Monthly Archives: July 2015

ජනපති අනුරපුරේදී සන්ධාන වේදිකාවට ගොඩවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31දා)  එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දි්සත්‍රික් කණ්ඩායම් නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප ලේකම් කෘෂීකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ පැවති ජන හමුවක වේදිකාවකට ගොඩ විය.
 
 ජනාධිපතිවරයා  අද (31දා) අනුරාධපුරයේ ආගමික උත්සව කිහිපයකට සහභාගී වීමට පැමිණි අතරතුර  අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිවසට හදිසියේම පැමිණි අතර, ඒ වන විටත් දුමින්ද දිසානායක මහතාගේ නිවසේ පැවැත්වෙමින් තිබූ ජන හමුවේ වේදිකාවට ගොඩ වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් රැස්වීමට පැමිණි ජනතාවට ආචාර සමාචාර කර පිටව ගියේය.
 

මේක කිව්වොත් මට මාධ්‍යයෙන් පහර ගහයි – අර්ජුණ

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේදී රණවිරුවන්ට සිදු වූයේ රණ ගී නොව දුක් ගී ගයන්නට බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම කණ්ඩායම් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි. 

ඊයේ (30) මහරදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට බේරා ගත් රණවිරුවන් හෑල්ලු කිරීමට කිසිම විටක ඉඩ නොතබන බවයි.

“මං මේක කිව්වොත් සමහර වෙලාවට මට මාධ්‍යයෙන් පහර ගහයි. ඒත් මං මේක කියන්න ඕන. මං සමහර වෙලාවට හිතනවා යුද්ධය ඉවරවුණේ නැත්නම් මේ දේශපාලඥයෝ මෙච්චර නටන්නේ නැහැ කියලා. ඒ වෙන එකක් නිසා නෙවෙයි. යුද ජයග්‍රහණය භුක්තිවිඳින්නේ මේ රටේ මහජනතාව වගේම පහුගිය කාලේ හිටපු මැති ඇමතිවරු. නිදහසේ ඕනම තැනකට යන්න දුන්නා, හොරකම් කරන්න භය වුණේ නැහැ. ඕනම ජරා වැඩක් කරාම බේරගන්න නායකයෙක් හිටියා. කියන කියන දේට අත උස්සන්න කෙනෙක් හිටියා.” යනුවෙන්ද අර්ජුන රණතුංග අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

කොටහේනේ වෙඩිතැබීමක්

කොළඹ, කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකදී වෙඩි තැබීමක් සිදුව තිබේ. 

සිදුවිමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර, 13 දෙනකු තුවාල ලබා තිබේ.  

වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව0 පොලිසිය සඳහන් කරයි.

MH370 සුන්බුන් ගැන මහාචාර්ය චරිතගේ තොරතුරු සැසඳේ

MH370 යානයේ සුන්බුන් ගමන් කරන දිශා දක්වමින් මීට වසරකට පෙර තමා ඉදිරිපත් කළ සාගර විද්‍යා සිතියම පෙරේදා (29දා) යානා කොටසක් හමුවූ රීයූනියන් දූපත දක්වා විහිදෙන බව බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා ‘අද’ ට පැවසීය.

යානය අනතුරට පත්වූ කාලයේ සිටම යානය සෙවීම සඳහා සාගර විද්‍යා තොරතුරු සැපයූ ලෝක ප්‍රකට විද්වතෙකු වූ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතාගේ මෙම සිතියම පිළිබඳව මේ වනවිටත් ජාත්‍යන්තර මාධ්‍යයේ විශේෂ අවධානයක් යොමුව තිබේ.

“පසුගියදා හමුවූ MH370 යානයේ තටුවකට අදාළ කොටසක් බවට විශ්වාස කෙරෙන කොටස මා යානයේ සුන්බුන් විසිරෙන ආකාරය දක්වමින් ඇඳි සිතියමේ ගමන්මග හා සැසඳෙනවා. ඒ ඒ කාලසීමාවේදී සුන්බුන් ගමන් කරන දුර හා පැතිරෙන ප්‍රදේශ එම සිතියමෙන් විස්තර කෙරුණා. ඒ අනුව, මාස 18කට ආසන්න කාලයේදී රීයූනියන් දූපත වෙත සුන්බුන් පැමිණීම මා එම සිතියම මගින් නිවැරදිව දක්වා තිබුණා.” යැයි මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම යානා කොටස පිළිබඳව තවදුරටත් විමර්ශනය සඳහා එය ප්‍රංශය වෙත රැගෙන ගොස් තිබුණු අතර, ගුවන්යානා විශේෂඥයන්ගෙන් අදහසට අනුව මෙය බෝයිං 777 යානයේ කොටසක්ම බව මේ වනවිට තහවුරු වෙමින් පවතී.

ඒ අනුව, 2014 මාර්තුවේදී පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය පිළිබඳව මෙතෙක් පැවති අභිරහසේ තොරතුරු කෙමෙන් ලෝකයට විවෘත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැලේසියාවේ ක්වලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබියදී යානය අනතුරට පත්ව තිබූ අතර, මෙම ගුවන් යානා අනතුර පිළිබඳ තොරතුරක් සොයා ගැනීම වෙනුවෙන් ලෝකයේ එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම රාජ්‍යයන් රැසකගේ දායකත්වයෙන් සිදුකෙරුණි.

 

ආක්ෂා සුදාරිගේ බැංකු ගිණුම් තහනම්

ඉන්දීය ජාතිකයෙකු  සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගෙන් රුපියල් 14 කෝටියකට අධික මුදලක් වංචා කළැයි බොරලැස්ගමුවේ පදිංචි ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුදාරිගේ (28) බැංකු ගිණුම් ගනුදෙනු අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා  ඊයේ (30දානියෝග කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම්. බී. පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරී තමිල්නාඩුවේ චෙන්නායිහි හි පදිංචි ගෝපිරාජ් කවලංගිල් වඩකිප් (54) නම් පුද්ගලයා සමග ආක්ෂා පෙම් සබඳතාව පවත්වා තිබේ.

ගෝපිරාජ් ඇය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් වටිනා භාණ්ඩ රැසක් තමාට දුන් බව ඇය කියා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මුදල් වැය කළ ආකාරයය ප්‍රකාශ කිරීමට සුදාරි අපොහොසත් වී ඇති බවත්, එහෙයින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන කරන බවත් රහස් පොලිසි අධිකරණයට දැන්වීය.

 ආක්ෂා සුදාරි රුපියල් 25000ක මුදල් හා රුපියල් තුන් කොටියක ශරීර ඇප මත මුදාහරිනු ලැබ සිටියි.

නිරංජි අබේවික්‍රම

 

හලාවත සන්ධාන සභාපති එජාපයට

හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති (සන්ධාන) එච්.ඒ.ජීවන් ජුඩ් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වි එක්සත් ජාතික පක්ෂයට එක් වි ඇත‍.

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කණ්ඩා‍යමේ නායක නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 30 දා ) රාත්‍රි හලාවත තානායමේ දි පැවැති මාධ්‍ය සාකච්ජාවකදි ජීවන් ජුඩ් මහතා නිරෝෂන් පෙරේරා මහතා හරහා එජාපයට එක්විය.

රටට සිදු වූ වරද නිවැරදි කරනවා – මහින්ද

එක්සත් ජාතික පක්ෂ රජය මස 60ක් තුල සන්ධාන රජය ක්‍රියාත්මක කල සංවර්ධන ව්‍යාපෘති පනස් අට දහසක්  නවතා දමා ලක්ෂ 15 රැකියා   අහිමි කල බවත්, ලබන 18  දා ලබන ජනතා ජයග්‍රහණයයෙන්  සතියක් තුල සියලු සංවර්ධන ව්‍යාපෘති නැවත අරඹා රටට සිදුවූ වරද නිවැරදි කිරීමට තමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය කැපවී කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතා පැවැසීය.

මොනරාගල පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව ඊයේ (30දා) පැවැසීය.

පැවති රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ වැරදි පෙන්වමි ජනතාව මුලා කල   එජාපය  තම රජය හමුවේ පැනඩෝල් පෙත්තක මිල අඩු කිරීමට සමත්ව නැති බවත් මෙහිදී පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා, ජනතාවට උණ ගැනෙන්නට පහරදී කොත්තමල්ලි මිල අඩු කල ද මේ වනවිට එහි මිලද ඉහල ගොස්  ඇති බැවින්  එජාපයේ ප්‍රතිපත්තිය  එයින්ම පැහැදිලි වන බව ද පෙන්වා දුන්නේය. 

රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්නේ නෑ- පාඨලී

කිසිදු රාජ්‍ය ආයතනයක් පුද්ගලික අංශයට පැවරීමක් නොකර ඉදිරියට ගෙන යන බවත් රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරනවා යැයි ප්‍රකාශ කරමින් ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බව එක්සත් යහපාලන ජාතික පෙරමුණේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා විසින් ඊයේ (30දා) ගම්පහ ප්‍රදේශයේ පැවති ජන රැලියකදී ප්‍රකාශ කළේය.

"රාජ්‍ය සේවය පුද්ගලික අංශයට පවරනවා යැයි අසත්‍ය ප්‍රකාශ කරමින් රාජ්‍ය සේවකයින් නොමග යැවීමට කටයුතු කරනවා. ජනවාරි 08 වනදා ගෙන ආ මෛත්‍රීපාලන වැඩ සටහන හා පංචවිධ ක්‍රියාවලිය මඟින් වැවිලි ආර්ථීකයක්, ආර්ථික කළාප 45 ක්, දුගියන් නැති, පැල්පත් නැති වැඩ පිළිවෙලක්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක්, රැකියා දස ලක්ෂයක් ඇති කරන වැඩපිළිවෙල අපි ඉදිරිපත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ කළ අධිවේගී මාර්ගවල ගම්මිරිස් වේලන  සංවර්ධනය  වෙනුවට ජනතාවට ප්‍රයෝජනවත් සංවර්ධන වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. එම අධිවේගී මාර්ගය කොටුවේ සිට බොරැල්ල දක්වා දැම්මනම් එය කොතරම් ප්‍රයෝජනවත් වේවිද? අපි ඉදිරිපත් කරන්නේ ජාවාරම්කාරයින්ට හිතකර සංවර්ධනයක් නෙවෙයි. ජනතාවට ප්‍රයෝජනවත් සංවර්ධනයක්. 

රට තුළ කොට්ඨාශයට එක් මන්ත්‍රීවරයෙක් ලැබෙන දේශපාලන ප්‍රතිසංස්කරණයක් අපි ඇති කරනවා. පාසලකට ළමයා ඇතුළත්කිරීමේ සිට උපාධියක් ලබාගන්නා තැන දක්වාම අද වන විට ගැටළු මතු වී තිබෙනවා. කාර්මික විද්‍යාලයේදී, විශ්ව විද්‍යාලයේදි නිවැරදි අධ්‍යාපන පරිඡයක් ලබාදෙන රැකියා ලබාගන්නා අධ්‍යාපනික වෙනසක් ඇති කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පවුලක් රජකරවීමට කටයුතු කරනවා. අපි පවුල් පනස්පන් ලක්ෂයක් රකින ජනවරමක් ඔබෙන් ඉල්ලන්නේ." යැයි පැවසීය.

පළමු විස්සයි20 තරගයේ ජය පාකිස්තානයට

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටයේ ඊයේ (30දා) පැවති පළමු පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 29 ක ජයක් ලබා ගැනීමට සංචාරක පකිස්තානය සමත් විය.

ලකුණු 176 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු  7 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 146 ක් පමණි.  කුසල් පෙරේරා සමගින් ටී.එම්.ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළද  ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට පාකිස්ථානු පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

අන්වර් අලි ගේ පන්දුවකට අපරීක්ෂාකාරී පහරක් එල්ල කිරීම හේතුවෙන් පළමු කඩුල්ල ලෙස කුසල් දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 4 ක් ලෙස සටහන් වෙද්දීය. කෙසේ වෙතත් ඩිල්ෂාන්ටද සාර්ථක වීමට සොහෙල් තන්වීර් ඉඩ ලබා නොදුන් අතර ඔහු ලකුණු 6 කට දැවී ගියේය. කිත්රුවන් විතානගේටද රැස් කිරීමට හැකි වූයේ ලකුණක් පමණි.

ඒ අනුව පන්දුවාර 3.1 ක් වන විටදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 19 කට කඩුළු 3 ක් ලෙස සනිටුහන් විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව නවක පිතිකරු ධනංජය සිල්වා සමගින් එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම යම් ස්ථාවරත්වයකට ගෙන ඒමට තැත් කළද මුළු ලකුණු සංඛ්‍යාව  55 ක් වන විටදී මැතිව්ස් ද දැවී ගියේය.

කඩා වැටුනු ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් ලබා දුන් නවක ක්‍රීඩක ධනංජය ද සිල්වා ලකුණු 31 ක් රැස් කරීමට සමත් විය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුනු 116 ක් ලෙස සනිටුහන් වෙද්දී මිලින්ද සිරිවර්ධනද ලකුණු 34 කට දවාලීමට  සොහෙල් තන්වීර් සමත් විය. ඉන් අනතරුව පිටියට පිවිසි තිසර පෙරේරා නැවතත් අසාර්ථක විය.

කෙසේ නමුත් වසර තුනකට පසු නැවතත් පිටියට පිවිසි  චාමර කපුගෙදර ඉනිමේ අවසන් භාගයේදී කණ්ඩායම යම් ස්ථාවර්ත්වයකට ගෙන ඒමට තැත් කළද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඔහුගේ උත්සාහය ප්‍රමාණවත් නොවීය. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ පාකිස්තානු ක්‍රීඩක සොහෙල් තන්වීර්ටයි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් පන්දුවාර විස්ස තරගය අනිද්දා (01) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවත්වේ.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන්  ධනංජයද සිල්වා, බිනුර ප්‍රනාන්දු, මිලින්ද සිරිවර්ධන හා ජෙෆ්රි වැන්ඩර්සේ විස්සයි20 වරම් හිමිකර ගත්හ.

ඡායාරූප ශාන්ත රත්නායක