Monthly Archives: December 2014

ජනපති දුරකථනයෙන් බැන්නා – හිරුණිකා

සිය පියාගේ අවසන් කටයුතු සිදුකළදින කතාවෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකථනයෙන් අමතමින් තමන්ට බැණවැදුණු බවත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සඳහන් කළාය.

තමා සහ මව ගෙදරින් පන්නා දමන්නැයි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු හට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණු බවද ඇය කීවාය.

අනවශ්‍ය කතා පවත්වමින් ආණ්ඩුව පෙරළන්න හදවාදැයි ඒ සමයේ ජනාධිපතිවරයා දුරකථනයෙන් කතා කර බැන වැඳුණු බවද ඇය ප්‍රකාශ කළාය.

විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ පැවැති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් කාන්තා සමුළුව අමතමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවාය.

වසරේ අවසාන මාසයේ උද්ධමනය 2යි දශම 1යි

2014 දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 1.5% සිට තරමක ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 නොවැම්බර් මාසයේ 1.5% ක් ලෙස පැවති අතර, එය දෙසැම්බර් මාසයේදී 2.1% ක් ලෙස මෙසේ ඉහළ ගොස් ඇත.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය නොවැම්බර් මාසයේ වාර්තා කළ 3.5% සිට නොවැම්බර් මාසයේදී 3.3% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

 

QZ8501 මළ සිරුරු ඉන්දුනීසියාවට පැමිණේ

සාගරයට කඩා වටුණු එයාර් ඒෂියා QZ8501 යානයේ සොයා ගැනුණු මළ සිරුරුවලින් ප්‍රථම සිරුරු දෙක ඉන්දුනීසියාවේ සුරබයා නගරය වෙත රැගෙන ආ බව විදෙස් පුවත් සේවා පවසයි.

එහිදී, මෙම මළ සිරුරු හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණ මෙහෙයවීමට නියමිත බවද කියැවෙයි.

එයාර්බස් A320-200 යානය පුද්ගලයන් 162 දෙනෙකු සමග සුරබයා ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී පසුගිය ඉරිදා අතුරුදන් වූ අතර, යානයේ සුන්බුන් හා මළ සිරුරු පිළිබඳ ප්‍රථම පුවත ඊයේ (30දා) වාර්තා විය.

බලධාරීන් පවසන්නේ මේ වනවිට මළ සිරුරු 7ක් සොයාගෙන ඇති බවයි. එම සාගර කලාපයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් අතිශය අසීරු වී ඇති බවද බලධාරීන් වැඩිදුරටත් පවසයි.

විදේශයේ සිට ආවොත් පාස්පෝට් අවශ්‍යයි

විදේශගතව සිට පැමිණෙන ඡන්දදායකයන් සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතට අමතරව සිය වලංගු විදෙස් ගමන් බලපත්‍රය ඡන්ද පොළට රැගෙන යා යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

විදෙස්ගතව දිවයිනට නොපැමිණ සිටින පුද්ගලයන්ගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ඡන්ද භාවිත කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයිද මැතිවරණ මහලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.

හම්බන්තොට සෆාරියට බැක්ටීරියන් ඔටුවන්

ඉදිකරමින් පවතින හම්බන්තොට නව සෆාරි උද්‍යානය වෙත චීනයේ ෂියැං ජියැං සෆාරි උද්‍යානයේ සිට අවුරුදු 02 යි මාස 05 ක් හා අවුරුද්දයි මාස 11 ක් වයසැති පිරිමි සහ ගැහැනු බැක්ටීරියන් ඔටුවන් දෙදෙනෙකු රැගෙනවිත් තිබේ.

මේ වනවිට ඔවුන් සෆාරි උද්‍යානයේ ආසියානු කලාපයේ රැඳවුම් මැදිරි තුළ රඳවා ඇත.

ජාතික සත්ත්වෝද්‍යානයේ සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙම සතුන් රැගෙනවිත් තිබේ.

ලිප්ටන් වටරවුමේ වාහන තදබදයක්

මාලඹේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලිප්ටන් වටරවුම ආශ්‍රිතව වාහන තදබදයක් පවතී.

ඔවුහු සෞඛ්‍යය අමාත්‍යාංශයේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දක්වා ගමන් කරමින් සිටිති.

දඬුවම් දෙන්න මැදිහත් වෙනවා – චන්ද්‍රිකා

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයක් පත්වූ වහාම ප්‍රථමයෙන් සිදුකරන්නේ හොරකම සහ වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම බවත්, ඒ සඳහා තමන් පෞද්ගලිකව මැදිහත් වන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ජාතික ධනය රිසි පරිදි හැසිරවීමට අවස්ථාව ලබාදුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතාට එහිදී ප්‍රථමයෙන්ම දඬුවම් කළ යුතු බවද ඇය කීවාය.

ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ප්‍ර‘කෝටි ගණනින් දූෂණ වංචා සිදුකිරීමට අවස්ථාව ලැබුණු ආකාරයද හිටපු ජනාධිපතිනිය පැහැදිලි කළාය. 

ෆයිසර් මුස්තාපාගේ සහාය මෛත්‍රීට

කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේ පැවැති ලක්වනිතා කාන්තා සමුළුවේදී ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විපක්ෂයට එක්විය. ඔහු ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට නියමිතය.

වයඹ මන්ත්‍රී රිමාන්ඩ්

කුරුණෑගලදී කලාකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ වයඹ පළාත් සභා මන්ත්‍රී අමල් ඉන්දික එළැඹෙන 6දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය. 

අද (31දා) මන්ත්‍රීවරයා නීතිඥවරයෙක් මාර්ගයෙන් ගොකරැල්ල පොලීසියට බාරවීමෙන් පසුව අධිකරණය ඉදිරිපත් කරනු ලැබීය.

සල්මන් ඉන්දියාවට ගිහින්

සෞඛ්‍ය කඳවුරක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් ඔහු දිවයිනට පැමිණි පෙරේදා (29දා) රාත්‍රියේදීම නැවතත් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

එදින රාත්‍රි 11.30ට පමණ ඔහු ඉන්දියාවට ළගාවී තිබේ. ගුවන්තොටුපළේ මාධ්‍ය වාර්තාකරුවන් මගහරිමින් සල්මන් කටුනායකට ළගාවී තිබේ.

ඔහුගේ නම විශේෂ අමුත්තන් පිටවීමේ ලේඛණයේදී නොවීය.

කෙසේ වෙතත් ඔහු දිවයිනෙන් පිටත්ව ගිය බවට අද (31දා) තහවුරු කර ගැනීමට හැකිවිය.