Monthly Archives: September 2015

පොලුවලින් පහර කෑ කොස්තාපල් රෝහලේ

සේවය නිම කර නිවසට පැමිණි පසු රෝගීව සිටින මව බැලීමට මවගේ නිවසට යමින් සිටියදී ඇල්පිටිය ඉදිගස්වලදී පුද්ගලයෙක් කළ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ යක්කලමුල්ල පොලීසියේ කොස්තාපල්වරයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්පිටිය පොලීසිය පවසයි.

අනතුරට පත් කොස්තාපල්වරයා සේවය අවසන් කර සිය මව බැලීම සඳහා මවගේ නිවසට යන අතරතුරදී මෙම අනතුරට ලක්වූ බව පොලීසිය සඳහන් කරයි.

මෙම කොස්තාපල්වරයාගේ පියා සහ පහර දුන් පුද්ගලයා අතර පවතින ඉඩම් ආරවුලක් මත පහරදීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් ඇල්පිටිය පොලීසිය පවසයි.

ගාල්ල රවිදු දීයගහගේ/ජිනේෂ් නානායක්කාර

හිටපු කොටි 20 ක් නිදහස්

ආරක්ෂක අංශ හමුවේ පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 20 දෙනෙක් අද (30දා) දහවල් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී නිදහස් කොට ඔවුන්ගේ දෙමාපිය ඥාතීන් වෙත භාරදෙනු ලැබීය.

වව්නියාව හිටපු DIG යළි රිමාන්ඩ්

වව්නියාව කුඩාකච්චිකුඩියේ නිදන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. දිසානායක සහ එම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සුජීව ප්‍රයදර්ශන වීරසිංහ යන අය ලබන මස 06 දා දක්වා රිමාණ්ඩ් කරන ලෙස වව්නියාව මහේස්ත්‍රාත් වී. රාමකමලන් මහතා විසින් නියෝග කරනු ලැබීය. ඔවුහු අද (30දා) වව්නියාව අධිකරණයට ඉදිරිපත් කළේය.

සෙසු ව්‍යාපාරික සැකකරුවන් 7 දෙනා නිදන් හැරීමේ චෝදනාවට වරද පිළිගැනීම නිසාවෙන් ඔවුන්ට රුපියල් 1,75,000ක දඩ නියම කරනු ලැබීය.

 

සේයා ඝාතනයේ සැකකරුවන්ට පහරදීලා?

කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් අතවර කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයේ සිටින එක්දරු පියා හා 17 හැවිරිදි සිසුවා අද (30දා) බන්ධනාගාරය විසින් මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එන් රහුල් හක් මහතා  වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සැකකරුවන්ට පොලිස් අත්අඩංගුවේ සිටියදී පහරදීමකට ලක්වූ බවට සැකකරුවන්ගේ නීීතිඥයන් පසුගිය 28 වැනිදා අධිකරණයේදී සැලකිරීම නිසා මිනුවන්ගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඞී.ඒ.රුවන් පතිරණ මහතා සැකකරුවන්ව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස  නියෝග කර කළේය.

මේ අතර සේයා දැරියගේ ඝාතනට සම්බන්ධයෙන් ලබාගත් ඩී.එන්.ඒ. පිළිබද සීල්කළ වාර්තාවද අද (30 දා) පොලීසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම සිද්ධිය පිලිබද නඩුව ලබන 2 වැනිදා කැදවීමට නියමිත අතර එදින මෙම වාර්තාව විවෘත කිරීමට නියමිතය.  

මීරිගම කාන්ති

 

ජනපතිවරණය ඇරඹුමේදි සන්ධාන ගිණුමේ රු 10000

පසුගිය ජනාධිපතිවරණය පැවති අවස්ථාව වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධාන ගිණුම තුළ තිබුණේ රුපියල් දස දහසක මුදලක් පමණක් බව සන්ධානයේ හිටපු මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ස්වාධීන රූපවාහිනියෙන් රුපියල් මිලියන 104 ක දැන්වීම් ප්‍රචාර කර තිබීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි බරපතළ වංචා, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද (30දා) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

පෙරවරු 10.00 ට පමණ එම ස්ථානයට පැමිණි ඇමතිවරයාගෙන් දහවල් 12.00 පමණ වනතුරු ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ස්වාධීන රූපවාහිනියට ලබාදුන් දැන්වීම් සම්බන්ධව තමා කිසිවක් නොදන්නා බවද හෙතෙම පවසා සිටියේය.

දේශපාලනයේ ඉහළට ගිය හැමෝම එකට

මැතිවරණ දෙපාර්තමේන්තුවේ 60 වැනි සංවත්සර සැමරුව අද පෙරවරුවේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.  ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණ වලින් ජයගෙන දේශපාලනයේ ඉහළ පුටු දැරූ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ හමුවීම මෙහිදී සිදුවිය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාවට තිබූ අපහැදිලි අවබෝධය යම් දුරකට ඈත් කිරීම සඳහා ඔහු පසුගිය කාලයේදී විශාල වෙනසක් දැරීය.

අගමැති හා විපක්ෂනායක තනතුර දැරූ මෙන්ම වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ, අගමැති තනතුර, ජනපති තනතුර හා විපක්ෂ නායක තනතුර දැරූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු අගමැතිනියක මෙන්ම හිටපු ජනපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අගමැතිවරයෙකු වන දී.මූ. ජයරත්න, වත්මන් විපක්ෂනායක ආර්. සම්බන්ධන් යන අය මෙම ඡායාරූප වල සිටිති. 

ඡායාරූප ශමීර රාජපක්ෂ

දරුවන් පණ මෙන් සුරකිමු

දරුවන් රැක බලා ගැනීමේදී දෙමව්පියන්ට විශාල වගකීමක් පැවරෙන බවත්, දරුවන් කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටීම, ඔවුන් කටයුතු කරන ආකාරය, ඔවුන්ගේ හැසිරීම් රටා ගැන සෝදිසියෙන් සිටීම, දෙමව්පියන් විසින් පැහැර නොහැරිය යුතු කාර්යභාරයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (30දා) ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී පැවති දරුවන් පණ මෙන් සුරකිමු තේමාව යටතේ ජාතික තරුණ සේවා සභාවේ ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය විසින් සංවිධානය කරන ලද විශේෂ දැනුවත් කිරීමේ පාගමන සහ අත්පත‍්‍රිකා ව්‍යාපාරයේ  සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. 
දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජාතික කාර්යභාරය වෙනුවෙන් ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය විසින් අද පෙරවරු 10ට ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් මෙම වැඩසටහන ක‍්‍රියාවට නැංවිණි. ඒ අනුව දීපව්‍යාප්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334 ක තරුණ සේවා නිලධාරීන් මේ සම්බන්ධයෙන් මැදිහත් වූහ. 
මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

ගේල් ශ්‍රී ලංකාවට නොඑයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි20 තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය පෙරේදා (29දා) නම් කළේය. මෙම සංචිතයට කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ඇතුළත් නොවේ.ගෙල්ගේ කොන්දේ සිදුකළ ශල්‍ය කර්මයක් හේතුවෙන් ඔහු තවදුරටත් විවේක ගැනීම ඔහු සංචිතයට එක්කර නොගැනීමට හේතුවයි.

එසේම හිටපු නායක ඩැරන් සාමිටද එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබෙන අතර විස්සයි20 කණ්ඩායමේ නායකත්වය සාමිවිසින් දරයි.

සංචිත දෙක සඳහා නම්කළ කොදෙව් කණ්ඩායම් සඳහා කලකට පසුව නාරීන් ඇතුළත් කොට තිබේ.

එක්දින සංචිතයට ඇතුළත් නැති ඩ්වේන් බ්‍රාවෝ හා කිරන් පොලාඩ් විස්සයි20 සංචිතයට එක්කොට තිබේ. තරගාවලිය 14 දා ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ආරම්භවන අතර ඒ සඳහා කොදෙව් කණ්ඩායමේ පැමිණීම අද ආරම්භවෙයි.

පළමු කාණ්ඩය අද දිනයේදී අනෙක් කාණ්ඩය හෙට දිනයේදීත් පැමිණීමට නියමිතය.  

 

 

 

ඉන්දියාවත් ශ්‍රී ලංකාව පැත්තේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ගෙන ආ යෝජනාව සඳහා ඉන්දීයාවද සහාය දැක්වීමට තීරණය කර තිබෙන බව ඉන්දියාවේ ඉකොනොමික්ස ටයිම්ස් පුවත්සේවය කියයි.

අමෙරිකාව, එකඟත්වය ඇතුළු රටවල් හතරක් ඒකාබද්ධව මෙම යෝජනාව ගෙන ආ අතර එයට ශ්‍රී ලංකාවද පසුව ඔස්ට්‍රේලියාවද සම අනුග්‍රහය දැක්වීය.

එම යෝජනාව පිළිබඳව ඡන්ද විමසුම අද පැවැත්වීමට නියමිතය.  

දරුවන්ට එරෙහි ලිංගික පීඩා සමාජ ව්‍යසනයක්

ලෝක ළමා වැඩිහිටි දිනය සැමරීමේදී දරුවන්ගේ සුරක්ෂිත බව පිළිබඳව මෙන්ම වියපත් වැඩිහිටියන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් ද වඩ වඩාත් අවධානය යොමු කිරීම වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හෙටට (01දාට) යෙදෙන ලෝක ළමා හා වැඩිහිටිදිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

දරුවා සියලු ආකාරයේ ආපදා හා අපයෝජනවලින් මුදාගැනීම දෙමව්පිය, වැඩිහිටි සැමගේ බැරැරුම් වගකීමක් බවද ඔහු කියයි.  දරුවන්ට එරෙහි ලිංගික පීඩාවන් ඉතාම බරපතල සමාජ ව්‍යසනයක්ව පවතින බව මෑත භාගයේ සිදුවීම් අධ්‍යයනයෙන් පැහැදිලි වෙන බවත් ඔහු කියයි.