Monthly Archives: August 2015

පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරිය හිරුණිකා

අට වැනි පාර්ලිමේන්තුව සඳහා තේරීපත්වූ ලාබාලතම මන්ත්‍රීවරිය වශයෙන් රට සංවර්ධනය කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පූර්ණ සහාය දක්වන බව තේරිපත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

එසේම තම පියාගේ ඝාතකයන්ට එරෙහිව ගෙන යන සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ඇය කියයි.

හෙට (01දා) අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දීමට ඇය සූදානමින් සිටින අතර ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමට අදහසක් එක්මින් ඇය මේ අදහස් දක්වා තිබේ.

 

කර්සායි පැමිණේ

ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති හමීඩ් කර්සායි මහතා අද (31දා) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ආරක්ෂක සමුළුව සඳහා සහභාගීවීමට ඔහු දිවයිනට පැමිණියේය. සමුළුව හෙට (01දා) හා අනිද්දා (02දා) පැවැත්වේ.

කර්සායි මහතා ආරක්ෂක සමුළුවේදී ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිතය. 

 

 

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ද්වීපාර්ශ්වික වෙළෙඳ වර්ධනයක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර 2013 සිට 2014 දක්වා සිදුකළ ද්වීපාර්ශ්වීය වෙළෙඳ හා ආයෝජන කටයුතුවල 18% ක සැලකිය යුතු වර්ධනයක් දැකිය හැකි බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩි මහත්මිය පවසයි.

පසුගියදා 27දා කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් මහකොමසාරිස් වරිය මෙසේ අදහස් දැක්වීය.

මෙහිදී, අධ්‍යාපන ක්ෂේත්‍රය විශේෂත්වයක් ගන්නා අතර, මේ වනවිට 6,000ක පමණ ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වන බවත්, ශ්‍රී ලංකාවේ සිටම ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද දැන් ශ්‍රී ලාංකික සිසුන්ට උදාවී ඇති බවත් ඇය පැවසුවාය.

ඔස්ට්‍රේලියානු සංවර්ධන ආයතනය හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා දුගී ප්‍රජාවන් දිරිගන්වන නව ව්‍යාපාර වෙනුවෙන් සහාය දැක්වීමටද ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියි.

නෙස්ලේ ලංකා හෙට උත්සවාකාරයෙන් ගනුදෙනු අරඹයි

නෙස්ලේ ලංකා සමාගම හෙට (01දා) කොළඹ කොටස් වෙළෙඳ පොළේදී උත්සවාකාරයෙන් සීනුව නාද කර ගනුදෙනු කටයුතු  ආරම්භ කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ෂිවානි හෙග්ඩේ මහත්මිය ප්‍රධාන වශයෙන් සහභාගි වන අතර, ඇය සිය සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත වීම සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇත.

කළමනාකාර අධ්‍යක්ෂවරිය සමග නෙස්ලේ උප සභාපති, මූල්‍ය හා පාලන ජග්දීෂ් කුමාර් සිංග්ලා, සමාගමේ ලේකම්/නීති උපදේශක ලිඕෂොන් රාජපක්ෂ යන මහත්වරුද සහභාගි වීමට නියමිතය.

විපක්ෂ නායක පිළිබඳ පුදුම හිතෙන තීන්දුවක්?

හෙට  ආරම්භවන 08 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරියගේ නම යෝජනා වී තිබෙන අතර නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ඒ. එච්. එම්. ෆවුසිගේ මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තාවේ.  
පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස පෙර පරිදිම ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පෙරපරිදිම ගයන්ත කරුණාතිලක හිටපු අමාත්‍යවරුන් පත් වනු ඇති බවද වාර්තා වේ. නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කිසිවෙකු නොසිතන තීන්දුවක් හෙට දිනයේදී ජනාධිපතිවරයා ගනු ඇතැයි ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු පැවසීය.

යුරෝපය වෙනුවෙන් සංක්‍රමණික පිළිතුරු සොයමු – මාකෙල්

යුරෝපා සංගමයට ඇතුළු වන සංක්‍රමණිකයන් හා සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන යුරෝපයම එක්ව තීරණයකට පැමිණීමේ අවශ්‍යතාව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාකෙල් මතු කරයි.

සරණාගතයන් ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට යුරෝපය අපොහොසත් වුවහොත්, එය කිසිසේත්ම අප බලාපොරොත්තු වන යුරෝපය නොවේවි යැයි ඇය අවධාරණය කරයි.

ඔස්ට්‍රියාවේ නැගෙනහිර දේශසීමාවලදී මිනිස් ජාවාරමේ යෙදෙන්නන් පස් දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමත් සමග ජර්මානු චාන්සලර්වරිය මෙම අදහස් දැක්වීමද කර තිබේ.

එමෙන්ම, පසුගිය බ්‍රහස්පතින්දා සංක්‍රමණිකයන් 71 දෙනෙකුගේ සිරුරු සමග දමාගිය ලොරියක්ද ඔස්ට්‍රියාව ආසන්න හංගේරියානු දේශසීමාවේදී හමුවිය.

එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ තවත් සංක්‍රමණිකයන් 200කට වැඩි පිරිසක් හමුවූ බවද එරට පොලීසිය කියයි.

උද්ඝෝෂණ නවත්වා එක්වන ලෙස නජීබ් කියයි

සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන මැලේසියානු අගමැති නජීබ් රසාක් සියලු ජනතාවට එක්වන ලෙස ඇරයුම් කර සිටී.

සති අන්තය වනවිට දසදහස් ගණන් ජනයා ක්වාලලම්පූර් නුවරට රැස්වෙමින් අගමැතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකළේ ඔහු ඩොලර් මිලියන ගණනක මහජන මුදල් තම පෞද්ගලික ගිණුමකට බැරකර ගෙන ඇති බවට චෝදනා කරමිනි.

මෙම උද්ඝෝෂණ සඳහා එරට හිටපු අගමැතිවරයෙකු වූ මහතීර් මොහොමඩ් ද වීදි බැස තිබුණි.

මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් අදහස් දක්වන නජීබ් අගමැතිවරයා පවසන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී රටක අදහස් ප්‍රකාශ කිරීමේ නිවැරදි ක්‍රමවේදය උද්ඝෝෂණ නොවන බවයි.

ඉන්දීයාවේ සියයට 7ක ආර්ථික වර්ධනයක්

ඉන්දියාවේ අප්‍රේල් සිට ජූනි දක්වා ආර්ථික වර්ධනය 7% ක අගයේ පවතින බව වාර්තා වෙයි.

මෙය පෙර කාර්තුවේ වාර්තා කළ 7.5% ක ආර්ථික වර්ධනය සමග සැසඳීමේදී සුළු පසුබෑමක් සේම, මීට පෙර සිදුකළ පුරෝකථනයන්ට ළඟා නොවීමක් බවද කියයි.

කෙසේ වෙතත්, චීනය හා ඉන්දියාව මේ වනවිට දෙවැනි කාර්තුව තුළ 7% ක ආර්ථික වර්ධන වේගයක් රඳවා ගනිමින් ලෝකයේ වේගවත් සංවර්ධනයක් සහිත ප්‍රමුඛ රාජ්‍යයන් බවට පත්ව සිටී.

මහ බැංකු පොලී අනුපාත තවදුරටත් නොවෙනස්

2015 අගෝස්තු මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී මහ බැංකු පොලී අනුපාතවල වෙනසක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 6% ක් සහ 7.5% ක් ලෙස නොවෙනස්ව පවතී.

නැගෙනහිර පාසල් ඉදිකිරීමට ඇමෙරිකානු සහාය

නැගෙනහිර පළාත තුළ විවිධ ජනකොටස් සඳහා පාසල් 8ක් ඉදිකිරීම වෙනුවෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සමග අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇත.

රු.මිලියන 450ක් වැයකොට අධ්‍යාපන පහසුකම් ලබාදීමට ගොඩනගනු ලබන මෙම පාසල් ස්වභාවික උපද්‍රවයන් හිදී අවතැන් වූ ජනතාවට තාවකාලික වාසස්ථාන ලෙසද භාවිත කළ හැකි බව තානාපති කාර්යාලය පවසයි.