Monthly Archives: August 2015

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව වගකීම් නිසි ලෙස ඉටු කරනවා

රටේත්, ජාතියේත් අනාගතය තීරණය කෙරෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙලේදී තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කිරීමට සියලූ අමාත්‍යාංශ සහ ආයතන කැපවිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.  මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලූ පිළිබද සාකච්ඡා කිරීමට අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.  මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමේදී ඒ ඒ අමාත්‍යාංශ සහ ආයතන මුහුණ දී ඇති ගැටලූ, නව යෝජනා සහ අඩු පාඩු පිළිබද වාර්තාවක් තමා වෙත ලැබීමට සළස්වන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. මත්ද්‍රව්‍ය රටතුළට ගෙන්වීම පිළිබද වැටලීම්වලදී පැන නැගී ඇති නීතිමය ගැටලූ පිළිබදවද මෙහිදී අවධානය යොමු කෙරිණි. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන්ද. ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුථ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුථ පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ. 

 

ශර්මා ප්‍රසාද් හා චන්දිමාල් වාග් සංග්‍රාමයක

ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඉශාන්ත් ශර්මා හා රවිචන්ද්‍රන් අශ්වින් ක්‍රීඩාකරමින් සිටින විට ප්‍රසාද් හා ශර්මා අතර තරමක උණුසුම් වාග් සංග්‍රාමයක් ආරම්භ විය. ඒ අවස්ථාවට පසුව දිනේෂ් චන්දිමාල්ද එක්විය. තරගාවලියේදී සහාසික අයුරින් හැසීරීම නිසා ශර්මා මේ වනවිටත් දඩයකට යටත්ව තිබෙන අතර, පෙරේදා දිනයේදී ඔහු රංගන හේරත් හා වාග් සංග්‍රාමයක්ද ඇතිකර ගත්තේය.

 

අලි පැටියාට පෙරහරේ යන්න බැරිවෙයි

හික්කඩුව ගිනිමැල්ලගහජයතිලකාරාම විහාරස්ථ ශ්‍රී සද්ධාතිස්ස දහම්පාසල විසින් නිකිණි පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ පෙරහරේ ගමන් කිරීම සඳහා ගෙනවිත් තිබූ අලි පැටවෙකුගේ බලපත්‍රයේ දෝෂයක් නිසා එම අලි පැටවා වනජීවි නිළධාරීන්ගේ භාරයට ගෙන ඇත.

පෙරහැරේ ගමන් කිරීමට නොහැකි වන අන්දමට අලි පැටවාගේ කකුල් බැද තිබූ නිසා අලි පැටවා පෙරහැරින් ඉවත් කරන ලෙස ඌව සහ මධ්‍යම පළාත් භාර පශු වෛද්‍ය ඩබ්ලිව් ඒ ධර්මකීර්ති මහතා පෙරහැර සංවිධායකයින්ට උපදෙස් දී තිබ.එහෙත් සංවිධායකයින් අලි පැටවා පෙරහැරින් ඉවත්කර නැති අතර පසුව පොලිසියේ සහය ලබාගෙන අලිපැටවා පෙරහැරින් ඉවත්කර ඇත.

වනජීවී නිළධාරීන් විසින් අලි පැටවාගේ බලපත්‍රය පරික්ෂා කිරීමේදී අලි පැටවාගේ වයස සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත වඅලි පැටවා ඔවුන්ගේ භාරයට ගෙන ඇත.

අගෝස්තු උද්ධමනයත් සෘණ අගයේම

උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත ජූලි මාසයේ වාර්තා කළ – 0.2% අගයම අගෝස්තු මාසයේදීද වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මෙසේ අගෝස්තු මාසයේදීද – 0.2% (සෘණ) අගයක් හෙවත් අවධමනයක් පෙන්වා ඇත.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 ජූලි මාසයේ පැවති 1.3% හි සිට 2015 අගෝස්තු මාසයේදී 1.0% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බවද පෙන්වා දෙයි.

කථානායක පත්වෙනතුරු අසුන් පැනවීමක් නැහැ

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයෙකු පත්කරගන්නා තුරු මන්ත‍්‍රීවරයෙකුට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඕනෑම ස්ථානයක අසුන් ගැනීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පැවසීය.  හෙට(01) පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරැව කථානායකවරයෙකු පත්කරගැනීමට නියමිතය මේවනවිට පාර්ලිමේන්තුව ආරම්භයේ අසුන් වෙන් කර ඇත්තේ ජනාධිපති, අගමැති සහ දැනට දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් තිදෙනාට පමණය. අනිකුත් අමාත්‍යවරුන්  මේවනතෙක් පත්කර නොමැතිබැවින් ඒ කිසිවකුය අසුන් වෙන්කර නොමැත.

 

ශ්‍රී ලංකාවට ලකුණු 386ක ඉලක්කයක්

(UPDATE)  ලකුණු 386 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි දිනයට අද (31දා) තරගය නිමාකරන විට කඩලු 3කට ලකුණු 67 රැස්කරගෙන සිටියේය. ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය කණ්ඩායමට හෙට දිනයේදී තවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳ හෙළිය යුතු වන්නේ කඩුලු 7ක් පමණි. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 319ක් අවශ්‍ය වෙයි. පිතිකරුවන් තිදෙනෙකු ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීම හේතුවෙන් මෙම අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක් අසීරුවෙයි.

ඉන්දීය කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේදි ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කර ඇත්තේ 1993 වසරේදී වන අතර මෙම තරගයද ඉන්දීය කණ්ඩායම ජයගත්හොත් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව ජයගනු ඇත.

ඉන්දීය නවක ටෙස්ට් නායක විරාත් කෝලිගේ පළමු ටෙස්ට් තරගාවලියද මෙය වෙයි. ඒ අනුව වසර 22කට පසුව ඉන්දීය කණ්ඩායමකට ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් හිමිකර දෙමින් සිය පළමු ටෙස්ට් තරගාවලියම සාර්ථක තරගාවලියක් බවට පත්කරගැනීමට මෙම තරගය ජයගතහොත් කෝලි සමත්වෙයි.

ලකුණු 111ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ඊයේ (30දා) ආරම්භ කළ ඉන්දීය කණ්ඩායමට දෙවැනි ඉනිමට රැස්කළ හැකි වූයේ ලකුණු 274ක් පමණි.  සිවුවැනි දිනයට අද (31දා) තරගය ආරම්භ කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 28ක් රැස්කරගෙන තිබූ අතර ඉන්දීය කණ්ඩායමේ මැදපෙළ හා පසුපෙළ ක්‍රීඩකයෝ කෙටි ඉනිම් ක්‍රීඩා කරමින් කණ්ඩායම ලකුණු 274ක් දක්වා රැගෙන ආහ.  අගනා ඉනිමක් ක්‍රීඩා කළ තුන්ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් මෙහිදී සිය ටෙස්ට් දිවියේ පස්වැනි අර්ධ ශතකය වාර්තා කරනු ලැබීය. නුවන් ප්‍රදීප් හා ධම්මික ප්‍රසාද් අතරේ කඩුලු හතර බැගින් බෙදී ගියේය.

ලකුණු 386ක දැවැන්ත ඉලක්කයක හඹායම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කිරීමට ඉෂාන්ත් ශර්මා හා උමේස් යාදව් සමත්වූහ. ඒ ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 21ක් වන විට උපුල් තරංග, දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල් නැවතත් ක්‍රීඩාගාර වෙත හරවා යවමිනි. නායක ඇන්ජලෝ මැතිව්ස් හා කෞෂාල් සිල්වා නොදැවි පිටියේ රැඳී සිටිති.

එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇරයුමෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 312ක් රැස්කරනු ලැබීය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ චෙටෙස්වර් පුජාරා නොදැවී ලකුණු 145ක් රැස්කිරීමට සමත්විය. ඒ ඔහු වාර්තා කළේ සිය හත්වැනි ටෙස්ට් ශතකය වන අතර ආරම්භක පිතිකරු ලෙස පැමිණ ඉනිම අවසන් වන තෙක් ඔහු නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

ඉන්දීය කණ්ඩායම ලකුණු 180ට කඩුලු හතක් ලෙස සටහන් වූ අවස්ථාවේදී පිටියට පිවිසි අමිත් මිශ්රා හා එක්වූ පුජාරා එස්.එස්.සී. පිටියේ අටවැනි කඩුල්ල සඳහා ඉහළම සබඳතාව වූ ලකුණු 104ක සබඳතාවක් පවත්වමින් ඉන්දීය ඉනිම තරගකාරී ලකුණු සංඛ්‍යාවට රැගෙන ආවේය. මිශ්රා සිය ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය මෙහිදී වාර්තා කිරීමට සමත්විය.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 312ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 201ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු හයක් ලකුණු 47ට බිඳී තිබියදී පිටියට පිවිසි කුසල් පෙරේරා හා රංගන හේරත් හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 79ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම වැටෙන්නට ගිය අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මුදවා ගත්හ. සිය පළමු ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක් රැස්කිරීමට කුසල් පෙරේරා සමත්විය. පන්දුවෙන් සිය වගකීම් මැනවින් ඉටුකරන රංගන හේරත් මෙම තරගයේදී පිත්තෙන්ද කණ්ඩායම වෙත සිය වගකීම් ඉටුකළේය.  ඉන්දීය කණ්ඩායමේ ඉෂාන්ත් ශර්මා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 බිඳහෙළීය.

තරගයේ පළමු දිනයට (28දා) හා දෙවැනි දිනයට (29දා) අයහපත් කාලගුණයෙන්  බාධා ඇතිවිය. පළමු දිනයේදී ක්‍රීඩා කිරීමට හැකිවූයේ පන්දුවාර 15.2ක් පමණි. එහිදී ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 50ක් රැස්කරගෙන සිටියේය.  හෙට (01දා) තරගයේ අවසන් දිනයයි. 


සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 274කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.  ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 386ක ඉලක්කයක් හිමිවිය.

ණුවන් ප්‍රදීප් හා ධම්මික ප්‍රසාද් හමුවේ කඩුලු හතර බැගින් බෙදී ගියේය. ඉන්දීය කණ්ඩායමේ ඉහළම ලකුණු ලභියා වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 58ක් රැස්කළේය.

රෝහිත් ශර්මාද අර්ධ ශතකයක් රැස්කළේය. තරගයේ අවසන් භාගයේදී ශර්මා හා ධම්මික ප්‍රසාද් අතර උණුසුම් වාග් සංග්‍රාමයක්ද සිදුවිය.

ඡායාරූප ශාන්ත රත්නායක

 

දයාසිරි වයඹින් සමුගනියි

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව සිටින හිටපු වයඹ පළාත් මහ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරයෙන් සමුගැනීමට කටයුතු කළේය.

පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් සංවිධානය කළේය. එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට එක්වූ දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභාවට තරග කර වැඩිම මනාප ලබමින් එහි ප්‍රධාන අමාත්‍යධුරයට පත්විය. 

වියළි කාලගුණයෙන් දෙලක්ෂයකට පීඩා

යාපනය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට පවුල් 80,000කට අයත් දෙලක්ෂ හැත්තෑ පන්දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙම දිස්ත්‍රික්කවලට ඇතිවී තිබෙන අධික වියළි කාලගුණ තත්ත්වය නිසා ළිං සහ කුඩා ජල මූලාශ්‍ර සිඳීයාම හේතුවෙන් ජනතාවට පානීය ජලය සොයාගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

මීට අමතරව කුඩා ජල මූලාශ්‍රවලින් තම පානීය ජල අවශ්‍යතා සපුරාගත් වනසතුන් පවා දැඩි පීඩාවට ලක්ව තිබෙන බව වාර්තා වන අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 27,929කට අයත් පුද්ගලයන් 103,668කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ.

මළ නාලිකා නිසා කොළඹ උණුසුම්

කොළඹ මහ නගර සභාවේ මළ නාලිකා පද්ධතිය සම්බන්ධව අද (31දා) පැවති සභා රැස්වීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

දැනට නගර සභා ගොඩනැගිල්ලේ ඇති මළ නාලිකා මාර්ගය වෙනත් ගොඩනැගිල්ලකට හැරවීම සඳහා රුපියල් මිලියන 11කට වැඩි මුදලක් පුද්ගලික සමාගමකට ලබාදීමට සභාව ගෙන ඇති තීරණයට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවූහ.

FUTA අලුත් වේ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත්වීතිබේ.   මෙහීදි නව සභාපති ලෙස ආචාර්ය ප්‍රීමාල් ප්‍රනාන්දු මහතාද, ලේකම් ලෙස ආචාර්ය ඒ.ඩබ්ලිව් විජේරත්න මහතාද පත්වී තිබේ. ඊයේ පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වාර්ෂික සමුළුවේදී දී මෙම නිලධාරී මණ්ඩලය තේරී පත්වී  තිබේ.