Monthly Archives: March 2015

ජාතික පාසල් 106 ක් සඳහා විදුහල්පතිවරුන් බඳවාගැනේ

දැනට පුරප්පාඩු වී ඇති සහ 2015.12.31 දිනට පුරප්පාඩු වීමට නියමිත ජාතික පාසල් 106 ක් සඳහා විදුහල්පතිවරුන් තෝරාගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I,II,III පන්තියේ නිලධාරීන්ගෙන් සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් අතුරෙන් සුදුසු විදුහල්පතිවරුන් තෝරාගැනීම සිදුකෙරේ. බස්නාහිර පළාතේ පාසල් 09 ක්, මධ්‍යම පළාතේ පාසල් 15 ක්, දකුණු පළාතේ පාසල් 23 ක්, උතුරු පළාතේ පාසල් 16 ක්, නැගෙනහිර පළාතේ පාසල් 10 ක්, වයඹ පළාතේ පාසල් 11ක්, ඌව පළාතේ පාසල් 12 ක් හා සබරගමුව පළාතේ පාසල් 10 ක් සඳහා මෙලෙස විදුහල්පතිවරුන් බඳවාගැනේ. මේ සඳහා වන අයදුම්පත් හෙට (01දා) සිට අප්‍රේල් 30 වැනිදා දක්වා භාරගැනේ.

වසර අවසානයේදී සැමට විදුලිය

වසර අවසානයේදී රටේ සියලු දෙනාටම විදුලිය ලබාදීමට බලාපොරොත්තු වන බවත්,  සිංහල අවුරුද්දට ප්‍රථමව විදුලි මෝටර් රථ සඳහා පළමු විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථානය විවෘත කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

බලශක්තියෙන් සපිරි රටක් යන තේමාව යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සහ රේඛීය අමාත්‍යාංශ, ඊට අනුබද්ධ ආයතන සහ පෞද්ගලික අංශයද දායක කරගනිමින්, 2025 දක්වා බලපැවැත්වෙන ප්‍රායෝගික වැඩ සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාව සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. මේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්විය.

“බලශක්ති සුරක්ෂිතතාවය නැති රටක් සුරක්ෂිත රටක් නෙමෙයි. එහෙම රටකට ස්ථාවර තිරසර දියුණූවක් ලබාගන්න බැහැ.  ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හරිත බලශක්ති වැඩිදියුණු කරන්න. විශේෂයෙන් සුළං සූර්ය වැනි පුනර්ජනනීය ප්‍රභවයන් වලින් ලැඛෙන විදුලිය 2020 දී සියයට විස්සකින් වැඩි කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සියළු දෙනාටම මේ වසර අවසන් වනවිට විදුලිය ලබාදෙන්න.

 ප්‍රවාහන ක්ෂේත්‍රය ඉන්ධන මත යැපීම අඩු කරගැනීමටත්,   සිංහල අවුරුද්දට ප්‍රථම විදුලි මෝටර් රථ සඳහාවන පළමු  චාර්ජින් සෙන්ටර් එක ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.”  යැයි ඔහු සඳහන් කළේය.

නයිජීරියානු ජනපති සටනේ හමුදා පාලක බුහාරි ඉදිරියෙන්

නයිජීරියානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම් සිදුවන මේ අවස්ථාවේදී එරට හිටපු හමුදා පාලක මුහම්මදූ බුහාරි ඉදිරියෙන් පසුවන බවත්, වත්මන් ජනපති ගුඩ්ලක් ජොනතන් පසුබැස ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත්, එරට වැඩි ජනඝනත්වයක් ඇති ඇතැම් ප්‍රාන්තවල තවමත් ඡන්ද ගණන් කිරීම් සිදුවන නිසා අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් නිවැරදි විනිශ්චයක් ලබාදිය නොහැකි බව මැතිවරණ නිරීක්ෂකයන් පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට එරට ප්‍රාන්තවලින් අඩකට වඩා මේ වනවිට ඡන්ද ගණන් කිරීම අවසන් ව ඇති අතර, බුහාරි මිලියන දෙකක පමණ ඡන්ද ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටින බවද වාර්තා වෙයි.

තුර්කියේ ස්ථාන රැසක විදුලි බිඳ වැටීමක්

තුර්කියේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක් වාර්තා වන බවත්, එරට එදිනෙදා කටයුතු රැසක් මේ හේතුවෙන් ඇණහිට ඇති බව වාර්තා වෙයි.

විදුලිය ඇණ හිටීම හෙතුවෙන් එරට පොදු ප්‍රවාහන සේවා අඩාල වී ඇති අතර, ඉස්තාම්බුල් නගරයේ ට්‍රෑම් සහ මෙට්‍රෝ ප්‍රවාහන පද්ධතියද සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වී ඇති බව වාර්තා වෙයි.

එරට බලශක්ති අමත්‍යාංශය විසින් මේ සඳහා කඩිනම් විසඳුම් සේවීමට කමිටුවක් රැස්වී ඇති බවද වාර්තා වෙයි.

අඟහරුවාදා උදෑසන සිදුවූ මෙම විදුලි බිඳ වැටීම ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න සොයා බැලීමටද පරීක්ෂණ සිදුවන බව කියැවෙයි.

ඉන්දීය බිහාර් ප්‍රාන්තයේ වංචා වැඩිවෙයි

ඉන්දියාවේ පොලිස් සේවය වෙත ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර ඇතුළු වීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

එහිදී, තම ශාරීරික යෝග්‍යතා අනිවාර්ය පරීක්ෂණය වෙනුවෙන් වෙනත් පුද්ගලයන් ඉදිරිපත් කර ඇති සිදුවීම්ද වාර්තා වී ඇති බවද බිහාර් ප්‍රාන්ත පොලීසිය පවසයි.

එමෙන්ම අලුතින්ම පොලිස් සේවයට බැඳීම සඳහා අයදුම් කළ අය අතරින් ව්‍යාජ ලේඛන සකස් කළ අයද මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

බිහාර් ප්‍රාන්තය මෙවැනි වංචනික ක්‍රියාවලට ප්‍රසිද්ධියක් උසුලන අතර, මීට සති කිහිපයකට පෙර විභාග ප්‍රශ්නපත්‍ර වෙනත් අය ලවා ලිවීමට උත්සාහ කළ පිරිසක්ද අත්අඩංගුවට පත්විණි.

එමෙන්ම, පාසල් වාර පරීක්ෂණයක් අතරතුර පාසල් සිසුන් වෙත උත්තර පත්‍ර ලබාදී වංචා කිරීම සම්බන්ධයෙන් දෙමවුපියන් පිරිසක්ද අත්අඩංගුවට පත්විය.

කාශ්මීර නායයැමෙන් ජීවිත හානි 15ක්

ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයට බලපෑ ගංවතුරත් සමග ඇති වූ නාය යෑමකට හසු වී ජීවිත 15ක් පමණ අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී නගර් ප්‍රදේශය ආසන්නයේ සිදුවූ නායයාමකට හසුවී විනාශ වූ නිවාස දෙකක සිටි පුද්ගලයන් බව කියැවෙයි.

බලධාරීන් පෙන්වා දෙන්නේ අධික වර්ෂාවත් සමග ප්‍රදේශයට බලපෑ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බවයි.

මෙම කලාපය ආශ්‍රිතව පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිත 250කට වැඩි පිරිසක් අහිමි වීමත් සමග, මෙවර කඩිනම් ආරක්ෂිත පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

සරසවි සිසු උද්ඝෝෂණයට කඳුළු ගෑස්

මහපොළ ශිෂ්‍යාධාරය කප්පාදු කිරීමට එරෙහිව, පාසල් වලින් මුදල් අයකිරීමට එරෙහිව හා පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසිකරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සිදුකළ විරෝධතාවට කොල්ලුපිටියේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලවිය. 

මෙහිදී සිසුන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. සිසුන් 2000ක් පමණ කොල්ලුපිටිය හංදියේ වාඩිවී විරෝධතාවක නිරතව සිටියි. රථ වාහන ගමනයද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

ජාත්‍යන්තර ශිෂ්‍ය හා ආර්ථික සහයෝගිතා දින සැමරීම

ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය හා ඉන්දියා තාක්ෂණ හා ආර්ථික සහයෝගිතා දිනය සැමරීමේ උලෙළ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කළ මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතාද සහභාගී විය.

මාර්තු උද්ධමනය සෘණ අගයකට ආසන්නයි

2015 මාර්තු මාසයේ උද්ධමනය 0.1% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 0.6% සිට තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2015 පෙබරවාරි මාසයේ 0.6% ක් ලෙස පැවති අතර, එය 2015 මාර්තු මාසයේදී 0.1% ක් ලෙස මෙසේ පහළ ගොස් ඇත.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය පෙබරවාරි මාසයේ වාර්තා කළ 2.9% සිට නව වසරේ මාර්තු මාසයේදී 2.5% දක්වා පහළ යෑමක් පෙන්නුම් කර ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

පොලීසියට ඔත්තු කියන අලුත් විදිය

මීටියාගොඩ බටපොළ ඇතැම් ගම්වැසියන් තමන්ට සිදු වන අසාධාරණයන් පත්තර වල අකුරු කපා අමුණා පොලිසියට තොරතුරු ලබා දීමට කටයුතු කිරීමෙන් ඒ ගැන පොලිසිය කි‍්‍රයාත්මක වෙමින් මෙහෙයුම් කරන බව පොලිසිය කියයි.

ප‍්‍රදේශයේ මැර කණ්ඩායම් පිළිබඳව අත්අකුරින් ලියා හෝ වෙනත් ක‍්‍රම උපයෝගී කරගෙන තොරතුරු සැපයීමට ඇති බිය නිසා අකුරු එකතු කරගෙන අමුණා පොලිසියට තොරතුරු දී ඇති ලිපියක් අපට හමුවිය.

පොලිසිය පවසන්නේ මැරයන්ගේ තරම ගැමියන්ගේ බිය මෙමඟින් මනාව පිළිබිඹු වන බවත් ඔවුන් බේරා ගැනීම සඳහා මීටියාගොඩ පොලිස් බල ප‍්‍රදේශයේ මේ දින වල නීති විරෝධී මත්පැන් වැටළීම් හා මැර කණ්ඩායම් සෙවීමේ සාර්ථක මෙහෙයුම් සිදු කිරීමට පොලිසිය පියවර ගෙන ඇතැ බවත්ය.  

එම කටයුතු වල යෙදී සිටින පොලිස් නිලධාරීන් දිරිමත් වන අයුරින් ප‍්‍රදේශයේ ජනතාව බැනර් පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් ඒ සඳහා සහාය පල කිරීමට කටයුතු කර ඇති අයුරු එහිදී දක්නට ලැබුණි.

ඇත්කඳුරේ ජනත්ද සිල්වා