Monthly Archives: May 2015

USAID වෙතින් ව්‍යවසායකත්ව සහායක්

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID) සහ සීමාසහිත බිල්ඩින් සොලුෂන්ස් (Building Solutions) ආයතනය ඒකබද්ධව පසුගිය 27 වැනිදා අම්පාර නවගම්පුර දී නූතන කර්මාන්ත ශාලාවක් විවෘත කළ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ වැඩබලන ඇමෙරිකානු තානාපතිනී ඇලිසන් ඒරියස් මහත්මිය මෙම උත්සවයට සහභාගි වී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමරවීර මහතා, “එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සබඳතාව පිළිබඳ නිදසුනක් ලෙස මේ කර්මාන්ත ශාලාව විවෘත කිරීම දැක්විය හැකියි. මින් ඉදිරියටත් සාකච්ඡාවලට සහ ඒකාබද්ධ වැඩසටහන්වලට සහභාගී වීමට අපි අපේක්ෂාවෙන් සිටිනවා* යැයි පැවසීය.

රැලි සහිත වානේ සෙවිලි තහඩු නිෂ්පාදනය කළ හැකි විශේෂිත නිර්මිත යන්ත්‍ර සහ එම ගබඩාවන්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව තැනීමට USAID සහ Building Solutions ආයතන මගින් රු.මිලියන 80 ක් (ඇ.ඩො. 800,000ක්) ආයෝජනය කර තිබේ. USAID ආයතනය මගින් බලශක්ති කාර්යක්ෂමතාව ඇතුළුව විශේෂිත පුහුණුවීම් සහ ප්‍රවීණ දැනුමද මෙම කර්මාන්ත ශාලාවට ලබාදී ඇති අතර, මෙම හවුල තුළින් අම්පාර ප්‍ර‘දේශයේ නව රැකියා අවස්ථා සිය ගණනක් නිර්මාණය වී තිබේ.

“ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ ප්‍රගතිය සඳහා ඇමෙරිකානු රජයේ සහ ඇමෙරිකානු ජනයාගේ කැපවීම මේ කර්මාන්ත ශාලාව තුළින් පිළිබිඹු වෙනවා. මෙය කදිම සාර්ථක කතාවක්.* යැයි උත්සවයේ තම අදහස් දක්වමින් වැඩබලන ඇමෙරිකානු තානාපති ඒරියස් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ශ්‍රී ලාංකිකයෙකු විය යුතුද?

මුල්‍ය නීති පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ශ්‍රී ලාංකිකයෙකුම විය යුතු යැයි සඳහන්ව නොමැත. ශ්‍රී ලාංකිකයෙකු නොවූ පමණින් මහ බැංකු අධිපති ධුරය දැරීමට අවශ්‍ය ඉහළ සුදුසුකම් සපුරා ඇති වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ දේශපාලනික උවමනාව පිරිමැසීමට කර ගසා ඇති බහුතරය ඔහු උපතින් ශ්‍රී ලාංකිකයෙකු බව නොදන්නවා විය හැකිය.

උපතින් ශ්‍රී ලාංකිකයෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ශ්‍රස්ත්‍රපති උපාධිය ලබා ඇත. 1983 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවට මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවයට බැඳුණු ඔහු, වසර 10 ක කාලයක් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අර්ථ ශාස්ත්‍රඥයකු ලෙස සේවය කළ අතර, රටේ පැවැති අර්බුදකාරි තත්ත්වයන් මත 1993 වසරේදී සේවයෙන් ඉවත්ව ජාත්‍යන්තර තලයේ බැංකු ක්‍ෂේත්‍ර‘යේ තනතුරු රැසක් හෙබවිය. සිංගප්පූරුවේ ආයෝජනය පිළිබඳව බැංකුකරණය සම්බන්ධ කළමනාකරණ අධ්‍යක්ෂකවරයෙක් සහ ආසියාවේ ප්‍රධාන ආයෝජන උපාය මාර්ගික සැලසුම්කරු ලෙස එච්.එස්.බී.සී. බැංකුවේ සේවය කළ මහේන්ද්‍රන් මහතා ලෝක ආර්ථිකය, එහි නව ප්‍රවණතා පිළිබඳ හසල දැනුමක් ඇති ජාත්‍යන්තර තලයේ විශ්ලේෂකයෙක් බව පැවසිය යුතුය. ඉන් පසුව එමිරේට්ස් එන්.බී.ඩී. බැංකුවේ ප්‍රධාන ආයෝජන නිලධාරී වශයෙන් සේවය කළ ඒ මහතා 2001-2004  කාලයේදී ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද සේවය කර ඇත. ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් සමුදායක් ඇති ඔහු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 2015 ජනවාරි 23 වැනිදා සිට ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය ක්‍ෂේත්‍ර‘යේ ඔහු විසින් ලබා ඇති අත්දැකීම් හා මනා පලපුරුද්ද මෙන්ම, ඔහු උපතින්ම ශ්‍රී ලාංකිකයෙකු නිසාය. ඒ මහතාගේ ජාතිකත්වය පිළිබඳ ගැටලුව දඩමීමා කර ගනිමින් රජයටත්, පෞද්ගලිකව මහේන්ද්‍රන් මහතාටත් පහර ගැසීමටත්, ඒ හරහා දේශපාලනික උවමනාවන් සපුරා ගැනිමටත් ඇතමෙකු කටයුතු කළ ආකාරය පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා දැකගන්නට ඇත.

බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සෘජු සහභාගීත්වයක් නොමැති බවටත්, එය මහ බැංකුවේ ටෙන්ඩර් ප්‍රතිපත්තිවලට අනුකූලව සිදුකළ බවටත්, ත්‍රිපුද්ගල කමිටු වාර්තා මගින් පෙන්වා දී තිබියදීත් සහ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිර්දෝශීභාවය තහවුර කර තිබියදීත් තවදුරටත් ඔහුට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පසුපස ඇති දේශපාලන උමවනාව කුමක් දැයි පැහැදිලි කර ගැනීම ඔබ සතු කාර්යයකි.

බොහෝ රටවල් මහ බැංකු අධිපති ධුරය වැනි විශේෂිත තනතුරු සඳහා විදේශිකයන් සේවා නියුක්ත කරන අරත, එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රම වෙළෙඳ පොළේ දැකිය හැකි ප්‍රවණතාවයකි. එංගලන්ත මහ බැංකුවේ අධිපතිරයා කැනේඩියානු ජාතිකයෙකු වන මාර්ක් කානි මහතාය.

වඩා වැදගත් වනුයේ මුදල් නෝට්ටුවේ අත්සන යොදා ඇත්තේ සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන් ද යන්න නොවන අතර, මුදලේ දේශීය අගයත්, විදේශීය අගයත් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට අවශ්‍ය දැනුම සහිත පුද්ගලයෙකු මහ බැංකු අධිපති ධුරය දැරීම බව තේරුම් ගැනීමට ඇතමුන්ට නොහැකි වීම රටේ අවාසනාවකි. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පිළිබඳව ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී මහේන්ද්‍රන් මහතා සතුව ඇති ආර්ථිකමය දැනුම දේශනයට සහභාගි වූ අයට වැටහෙන්නට ඇත. රටේ අවශ්‍යතාව මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කළ හැකි, ඒ සඳහා අවශ්‍ය කුසලතා සහිත අධිපතිවරයෙක් එම තනතුර දැරීම යැයි වටහා ගැනීමට තරම් ජනතාව බුද්ධිමත් විය යුතු බව ‍අවසන් වශයෙන් පැවසිය යුතුය.

ජපානයට ආසන්න මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයට දකුණුදිගින් සාගර අභ්‍යන්තරයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් ටෝකියෝ නගරය ඇතුළු නගර කිහිපයක ගොඩනැගිලි දෙදරීමකට ලක්ව තිබේ.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන පරිදි රික්ටර් පරිමාණ 7.8ක භූ කම්පනය ටෝකියෝ නුවරින් කිලෝමීටර් 874ක් දුරින් කිලෝමීටර් 660ක් අභ්‍යන්තරයේ ඇති වී තිබේ.

කෙසේ වෙතත්, භූ කම්පනයෙන් ප්‍රබල හානියක් හෝ සුනාමි අනතුරු ඇඟවීමක් සිදුව නොමැති බවද වාර්තා වෙයි.

සෝලා ඉම්පල්ස් පැසිෆික් තරණය අරඹයි

ඉන්ධන භාවියක් නොමැති සෝලා ඉම්පල්ස් ගුවන් යානයේ නැගී චීනයේ සිට හවායි දක්වා වූ පැසිෆික් සාගර තරණය ස්විට්සර්ලන්ත ගුවන් නියමු අන්ඩ්‍රෙ බෝෂ්බර්ග් විසින් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

පරීක්ෂණ මට්ටමේ පවතින මෙම ගුවන් යානයේ තටු ජම්බෝ ජෙට් යානයක තටුවලට වඩා විශාලත්වයෙන් යුතු වුවත්, එය තරමක් විශාල මෝටර් රථයක තරම් බරකින් යුතු යානයකි.

චීනයේ නැන්ජින්ග් ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹි යානය මධ්‍යම පැසිෆික් ගමනාන්තය වෙත ළඟවීමට දින පහක හෝ හයක කාලයක් ගනු ඇති බව පැවසෙයි.

නේපාලයේ විනාශ වූ පාසල් යළි විවෘත වේ

නේපාලයට බලපෑ භූ කම්පනයෙන් පසුව වසා දැමුණු පාසල් රැසක් විවෘත කිරීම ක්‍රමයෙන් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.

රික්ටර් පරිමාණ 7.8ක භූ කම්පනයෙන් පාසල් 8,000ක් හා පන්ති කාමර 25,000ක් විනාශ වූ අතර, භූ කම්පනයෙන් 8,000ක වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

මෙහිදී, පාසල් රැසක් තාවකාලිකව ගොඩනගා ඇති අතර, උණ ගස්, දැව හා ඉටි රෙදි යොදාගෙන පාසල් ගොඩනැගිලි ඉදිකර ඇති බව වාර්තා වෙයි.

පාපැදි අනතුරක් නිසා ජෝන් කෙරීගේ පාදයක් බිඳිලා

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේ පාපැදි පැදීමට ගොස් සිදුවූ අනතුරකින් පාදයක් බිඳීමකට ලක්ව ඇති බව බී.බී.සී.ය කියයි.

71 වැනි වියෙහි පසුවන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ස්විට්සර්ලන්තයේ, ජිනීවා හි රෝහලකට ඇතුළත් කර ඇති අතර, හදිසි ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද කියැවෙයි. කෙසේ වෙතත්, අනතර හේතුවෙන් ඔහු සිහිමුර්ජාවකට ලක්ව නොමැති බවද රාජ්‍ය දෙපාතර්තමේන්තුව කියයි.

ඉරාකයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ වෙනුවෙන් සාකච්ඡා කිරීමට ස්විට්සර්ලන්තයට ගොස් සිටින රාජ්‍ය ලේකම්වරයා මැඩ්රිඩ් හා පැරිස් බලා යාමට කලින් සැලසුම් කර තිබුණත්, ප්‍රතිකාර සඳහා නැවත ඇමෙරිකාව බලා පැමිණෙන බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ස්විට්සර්ලන්ත දේශසීමාව ආසන්න ප්‍රංශ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව ඇති අතර, ඔහු මාර්ගයේ ගැටි බැම්මක වැදීමෙන් අනතුර සිදුව තිබේ.  

මැයි උද්ධමනය ඉහළ යයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත අප්‍රේල් මාසයේ වාර්තා කළ 0.1% සිට මැයි මාසයේදී 0.2% දක්වා ආන්තික වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 අප්‍රේල් මාසයේ පැවති 2.1% හි සිට 2015 මැයි මාසයේදී 1.9% දක්වා පහළ ගොස් තිබේ.

පොසොන් සමයට අමතර බස් රථ 1000

පොසොන් උත්සව සමයේ ප‍්‍රධාන නගර වල සිට අනුරාධපුර, පොළොන්නරුව, සිතුල්පව්ව, තිස්සමහාරාම, තන්තිරිමලේ සහ මහියංගණය දක්වා ලංගම බස්රථ 1000 ක් ධාවනයට එක්කරවන බව ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පවසයි.

සභාපතිවරයා ඒ බව පැවසුවේ අද (31) පස්වරුව් හැටන් ඩිපෝවේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමේන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති වරයා පවසා සිටියේ පසුගිය මාස 3 ක කාලය තුළ දිවයිනේ සියළුම ඩිපෝ වලට අලූත් බස්රථ ලබාදීමත් සමඟම ආදායම් තත්වයද ඉහළ ගොස් ඇති බවයි.

පොසොන් උත්සව සමයේ ලබන මස 5 වන දින තෙක් මෙම  විශේෂ බස්රථ සේවය අඛණ්ඩව පවත්වාගෙන යන බවද සභාපති වරයා පැවසීය.

 

ශ්‍රී ලංකා හමුදාව විනයගරුකයි – ජනපති

ශ්‍රී ලංකා හමුදාව විනයගරුක බවත්, එය ලෝකයම පිළිගෙන තිබෙන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

මැදිරිගිරියේදී සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයින් සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රධානයට අද (31දා) එක්වෙමින් පැවැසීය.

එසේම මින් මතුවට සිවිල් ආරක්ෂක බළකායට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට දේශපාලය තහනම් බවත් ඒ අංශවලට තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම බවත් ඔහු පැවැසීය.

සියලුම පාසල්වල ශිෂ්‍යභට ව්‍යාපාරය ආරම්භකළ යුතු බවත් ජනපතිවරයා සඳහන් කළේය. 

අජිත් රෝහණ ප්‍රංශයට යයි

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය මගින් පවත්වන වර්ග ඝාතන, යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පාඨමාලා හැදෑරීම සඳහා ඊයේ (31දා) ප්‍රංශය බලා පිටත්ව ගියේය.

හෙට (01දා) සිට දින 05ක කාලයක් මෙම පාඨමාලාව ප්‍රංශයේ ලියොන් නුවර අන්තර්ජාතික පොලිස් මූලස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා රටවල් 190කින් අයදුම්පත් කැඳවා තිබුණද, ඉන් තෝරාගෙන තිබෙන්නේ රටවල් 30ක පොලිස් නිලධාරීන් පමණි. ඉන් එක් අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර, ඒ සඳහා හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තෝරාගෙන තිබේ.