Monthly Archives: April 2015

අප්‍රේල් මාසයේ උද්ධමනය නොවෙනස්

2015 අප්‍රේ්ල් මාසයේ උද්ධමනය 0.1% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 0.1% සිට නොවෙනස්ව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2015 මාර්තු මාසයේ 0.1% ක් ලෙස පැවති අතර, එය 2015 අප්‍රේල් මාසයේදී 0.1% ක් ලෙස මෙසේ නොවෙනස්ව පවතී.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය මාර්තු මාසයේ වාර්තා කළ 2.5% සිට අප්‍රේල් මාසයේදී 2.1% දක්වා පහළ යෑමක් පෙන්නුම් කර ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

බැසිල් ගෙන් යළිත් පැය 3ක් ප්‍රශ්න කරයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (30දා) යළිත් වරක් පැය 03කට වඩා ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත්තේය.

අද පෙරවරු 10.00 ට පමණ කොළඹ ජාතික රෝහලට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දහවල් 1.30 පමණ වනතුරු මෙම ප්‍රකාශය ලබාගෙන තිබේ.

පසුගිය 22 වැනිදා කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේදී පැය 10කට වඩා ප්‍රශ්න කළ අවස්ථාවේ ලබාගත් ප්‍රකාශයට අමතරව 'බී' වාර්තාව සකස් කිරීමේදී අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී දීර්ඝව ප්‍රශ්න කළ බව වාර්තා වේ. ‍

 

භූ කම්පනයෙන් දින පහකට පසු තරුණයෙක් බේරාගනී

නේපාල භූ කම්පනයේ කඩා වැටුණු ගොඩනැගිල්ලකට යටවී සිටි 15 හැවිරිදි තරුණයෙකු දින 5කට පසුව බේරාගැනීමට හැකිවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම භූ කම්පනයේන මියගිය පිරිස 5,500 ඉක්මවා යන අතර, මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවද එරට බලධාරීහු පවසති.

කත්මණ්ඩු නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක් යට සිටියදී මෙම දරුවා බේරාගැනීමත් සමග අසල සිටි පිරිස් ප්‍රීතිඝෝෂා නැගූ බව පැවසෙයි.

මේ අතර, නේපාලයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් භූකම්පනයට මුහුණ දුන් ඇතැම් ප්‍රදේශවල මුදාගැනීම් ප්‍රමාද වී ඇති බවද කියැවෙයි.

වාස් පුහුණුකරු තනතුරින් ඉවත්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන පුහුකරු වශයෙන් කටයුතු කල චමින්ද වාස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතාගෙන් විමසූවිට ඔහු ඒ බව තහවුරු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔහුගේ ගිවිසුම් කාලය අවසන් වී තිබෙන බවයි. 

නේපාලය වෙනුවෙන් දවස් දෙකකට මිලියන 5 ක්

නේපාලයේ ජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සකස් කළ ගිණුමට පැය 48 ක් තුළ රුපියල් මිලියන 05 කට අධික මුදල් ලැබී තිබෙන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මූල්‍ය ආධාර ලබාදීමට කැමති ඕනෑම අයෙකුට මේ සඳහා දායකත්වය ලබාදිය හැකි බවත්, මේ අනුව මහජන බැංකුවේ 204100140008896 ගිණුමට මුදල් බැර කළ හැකි බවත් එම මධ්‍යස්ථානය සඳහන් කළේය. 

සරසවි සිසුන් දෙදෙනෙක් 11තෙක් රිමාන්ඩ්

 අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු සංවිධානය විසින් ඊයේ (29දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකළ විරෝධතාවයේදී කොමිෂන් සභාවේ ප්‍රතිපාදනවලට හානිකිරීම හා පොලිස් නිලධාරීන්ට පහරදුන් බවට සැකකෙරෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනෙකු අද (30දා) අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුඳුවත්ත පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර, ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන් පසු මැයි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේලා කිහිපදෙනෙකු හා ශිෂ්‍යයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

රටවල් දෙකක පදිංචි අයට මහ මැතිවරණයට එන්න බෑ

මින්ඉදිරියට ද්විත්ව පුරවැසිභාවය හිමි අයට පාර්ලිමේන්තු මහ මැතිවරණයකට තරඟ කළ නොහැකි බවට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ විධිවිධාන ඇතුළත් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

එසේ වුවද යළි උපන්බිමේ පුරවැසිභාවය ඉල්ලා සිටිය හැකි බවද,එකී ඉල්ලීමට අවසර ලැබුණහොත් කිසියම් අයෙකුට ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය හිමිවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව පැවසීය

 

පහකට මරණ දඬුවම

2000 වසරේ සිදුකළ පුද්ගල ඝාතනයට වැරදිකරුවන් වූ චූදිතයන් පස් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (30දා) මරණ දඬුවම නියම කළේය.

අඳුරු බලවේගයට එරෙහිව මමත් එක්වෙනවා

දේශයම අඳුරට ඇඳ දමන බලවේගවලට එරෙහිව බලමුළුගැන්වෙන සියලු දෙනා සමග හා වැඩකරන ජනතාව සමග මෙවර මැයි දිනයට තමන් එකවෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හෙට (01දාට) යෙදෙන ලෝක මැයි දිනය වෙනුවෙනු නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් දක්වි සිටියි. වර්තමානයේ ජනතාව මුහුණදී තිබෙන අර්බුදයෙක් ජනතාව ගලවාගත හැක්කේ එක්සත් ජාතික පක්ෂ විරෝධී ප්‍රගතිශීලී පක්ෂ හා කණ්ඩායම් ද පොදු ජනතාවද ඒකරාශි කොට ශක්තිමත් කිරීමෙන් බවද ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ජාතික හා ජාත්‍යන්තර දූෂිත බලවේග එක්ව පසුගිය ආණ්ඩුව ගොඩනැගූ පොදු ජනතා අභිලාෂයන් පරාජය කර තිබෙන බවත්, තමන් ආරක්ෂා කර රාජ්‍ය ආයතන හා සංවර්ධන ව්‍යාපෘති දහස් ගණනකගේ රැකියා අහිමිකර තිබෙන බවත්, සංවර්ධන ව්‍යාපෘති නතර කර තිබෙන හෙයින් වැඩකරන ජනතාව අපහසුතාවට ගොදුරුව ඇති බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

බුද්ධ ශාසනයේ දියුණුවට වැදගත් ක්‍රියාමාර්ග ගත්තා

නව රජය පත්වීමත් සමඟ බුද්ධ ශාසනයේ දියුණුව සඳහා වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගනිමින් රැසක් ගනිමින් බුද්ධ ධර්මයෙන් අධ්‍යාත්මිකව සුවපත් වූ සමාජයක් ගොඩනැගීම උදෙසා කටයුතු කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

වෙසක් උත්සවය සැණකෙලියක් බවට පත් කර නොගෙන, ජනතාව සමඟ අධ්‍යාත්මික දියුණුව සහ සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන් ලෙසද සිය වෙසක් පණිවුඩය යොමුකරමින් අග්‍රාමාත්‍යවරයා පවසයි.