Monthly Archives: October 2015

224ක් සමග රසියානු යානයක් කඩා වැටේ

පුද්ගලයන් 224ක් සමග රුසියානු කේ.ජී.එල්.9268 දරණ යානය ඊජිප්තුවේදී අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඊජිප්තුවේ සිනායි ප්‍රදේශයට කඩා වැටී ඇති යානයේ ගමන් කළ සියලු දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

එයාර්බස් ඒ 321 වර්ගයේ යානය ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

කයිරෝ වේලාවෙන් අලුයම 5.51 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ගුවන්ගත වී විනාඩි 23කින් පමණ යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වූ බව ඊජිප්තු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසයි.

මෙම අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී අඩි 31,000ක් ඉහළ අහසේ යානය ගමන් කරමින් තිබී ඇත.

 

කොරියානු රැකියා අවස්ථා වැඩිවේ

මෙරටට ලබාදෙන රැකියා සංඛ්‍යාව වැඩි කිරීමට කොරියාව එකඟ වූ බව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගියදා කොරියානු තානාපති වොන් සෑම් වෑන්ග් මහතා සමඟ අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සහ පළාත් පාලන බල ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට ආධාර ලබාදීමට කොරියානු තානාපතිවරයා එකඟ වී තිබේ. කොරියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පැවැති ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කැර ගැනීමටද මෙහිදී ඇමැතිවරයා සහ තානාපතිවරයා අතර සාකච්ඡා පැවැත්විණි

 

අද ලෝක නගර දිනයයි

ලෝක නගර දිනය අදට (ඔක්. 31) යෙදී තිබේ. සමස්ත සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා පදනමක් ලෙස නාගරික වශයෙන් සිදු කෙරෙන මූලික සේවාවන් හි වැදගත්කම හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2013 දෙසැම්බර් 27වෙනි දින දී සෑම වසරකම ඔක්තෝබර් 31 වෙනිදා ලෝක නගර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 2014 වසරේ සිට ලෝක නගර දින සැමරුම ආරම්භ කෙරිණි.

2015 වසරේ ලෝක නගර දින තේමාව වන්නේ ‘යහපත් නගරයක්, යහපත් ජීවිතයක් එකට ජීවත් වීම නිර්මාණය කරයි‘ යන්නයි. මෙම තේමාව මඟින් නගරවල සහ අසල්වැසි නගරවල වාසයට යෝග්‍යතාව ඉස්මතු කරමින්, එකමුතුභාවය සහ සමගිය ප්‍රවර්ධනය කිරීම පෙන්නුම් කරයි. 

සැලසුම් සහගත නාගරීකරණය නගර ධාරිතාව නොසලකා රැකියා හා ධනය උත්පාදනය කිරීමටත් එකිනෙකට වෙනස් පන්ති, සංස්කෘතීන්, ජාතීන් හා ආගම් අතර විවිධත්වය හා සමාජ ඒකාබද්ධතාව පෝෂණය කිරීමට උපරිමයෙන් දායකත්වයක් දක්වයි.

එකට ජීවත් වන පරිදි නගර නිර්මාණය කිරීමෙන් අවස්ථා නිර්මාණයටත් සහසම්බන්ධතාවය සහ අන්තර් හැකියාව පවත්වාගැනීමටත් හවුලේ භුක්ති විඳින සම්පත් තිරසාර භාවිතයටත් පහසු කරයි.

 

මාස හතරක් තුළ මීරියබැද්දට නිවාස

මීරියබැද්ද වැසියන්ගේ නිවාස ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි සතියේදී රැස්වන කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන්  මහතා පැවසීය. 

මීරියබැද්ද නායයැමෙන් පසු වැසියන්ගේ නිවාස බවට පත්ව ඇත්තේ දැනය ඔවුන් රැදී සිටින පූනාගල – මාකන්ද පැරණි තේ කර්මාන්ත ශාලාවයි. පවුල් 92කට අයත් පුද්ගලයින් 300කට ආසන්න ප්‍රමාණයක් ලෑලි වලින් වෙන්වූ කුඩා කාමරවල මෙහි  ජීවත්වේ.

කෙසේවෙතත් ඉදිරි මාස හතර ඇතුලත නිවාස ප්‍රශ්නයට විසදුම් ලබාදෙන බව අමාත්‍යවරයා පැවසුයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

පස්වරැවේ ගිගුරුම් සහිත වැසි

අද පස්වරැවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව දැනුම්දෙයි. අනෙකුත් බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක බව වැඩිදුරටත් දැනුම්දේ. 

එමෙන්ම කොළඹ, මන්නාරම සහ  කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන අතර අනෙකුත් මුහුදු ප්‍රදේශ වල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය ප්‍රකාශකරමින් දෙපාර්තමේන්තුව පවසයි

සුළං  දකුණු  දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී.30-40 ක් වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද  කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව දැනුම්දෙයි. .

 

යුද හමුදා කඳවුරේදී මුදල් අච්චු ගසයි

රැපියල් පන්දහසේ  ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමග යුධ හමුදා සෙබලු දෙදෙනෙක් ඇල්ල පොලිස් වසමේ මිල්ලගමදි අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි

මෙම මුදල් දියතලාව යුධ හමුදා කදවුර තුළදිම යුධ හමුදා සෙබලුන් දෙදෙනෙක් මුද්‍රණය කර ඇති බව අනාවරණය වි ඇති අතර ඒ සදහා යොදාගත්  මුද්‍රණ යන්ත්‍රයක්ද සෙයායාගත් බව පොලිසිය කියයි

ව්‍යජ මුදල් ප්‍ර‍දේශයේ සංසරණය වන බවට තොරතුරු ලැබී ඇති බැවින් විමසිලිමත්ව මුද්ල පරිහරණය කරන ලෙස පොලිසිය අවවාද කරයි

 

අම්පාරේ සිය දෙනෙකුට ඉඩම් ඔප්පු

'සැමට සෙවන ආදර්ශ නිවාස වැඩසටහන යටතේ' අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 100 දෙනෙකු සඳහා ඉඩම් ඔප්පු සහ නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) අම්පාරේ දී පැවැත්විණි. මෙම වැඩසටහන යටතේ, අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, උහන, දමන හා පදියතලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පදිංචි සිය දෙනෙකු වෙනුවෙන් මෙලෙස ඉඩම් ඔප්පු පිරිනමනු ලැබීය.  ඒ අනුව, එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් පුද්ගලයින් විසි පස් දෙනෙකු මෙම නිවාස ව්‍යාපෘතියට තෝරා ගෙන තිබිණි. ජාතික නිවාස අධිකාරිය විසින්, ඔවුන්ගේ නිවාස ඉදිකර ගැනීම සඳහා එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 250,000 බැගින් ආධාර මුදලක් ද ලබා දීමට කටයුතු කර ඇත.

ඉදිරියේදී පොහොර සාම්පල් පරීක්ෂාව වරායේදීම

මින් ඉදිරියට පොහොර ගබඩා වෙත රැගෙන යාමට පෙර වරායේදීම පොහොර සාම්පල් පරීක්ෂාව සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. මෙරටට ආනයනය කරන ලද පොහොර මෙටි‍්‍රක් ටොන් 30,000ක් නිසි ප්‍රමිතියකින් තොරව ඇසුරුම් කර ඇති බවට අනාවරණ වීමත් සමග  කොළඹ වරායේ නැංගුරම්ලා ඇති පොහොර නෞකාවන් දෙකක් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ පරීක්ෂාවට ලක්විය. එම පොහොර නිසි ප්‍රමිතියට නොතිබු බවඳ ඒසම්බන්ධයෙන් වන පාඩුව අදාල ආයතන වෙත බැරකරන බවද අමාත්‍යවරයා පැවසීය 

වෙනදා නැවෙන් ගොඩබාලා අදාල ආයතන වෙත ගෙනගියාට පසුවයි අපි සාම්පල පරීක්ෂා කරන්නේ . නමුත් මින් ඉදිරියට නැවේදීම පොහොර බැමේදීම අදාල සාම්පල පරීක්ෂාකීරීමට කටයුතු කරනවා යැයි අදහස් දක්වමින් අමාත්‍යවරයා කීය

තරුණ සංවර්ධනය වෙනුවෙන් ගිවිසුමක්

තරුණ සංවර්ධනය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව හා බ්‍රිතාන්‍යයේ එස්.එල්.වී. ඉන්ටර්නැෂනල් සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.

මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ මහතා සහ එස්.එල්.වී.ඉන්ටර්නැෂනල් ආයතනයේ ලුසී නයිටීන්ගේල් මහත්මිය අතර සිදුවිය.

ශ්‍රී ලාංකේය තරුණයන් සවිබලගැන්වීම හා ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කිරීම, පෞරුෂත්වය සහ නායකත්වය ගුණාංග වැඩිදියුණු කිරීම, විවිධ සංස්කෘතීන් හා ජාතීන් අතර අත්දැකීම් හුවමාරුව, ස්වේච්ඡා සේවය සඳහා පෙළඹවීම ඇති කිරීම, තරුණ හුවමාරු වැඩසටහන් පැවැත්වීම, ක්‍රීඩා පුහුණු වැඩසටහන් පැවැත්වීම මෙම ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රධාන අරමුණු අතර වේ.

සේවා ගිවිසුම් අද සිට පිටතින්

විගමනික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වූ සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකකය අද(31) සිට අහෝසි කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව මින් ඉදිරියට එම ගිවිසුම් අත්සන් කිරීම රැකියා නියෝජිතයින් සහ ශ්‍රමිකයන් අතර පමණක් සිදුකෙරෙනු ඇති.  මීට පෙර විගමනික ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකු ඉදිරියේද සේවා ගිවිසුම් අත්සන් කරීම සිදුවිය. නමුත් ශ්‍රමිකයන්ට සිදුවන අපහසුතා සලකා බලා එය අහෝසි කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.