Monthly Archives: December 2015

පොහොර මිල තීරණය කිරීම සමාගම් යටතට

වසර 10කට පසුව පොහොර සමාගම් වලට තමත් විසින් නියම කරණ මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමේ අවස්ථාව අද (31දා) මධ්‍යම රාත්‍රියේ පටන් හිමිව තිබේ.

 පොහොර සහනාධාරය යටතේ වී ගොවීන්ට රුපියල් 500කට පොහොර හොන්ඩරයක් හා තේ ගොවීන්ට රුපියල් 1300ට  පොහොර හොන්ඩරක් මිලදී ගැනීමට අවස්ථාව හිමිව තිබුණ අතර ඒ සඳහා අවශ්‍ය මුදල් රජය විසින් පොහොර සමාගම් සඳහා ගෙවන ලී.

එහෙත් අයවැයි මගින් පොහොර සහනාධාරය වෙනුවට මුදල් වව්චරයක් ලබාදීමට ගත් තීරණයක් සමග පොහොර සමාගම්වලට රජය විසන් ලබාදුන් මුදල් අද මධ්‍යම රත්‍රියේ පටන් නවතා දැමුනි.

මේ අනුව විවෘත වෙළදපොල තුළ පොහොර හොන්ඩරයක් අලෙවි මිල රුපියල් 3000 දක්වා වර්ධනය විය හැකි බවද වාර්තාවෙයි.

සහනාධාරය සඳහා ලබාදෙන මුදල් ගොවිජන බැංකු හරහා ලබාදීමට ගොවිජන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී තීරණය වී තිබේ.

 

2016 නව වසර උදාව ඇරඹෙයි

නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ පැසිෆික් රාජ්‍ය්‍යන් 2016 නව වසරේ උදාව මීට ස්වල්ප වේලාවකට පෙර සමරනු ලැබීය.

නවසීලන්තයේ ඔක්ලන්ඩ් ස්කයි කුලුණේ 2016.01.01 වැනිදා අලුයම 12.00 කනිසම සනිටුහන් කරන විට ගිනිකෙළි සංදර්ශනයකින් ඕක්ලන්ඩ් අහස වැසී ගියේය.

මෙම නව අවුරුදු උදාව වෙනුවෙන් 25,000ක පමණ පිරිසක් පැමිණ සිටි බව වාර්තා වෙයි. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ඔප්රා හවුස් සහ හාබර් බ්‍රිජ් ආශ්‍රිතවද සුවිශේෂී ගිනිකෙළි සංදර්ශනයක් සංවිධානය කර තිබුණි.

මෙහිදී නවසීලන්තයටත් පෙර සමෝවා සහ කිරිබර්ටි යන රාජ්‍යයන් නව වසර උදාව සැමරුමට එක්වූ අතර, ඔවුන් නවසීලන්තයට වඩා පැයකට පෙර නව වසර උදාව සමරනු ලැබුවේ ලොව ප්‍රථම වරට නව වසරේ උදාව සමරන රාජ්‍යයන් ලෙසිනි.

ඒ අනුව, ආසියාව මේ වනවිට නව වසරේ උදාව සැමරීමට සූදානමින් සිටින අතර, ඩුබායි රාජ්‍යයේ බර්ජ් කලීෆා හෙවත් ලොව උසම ගොඩනැගිල්ලේ නව වසර උදාව සැමරුම වෙනුවෙන් එල්.ඊ.ඩී විදුලි බුබුළු 400,000ක් සහ ටොන් 1.6ක ගිනිකෙළි යොදා ගැනීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙවර යුරෝපයේ නව වසර උදාව සැමරුම් සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇති බව විදෙස් වාර්තා පවසයි.

 

දේශපාලනයේ හැඩතලය වෙනස් කළා

2016 වසර සියල්ලන්ටම අවිවේකී වසරක් වනු ඇති බවත් මිලියන විසිදෙකක ජනතාවගේ අනාගතය උදෙසා ඇරඹූ වැඩපිළිවෙළ ඔස්සේ අනවරත ගමනක නිරතවීමට නියමිත බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් පවසයි.

එසේම පසුගිය ජනවාරි මාසයේ තමා අවුරැදු සුබපැතුම් පණිවුඩයෙන් අවධාරණය කළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, දූෂණය සහ භීෂණයේ නිමාව, සංහිදියාව සේම බිඳී ගිය ජාත්‍යන්තරයේ හොඳ හිත නැවත ඇතිකර ගැනීමට මෙම වසරේ හැකියාව ලැබුණ බවද ජනපතිවරයා සඳහන් කරයි.

බලය වැලඳ ගැනීම වෙනුවට බලය අත්හරිමින් ජනතාව බලගැන්වීමේ කාර්ය සාධනයද සමග ශ්‍රී ලාංකා දේශපාලනයේ  හැඩතලය වෙනස් කිරීමට හැකිවූ බවද ජනපතිවරයා පවසයි.  

"ජයග්‍රහණයෙන් සමස්ත අස්වැන්න නෙළිය හැකි වන්නේ අප එදා බැඳි විශ්වාසයෙන්, බැඳීමෙන් එක්ව, සාමූහිකත්වයෙන් ඉදිරි පියවර ගැනීම තුළිනි. නව වසරේ අපගේ පොදු අධිෂ්ඨානය විය යුත්තේ එකමුතු බව සහ එතුළින් ශක්තිමත් වන සාමූහිකත්වයේත්, සහජීවනයේත් සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමයි" යනුවෙන්ද එහි දැක්වෙයි.

 

ජල ගැලීම් නිසා වන සතුන් කොටුවෙලා

පොළොන්නරුව මහවැලි ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය මේ දිනවල ජලයෙන් යටවීමත් සමග එහි සිටින අලි ඇතුන් ඇතුළු අනෙකුත් සතුන් ජලයෙන් කොටුවී සිටින අයුරු දක්නට ලැබේ.

සෝමාවතිය සහ මාදුරුඔය ජාතික වනෝද්‍යානය පහත් බිම්රැසක්ද ජලයෙන් යටවී ඇති අතර, මේ හේතුවෙන් ඇතිවී ඇති ආහාර හිඟයත් සමග අලිඇතුන් ආහාර සොයා ගොඩබිම් කරා පැමිණෙන බව වනජීවී නිලධාරීහු පවසති.

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලිය ප්‍රදේශයේ වනඅලි රංචුවක් ජලයේ කොටුවී සිටින අයුරු මෙසේ අප කැමරාවට හසුවිය.

මනම්පිටිය – නිමල් ජයරත්න

සහෝදරයා නිසා සහෝදරිය දුම්රියට බිලි

කදාන හල්පේ මාවතේ දුම්රිය හරස් මාර්ගයේදි ඉන්ධන රැගෙන යන දුම්රියක් දුමිරිය හරස් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරනික් මෝටර් රියේ ගමන් ගත් කාන්තාවක් ජිවිතක්ෂයට පත්වූ බව පොලීසිය කියයි.

අනතුරු සිදුව අවස්ථාවේදී මෝටර් රථයේ හය දෙනෙක් ගමන් කර තිබෙන අතර අනතුරින් මියගොස් ඇත්තේ රියදුරුගේ නැගණියයි. රියදුරුගේ බිරිඳ, ඔවුන් දරුවන් දෙදෙනෙකු හා මිය ගිය කාන්තාවගේ දරුවෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබේ.

 

2015 ප්‍රථම මාස 9 සඳහා සියයට 5 ඉක්මවූ ආර්ථික වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2014 වසරේ ප්‍රථම මාස 9 සඳහා වාර්තා කළ 2.4% ක වර්ධනය සමග සැසඳීමේදී 2015 වසරේ ප්‍රථම මාස 9 තුළ 5.2% ක වර්ධනයක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31දා) ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

ජනවාරි 31දා රටටම විදුලිය

අඩු ආදායම්ලාභී ජනතාවට සහන පදනම මත තෙමසක් ඇතුළත විදුලිය ලබාදීමේ  "රටම එළියයි අදුර දුරලයි" ජාතික විදුලි සත්කාරක සේවය මගින් ජනවාරි මස 31 වනදා වනවිට රටම විදුලියෙන් ස්වයංපෝෂිත කරන බවත් ඒ වෙනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත විදුලිබල අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව කටයුතු සංවිධානය කරන බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

නිවාස ලක්ෂ දෙකකට පමණ විදුලි අවශ්‍යතාවය ඇති නමුත් ආර්ථික දුෂ්කරතා මත විදුලිය ලබාගැනීමට නොහැකි වූ  සියලුම පවුල් සදහා 2016 වර්ෂයේ ජනවාරි 31 වනදා වන විට විදුලිය ලබාදීම අවසන් වන හෙයින් රට විදුලියෙන් ස්වයංපෝෂිත වෙන බවත් අමාත්‍යාංශය කියයි. පළමු පියවර වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ජනවාරි 12 දා 100% ක් විදුලිය සැපයෙන බවත් අමාත්‍යාංශය කියයි.

 

වසර අවසානයේත් පොලිස් මාරු

සේවා අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකුට හා පොලිස් පරීක්ෂකවරුන් 8 දෙනෙකුට මෙසේ ස්ථානමාරු වීම් ලබාදී ඇත.