Monthly Archives: July 2015

විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප අගෝස්තු 10දා සිට

විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප සාමාන්‍ය පරිදි අගෝස්තු 10 වැනිදා සිට ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

එමෙන්ම, විෂමතා ඉවත් කිරීමෙන් පසු විශ්‍රාමිකයන්ට එම මුදල් ලබා ගැනීමට තිබූ ගැටලු වහාම ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (30දා) විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව, අදාළ මුදල් ලබාගැනීම සඳහා විශ්‍රාමිකයාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණිය යුතුය, හැඳුනුම්පත් ලබාදිය යුතුය යන කොන්දේසි සියල්ල අහෝසි වනු ඇති බව පැවසෙයි.

මේ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා අද (30දා) අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණ විය.

ඒ අනුව ලබන මස 10 වැනිදා සිට සාමාන්‍ය පරිදි විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුපද ලබාගැනීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා පවසා සිටියේය.

2006 වසරට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප ද 6/2006 වැටුප් ව්‍යුහයට සමගමීව සංශෝධනය කිරීමට පසුගිය දා තීරණය කෙරුණු අතර, ඒ අනුව විශ්‍රාමිකයන් 330,000කගේ වැටුප් විෂමතා ඉවත් වනු ඇති බව සඳහන් කෙරිණි.

මේ යටතේ විශ්‍රාමිකයන්ට රුපියල් 3,000/- සිට 10,000/- දක්වා මුදලක් ලැබීමට නියමිත බවද රවි කරුණානායක මහතා පවසා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. එස් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන්ද එක්ව සිටියේය.

මෙරට ආයෝජනයට නවසිලන්තය සැරසේ

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට නවසිලන්තයේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් පිරිසක් මෙම නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට යොමු කරන බව නවසිලන්ත මහ කොමසාරිස් ග්‍රැහැම් මොර්ටන් මහතා පවසා සිටියේය.

ඔහු මෙසේ පවසා සිටියේ අද (30දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදීය.

එම හමුවේදී, රටට සහ සමාජයට අවශ්‍ය පරිවර්තන රැසක් සමගින් නව රජය රට තුළ ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සුබපැතුම් පළ කළ නවසිලන්ත මහකොමසාරිස්වරයා එම වැඩපිළිවෙළ එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේද පැසසුමට ලක්ව තිබෙන බවද පෙන්වා දුන්නේය. 

කෘෂිකර්මාන්තය සහ දියර කිරි නිෂ්පාදනය සඳහා නවසිලන්තය යොදාගන්නා ඉහළ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නවසිලන්ත මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්ද කළ අතර, ඒ කෙරෙහි මහකොමසාරිස්වරයාගේ ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.

Natuzzi Italia කොළඹට පැමිණේ

ඉතාලියේ ප්‍රකට ගෘහභාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Natuzzi පසුගියදා ශ්‍රී ලංකාවේ අලෙවි කටයුතු සිදුකිරීම සඳහා සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස්  ව්‍යාපාර සමූහයට අයත් සොෆ්ට්ලොජික් රීටේල් පෞද්ගලික සමාගම සමග අත්වැල් බැඳගෙන ඇත.

සොෆ්ට්ලොජික් රීටේල් සමාගම Natuzzi ගෘහභාණ්ඩ සඳහා මෙරට නිල අලෙවි නියෝජිත බවට පත්වන අතර, මහල් 4 කින් යුත්, අති නවීන පහසුකම්වලින් සමන්විත Natuzzi ප්‍රදර්ශනාගාරය කොළඹ 4, ගාලු පාරේ, අංක 100 දරණ ස්ථානයේ පිහිටා ඇත.

ඕනෑම ගොඩනැගිල්ලකට,  ඕනෑම ස්ථානයකට සහ  ඕනෑම කාලයකට ගැළපෙන පුළුල් පරාසයක පැතිරුණු Natuzzi නිෂ්පාදන පෙළක් කොළඹ පිහිටි නව ප්‍රදර්ශනාගාරයේදී දැන් පාරිභෝගිකයන් හට දැකබලාගත හැකි  බවත්, මෙම නිෂ්පාදන අතරට නවතම Re-Vive ඇඳි පුටු වර්ග මෙන්ම, Natuzzi Italia මාදිලි, Tempo සහ Dorian සෝෆා වර්ග සහ Piuma ඇඳන් ඇතුළත් වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

සුන්බුන් MH370 දැයි පරීක්ෂාවට ප්‍රංශයට යවයි

ඉන්දියනු සාගරයේ රීයූනියන් දූපතට ගොඩගසා තිබියදී හමුවූ ගුවන්යානා කොටස අතුරුදන් වූ MH370 යානයේ දැයි පරීක්ෂා කිරීමට එය ප්‍රංශය වෙත යවා තිබේ.

මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් පවසා ඇත්තේ අඩි 6ක් පමණ දිග යානා කොටස අතුරුදන් වූ බෝයිං 777 මාදිලියේ යානයකම කොටසක් බවට විශ්වාස කරන බවයි.

මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී 2014 මාර්තු මාසයේදී මැලේසියානු ගුවන් සේවයට අයත් මෙම යානය අතුරුදන් වූයේ පුද්ගලයන් 239 දෙනෙකුද සමගිනි.

අතුරුදන් වූ MH370 යානය පිළිබඳ හෝඩුවාවන් සොයා ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ රාජ්‍යයන් රැසක් ඉන්දියානු සාගරයේ දක්ෂිණ කලාපයේ දැවැන්ත මෙහෙයුමක් සිදුකළද යානය හමු නොවීය.

නමුත්, මෙම යානා කොටස ගොඩගසා ඇත්තේ එම සෝදිසි මෙහෙයුම් කලාපයට කිලෝමීටර් 6,000ක් පමණ නැගෙනහිරින් වූ ප්‍රංශ කලාපයේ රීයූනියන් දූපටතය.

නේපාලයේ ප්‍රබල නායයෑමක් – ජීවිත හානි රැසක්

නේපාලයට බලපෑ දැඩි වර්ෂාවත් සමග ඇති වූ නායයෑම්වලින් එරට බටහිර කලාපයේ පුද්ගලයන් 29 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 200ක් පමණ බටහිරින් පිහිටි පොක්හාරා නගරයේ විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවද කියැවෙයි.

නායයෑම් සමග පස්වලට යටවූ නිවාස මතුකර ගැනීමට සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරන බව නේපාල රජය පවසයි.

වාර්ෂික මෝසම් වැසි සමග එරට කඳුකර ප්‍රදේශවල නායයෑම් මෙන්ම පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් සිදුවන බවද විදෙස් වාර්තා කියයි.

මියන්මාරය සිරකරුවන් 7000ක් නිදහස් කරයි

විදේශිකයන් 210ක් ඇතුළු සිරකරුවන් 6,966 දෙනෙකුට සමාව දී ඔවුන් නිදහස් කිරීමට මියන්මාර රජය කටයුතු කර තිබේ.

ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර මානුෂීය පියවරක් ලෙස ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව එරට තොරතුරු අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත්, නිදහස ලැබූවන් අතර මියන්මාරයේ දේශපාලන සිරකරුවන් සිටින්නේද යන්න පැහැදිලි නැති බවද කියැවෙයි.

කලාම් සර් අවසන් ගමනේ

අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය ජනපති අබ්දුල් කලාම් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30දා) තමිල්නාඩු ප්‍රාන්තයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරිණි.

හිටපු ජනාධිපතිවරයාගේ උපන් ගම්මානය වූ රාමේෂ්වරම් පැවැත්වූ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගි විය.

ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා ලෙස වර්ෂ 2002 සිට 2007 දක්වා කටයුතු කළ කලාම් මහතා ජනතාවගේ ජනාධිපතිවරයා සහ මිසයිල මිනිසා යන නාමයන්ගෙන් ගෞරවාදරයට පත්විය.

පසුගිය සඳුදා විශේෂ දේශනයක් සිදුකරමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය.

මේ අතර, ඉන්දියාව තුළ අසහාය නායකයෙකු ලෙස ප්‍රකට වූ කලාම් මහතාට ගෞරව දැක්වීම සඳහා සමාජජාල මාධ්‍ය බෙහෙවින් යොදාගෙන තිබුණු අතර, ට්විටර් හි #KalamSir යන්න පසුගිය දින දෙක තුළ ඉහළම ප්‍රතිචාර ලැබූ tag එක විය.

තලේබාන් නායක මුල්ලාහ් ඕමාර්ගේ අනුප්‍රාප්තිකයෙක් නම් කෙරෙයි

තලේබාන් සංවිධානයේ හිටපු නායකයා ඝාතනය වී ඇති බව ඇෆ්ගන් රජය තහවුරු කිරීමත් සමග එම සංවිධානය විසින් ඔහුගේ අනුප්‍රාප්තිකයෙකු නම් කිරීමට අද (30දා) කටයුතු කර තිබේ.

ඒ අනුව, මුල්ලාහ් ඕමාර්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ මුල්ලාහ් අඛ්තාර් මන්සෝර් සංවිධානයේ නව නායකයා ලෙස පත්වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, මෙම පත්කිරීම සංවිධානය දෙකඩ කරනු ඇති බවත්, සංවිධානයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් මෙම පත්කිරීමට විරෝධය පා ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මේ අතර, පාකිස්තාන රජය පවසන්නේ හෙට දිනයේ (31දා) රජය හා තලේබාන් සංවිධානය අතර පැවැත්වීමට තිබූ සාම සාකච්ඡාද කල්දමා ඇති බවයි.

මධ්‍යම අධිවේගයේ වැඩ 1 දා ඇරඹේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වැඩ ඇරඹීම එළැඹෙන 01දා සිදු කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි. එහි සමාරම්භක උත්සවය කඩවතදී පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල සේවාවේ වෙනසක්

ශ්‍රී ලංකාවේ විදෙස් දූත මණ්ඩල සේවා සඳහා නව නලධාරී පිරිසක් පත් කර තිබේ.

ඒ අනුව ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ඇසල වීරකෝන් මහතාත්, රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස වෛද්‍ය සමන් වීරසිංහ මහතාත්,  පිලීපිනයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ශඅරුණි රණරාජා මහත්මියත් පත්කොට තිබේ.

ඊට අමතරව කැනඩාවට එක් කොන්සල් ජනරාල්වරයෙක්, ඔස්ට්‍රේලියාවට එක් කොන්සල් ජනරාල්වරයෙක්, චීනයට කොන්සල් ජනරාල්වරු දෙදෙනෙක් හා ඉතාලියට එක් කොන්සල් ජනරාල්වරයෙක්ද  පත්කොට තිබේ.