඒ වගේම ලුතිනන් කර්නල් සෝලංගආරච්චි මානව හිමිකම් කොමිසමට කිව්වේ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති දුරකතනෙයන් කළ ඉල්ලීම අනුව පොලිසියේ ආරක්ෂාවට වැලිවේරියට ගිය බව.  බ්‍රිගේඩියර් දේශප්‍රිය කියන්නේ ආරක්ෂක ලේකම් සමග තිබුණු සාකච්ඡාවේ තීරණ දැනුම් දෙන්න ගිය බවයි. සාකච්ඡා ඉවර නැතිව කොහොමද තීරණ දැනුම් දෙන්න යන්නේ? සාකච්ඡාවෙන් පස්සේ මොකද කරන්නේ කියලා කළින් සැලසුම් කරලද තිබුණේ?  මානව හිමිකම් කොමිසම හිටපු ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණේ නෑ. වැලිවේරියට යුද හමුදාව ගෙන්නුවේ කවුද කියන එක තවම අබිරහසක්.  ‘‘

 

කොළොන්නාව කණු කන්ද ගැන සොයන්න කමිටුවක්

කොළොන්නාව කුණු කන්ද සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව පිළිබඳව සොයාබැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් හතර දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට අපද්‍රව්‍ය පැහැර කිරීමේ හා කළමනාකරණ කිරීමේ කමිටුව ඊයේ (30දා) තීරණය කර තිබේ.

අරලියගහ මන්දරයේදී නීතිය සහ සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා කළමනාකරණය කිරීමේ කමිටුව රැස්වී ඇත. කමිටුවක් පත්කිරීමට අමතරව මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය විසඳීම සඳහා යෝජනා තුනක්ද එහිදී ඉදිරිපත් වී ඇත.

මේ අනුව කුණු කන්ද අවට පදිංචි ජනතාවට විකල්ප ස්ථාන ලබාදීමට සහ කුලී නිවාසවලට යන්නේ නම් ඒ සඳහා කුලී මුදල් ගෙවීම හා මීතොටමුල්ල ප්‍ර‘දේශයට එකතුවන කැළිකසළ පුත්තලම ප්‍ර‘දේශයේ ජන ශූන්‍ය ප්‍රදේශයකට ගෙන ගොස් දැමීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවට කඩුලු 08 ක ජයක්

සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ අද (31දා) පැවති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 08 ක් පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 276 ක් රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගගයේ 46.2 වැනි පන්දුවේදී ලකුණු 277 ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්හ.

මේ වනවිට පහකින් යුත් එක්දින තරගාවලියේ තරග 2 -1 ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් පසුවෙයි.

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

 


ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලනත් කණ්ඩායම අතර නෙල්සන්හි පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ ලකුණු 277ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 9ක් අවසානයේදී කිසිවෙකු නොදැවී ලකුණු 78 රැස්කරගෙන සිටියි.

ඩිල්ෂාන් හා සාර්ථක ආරම්භයක් ලබාදුන් දනුෂ්ක ගුණතිලක එක්දින දිවියේ සිය පළමු අර්ධ ශතකය වාර්තා කිරිමට සමත්වූයේ පන්දු 28කිනි.

දවුල්දෙන හිමිගේ ජන්ම දිනයට මෛත්‍රීයි මහින්දයි එක්වෙති

අමරපුර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර හිමියන්ගේ සිය වැනි ජන්ම දිනය සැමරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවැත්වෙන උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටිති.

වැඩසටහන සඳහා එක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථමයෙන්ම පැමිණි අතර පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.

ඔවුන් දෙදෙනාම ඉදිරිපෙළ අසුන් පෙළේ යාබඳ අසුන්වල හිඳගෙන සිටියහ.

 

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

 

එන්සීසී නොකඩවා දෙවැනි වරටත් ලීග් ශූරතාව දිනයි

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ලකුණු 73කින් පරාජය කර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (30දා) පැවති ඒ.අයි.ඒ. ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ (2015/16 තරග වාරය) ශූරතාව දිනාගැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
මෙම තරගාවලියේ ප්‍රවර්ථන ශූරයන්ද එන්.සී.සී. ක්‍රීඩා සමාජය වන අතර, 1998/99 තරග වාරයේ ප්‍රිමියර් තරගාවලිය ආරම්භ වීමෙන් පසු ඔවුන් දිනූ තෙවැනි ප්‍රිමියර් ශූරතාව මෙය වේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ෆර්වීස් මහරූෆ් නායකත්වය ලබාදෙන එන්.සී.සී. කණ්ඩායම තම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 255 ක් රැස් කිරීමට සමත් විය.කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉශාන් ජයරත්න නායකත්වය ලබාදෙන කෝල්ට්ස් කණ්ඩායමට පන්දුවාර 45ක් අවසානයේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි. 

'ඒ' හා 'බී' ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය ඉකුත් නොවැම්බර් මාසයේදී ආරම්භ වූ අතර, එහි 'ඒ' කාණ්ඩයෙන් එන්.සී.සී. හා කෝල්ට්ස් කණ්ඩායම් ක්‍රීඩා කළේය. මෙහි 'බී' කාණ්ඩයෙන් පෙරමුණ ගත් එස්.එස්.සී. හා බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අවසන් පූර්ව වටයේදී පරාජය විය.මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ධනුෂ්ක ගුණතිලක සමත්වූ අතර, එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමගින් ඔහු තරග පහකදී ලකුණු 270 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 106ක් රැස්කිරීම ඔහුගේ ඉහළම ඉනිම වන අතර, ශතකලාභීන් දෙදෙනෙකු (කෞෂාල් සිල්වා/106) පමණක් බිහි වූ තරගාවලියේ එම ඉනිම සම ඉහළම ඉනිම වේ. 

ඊට අමතරව සාර්ථකම පන්දු යවන්නා එන්.සී.සී. කණ්ඩායමේ ෆර්වීස්  මහරූෆ් වන අතර, ඔහු තරග පහකදී කඩුලු 16 ක් බිඳහෙළා ඇත. කඩුලු පහ බැගින් දෙවතාවකදී කඩුලු බිඳහෙළා ඇති මහරූෆ්ගේ ඉහළම පන්දු යැවීම 5/23 ක් වේ. එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ලක්‍ෂාන් ජයසිංහ මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27කට කඩුලු 07 ක් දවාළීම ඉනිමක එක් පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ හොඳම පන්දු යැවීම වේ.