Monthly Archives: September 2015

පුද්ගලයන් 22502 ක් අවතැන්

දිස්ත්‍රික්ක 09 කට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 5956 කට අයත් පුද්ගලයන් 22502 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම පිරිසෙන් පවුල් 905 කට අයත් පුද්ලයන් 3174 ආරක්ෂිත නිවාස 31 රඳවා සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මිය ගිය සංඛ්‍යාව 08 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, අතුරුදන් වී සිටින ප්‍රමාණය 07 කි. පුත්තලම, කොළඹ, මාතර, ගාල්ල, හම්බන්තොට, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල ජනතාව අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටිති.

 

ශ්‍රී ලංකාවට අවශ්‍ය ණය නොව ආයෝජනයි – අමාත්‍ය රවි

ශ්‍රී ලංකාවට අවශ්‍ය ණය ආධාර නොව, විදේශ ආයෝජන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා තිබේ.

අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා සමග ඊයේ (29දා) අමාත්‍යාංශයේදී පැවති හමුවකදීය.

මෙහිදී තානාපතිවරයා පවසා ඇත්තේ යහපාලනය තුළ ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමෙරිකාව සූදානම් බවයි.

රුසියාව අසාද් විරුද්ධවාදීන්ට එරෙහි ගුවන් ප්‍රහාර අරඹයි

සිරියාවේ අසාද් විරුද්ධවාදීන් වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම රුසියාව විසින් අරඹා තිබේ.

ඒ අනුව, සිරියාවේ හොම්ස් හා හමා පළාත්වල සිරියානු ජනාධිපති බෂර් අල්-අසාද්ට එරෙහි සටන්කරුවන් සිටින ප්‍රදේශ මෙම ගුවන් ප්‍රහාරවලට ඉලක්ක වී තිබේ.

මෙම ප්‍රහාර එල්ල කිරීමට පැයකට පෙර රුසියාව විසින් එය ඇමෙරිකාවට දැනුම් දී ඇති බවද විදෙස් වාර්තා පවසයි.

රුසියානු ආරක්ෂක බලධාරියෙකු කියා සිටියේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් මෙම ප්‍රහාරවලට ඉලක්ක වූ බවයි.

කෙසේ වෙතත්, නම සඳහන් නොකළ ඇමෙරිකානු නිලධාරියෙකු කියා සිටියේ ඔවුන් මෙතෙක් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් සිටින ප්‍රදේශ වෙත ගුවන් ප්‍රහාර ඉලක්ක කර නොමැති බවයි.

HIV ප්‍රතිකාර කඩිනම් කිරීමට WHO ක්‍රියාකරයි

රෝගි විනිශ්චය කිරීමෙන් පසුව HIV ආසාධිතයෙකු බව හඳුනාගත් සැමටම ඊට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

රෝගය තවදුරටත් හඳුනාගැනීමට මීට පෙර යම් කාලයක් ගෙන ප්‍රතිකාර ඇරඹීමේ ප්‍රතිපත්තිය මේ අනුව ඉවත් කෙරෙන බව ඔවුන් කියයි.

එමෙන්ම, HIV ආසාධනය වීමේ ඉඩකඩ ඇති පිරිස් වෙතද අදාළ ප්‍රතිකාර කිරීමෙන් ඔවුන් ඉන් වළක්වා ගැනීමට කටයුතු කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

සැප්තැම්බර් උද්ධමනය තවත් පහළ යයි

උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත අගෝස්තු මාසයේ වාර්තා කළ – 0.2% සිට සැප්තැම්බර් මාසයේදීද -0.3% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මෙසේ සැප්තැම්බර් මාසයේදීද – 0.3% (සෘණ) අගයක් හෙවත් අවධමනයක් පෙන්වා ඇත.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 අගෝස්තු මාසයේ පැවති 1.0% හි සිට 2015 සැප්තැම්බර් මාසයේදී 0.7% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බවද පෙන්වා දෙයි.

 

 

ජනපති එජා සමුලුව අමතයි

එක්සත් ජතින්ගේ 70 වැනි මහ සමුළුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (30දා) ඇමතීය.

ජනපතිවරයාගේ සම්පූරණ කතාව

 

සභාපතිතුමනි,

මහ ලේකම්තුමනි,

රාජ්‍ය තාන්ත්‍රිකයිනි,

නෝනාවරුනි, මහත්වරුනි,

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දීර්ඝ කාලීන සාමාජිකයකු වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේඅභිනව ජනාධිපතිවරයා ලෙස මහා මණ්ඩලයේ වාර්ෂික සමුළුව මෙලෙස අමතන්නේ ඉමහත් වූ සතුටකිනි.

මොගන්ස් ලිකෙටොෆ් මැතිතුමනි,70 වන මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ ඔබට මාගේ හෘදයංගම සුභ පැතුම් එක් කරමි.

එමෙන් ම,  69 වන සභාවේ සභාපතිවරයා වශයෙන්, සුවිශාල කාර්ය භාරයක් ඉටු කළ,සෑම් කුටේසා මැතිතුමන්ට ද මාගේ ස්තුතිය පිරිනමමි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 70 වන වසරට පා තබා තිබේ. එම ගෙවුණු වසර 70 ක කාලය තුළ ලෝක ජනතාවගේ සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය ඇතුලු අතිශය භාරධූර හා අභියෝගාත්මක ක්‍රියාවලියක එක්සත් ජාතීන් අඛණ්ඩව නිරත වූ බවඅවිවාදිත ය. එම අභියෝග අදටත් අප හමුවේ පවතින බව මම සිහිපත් කරමි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක ලේකම්වරයා වූ ට්‍රිග්වි ලී මහතා, කොරියානු යුද්ධය උත්සන්නව පැවති 1953 දී සිය ධුරයෙන් සමු ගන්නා මොහොතේදී මහ ලේකම් ධුරයේ ස්වභාවයහැඳින්වූයේ  “The most impossible jobin the world”යනුවෙනි.එක්සත් ජාතීන්ගේ සංවිධානයසමස්ත මනුෂ්‍ය සංහතියෙහි මඅනාගතය සිය කර මත දරා සිටිය හැකි විශ්වීය සංවිධානයක් බවට පත් කිරීමටසියලු මහ ලේකම්වරුවන්ගේ පූර්ණ දායක්වය ලැබුණු බව නොරහසකි.

වර්තමාන මහ ලේකම්ධු‍රය ‍හොබවන බැන් කී මූන් මහතා ද එවන් අද්විතීය මෙහෙවරක් ඉටු කරන බව මාගේ විශ්වාසයයි. බැන් කී මූන් මැති තුමනි, ඒ වෙනුවෙන්, මාගේ සහ මාගේ ජනතාවගේ උපහාරය පිළිගන්නා මෙන් ඉල්ලා සිටිමි.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබාමේ වන විට වසර හැටකි. මගේ රටඑක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයකි.

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුලු සියලු ජාත්‍යන්තර සම්මුතීන් සහ ගිවිසුම් ගරුකරන රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ මූලික පරමාර්ථයක් වන්නේ මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීමයි. ශ්‍රී ලංකා ජනරජය‍ එම වගකීම්නොපිරිහෙලා ඉටු කරනු ඇති බව මෙහිලා ප්‍රකාශ කරමි. ඒ සඳහා නව ක්‍රියාකාරී සැලැස්මක් සහ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාකරන බව මෙහිලා සඳහන් කරන්නෙමු‍.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව බහුවිධ කාර්යභාරයක් ඉටු කරයි. ඒ අතර, 1960 දශකයේදීආරම්භ කළඑක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාවලීන් සඳහා අප රටෙහි දායකත්වයඅඛණ්ඩව පවතින බව කිව යුතුය. සාම සාධක ක්‍රියාවලීන් සඳහාවන ශ්‍රී ලාංකාවේ දායකත්වයතව දුරටත් by<නැංවීමට අප ඉදිරියේදී ද කටයුතු කරන බව සඳහන් කිරීම‍ට ද කැමැත්තෙමු.

සභාපතිතුමනි,

2015 ජනවාරි 08 වැනිදා ශ්‍රී ලාංකික සමාජය තුළ, යුක්තිය, නිදහස , සහ සමානාත්මතාව හා බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදයේ නව යුගයක ආරම්භය සනිටුහන් වූ බව ඔබ දන්නා කරුණකි.අපගේසමාජ සහ මානව සංවර්ධන ප්‍රවේශයෙහි පදනම වන්නේ බහුවිධත්වය, සංහිඳියාව, සහ තිරසර සංවර්ධනයයි.ඉදිරි වසර පහ සඳහා වන මගේ රජයේ සංවර්ධන දැක්ම වන්නේ ද එයයි.

මෙවර සැසි වාරයේ “හැත්තෑ වන වසර සපුරන එක්සත් ජාතීන්: සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබඳ ඉදිරි මග”යන තේමා පාඨය, මාගේ රජය විසින් ඉදිරිපත් කර ඇති දැක්ම සමඟ සමපාත වන්නේය. එමෙන්ම, සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් යථාර්ථයක් බවට පත් කිරීම සඳහා වන ක්‍රියාකාරී සහ ප්‍රා‍යෝගික වැඩපිළිවෙළක් ගොඩ නැගීමට මගේ රජය කැප වී සිටියි‍.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාවේ ජනතාව, පසුගිය මාස අටක කාලය තුළ, නව ජනාධිපතිවරණයකට සහ මහමැතිවරණයකට මුහුණ දී, එමගින් නව ජනාධිපතිවරයකු සහ නව ආණ්ඩුවක් තෝරා පත් ‍කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ළඟා කර දීමේ අරමුණින්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අත්‍යවශ්‍ය සංශෝධන හඳුන්වා දීමට මාගේ පාලනයේ පළමු මාස හය තුළ දී ම කටයුතු කර ඇත. ඒ තුළ, බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වන ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කොට යහපාලනය තහවුරු කොට තිබේ‍. විශේෂයෙන් ම, මෙතෙක් ජනාධිපතිවරයා සතු වූ විධායක බලතල බොහොමයක් මාගේ මැදිහත්වීම තුළ පාර්ලිමේන්තුවට සහ වෙනත් ස්වාධීන ආයතන වෙත පැවරීමට කටයුතු කළෙමි.

පසුගිය අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් පසුව,  දශක හයක් පුරා පැවති විසම්මුතිවාදී දේශපාලනය වෙනුවට, සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදය මත පිහිටා,  රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව ගොඩ නැගූ සම්මුතික රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීමට මම ක්‍රියා කළෙමි.

ඒ අනුව, මෙතැන් සිට, රටක් ලෙස,අපගේ නව ප්‍රවේශය වන්නේ, රට තුළ සංහිඳියාව සහ සංවර්ධනය එක්වර සාක්ෂාත් කර ගැනීමයි. එම ප්‍රවේශය තුළ කටයුතු කිරීමේදී, අතීතය සමඟ අවංකව ගනුදෙනු කිරීම සහ නූතන ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැගීම අප හමුවේ ඇති මූලික අවශ්‍යතාවකි.

අතීතය සමඟ ගනුදෙනු කිරීමේදී අප, සත්‍යය ගවේශනය, යුක්තිය ඉෂ්ඨ කිරීම, හානිපූරණය සහ එම අතීතය වෙත නැවත ගමන් කිරීම වළක්වාලන ක්‍රියාවලියක් මත පිහිටා කටයුතු කරන්නෙමු.

21 වන සියවසේ අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකාව නව සමාජ, ආර්ථික සහ දේශපාලන මාවතකට අවතීරණ විය යුතු මය.එහිදී, සංහිඳියාව ප්‍රමුඛ සාධකයකි. මෙම නව බලාපොරොත්තුව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ආයතනික ප්‍රතිසංස්කරණ තව දුරටත් වේගවත්ව කිරීමට මා නායකත්වය දෙන සම්මුතික රජය මේ වන විටත් ඉදිරි පියවර ගණනාවක් ම ගෙන තිබේ.

සභාපතිතුමනි, 

ශ්‍රී ලංකාව ගැටුමකටමුහුණ දුන් රටකි. යුද්ධය සමාජයකට විනාශය ලඟා කර දෙන්නේ වුව ද, ගැටුම තුළ මෙන් ම  ඉන් අනතුරුව ද  ඒ පිළබඳව උගත හැකි පාඩම් බොහෝ ය.

සියලු ආකාරයේ යුද ගැටුම් සහ ත්‍රස්තවාදී ක්‍රියා මනුෂ්‍යත්වයට නිගා දෙන ක්‍රියාකාරකම් බව අවිවාදිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ පූර්විකාව තුළ එවැනි වූ මනුෂ්‍යත්වයට එරෙහිව කැරලි හට ගන්නා ආකාරය කෙබඳු දැයි සඳහන් කර තිබේ. එහි මූල බීජය කෙසේ වුව ද, මනුෂ්‍යත්වයට එරෙහි මෙවන් ක්‍රෑර ක්‍රියාවන් පරාජය කිරීම අද යුගයේ අභියෝගයකි. දුක්ගැනවිල්ලක් විසඳා ගැනීමේ මාර්ගයක් ලෙස ත්‍රස්තවාදය භාවිතා කිරීම මෙන්ම, එලෙස හටගත් ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමේදී ඊට එරෙහිව එය මැඩ පැවැත්වීමට ගනු ලබන ක්‍රියා මාර්ග ද ප්‍රශ්නකාරී විය හැකිය. ආසියාවේ සිට අප්‍රිකාව හරහා ලතින් ඇමරිකාව දක්වා අප කලාපයේ ගෙල සිර කරමින් පැතිර පවතින ත්‍රස්තවාදය නම් දම්වැල එක් ප්‍රබල පුරුකක් ගලවා දැමීමට අප රට සමත් වූයේය.

අප මැඩ පැවැත්වූයේ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී ව්‍යාපාරයකි. එය මුලින් උපුටා දැමීමෙන් පසුවද, එය අපට බොහෝ අත්දැකීම් එකතු කළේය. එම අත්දැකීම් අද දවසේ ත්‍රස්තවාදයෙන් බැට කන සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග බෙදා හාදා ගත හැකි බව අපගේ විශ්වාසයයි. එම රටවල් සමඟ අදට වඩා සක්‍රීය සංවාදයක නිරත වීමටත් ඒවෙනුවෙන් හඬ නැගීමටත් ශ්‍රී ලංකාව සූදානමින් සිටී.

සභාපතිතුමනි,

මෙවර සැසි වාරයේ තේමාව වෙත එළඹීමට මම ‍මෙය අවස්ථාව කර ගනිමි.‍

එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවන්නේ, විසි වන සියවසේ ලෝක ජනතාව මුහුණ දුන් මනුෂ්‍යත්වයට නිගා දෙන මානව ඛේදවාචකයන් නැවත මිහි පිට ඇති වීම වැළැක්වීමේ අරමුණ පෙරදැරිව බව අපි දනිමු. මෙවර තේමාව වන්නේ “සාමය, ආරක්ෂාව, සහ මානව හිමිකම්”යන්න ය. එමගින් අප පොළඹවා ඇත්තේ ඉහත සඳහන් එක්සත් ජාතීන්ගේ ආරම්භක අරමුණු ක්‍රියාවට නංවා දශක හතක් ගෙවී ඇති මේ අවස්ථාවේදී ඒ පිළබඳව පසු විපරමක් කිරීම‍ටදැයි මට සිතේ.

සභාපතිතුමනි,

ධරණීය සංවර්ධනය සඳහා ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර සිදුවන සංවාදය මෙන්ම දකුණ සහ දකුණ අතර ඇතිවන සංවාදය ද වැදගත් යැයි මම වි‍ශ්වාස කරමි. එකී දකුණේ සංවාදය පෝෂණය කිරීම සඳහා, ‍ගෝලීය දකුණ නියෝජනය කරන අප රටට, විශාල දායකත්වයක් ලබා දිය හැකිය.

ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපයේ පැරණිතම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට හිමකම් කියන රටවල් අතර ඉදිරියෙන් සිටියි. පසුගිය වසර තිහ පුරා පැවති යුද වාතාරණය තුළ පවා එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කර ගැනීමට අප රට සමත් විය. එමකාල වකවානුව තුළ, ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට බාධා ඇති වුව ද, අප රට නිදහස ලැබූ දා සිට ‍පවත්වාගෙන ආ සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්තිය රැක ගැනීමට අපට හැකි විය. එහි වැදගත් අංශ වන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, හා දිළිදුකම මැඩලීම මොහොතකට හෝ අත් නොහැර ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කර තිබේ.නිදහසේ පටන් ම, බොහෝ සෙයින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතක ගමන් කළ ශ්‍රී ලංකාව, අර්බුද මධ්‍යයේ වුවද, මානව සංවර්ධන දර්ශකයන්හි ඉහළ අගයක් අත් කර ගැනීමට සමත්ව සිටියි‍.එම සාර්ථකත්වය මගින්, එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් අප කළ කැප කිරීම ‍පිළිබිඹු වෙයි.

සභාපතිතුමනි,

කාන්තාවන් සහ තරුණයින් සවිබල ගැන්වීම සංවර්ධනයේ ප්‍රතිඵලයක් විය යුතු ය. එසේ ම, එමගින් ළමා ආරක්ෂණය ද තහවුරු විය යුතු ය. ‍තරුණයින්ගේ ‍බලාපොරොත්තු කඩවීම බොහෝ විට ගැටුමකට මූලය සපයයි. එසේ වුවත්, තිරසර සංවර්ධනයේ ගාමක බලවේගය වන්නේ ද තාරුණ්‍යයි. එබැවින්, තරුණ පරපුර 21 වන සියවසයේ දැනුම්-පාදක ලෝකය ජය ගත හැකි නිපුණතා පූර්ණ ශ්‍රම බලකායක් බවට පරිවර්තනය කිරීම අපගේ ව්‍යායාමයේ ආරම්භක ලක්ෂය විය යුතු ය. එය, පශ්චාත් 2015 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයකි. එලෙස ම, කාන්තාවන් සවි බල ගන්වන ජාතික වැඩ පිළිවෙළක් මගින් සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය. එසේ ම, ළමා පරපුරෙහි ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම, කාර්යක්ෂම සහ මානුෂීය සමාජයක් ගොඩනැගීමේ අත්‍යාවශ්‍ය සාධකයකි. 

තිරසර සංවර්ධනය යනුවෙන් මා හඳුනාගන්නේ, මානව සමාජයේ සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍රයන්, එකිනෙකින් වෙන් වූ ක්ෂේත්‍ර හෝ කණ්ඩායම් වශයෙන් ගෙන දියුණු කිරීම නොවේ. ඒ වෙනුවට, සමස්ත මානව සමාජයම, අපේක්ෂිත සංවර්ධන ඉලක්ක වෙත එකවිට සහ ‍එකලෙස ඔසවා තැබිය හැකි අන්තර්නීය සංවර්ධන ආදර්ශයකි. ඒ සඳහා, නව විශ්වීය සංවර්ධන ප්‍රවේශයක අවශ්‍යතාව මම අවධාරණය කරමි. 

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාවේ ප්‍රචලිත බෞද්ධ සම්ප්‍රදායට අනුව, මිනිසා මුහුණ දෙන ගැටුම් වර්ග තුනක් මම හඳුනා ගනිමි.

මිනිසා ස්වභාව ධර්මය සමඟ කරන අරගලය ඉන් පළමුවැන්නයි. වඩාත් සුවපහසු භෞතික ජීවිතයක් සාක්ෂාත් කරගනු පිණිස අප නිරන්තරයෙන් ම එම අරගලයේ යෙදී සිටිමු. එහි ප්‍රතිඵලයක් ලෙස, වර්තමානයේ ජීවත් වන මිනිසා, සංවර්ධනයේ නාමයෙන්, මිහි මඩල පුරා විසිර ඇති ස්වාභාවික සම්පත් පාලනයකින් තොරව අත්තනෝමතිකව සූරා කමින් සිටියි.

දෙවැන්න නම්, මිනිසා සෙසු මිනිසුන් සමඟ කරන අරගලයන් වේ. මානව සමාජයේ පුද්ගලයින් අතර ද ජන කණ්ඩායම් අතර ද, ජාතීන් අතර ද මෙවන් අරගල සිදු වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්තිය මගින් අවධාරණය කරන්නේ, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය මගින් ආරක්ෂා නොකරන කල, මෙවන් ගැටුම් ඇතිවන බවයි.

‍තෙවැනි අරගලය නම්, මිනිසා තමා සමඟම කරන අරගලයයි. මා පෙර සඳහන් කළ ‍අරගල දෙවර්ගය ම හට ගන්නේ, ‍අප අප සමගම කරන අරගලය පරාජය වූ විටයි‍. සියලු ගැටුම්වල මූලය වන්නේ මෙයයි.

අන්තවාදයට ද, අති පාරිභෝජනවාදයට ද, අත්තනෝමතික පරිසර වි‍නාශයට ද, අනෙකාගේ මානව හිමිකම් උල්ලංඝනයට ද, විෂම අදායම් පරතරයට ද වගකිවයුත්තා වන්නේ, මිනිසුන් වන අප හට, අප තුළම ඇතිදුර්වලතා මැඩ පවත්වා ගැනීමට ඇති නොහැකියාවයි.

එබැවින්, තිරසර සංවර්ධනය නම් දෙවොළ ගොඩ නැගිය යුත්තේ ස්වයං-ශික්ෂණය සහ සාමාජ සාධාරණත්වය නම් අත්තිවාරම මතය. ස්වයං-ශික්ෂණය, පුද්ගල මට්ටමින්, ප්‍රජා මට්ටමින්, ජාතික මෙන්ම  සමස්ත මානව වර්ගයාගේ මට්ටමින් ප්‍රගුණ කළ හැකි වේ නම්, එය මානව වර්ගයා තබන විශාල ඉදිරි පියවරක් විය හැකිය.

ජාතික නායකයින් වශයෙන් රැස්ව, යෝජිත විශ්ව ක්‍රියාකාරී සැලැස්ම නිර්මාණය කිරී‍මේදී, මා විසින් ඉහතින් සඳහන් කළ ස්වයං-ශික්ෂණය සහ සාම සාධාරණත්වය පදනම් කර ගත් ප්‍රවේශය ආදර්ශයට ගන්නා ලෙස යෝජනා කරමි.                                                                                                                            

තෙරුවන් සරණයි!

 

 

 

දිස්ත්‍රික්ක 06 කට නායයෑමේ අවදානම

බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, නුවරඑළිය කළුතර යන දිස්ත්‍රික්කවලට ඇදහැලෙන වැසි තත්ත්වය නිසා එම දිස්ත්‍රික්කවල පිහිටි කඳු නායයාමේ අනතුරු ඇඟවීම හෙට (01දා) සවස 6.00 දක්වා ක්‍රියාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඊයේ (29දා) දිනයේද මෙම දිස්ත්‍රික්කවලට ඇදහැලුනු වර්ෂා තත්ත්වය සැලකිල්ලට ගෙන සවස 2.00 සිට අද සවස 2.00 දක්වා කඳු නායයාමේ අනතුරු ප්‍රකාශයට පත්කර තිබුණි.

 

හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍ය බව සෙයිද් කුමරු කියයි

(UPDATE)  ශ්‍රී ලංකාවේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා  කිරීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක් නොවීම, ජාත්‍යන්තර නීතිය හා කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ප්‍රමාණවත් නොවීම, පසුගිය දශකයේදී දුර්විපාක නොලබා සිටීම නිසා රජයේ ආරක්ෂක අංශ හා නීති පද්ධතිය විකෘති හා දූෂිත වී තිබීම යන හේතුමත යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව කටයුතු කිරීමේදී ජාත්‍යන්තර විනිසුරන්, අබිචෝදකයන්, නීතිඥයන් හා පරීක්ෂකයන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් යෝජනා කළ බව එ.ජා. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පැවසීය.

මහකොමසාරිස්වරයා මේ බව පැවසුවේ අද (30දා) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවරය අමතමිනි.

මෙවැනි යාන්ත්‍රණයක් බිහිකිරීම හරහා සියලු ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන්ම වින්දිතයන්ට එම යාන්ත්‍රණය අපක්ෂපාතී හා ස්වාධීන බවට විශ්වාසයක් ගොඩනැගෙන බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වූ ජීනිවාහි ශ්‍රී ලංකා තානාපති රවීනාත ආරියසිංහ මහතා පැවසුවේ, ශ්‍රී  ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා එක්ව කටයුතු කරන බවත්, එහිදී එම පාර්ශ්වයන්ගේ අදහස් හා සහාය ලබාගැනීමට සූදානම් බවත්ය.

එසේම ශ්‍රී ලංකා ජනපතිගේ හා අගමැතිගේ මූලික පරමාර්ථය සියලු ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වන සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම බවද ඔහු පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සියලුම රටවල් මානව හිමිකම් කොමිසමේ වාර්තාව පිළිගත්තේය. නෝර්වේ, ෆිජී, ජපානය, ඇමෙරිකාව, කැනඩාව, තායිලන්තය, වියට්නාමය, කොරියාව, ප්‍රංශය, මැසඩෝනියාව, එංගලන්තය, ජර්මනිය, ඇල්බේනියාව, වෙනිසියුලාව, සියරා ලියොන්, එස්තෝනියාව, මියැන්මාරය ඇතුළු රටවල් එම වාර්තාව ඇගයීය.

ශ්‍රී ලංකාවේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතු බව ඔවුන් පොදුවේ ප්‍රකාශ කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය. එසේම ශ්‍රී ලංකාව පිළිබඳ කරන පරීක්ෂණයේදී ජාත්‍යන්තර වශයෙන් සහාය ලබාගැනීමේ වැදගත්කමද ඔවුහු පැහැදිලි කළහ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කැපවීම ඔවුහු වැඩි වශයෙන් ඇගයීමට ලක්කළහ. කෙසේ වෙතත් රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් සහභාගී වූවන් ගෙන් ශ්‍රී ලංකාව පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නොලැබීම විශේෂ කරුණකි.

සමුළුව ඇමතූ මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"2015 ජනවාරි මාසයෙන් පසුව අවම වශයෙන් කොළඹටවත් ප්‍රකාශනයේ නිදහස ලැබී තිබෙනවා. නමුත් උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් මට්ටමින් ප්‍රකාශනයේ ගැටලු තියෙනවා. යුද්ධය අවසන් වෙලා වසර හයක් ගතවුණත් තවමත් අවතැන් වූවන් සිටිනවා. හමුදාව ඉඩම්වල අයිතිය තබාගැනීම ප්‍රශ්නයක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව සලකා බැලීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීම පිළිබඳව ප්‍රසාදය පළකරනවා. නමුත් එම පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන ප්‍රමාණය හා ඔවුන්ගේ අනන්‍යතාව නව රජය විසින්වත් හෙළිකර නෑ.

ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය අතර කාලයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විශ්වාසවන්ත තොරතුරුවලින් වාර්තා වෙනවා. ආගම්වාදී ප්‍රචණ්ඩත්වය පසුගිය මාස හයේදී අවම වී තිබෙනවා. මේ වසරේ නිදහස් දිනයේදී සාමය පිළිබඳව ප්‍රකාශයක් භාෂා තුනෙන්ම කිරීම වැදගත්. 

යාපනයේ මිරුසුවිල් ප්‍රදේශයේ සාමාන්‍ය දෙමළ වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වූ යුද හමුදා සාජන්වරයෙකුට මරණීය දණ්ඩනය නියමකිරීම දුර්ලබ ක්‍රියාවක්. මේ වගේ පරීක්ෂණයක් කිරීමේ අරමුණ වුණේ ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීතිය කඩ වී තිබෙන ආකාරය පිළිබඳව අදහසක් ලබාගැනීමටයි.

සිදුවී තිබෙන ජාත්‍යන්තර මානුෂීය නීතියේ කඩවීම්  පිළිබඳව සොයාබැලීම සඳහා කටයුතු කරන බවට රජය කළ ප්‍රකාශයට ප්‍රශංසා කරනවා. අවසනාවන්ත දේ තමයි මෙවැනි ස්වාධීන හා වගකීමකින් යුතු පරීක්ෂණයක්  කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය වර්තමානයේදී ප්‍රමාණවත් නොවීම.

නීති පද්ධතියේ වගවීමට, සත්‍ය සෙවීමට, වන්දි ගෙවීමට, ආයතනික වශයෙන් වෙනසක් කිරීමට අපේ වාර්තාවේ තිබෙන යෝජනා වැදගත්. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් තවදුරටත් මානව හිමිකම් කොමිසම කටයුතු කරනවා."


ශ්‍රී ලංකාවේ වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව හොඳ යාන්ත්‍රණයක් නොමැති නිසාත්, ශ්‍රී ලංකාවේ අධිකරණ  යාන්ත්‍රණය සූඹිත හා විනාශ වී තිබෙන නිසාත්, ශ්‍රී ලංකාවේ දේශිය නිති පද්ධතිය ජාත්‍යතර අපරාධ හා කටයුතු කිරීමේදී ප්‍රමාණවත් නොවන නිසාත් ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍ය බව මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන සඳහන් කළේය. 


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංවා පිළිබඳව වන සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ. එහි මහ ලේකම් සෙයිද් අල් හුසේන් කුමරු මේ වන විට සැසිවාරය අමතමින් සිටියි. 

මරණ බිය යළිත් උදාවී තිබෙනවා – මහින්ද

"අප මේ රටේ දු පුතුන්ගේ සිත්වලින් පළවා හැරිය මරණ බිය යළිත් දරු පරපුර වෙත වෙනත් ආකාරයකට  උදාවී තිබීම ගැන මා මහත් ලෙස කම්පාවට පත්වී සිටිමි" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙටට (01දාට) යෙදෙන ලෝක මෙ හා වැඩිහිට දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

"සේයා සදෙව්මි දුවගේ හා සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතන ඇතුළු පසුගිය දිනවල  සිදුවූ දු දරු ඝාතන මා තුල  ඇති කරන්නේ මහත් සංවේගයකි. මේ රටේ  ජීවත් වන සෑම දරුවෙකුගේම ආරක්ෂාව පිළිබඳ වගකීමෙන්  කොටසක් දෙමවුපියන් පමණක් නොව  පාලකයන්ද භාරගත යුතු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා ප‍්‍රමුඛතාවය දෙන ලෙස බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු" යනුවෙන්ද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

 

ශ්‍රී ලංකාව ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබයි

2017 වසරේදී එංගලනත්යේදී හා වේල්සයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා පාකිස්තානය යන රටවල් සුදුසුකම්  ලබා ගත් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

තරගාවලිය සඳහා අන්තජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් අට සහභාගීවෙන අතර කණ්ඩායම් තෝරා ගැනීමේ අවසන් දිනය අද (30දා) විය.

අද දිනයට එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් අට තරගාවලියට සුදුසුකම් ලැබීය. බංග්ලාදේශය මෙවර ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබාගත් අතර ඒ හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරගාවලියට එක්වීමට තිබූ අවස්ථාව අහිමිවිය. බංග්ලාදේශ කණ්ඩායමක් ශූරයන්ගේ කුසලාන තරගාවලියකට සුදුකම් ලැබූවේ 2006 වසරෙන් පසුව බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කියයි. 

කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

1          Australia         127

2          India                115

3          South Africa   110

4          New Zealand   109

5          Sri Lanka        103

6          England           100

7          Bangladesh     96

8          Pakistan          90

9          West Indies     88