Monthly Archives: March 2015

පොඩි ලැසී 06දා දක්වා රිමාන්ඩ්

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා නොහොත් පොඩි ලැසී නැමැත්තා නීතිඥයෙකු මගින් අද (31දා) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූවේය.

පොඩි ලැසී නැමැත්තාව අප්‍රේල් 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කළ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා එදින ඔහු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

කළුතර සුසිල් එස්. තන්ත්‍රිආරච්චි

සංචාරක ක්ෂේත්‍රය ගැන දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසාර සංවර්ධනය උදෙසා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ හා සංවිධානවල වත්මන් කාර්යයභාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අප්‍රේල් 05 වැනිදා පෙ.ව. 8.30 ට කොළඹ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණ ඩිපිලෝමා පාඨමාලාවේ සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුසිසුවියන් විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබේ.

විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් ඉලක්ක කර පැවැත්වෙන මෙම වැඩමුළුවට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත වූ අය හා ව්‍යවසායකයන්, එම ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණවල නිරත වන අය සහ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ද සහභාගි වනු ඇති බව කියයි.

මේ සඳහා සහභාගි වීමට උනන්දුවක් දක්වන්නන් 077-8078273, 077-7935559 යන දුරකථන අංක අමතා තම සහභාගීත්වය තහවුරු කරගත යුතුය.

කොරියා විභාග ප්‍රතිඵල 2 දා

විශේෂ කොරියානු ධීවර විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 02 දින නිකුත් කරන බවත්, ඉන් සමත් වන ශ්‍රී ලාංකිකයන් 50%කට අධික පිරිසකට රැකියා ලබාදීමට කොරියානු රජය බලාපොරොත්තු වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නීතිඥ හරිස්චන්ද්‍ර බටගොඩ මහතා පැවසීය.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා පැවැත්වූ විශේෂ කොරියානු ධීවර විභාගයේ ප්‍රතිඵල www.slbfe.lk යන වෙබ් අඩවියෙන්ද ලබාගත හැකිය. මේ සඳහා අයදුම්කරුවන් 2220 ක් පෙනී සිටියහ.

ඉන්දියාවට දණ නවන්න එපා

ඉන්දීය රජයට අවශය අකාරයට කටයුතු කිරීමට ලබාදීමෙන් මෙරට ධිවර ජනතාවත්, රටේ ස්වෛරීභාවයත් ගැටලු සහිතට තත්ත්වයක් පත්නොකරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාව වසර තුනක කාලයක් සඳහා වසරකට දින 83 බැගින් පරිහරණය කිරීමට ඉන්දීය ධීවරයන්ට ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව මාධ්‍යට අදහස් දක්මවමින් ඉහත අදහස් ඔහු අද (31දා)  ප්‍රකාශ කළේය.

වසර 03ක කාලයක් සඳහා වසරකට දින 83 බැගින් ඉන්දියාවේ ධීවරයන්ට ශ‍්‍රී ලංකා මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නියැලීමට ඉඩ ලබාදීමට දෙරට අතර පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණියා.  මෙම මාධ්‍ය වාර්තා පළ වී සතියක පමණ කාලයක් ගත වී ඇතත් ඒවා ප‍්‍රතික්ෂේප කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර නැහැ. ඒ නිසා අප හිතනවා, ඉහත මාධ්‍ය වාර්තා සත්‍ය බව.

මේක ඉතාමත් බරපතළ ප‍්‍රශ්නයක්. දින 83ක කාලයක් ඉන්දීය ධීවරයන් අපේ මුහුදු සීමාව නතුකර ගත්තාට පසුව වසරේ ඉතිරි කාලය බාධාවකින් තොරව ධීවර කටයුතුවල යෙදීමට ඔවුන් අපේ ධීවරයන්ට ඉඩ දේවිද?

මේක සුළුවෙන් සලකන්න එපා ඉන්දීය රජයට මේ විදියට දණ නමලා මේ රටේ ධීවර ජනතාවත්, රටේ ස්වෛරීභාවයත් වනසා දමන්න එපා කියා ජාතික නිදහස් පෙරමුණ ලෙස අපි අවධාරණය කොට සිටිනවා. 

පසුගිය වරද ජනපති නිවැරදි කළාලු

පසුගිය රජය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දඬුවම් දීම සමාජය අනුමත නොකළ බවත් එය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා නිවැරදි කළ බවත් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. මාතර, දික්වැල්ල , රත්මලේදී ඊයේ (30දා) පැවති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය. 

" හිටපු ගුවන් හමුදාපති එයාර්මාෂල් ගුණතිලක මැතිතුමා දූෂණ කොමිෂමට කැඳවලා තියෙනවා මිග් යානා පිළිබඳව කතා කරන්න. මේ රට බේරගත්ත සෙන්පතියන්ගෙන් එක්කෙනෙක් එතුමා. අපේ ආණ්ඩුව එදා ෆොන්සේකා මහත්මයට දඬුවම් දුන්නා. අපි ඒක අනුමත කළාට මේ සමාජය ඒක අනුමත කළේ නැහැ.  සමාජය කිවුවා මේ සන්ධාන ආණ්ඩුව ෆොන්ස්සේකා මහත්තයගෙන් පලිගත්තා කියලා.

වත්මන් ජනාධිපතිවරයා එය නිවැරදි කර තියෙනවා.ඒක හොඳ දෙයක්. ඒ හොඳ දේ ඇතුළේ අනිත් පැත්තෙන් මොකද වෙන්නේ, යුද,ගුවන්,නාවික, පොලිස් මේ සියලු බලවේග යුද්ධය වෙනුවෙන් ඒකරාශී කරපු ගෝඨාභය සෙන්පතියා කූඩුවට නග්ගන්න හදනවා. ඔහු නැත්නම්මේ ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගෙන් පාවෙන යුද නැව් ගැන කට උත්තර ගන්නවා. මට තේරෙන්නේ  නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා." යැයි ඔහු සඳහන් කළේය.

 

ආදිති ඉන්දියානු රූ රැජින කිරුළ පලඳියි

ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන ඉන්දීය රූමතිය තෝරාපත්කරගැනීමේ Femina Miss India 2015 තරගාවලිය පසුගියදා නිමාව දුටුවේය. දිල්ලියේ ගුර්ගන් ප්‍ර‘දේශය නියෝජනය කළ 21 හැවිරිදි ආදිති ආර්යා එම උත්කර්ෂවත් රාත්‍රියේදී ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන 52 වැනි ඉන්දියානු රූමතිය බවට පත්වූවාය.

එසේම එහි දෙවැනි ස්ථානය දිනාගනිමින් 2015 miss international තරගාවලිය නියෝජනය කිරීමට ආෆ්රින් වාස් සමත් වූ අතර, miss grand international තරගාවලිය නියෝජනය කිරීම සඳහා තෙවැනි ස්ථානය දිනාගත් වර්තිකා සිං අවස්ථාව උදාකරගත්තාය. 

රවී වෙත්තසිංහට ඇප

ප්‍රසිද්ධ ව්‍යාපාරික රවී වෙත්තසිංහ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අද (31දා) මුදාහැරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස්රථ 143ක් මිලට ගැනීමේදී රුපියල් මිලියන 75ක මුදල් අක්‍රමිකතාවක් සිදුකිරිමේ චෝදනා යට රවී වෙත්තසිංහ මහතා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය.

ඉන්දීය නෞකා හතරක් ශ්‍රී ලංකාවේ

ඒකාබද්ධ යුද අභ්‍යාසයකට ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා තුනක් හා ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක් ත්‍රීකුණාමල වරායට පැමිණ  තිබේ. 
 ඉන්දීය නාවික හමුදාවට අයත් "TIR", "KESARI", "SUDARSHANI" හා වෙරළාරක්ෂක බලකායට අයත් "VARUNA" යන නාවුක යාත්‍රා මෙසේ ත්‍රිකුණාමලය වරායට පැමිණ තිබේ. එසේම දෙරටේ නාවික හමුදා මඟින් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදුකිරිමට කියමිතය. 

කොටකෙතන නඩුවේ තීන්දුව මැයි 7දා

කොටකෙතන එකම පවුලේ මව සහ දියණිය ඝාතනය කර ඔවුන් පදිංචි නිවස තුළටම දමා ගිනි තැබීමේ නඩුවේ තීන්දුව ලබන මැයි 07 දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද තෙන්නකෝන් ලිවේරා මහත්මිය දැනුම් දුන්නාය.

කහවත්ත කොටකෙතන පදිංචි ලියනාරච්චිගේ ප්‍රේමාවතී (63) සහ හේවාගමගේ පුෂ්පකුමාරි (23) කපා කොටා ඝාතනය කර දූෂණය කර ඔවුන් පදිංචි නිවසටම දමා ගිනි තැබූ බවට විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි. පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා විනිසුරුවරිය මෙලෙස දින නියම කළාය. 

රවිරාජ් ඝානයට නාවික හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට

දෙමළ සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි.

නඩරාජා මන්ත්‍රීවරයා හා පොලිස් නිලධාරියෙක් 2006 වසරේදී කළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්විය. ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර නාවික හමුදා භටයින් දෙදෙනෙක් හා නාවික හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගත් අය අතර වෙති.