Monthly Archives: June 2015

ජනපතිගේ තීරණය ගැන සියල්ලෝම අවධානයෙන් – රතන හිමි

රටේ අගමැතිවරයා කවුරුන් වුවත් තමන්ට ප්‍රශ්නයක් නොමැති බවත් රටෙත් ආණ්ඩුවේත් නායකයා වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ගන්නා දේශපාලන තීරණය ගැන  සියල්ලෝම අවධානයෙන් බලා සිටින බවත් පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ පුජ්‍ය අතුරළියේ රතන හිමියෝ පැවසුහ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔහුගේ පැරණි සගයන් සමග නම් එම සන්ධානයත් සමග සන්ධාන ගත වීමට තමන්ට නොහැකි බවද උන්වහන්සේ පැවසුයේ අද (30) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැති අපේක්ෂකයකු නම්කර නැහැ

එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැති අපේක්ෂකයකු නම් කර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් මේබව පවසයි. "අගමැති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් කිසිදු එකඟතාවයක් ප්‍රකාශ කර නොමැත," බව එහි සදහන්ය.

අද මධ්‍යම රාත්‍රියේදී වේලාව තත්ත්පරයකින් ඉදිරියට

පෘථිවි භ්‍රමණය මන්දගාමී වීමට සමගාමීව සුප්‍රකට බිග්බෙන් ඔරලෝසුවේ වේලාව තත්ත්පරයකින් ඉදිරියට ගැනීම අද (30දා) මධ්‍යම රාත්‍රියේදී සිදුවීමට නියමිතය.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 11.59 පසුවී තත්ත්පර 61 ට හෙට (ජූලි 01 වැනිදා) දිනයේ උදාව සිදුවෙයි.

සූර්යයාගේ හා චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණයෙන් පෘථිවි භ්‍රමණයට ඇතිකර තිබෙන බලපෑම සලකා බලමින් මෙසේ වෙලාව වෙනස් කරන ලෙස නාසා ආයතනය කලින් තීරණය කර තිබූ අතර, ඒ අනුව යමින් බ්‍රිතාන්‍යයේ සුප්‍රකට බිග්බෙන් ඔරලෝසුවේ වේලාව තත්ත්පරයකින් වෙනස් කිරීම අද මධ්‍යම රාත්‍රියේදී සිදුකිරීමට නියමිතය. මෙම තත්ත්පරයක වෙනස 'අධික තත්ත්පරයක්' යනුවෙන්ද හැඳින්වෙයි.

ඇඹිලිපිටිය හිටපු සභාපති වසර 7කට පසු අත්අඩංගුවට

මිද්දෙනිය ප්‍රදේශයේදී  කංසා ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථයක් පොලීසිය පරීක්ෂා කිරීමේදී පළා ගිය ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වසර හතරකට පසු මිද්දෙනිය පොලීසිය විසින් අද (30දා) අත් අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරු ඉකුත් 2011 වසරේ නොවැම්බර් මස 06 වැනි දින අලෙවිය සඳහා කංසා කිලෝග්‍රෑම් 12 ප්‍රවාහනය කරමින් සිටියදී මිද්දෙනිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කරන ලද සෝදිසියක් අතර තුරදී පළා ගොස් තිබුණි.

වසර හතරක් සැගව සිටි අදාළ සැකකරු ඊයේ දින(30) අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය ප්‍රකාශ කරයි. ඊයේ දින (30) නඩුව කැදවූ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු උදේශ් රණතුංග මහතා සැකකරු  මෙම මස 14 වැනි දින දක්වා බන්ධනාගර ගත කරන ලෙස නියෝග කළේය. 

වැඩබලන දියවඩන නිලමේ ප‍්‍රදීප්

මහනුවර ශ‍්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස කටයුතු කළ ප‍්‍රදීප් නිලංග දෑල මහතාගේ නිල කාලය අද(30) අවසන් වු බැවින් ශ‍්‍රී දළඳා මාළිගාවේ  වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස ප‍්‍රදීප් නිලංග දෑල මහතා පත්කොට තිබේ. 2005 ජුලි 01 දින ප‍්‍රදීප් නිලංග දෑල මහතා ශ‍්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේවරයා ලෙස පත්වු අතර   වසර 10 ක නිල කාලය අවසන්වීමත් සමග අලුතින් දියවඩන නිලමේවරයකු පත්කර ගන්නා තුරු ප‍්‍රදීප් නිලංග දෑල මහතා මෙලෙස වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත්කර තිබේ. අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය සහිතව බෞද්ධ විහාර, දේවාලගම් ආඥා පනත යටතේ අදාළ පත්කිරීම සිදුකර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා පැවසීය

සංගාගේ සමුගැනීම සරා පිටියේදී

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ අවසන් අන්තර්ජාතික තරගය පී. සරා පිටියේදී පැවැත්වෙන බව අද (30දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති පුවත් සාකච්ඡාවකදී අනාවරණය විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු ලේකම් ප්‍රකාශ් ෂාප්ටර් මහතා සඳහන් කළේ, ඉන්දීය තරගාවලියේ ටෙස්ට් තරගය පී. සරා පිටියේදී පැවැත්වීමට නියමිත බවයි. ඉන්දීය තරගාවලියේ දෙවැනි තරගයෙන් අනතුරුව තමන් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බවට තීරණය කර තිබෙන හෙයින් පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය වනු ඇත. තරගාවලියේ තරග පැවැත්වෙන ස්ථාන පිළිබඳව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති හෙයින් ක්‍රීඩාංගණ වෙනස් කිරීමට නොහැකි බව ප්‍රකාශ් ෂාප්ටර් මහතා පවසා සිටියේය.

තරගාවලිය අගෝස්තු මස පැවැත්වෙන හෙයින් මහමැතිවරණය නිසා තරගාවලියේ දිනයන්හි වෙනසක් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

ඉන්දීය ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේදීත්, අවසන් තරගය පල්ලේකැලේදීත් පැවැත්වීමට නියමිතය. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ මිලියන ගණක විදුලි පහනක් අතුරුදන්

හිටපු ජනපති ජේ.අාර්. ජයවර්ධන මහතාට චීන රජයෙන් ලැබුණ රුපියල් මිලියන ගණනක් වටිනා විදුලිපහන් කට්ටලය අතුරුදන් වී තිබේ.

මේ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාව බාර මාෂල්වරයාට අගවිනිසුරුවරයා නියෝග කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසා ඇත්තේ මෙම විදුලිපහන් කට්ටලය හිටපු අගවිනිසුරු මොහාන් සිල්වා මහතා විසින් අලුත් වැඩියා කිරිමට යැයි පවසා නිසි ක්‍රියාපිළිවෙතකින් තොරව නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවයි.  

ජුනි උද්ධමනය සෘණ අගයකට ආසන්නයි

උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මැයි මාසයේ වාර්තා කළ 0.2% සිට ජුනි මාසයේදී 0.1% දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මෙසේ ජුනි මාසයේදී 0.1% දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 මැයි මාසයේ පැවති 1.9% හි සිට 2015 ජුනි මාසයේදී 1.7% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

දඹුල්ල හිටපු නගරාධිපති නැවතත් රිමාන්ඩ්

රජයේ රක්ෂිතයක බොරළු කැපී යැයි චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරව සිටි දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා  මේ මස 14 දින  දක්වා  නැවත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා අද (30දා) දින නියෝග කළේය.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු බන්ධනාගාර බස් රථයෙන් දඹුල්ල අධිකරණයට රැගෙන විත් තිබිණි. දඹුල්ල ප්‍රදේශයේ ජනතාව අධිකරණය ඉදිරිපිට රැස්ව සිටි අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ රෝහණ කුමාර දිසානායක මහතා ද ජාලිය ඕපාත මහතාගේ සහයෝගයට අධිකරණ භූමියට පැමිණ සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි සිය නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා පතල් හා භූ විද්‍යා අංශවල වාර්තා අනුව එම ස්ථානයේ බොරළු කපා ඇත්තේ, වසර කීපයකට ඉහත දී බව අනාවරණය වන බව අධිකරණයට දැන්වීය.

එම අවස්ථාවට එක් වූ හිටපු නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පැවසුවේ දේශපාලනය කිරීම තුළින් මෙවැනි දේ සිදුවන බවත් ලබන මැතිවරණයෙන් පසු මේ සියල්ල සමථයකට පත්වන බවත්ය.

ඊරෝස් තනිව එයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරු, නැගෙනහිර හා කඳුකරය ප්‍රදේශවලට ඊළාම් ජනතා පෙරමුණ (ඊරෝස්) තම පක්ෂ ලාංඡනය වන නගුල යටතේ  තරග  වැදීමට  නියමිත බව එම පක්ෂයේ සභාපති ආර්.ප්‍රභාකරන් මහතා පැවසීය.

කිසිවෙකුට යටත් වීම අපගේ අරමුණ නොවේ. ජනතාවගේ නිදහස සඳහා අපගේ දේශපාලන ගමන වේ. ඊළඟ පාර්ලිමේන්තුවේ රජයක් පවත්වන පක්ෂය කෙසේ වෙතත් එහි ජය ලබන නියෝජිතයන්ට තම පක්ෂයේ සහයෝගය ලබා දෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පක්ෂයේ සභාපතිවන ආර්.ප්‍රභාකරන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන අපේක්ෂක ලෙස ඉදිරිපත්වී ඇත.

මඩකලපුව – ජවුෆර්කාන්