Monthly Archives: December 2014

එයාර් ඒෂියා QZ8501 මළ සිරුරු සෙවීම තවදුරටත්

එයාර් ඒෂියා QZ8501 යානයේ මළ සිරුරු තවදුරටත් ඉන්දුනීසියා සුරබයා නගරය වෙත රැගෙන එමින් පවතින බවත්, 31 වැනිදා ප්‍රථම මළ සිරුරු ද්විත්වය රැගෙන පැමිණි බවත් විදෙස් පුවත් සේවා පවසයි.

මළ සිරුරුවල ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකරමින් ඒවායෙහි අන්‍යතාව තහවුරු කරගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

මළ සිරුරු සාගරයෙන් ඉවතට ගැනීමේ මෙහෙයුම් රාත්‍රී කාලයේදී පවා සිදුකළත්, අයහපත් කාලගුණය ඊට බලවත් අභියෝගයක් බවද බලධාරීහු පවසති.

මේ අතර, සුරබයා නගරයේදී මහජනතාවගේ සහභාගීත්වයෙන් මියගියවුන් සැමරීමේ උත්සවයක්ද බදාදා දිනයේ පැවති අතර, නව අවුරුදු උදාවේ සැමරුම් උත්සව නවතා දැමීමටද කටයුතු කර තිබේ.

සිංගප්පූරුව බලා ගමන් කරමින් සිටියදී පුද්ගලයන් 162 දෙදෙනෙකු මියගිය අතර, මියගිය මගීන්ගෙන් 137ක් වැඩිහිටියන්ද, 17ක් දරුවන්ද බවද, එක් අයෙකු ළදරුවෙකු බවද කියයි.

 

 

පිලිපීනයේ අයහපත් කාලගුණයෙන් ජීවිත හානි 53ක්

පිලිපීනයට බලපා ඇති ජන්ග්මී සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 53 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

එහිදී, මධ්‍යම හා දකුණුදිග පළාත්වල සිටින 80,000ක පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බවද එරට සහන සේවා පවසයි.

කාලගුණ අංශ විසින් අනතුරු ඇඟවීම් සිදුකර තිබුණත්, එම අනතුරු ඇඟවීම් ඇතැම් පුද්ගලයන් විසින් ගණන් නොගෙන සිටීම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද කියයි.

එමෙන්ම, මෙම ගංවතුර තත්ත්වය මැලේසියාව වෙතද බලපා ඇති අතර, එරටද පුද්ගලයන් 145,000ක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව කියැවෙයි.

සරණාගතයන් 1000ක් රැගත් නෞකාවක් බේරාගනී

ග්‍රීසිය ආසන්න සාගරයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සිටි සංක්‍රමණිකයන් 1,000ක් පමණ බේරාගැනීමට හැකිවූ බව රතු කුරුස සංවිධානය පවසයි.

බ්ලූ ස්කයි එම් නමැති මෙම නෞකාවේ පුද්ගලයන් 970ක් ගමන් කර ඇති අතර අතර, එහි කාර්ය මණ්ඩලය සාගරයේ නෞකාව අතහැර දමා පළාගොස් තිබියදී මෙම නෞකාව බේරාගෙන තිබේ.

ඉතාලි වෙරළාරක්ෂකයන් විසින් එහි පාලනය සියතට ගෙන නෞකාව ඉතාලියේ ගෝලිපෝලි වරාය වෙත ගෙනැවිත් තිබේ.

එහි සිටි වැඩි පිරිසක් සිරියානු, කුර්දි ජනතාව බවද විදෙස් පුවත් සේවා පවසයි.

 

2015 නව වසර උදාව ලොව පුරා ඇරඹෙයි

2015 නව වසර උදාවීම සැමරීම නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව යන රටවලින් ආරම්භ වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

නවසීලන්තයේ ඔක්ලන්ඩ් ස්කයි ටවර් හි දැවැන්ත ඔරලෝසුවේ 12.00 කණිසම වදින විට ගිණිකෙළිවලින් පළාතම ඒකාලෝක වී ඇති අතර, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වරායද ගිණිකෙළි සංදර්ශනවලින් සුන්දර වී තිබේ.

කෙසේ වෙතත් එයාර් ඒෂියා ගුවන්යානා අනතුර හේතුවෙන් ඉන්දුනීසියාවේ නව අවුරුදු සැමරීම ඉතා සුළුවෙන් සිදුව තිබේ.

මේ අතර, බ්‍රසීලය මිලියනයකට අධික ජනතාවක් නව අවුරුදු උදාව සැමරීම සඳහා රියෝ ද ජැනෙයිරෝ නුවර කෝපකබානා වෙරළ තීරයේ දැනටමත් සූදානමින් සිටින බව පැවසෙයි.

එමෙන්ම, නිව්යෝක් හි ටයිම්ස් චතුරස්‍රයද මේ වනවිට නව අවුරුදු උදාවට සූදානමින් සිටින බව පැවසෙයි.

ඒක සල්මන්ගේ තේරීම කටවත් ප්‍රශ්න කරන්න බෑ – ජැකලින්

සල්මාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අරමුණ වූයේ සුබ සාධන කටයතු බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් හා අක්ෂි කාච ඔහු විසින් බොදා දුන් බවත් ශ්‍රී ලංකා ජාතික බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් පවසයි.

ජැකලින් හා සල්මන් පසුගිය 29දා මෙම සුබ සාධන කටයුතු සඳහා ශ්‍රී ලකාවට පැමිණියහ.

එසේම සල්මන් නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ හොඳින් දන්නා බවත් සල්මාන් ඉදිරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට අවශ්‍යනම් ඒ පිළිබඳව කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැකි බවත් එය ඔහුගේ තේරීම බවත් ජැකලින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවයට පවසා තිබේ. 

 

 

සෝලංගආරච්චි අපේක්ෂිත ඇප ඉල්ලයි

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමාට ඇප දිය නොහැකි වරදක් සම්බන්ධ කර අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව පවසමින් අධිකරණයෙන් පෙර ඇප ඉල්ලා, කොළොන්නාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා අද (31දා) අපේක්ෂිත ඇප පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාගේ මාර්ගයෙන් ගොනුකළ මෙම අපේක්ෂිත ඇප පෙත්සමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම්කර තිබේ.

ඒ අනුව වගඋත්තරකාර ස්ථානාධිපතිවරයාට ජනවාරි මස 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් වන විභාගය ජනවාරි 7 දා අධිකරණයේ කැඳවීමට නියමිතය.  

යුද හමුදාව මැතිවරණයට යෙදාගැනීමේ උත්සාහයක් – මෛත්‍රී

 ජනාධිපති මහින්ද රාජපක්ෂ මතාගේ මැතිවරණ කටයුතුවලට නීති විරෝධී අයුරින් යුද හමුදාව යොදාගැනීමට සූදානම් බව තමන්ට විශ්වාස කටයුතු තොරතුරු මගින් අනාවරණයවී ඇති බැවින් ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට අද පැමිණිලි කළ බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මැතිවරණ මහලේකම් කාර්යාලය අභියසදී මාධ්‍ය ඇමතූ ඒ මහතා සඳහන් කළේ උතුරු නැගෙනහිර, පොළොන්නරුව හා දිවයිනේ වෙනත් ප්‍රදේශවලටද යුද හමුදා පිරිස් සහ යුද හමුදාවෙන් විශ්‍රාම ගිය අයද කැඳවීමේ උත්සාහයක් පවතින බවයි. රාජ්‍ය මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම තමන් ඉලක්ක කරගනිමින් චරිත ඝාතනය සිදු කරන බවද ඒ මහතා සඳහන් කරයි.

ඡායාරූප ශමීර රාජපක්ෂ 

මෛත්‍රීගේ හතරක් ජනපතිට

 පොදු විපක්ෂයට සහයෝගය දක්වන කම්කරු ජාතික පෙරමුණේ සහ කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 04 දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන බව සඳහන් කරමින්, අඹගමුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ඇතුළුව නුවරඑළිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හතරදෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූහ.

විමල්ගේ කොටසක් විපක්ෂයට

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්, ඌව පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙක් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විපක්ෂයට එක්විය.

01. විමල් වීරවංශ මහතාගේ හිටපු ලේකම් කඩුවෙල දිස්ත‍්‍රික් ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී ප‍්‍රභාත් දර්ශන,

02.ජාතික නිදහස් පෙරමුණේ දිස්ත‍්‍රික් ලේකම් හා කැකිරාව ආසන සංවිධායක ජනක දිසානායක,  

03.ජාතික නිදහස් පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී උයද කුමාර,

04. දිගාමඩුල්ල දිස්ත‍්‍රීක් නායක අනුර මුණසිංහ,

05. බඩල්කුඹුර ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී චරිත ශ‍්‍රී චින්තක, යන අය මෙසේ විපක්ෂයට එක්වූහ.

දෙවැනි තරගයට වර්ෂාව හරස්වෙයි

සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (30දා) නිමාවට පත්විය.

දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත්හිදී පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 08 ක් දැවී ලකුණු 417 ක් ලබා සිටින විට සිය ඉනිම අත්හිටුවීය.

දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තැබූ ඩීන් එල්ගාර් ලකුණු 121ක්ද, ෆැප් ඩු ප්ලෙසි ලකුණු 103ක්ද රැස්කළහ. ඊට අමතරව ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිති හරඹයක නිරත වූ ඩේල් ස්ටේන් පන්දු 28කදී ලකුණු 58 ක් රැස්කළේය. බ.ඉ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් ජෙරම් ටේලර්, කෙන්රෝයි පීටර්ස් හා ෂනොන් ගේබ්‍රියල් කඩුලු දෙක බැගින් දවාළූහ.

ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 09 ක් දැවී ලකුණු 275 ක් රැස්කරගෙන සිටියේය. බ.ඉ.කො ඉනිම ඔසවා තැබූ ක්‍රේග් බ්‍රාත්වෙයිට් ලකුණු 106 ක් හා මාලන් සැමුවෙල්ස් ලකුණු 101 ක් රැස්කිරීමට සමත්වූහ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් මෝනි මෝකල් කඩුලු 04 ක් දවාළීය. තරගයේ වීරයා සම්මානය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රේග් බ්‍රාත්වෙයිට්ට හිමිවිය.

කෙසේ නමුත් තරගාවලියේ පළමු තරගය ජයගත් දකුණු අප්‍රිකාව මේ වනවිට 1- 0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටියි. දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය හෙට (02දා) කේප්ටවුන්හිදී ආරම්භ වීමට නියමිතය.

දකුණු අප්‍රිකාව ප්‍රථම ඉනිම 417/08 (පන්දුවාර 122)

ඩීන්  එල්ගා 121 (පන්දු 239,4×18)

ෆැප් ඩූ ප්ලෙසි 103 (පන්දු 230, 4×13,6×2)

ඩේල් ස්ටේන් 58 (පන්දු 28, 4×6,6×5)

කෙන්රෝයි පීටර්ස් 2/69 (පන්දුවාර 20)

ෂනොන් ගේබ්‍රියල් 2/80 (පන්දුවාර 21)

බ.ඉ.කොදෙව් පළමු ඉනිම 275/9 (පන්දුවාර 79)

ක්‍රේග් බ්‍රාත්වෙයිට් 106 (පන්දු186, 4×12)

මාලන් සැමුවෙල්ස් 101 (පන්දු 160, 4×4, 6×1)

ඩෙවන් ස්මිත් 22 (පන්දු 46, 4×5)

මෝනි මෝකල් 4/69 (පන්දුවාර 20)

ඉම්රාන් තාහිර් 3/108 (පන්දුවාර 26)