Monthly Archives: June 2015

කොටස් වෙළෙඳ පොළ ආයෝජනය හා කට වචනය

ආයෝජන උපදේශකයෙකු හා ගනුදෙනු කිරීමේදී ඔබ සිදුකළ යුතු අනිවාර්යය කාරණා කිහිපයක් පිළිබඳව 'අද' ආර්ථික පිටුවේ 'දැනුමෙන් ආයෝජනයට' තුළින් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ආයෝජකයා හා සම්බන්ධ වන ආයතනය වන්නේ කොටස් තැරැව්කාර ආයතනයයි. කොටස් වෙළෙඳ පොළේ ආයෝජකයෙකුට කොටස් වෙළෙඳ පොළට සෘජුව සම්බන්ධ විය නොහැකි අතර, ඔහු සම්බන්ධ විය යුත්තේ කොටස් තැරැව්කාර ආයතනයක් හරහාය. මේ අනුව, ගනුදෙනු කිරීමේදී කොටස් තැරැව්කාර ආයතනය හා ආයෝජකයා අතර අන්‍යොන්‍ය අවබෝධයක් තිබිය යුතුය. එසේ අවබෝධයක් නොමැති වූ විට, විවිධ ගැටලු පැන නගී.

ඇණවුම පටිගතවීමේ යාන්ත්‍රණයක් තිබේදැයි බැලීම

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ආයෝජකයා හා කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශක බොහෝ විට සම්බන්ධ වනු ලබන්නේ දුරකථනය මාර්ගයෙනි. කොළඹ කොටස් වෙළෙඳ පොළේ නීතිරීතිවලට අනුව කොටස් තැරැව්කාර ආයතනයක්, තම ගනුදෙනුකරු සිදුකරන ඇණවුම් සඳහා දුරකථන පටිගත කිරීමක් සිදුකළ යුතු වන අතර, එසේ නොමැති නම් සියලුම ඇණවුම් ලිඛිතව ලබාගත යුතු වේ. එනම්, කොටස් තැරැව්කාර ආයතනයකට දුරකථන ඇණවුම් පටිගත කළ හැකි යාන්ත්‍රණයක් තිබිය යුතු වන අතර, එසේ නොමැති නම් ලිඛිතව ඇණවුම් ලබාගත යුතු වේ. එනමුත්, බොහෝ අවස්ථාවලදී අප දැකඇත්තේ ආයෝජකයන් දුරකථනය මාර්ගයෙන් ඇණවුම් ලබාදීමයි.

ජංගම දුරකථනට ලබාදෙන ඇණවුම් පටිගත නොවීම

ඔබ ජංගම දුරකතනයකින් ඔබගේ ආයෝජන උපදේශකගේ ජංගම දුරකථනයට ඇණවුමක් ලබාදුනහොත් එය පටිගත කිරීමක් සිදු නොවන අතර, පසුකාලීනව යම් ගැටලුවක් මතු වුවහොත් එය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ නොහැකිය. එබැවින් ඔබ සිදුකළ යුත්තේ හැකි තරමින් කොටස් තැරැව්කාර ආයතනයේ ස්ථාවර දුරකථනය ඇණවුම් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කිරීමයි. සමහර කොටස් තැරැව්කාර ආයතන දැනටමත් දුරකථන ඇණවුම් පටිගත කිරීම ආරම්භ කර ඇති අතර, තවත් සමහර ආයතන එසේ සිදුකරනු නොලබයි. කලින් පැවසූ ආකාරයට එවැනි පටිගත කිරීමක් සිදුකරනු නොලබයි නම්, ඇණවුම ලිඛිතව ලබාගත යුතු වේ.

කොටස් තැරැව්කාර ආයතනය හා ආයෝජන උපදේශක අතර පැන නැගිය හැකි විවිධාකාරයේ ගැටලු

ඒවා අතර කිහිපයක් නම්,

1. කොටස් වෙළෙඳ පොළේ ආයෝජකයා විසින් ලබා නොදුන් ඇණවුම් කොටස් තැරැව්කාර ආයතනය මගින් ක්‍රියාත්මක කිරීම.

2. ගනුදෙනුකරුට නොදන්වා කොටස් මිලදී ගැනීම හෝ විකිණීම.

3. ගැනුම්කරු ලබාදුන් මිලට වඩා වෙනස් මිලකට ගනුදෙනු ක්‍රියාත්මක කිරීම.

4. ගනුදෙනුකරු ලබාදුන් සමාගමේ කොටස් මිලදී නොගෙන වැරදීමකින් වෙනත් සමාගමක කොටස් මිලදී ගැනීම.

5. ගනුදෙනුකරු මිලදී ගැනීමට හෝ විකිණීමට ලබාදුන් කොටස් ප්‍රමාණය වෙනසකට ලක්කර කොටස් මිලදී ගැනීම හෝ විකිණීම.

ආයෝජකයාගේ ගිණුමේ තිබූ කොටස් නොදන්වා විකිණීම

ඉහත සඳහන් කළ මෙම කාරණාවලට අමතරව, කොටස් තැරැව්කාර ආයතනය හා ගනුදෙනුකරුවා අතර වෙනත් ආකාරයකද ගැටලු මතුවිය හැකිය. පසුගිය වසර කිහිපය සලකා බැලීමේදී සමහර අවස්ථාවලදී ගැටලු පැනනැගී ඇත්තේ කොටස් තැරැව්කාර ආයතනය විසින් ආයෝජකයාට නොදන්වා ආයෝජකයාගේ ගිණුමේ තිබූ කොටස් විකිණීම හේතුවෙනි. බොහෝ විට එසේ සිදුවී ඇත්තේ ආයෝජකයා විසින් අදාළ මිලදී ගැනීම්වලට අවශ්‍ය මුදල් පියවී නොතිබීම හේතුවෙනි. උදාහරණයක් වශයෙන් ගනුදෙනුවක් සිදුකර දින තුනක් ඇතුළත එම ගනුදෙනුවට අවශ්‍ය මුදල ආයෝජකයා විසින් කොටස් තරැව්කාර ආයතනයට ලබාදිය යුතුය. යම්හෙයකින් කොටස් මිලදී ගෙන එම කොටස්වලට මුදල් නොගෙවා සිටියහොත්, එම කොටස් විකුණා දමා තමන්ට අයවිය යුතු මුදල් ලබාගැනීමට කොටස් තැරැව්කාර ආයතනයට බලයක් ඇත.

ප්‍රථමයෙන් අනුකූලතා නිලධාරියාට ගැටලුව ඉදිරිපත් කිරීම

මේ ආකාරයට ගැටලු මතුවූ විට ආයෝජකයා විසින් කොටස් තැරැව්කාර ආයතනයට හෝ කොටස් වෙළෙඳ පොළට තම ගැටලු ඉදිරිපත් කරනු ලබයි. අපි කලින් ලිපිවලත් සඳහන් කර ඇති ආකාරයට ගැටලුවක් මතු වූ විට ගනුදෙනුකරු විසින් ප්‍රථමයෙන්ම කොටස් තැරැව්කාර ආයතනයේ අනුකූලතා නිලධාරියාට (Compliance Officer) එම ගැටලුව ඉදිරිපත් කළ යුතු වේ. එම ගැටලුවට අනුකූලතා නිලධාරියාගෙන් ලැබෙන පිළිතුරට සෑහීමකට පත්විය නොහැකි නම්, ආයෝජකයාට ඒ පිළිබඳව කොටස් වෙළෙඳ පොළට පැමිණිලි කළ හැකිය. මෙහිදී, ගැටලුව මතුවන්නේ මෙම පැමිණිලි කිරීමේදී ඒ සඳහා අවශ්‍ය සාක්ෂි තිබේද යන්නයි. කොටස් තැරැව්කාර ආයතනය සතුව දුරකථන ඇමතුම් පටිගත කිරීමේ යාන්ත්‍රණයක් තිබේ නම්, ඔවුන්ට තම නිර්දෝෂීභාවය පෙන්වාදීම සඳහා දුරකථන ඇමතුම් පටිගත කිරීම් ඉදිරිපත් කළ හැකිය. එසේ පටිගත කිරීමක් සිදුව නොමැති නම්, තමන් ආයෝජකයා වෙතින් ලබාගත් ලිඛිත ඇණවුම් ඉදිරිපත් කළ යුතු වේ.

එමෙන්ම, ආයෝජකයාගේ පැත්තෙන් බලන විට ආයෝජකයා විසින් ලිඛිත ඇණවුමක් ඉදිරිපත් කර තිබේ නම්, එය ඔහුටද වාසිදායක වෙයි. එබැවින් කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කිරීමේදී කටවචනය භාවිත නොකර සියලුම දේ ලිඛිතව සිදුකිරීමට හැකි නම්, එය ආයෝජකයෙකුට ඉතා වැදගත් වේ.

සියල්ල ලිඛිතව තබාගැනීමේ ඇති වැදගත්කම

ඇතැම් අවස්ථාවලදී සුළු ගැටලුවක් ඇති වූ විට ආයෝජකයා විසින් තම ආයෝජන උපදේශක අමතා වැරැද්දක් සිදුව ඇති බව දන්වා, ඒ පිළිබඳව කරුණු විමසනු ලබයි. එවිට ආයෝජන උපදේශක විසින් යම් වැරැද්දක් සිදුව ඇති බවත්, එය ඉතා ඉක්මණින් යථාතත්ත්වයට පත්වනු ඇති බවත් පවසනු ලබයි නම්, ඒ සියල්ල ලිඛිතව ලබාගැනීම ආයෝජකයාට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. පසුගිය වසර කිහිපයේදී වාර්තා වූ සමහර ගැටලුවලදී ආයෝජන උපදේශක විසින් යම් වැරැද්දක් සිදුව ඇති බවත්, එය ඉතා ඉක්මණින් යථාත්ත්වයට පත්කරනු ලබන බවත් සඳහන් කළ බව ආයෝජකයන් පවසයි. එනමුදු, එසේ වැරැද්දක් පිළිගත් බවට ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නොහැකි නම්, ගැටලු නිරාකරණය කිරීමේදී අවහිරතා මතුවේ.

එබැවින්, ආයෝජකයන් තේරුම්ගත යුතු ඉතා වැදගත් කාරණයක් වන්නේ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කිරීමේදී තමන් කරන සියලුම ගනුදෙනු හා සාකච්ඡා ලිඛිතව තබාගත යුතු බවයි. එසේම, තමන්ට ලැබෙන ගැනුම් කුවිතාන්සි, විකුණුම් කුවිතාන්සි, සීඩීඑස් මාසික වාර්තා වැනි දෑ ඉතා සුරක්ෂිතව තබාගත යුතු බවයි.

මෙම ලිපියෙන් අප සඳහන් කළේ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කිරීමේදී වාචිකව ගනුදෙනු නොකර, සියලුම දේ ලිඛිතව සිදුකිරීමේ ඇති වැදගත්කමයි. කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම ඉතා පහසු ආයෝජන මාර්ගයක් වුවත්, සමහර අවස්ථාවලදී අත්වැරදීම් හේතුවෙන් ගැටලු පැන නැගිය හැකිය. එමෙන්ම, සමහර අවස්ථාවලදී හිතාමතාම වැරදි සිදුකිරීමට හැකියාවක් ඇත. එවැනි කාරණාවලින් තොරව තම ගනුදෙනු කිරීමට නම්, ආයෝජකයෙකුට මෙම කාරණා උපකාරී වනු ඇත. මෙයින් අපි අදහස් කරනු ලැබුවේ කොටස් වෙළෙඳ පොළේ නිතිපතා විශාල ගැටලු පැන නගින බව නොවේ. යම් ආකාරයකින් හෝ සුළුදෙයක් සිදු වුවත් එය ඉතා ඉක්මණින් යථාතත්ත්වයට පත්කර ගැනීමේ ඇති හැකියාව පිළිබඳවය.

ශ්‍රම වාසනා අරමුදලින් අක්ෂි සායනයක්

නිකවැරටිය ප්‍රදේශයේ වැඩබිම්වල සේවය කරන ජනතාවට නොමිලයේ ඇස් කාණ්ණාඩි ලබාදීම සඳහා ඔවුන්ගේ අක්ෂි දුර්වලතා පරීක්ෂා කිරීමේ වෛද්‍ය සායනක් කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නිකවැරටිය මෙත්තා බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදලේ අනුග්‍රහ‘යෙන් පැවැති එම වැඩසටහනේදී අක්ෂි දුර්වලතා ඇති 800කට ආසන්න පිරිසක් හඳුනා ගෙන ඇති අතර,එම පිරිසට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම ඉදිරියේදී අමාත්‍යවරයා අතින් සිදුකිරීමට නියමිතය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් හේරත් යාපා සහ ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරි ඩී.ආර්.ජයලත් යන මහත්වරු එක්ව සිටියහ.      

ඉන්දුනීසියා ගුවන්අනතුරකින් ජීවිත හානි 100 ඉක්මවයි

ඉන්දුනීසියාවේ ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මේඩන් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටී පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

හර්කියුලීස් සී-130 වර්ගයේ යානය නිවාස දෙකක් මතට කඩා වැටී ඇති අතර, අනතුරත් සමග විශාල ගිනි ජාලාවක් ඇති වී තිබේ.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී එය පුද්ගලයන් 113 දෙනෙකු ගමන් කර ඇති අතර, මේ වනවිට මළ සිරුරු 70කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී තිබේ.

එම ගිනි ජාලාව නිවා දමමින් සහන සේවා සඳහා ආරක්ෂක අංශ දැඩි කැපවීමකින් කටයුතු කරන බව එරට ගුවන් හමුදාපතිවරයා පවසයි.

අනතුරින් මියගිය වැඩි පිරිසක් හමුදා සාමාජිකයන්ගේ ඥාතීන් බව පැවසෙයි.

ග්‍රීසිය අවසන් මොහොතේදීත් සහන සොයයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යූරෝ බිලියන 1.6ක මුදලක් ගෙවීමට පැය කිහිපයක් තිබියදී ග්‍රීසිය නව අරමුදල් යෝජනාවක් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, ග්‍රීසිය පවසා ඇත්තේ අලුත් වසර දෙකක් වෙනුවෙන් යූරෝ බිලියන 29.1ක ණය ආධාරයක් තම රට වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

එහිදී, යුරෝපා සංගමයේ මුදල් අමාත්‍යවරයා ග්‍රීසිය සමග ටෙලි කොන්ෆරන්සින් ක්‍රමයට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, මේ වනවිට ග්‍රීසිය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

ජපාන බුලට් දුම්රියේ ගින්නකින් ජීවිත හානි

ජපානයේ අධිවේගී දුම්රියක් තුළදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබා ගැනීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

වයස අවුරුදු 30 පමණ වියේ පසුවූ මෙම ගිනිතබාගත් පුද්ගලයා ඉන්ධන පිරවූ භාජනයක්ද සමගින් දුම්රියේ පළමු මැදිරියට ගොඩවී තිබේ.

ඉන් අනතුරුව මගීන් ඉදිරියේදී සිය සිරුරට එම ඉන්ධන වත්කරගත් ඔහු ගිනි තබා ගත් බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසති.

ලයිබීරියාවේ ඉබෝලා මරණයක් වාර්තා වේ

ලයිබීරියාවේ නවතම ඉබෝලා මරණයක් වාර්තා වීමත් සමග එම පළාතේ නිරෝධායන ක්‍රියාවලියක් සිදුව තිබේ.

මීට සති හතකට පෙර ලයිබීරියාවෙන් සම්පූර්ණයෙන්ම ඉබෝලා වසංගතය පිටුදැකීමට කටයුතු කළ බව පැවසීමෙන් පසු එරටින් ජීවිත හානියක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාද මෙය තහවුරු කර ඇති අතර 17 හැවිරිදි තරුණයෙකු වෛරසය හේතුවෙන් පසුගිය ජුනි 28 වැනිදා ජීවිතක්ෂයට පත්වූ බව පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙසේ පාලනයට නතු කළ වෛරසය යළි පණ ලැබුවේ කෙසේද යන්න පිළිබඳව ලයිබීරියාව මේ වනවිට තොරතුරු සොයමින් පවතී.

චන්ද්‍රිකාත් අගමැති පොරයට?

ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කරමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට හදිසියේ තීරණයක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ලේකම් පී.දිසානායක මහතාද ඇය මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සත්‍ය බව පවසා තිබේ. එමෙන්ම, ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබෙන බවට පැතිරෙන ආරංචි අනුව ඇයද හදිසියේ ගත් තීරණයක් අනුව ශ්‍රී.ල.නි.ප.යෙන් තරග කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

පක්ෂ පාට නොබලා රට වෙනුවෙන් දැඩි තීන්දු ගන්නවේවි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ලබාදුනහොත් එය මහජනතාවට කරන විශාලතම ද්‍රෝහිකමක් හා පාවාදීමක් බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ට පැවසීය. 

තමා දන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ නොකරන බවත්, හදිසියේ හෝ එලෙස අපේක්ෂකත්වය ලබාදුනහොත් පක්ෂ, පාට නොබලා රට වෙනුවෙන් දැඩි තීන්දු ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

තම ඡන්ද පොළේ ඡන්දය දාන්න බිය නම් තවත් ඡන්ද පොළකදී අවස්ථාව

තමාගේ ඡන්ද පොළ පිහිටි ප්‍රදේශයේදී ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති අයෙකුට වෙනත් ඡන්ද පොළකදී ඡන්දය දීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලුම් කිරීමට අවස්ථාව උදාවී තිබේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන්නේ 1988 අංක 15 දරණ පාර්ලිමේන්තු මැතිවරන පනතින් සංශෝධිත 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 127 ආ වගන්තිය යටතේ ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා ඇති බවයි.

මේ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලවල මෙන්ම, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවත්, නීත්‍යානුකූලව නාමයෝජනා දැන්වීමේ දින සිට එනම්, 2015.06.26 සිට දින 7ක් ඇතුළතදී අදාළ ඉල්ලුම්පත මැතිවරණ කොමසාරිස්, මැතිවරණ මහලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිය යන ලිපිනයට එවිය යුතු බවත් එම කාර්යාලය පවසයි. කෙසේ වෙතත්, එම කාලසීමාව 2015.07.10 දින දක්වා දීර්ඝ කර ඇති බැවින් අදාළ අයදුම්පත එදිනට හෝ එදිනට පෙර ලැබෙන සේ පෙර සඳහන් ලිපිනයට එවිය යුතු බවත් පවසයි.

ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලවා ඉල්ලුම් පත්‍ර සහතික කරවා ගත යුතු අතර, ජාතික හඳුනුම්පතේ අංකය ඉල්ලුම්කරු විසින් ඉල්ලුම් පත්‍රයේ සඳහන් කිරීම අත්‍යවශ්‍ය බවද පවසයි.

අලුත්ම මෙහෙයුම ගැන නලීන් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයිතිය තහවුරුකර ගැනීම සඳහා  මහලේකම්වරු මිලදී ගැනීමේ මෙහෙයුමක් පරාජිත රාජපක්ෂ කල්ලිය විසින් ආරම්භකර ඇතිබව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බංඩාර මහතා පැවසීය. මේපිළිබඳව ජනාධිපතිවරයා දැනුවත්විය යුතුබවද හෙතෙම පැවසුයේ සිරිකොත මුලස්ථානයේ පැවති හෙලිදරව්ව මාධ්‍ය හමුවට එක්වෙමිනි