Monthly Archives: November 2015

Ease of Doing Business 5 වැනි අදියර 01 වැනිදා

Ease of Doing Business වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 01 වැනිදා ප.ව. 5.00 ට කොළඹ, මිලෝදා ආයතනයේදී (පැරණි ටයිම්ස් ගොඩනැගිල්ල) පැවැත්වීමට නියමිතය.

දේශීය ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර කටයුතුවලදී පැනනගින ගැටලු සඳහා විසඳුම් ලබාදීම Ease of Doing Business වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙරට ව්‍යාපාරිකය්නට සිය ව්‍යාපාරවල නිරතවීමේදී ඇති වන ගැටලු විසඳහා ගැනීම සඳහා රාජ්‍ය අංශය සමග සජීව වේදිකාවක් සකස් කිරීම මෙහි තවත් අරමුණක් බව කියැවෙයි.

ව්‍යාපාරික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද මෙම වැඩසටහනට සම්බන්ධ වන බැවින් ව්‍යාපාරිකයන්ගේ ගැටලු සඳහා එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීම මෙහිදී සිදුකෙරෙන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම වැඩසටහන සමග සම්බන්ධ වන ලෙස මුදල් අමාත්‍යාංශය ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර සිටියි.

අයවැය අපනයන හිතකාමී එකක් – අමාත්‍ය සුජීව

2016 වසර සඳහා වූ රජයේ අයවැය, අපනයන හිතකාමී අයවැයක් බවත්, සාම්ප්‍රදායික හෝ පැරණි ක්‍රමවේද හරහා රටක් දියුණු කළ නොහැකි අතර, රට දියුණු කිරීමට නම් අපනයනකරුවන්ට හිතකර ලෙස නීතිරීති සංශෝධනය විය යුතු බවත්, සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 7 වැනි අපනයනකරුවන්ගේ සංසදයේ සමාරම්භක දේශනය පවත්වමිනි. අපනයන ක්ෂේත්‍රයට අදාල අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මෙන්ම වාණිජ මණ්ඩල, අපනයනකරුවන් ඇතුළු සියලු අංශ නියෝජිතයින් එකම මේසයක සිට අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබාදීම මෙම සංසදයේදී සිදුකෙරේ. මෙම සංසද හමුව පසුගිය 27 වැනිදා කොළඹ 02, නවම් මාවතේ පිහිටි එම මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "2016 වසර සඳහා වූ රජයේ අයවැය, අපනයන හිතකාමී හොඳ අයවැයක්. දැනට අපගේ සමස්ත වාර්ෂික අපනයනය ඇ.ඩො.බිලියන 11 ක් පමණ වෙනවා. 2020 වන විට අප එය ඇ.ඩො.බිලියන 35 ක ඉලක්කයක් සැපිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙත් අප තව තවත් උනන්දු වන්නේ නම් එය ඇ.ඩො.බිලියන 50 ක ඉලක්කයට වුවත් ළඟාවිය හැකියි.

සාම්ප්‍රදායික හෝ පැරණි ක්‍රමවේද හරහා රටක් දියුණු කළ නොහැකියි. රටක් දියුණු කිරීමට නම් අපනයනකරුවන්ට හිතකර ලෙස නීති රීති සංශෝදනය වීම සහ ව්‍යාපාරික පරිසරය සැකසීම සිදුවිය යුතුයි. නව දිශානතීන් සොයා යා යුතුයි. දේශීය නිෂ්පාදන සන්නාමකරණය, නව තාක්ෂණය ආදේශ කිරීම, ඉහළ අන්දමින් අගය වැඩිකළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම වැනි දේ අප නිර්දේශ කරන්නේ ඒ නිසයි." යනුවෙන් පවසා සිටියේය.
 

ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය වැලිගමයි

ලංකාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය ලෙස මාතර වැලිගම නගරය හඳුනාගෙන තිබෙන බව මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

කොළඹ නගරය ලංකාවේ ප්‍රධාන නගරය වුවත්, මේ වනවිට කොළඹ නගරයට සාපේක්ෂව හෝමාගම හා කඩුවෙල නගරද දියුණු වෙමින් තිබෙන බවත්, මේ නිසා එම නගර ආශ්‍රිතව ජනතාව එක්රැස් වෙමින් සිටින බවත් ඔහු පවසා සිටියේය.

ශීඝ්‍රයෙන් දියුණු වන නගර ක්‍රමවත්ව හා විධිමත්ව සකස් කර ගැනීම සඳහා ලබන වසර තුළදී සියලුම පළාත්වලට බලපාන සංවර්ධන පනතක් ගෙන එන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

COP21 තීරණාත්මක සමුළුවක් – ඔබාමා

අනාගතයේදී ගෝලීය උෂ්ණත්වය පාලනය වෙනුවෙන් වූ ගෝලීය උත්සාහයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස පැරිස් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව (COP21) හැඳින්විය හැකි බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසයි.

රටවල් 195ක් සමග සාකච්ඡා කරමින් ගෝලීය කාබන් විමෝචන අවම කිරීම හා ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් අඩු කිරීම මෙවර සමුළුවේ ඉලක්කය වී තිබේ.

COP21 සමුළුව ඇමතීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 147ක රාජ්‍ය නායකයන් පැරිස් නුවරට පැමිණ සිටියහ.

එහිදී, මෙවර සමුළුවේදී අතිශය තීරණාත්මක හා වැදගත් තීරණ ගතයුතු බවත්, ඊළඟ පරපුර මේ දෙස බලා සිටින බවත් මෙහිදී ඔබාමා අවධාරණය කර තිබේ.

කිතුණුවන් හා මුස්ලිම්වරුන් සහෝදර සහෝදරියන් – පාප් වහන්සේ

ක්‍රිස්තියානි හා මුස්ලිම් ජනතාව සහෝදර සහෝදරියන් බව මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත සංචාරයක නිරත පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටිති.

මධ්‍යම අප්‍රිකනු ජනරජයේ මුස්ලිම් හා ක්‍රිස්තියනි ගැටුම් හේතුවෙන් අවතැන් වූවන් අමතමින් පාප් වහන්සේ මෙසේ පවසා ඇත.

පාප් වහන්සේගේ අප්‍රිකානු සංචාරයේ අතිශය අවදානම් සහගතම සංචාරය ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මුස්ලිම් දේවස්ථානයක් වෙත සිදුකරන සංචාරය සැලකිණි.

එතුමන්ගේ අප්‍රිකානු සංචාරයේ අවසන් දේව මෙහෙය බැන්ගුයි හිදී පැවැත්වීමට නියමිතය.

ඉරාකයේ රමාදි වෙත ඉදිරි පැය 24 තුළ ප්‍රහාරයක්

ඉරාකයේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් රැඳී සිටින රමාදි නගරයෙන් ඉවත් වන ලෙස ඉරාක හමුදාව එහි වෙසෙන සාමාන්‍ය ජනතාවට නිවේදනය කර තිබේ.

මෙම නගරය යළි අත්පත් කරගැනීමේ මෙහෙයුම් ඇරඹීමට පෙර ඉරාක හමුදාව මෙම නිවේදනය කර තිබේ.

ඒ අනුව, මෙම නිවේදනය දැක්වෙන පත්‍රිකා ගුවන් මගින් රමාදි වෙත දමා ඇති බව හමුදාවේ ප්‍රකාශකයෙක් කීය.

ඉදිරි පැය 24ක කාලය තුළ නගරය වෙත ඇතුළු වීමට ඉරාක හමුදාව සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම. මෙම නිවේදනය රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදයක් ලෙසද ජනතාවට ලබාදී තිබේ.

රමාදි නගරය පසුගිය මැයි මාසයේදී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් අල්ලාගනු ලැබීය.

 

පෞද්ගලික බස් රථයක් පෙරළෙයි

මහනුවර සිට වටපුලුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් වටපුලුව මහ වංගුවේදි අද (30දා) පස්වරු 7.00 ට පමණ නිවසක් මතට පෙරළීමෙන් එහි සිටි මගින් 22 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව මහනුවර පොලීසිය පවසයි. තුවාල ලැබූවන් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බස් රථය පෙරළුනු නිවසේ කිසිවෙකුටත් හානියක් වී නැත. 

සී. රූපසිංහ

රවිගේ විශ්වාසභංගයට මහින්ද අත්සන් නොකළ හේතුව

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව බාරදුන් විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකළේ උපක්‍රමික හේතුවක් මත යැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා අද (30දා) පැවසීය.

පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග සහ තවත් මන්ත්‍රීවරයෙක් මෙයට අත්සන් නොකළේ විදේශ ගත වී සිටින නිසයි. රෝගී තත්ත්වයෙන් සිටි නිසා ජනක බණ්ඩාර තෙන්නකෝන්, විදුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන් අත්සන් කළේ නෑ. ඒ වගේම උපක්‍රමික හේතුන් මත මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනත් අපි මේ සඳහා එකතු කරගත්තේ නෑ.

නමුත් චමල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් අත්සන් කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහජන ඡන්දයෙන් තේරුණු මන්ත්‍රීවරුන් 85 දෙනාගෙන් 44 දෙනක් දැනට විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තියෙනවා.” යැයි පවසා සිටියේය.

 

සුවාරේස් මෙසී නේමාර් කණ්ඩායමෙන් අනෙක් කණ්ඩායම්වලට අභියෝගයක්

පාපන්දු ලොව වත්මන්  ගෝල මැෂින් ලෙස සැලකෙන ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමේ ලයනල් මෙසී,‍ ලුවිස් සුවාරේස් හා නේමාර්ගේ තවත් විශ්මිත දස්කමක් පසුගියදා විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණ. ඒ මෙම වර්ෂයේදී  (2015) ඔවුන් තිදෙනා එක්ව වාර්තා කර ඇති සමස්ත ගෝල සංඛ්‍යාව අබිබවා යාමට බාසිලෝනාව හැර අනෙක් කිසිදු කණ්ඩායමක් මේ දක්වා සමත් නොවීමයි.

එහිදී බාසිලෝනාව සමස්ත ගෝල 160 ක් රැස් කරමින්  මේ වසරේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කළ කණ්ඩායම බවට පත් වෙද්දී ඉන් 125ක්ම මෙම ප්‍රහාරක ක්‍රීඩකයන් ත්‍රිත්වයෙහි නම ඉදිරියෙන් සනිටුහන් වී තිබීම විශේෂත්වයකි. එය මෙහි දෙවැනි ස්ථානය හිමි කරගත් ජර්මනියේ බයර්න් මියුනිච් කණ්ඩායමේ ගෝල සංඛ්‍යාව (125) සම කිරීමකි. ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් (ගෝල 124) මෙහි තෙවැනි ස්ථානයේ පසු වේ.

කෙසේ වෙතත් බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් කණ්ඩායම මෙම වසරේ රැස් කර ඇත්තේ ගෝල 112 ක් පමණි. ඔවුන් මෙම සටහනේ පස්වැනි ස්ථානයේ පසු වේ.  එංගලන්ත ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කරන කණ්ඩායම් අතරින් මෙම සටහනේ පෙරමුණ මැන්චෙස්ටර් සිටි (ගෝල 92) හිමි කරගෙන ඇත.

කෙසේ වෙතත් බාසිලෝනාවේ ඉහත ක්‍රීඩකයන් අතරින් තනි ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ගෝල සංඛ්‍යාව වන 44 රැස් කරගෙන ඇත්තේ ආර්ජන්ටිනා සුපිරි තරුව වන ලයනල් මෙසීය. හෙතෙම ආබාධයක් හේතුවෙන් මාස දෙකකට අධික කාලයක්  පිටියෙන් ඉවත්ව  සිටියද මෙම වාර්තාවට හිමිකම් කීම විශේෂත්වයකි. මෙසීට පසු නේමාර් (41) ක් හා සුවාරේස් (40) ඉතිරි ගෝල රැස් කරගෙන ඇත.

මුහුද රළුයි ධීවර කටයුතු පරිස්සමෙන්

දිවයින ආසන්නයේ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා මන්නාම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට යන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර අගයක් ගත හැකි බැවින් අවධානයෙන් ධීවර කටයුතුවල නිරත වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

අද (30දා) සවස 6.00 සිට ඉදිරි පැය 18 ක කාලය දක්වා මෙම තත්ත්වය පවතින අතර, සුළං වේගය ඉහළ යාමට අමතරව මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවත්, එවිට එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.