Monthly Archives: November 2014

ශ්‍රී ලංකාවට කඩුලු හතක ජයක්

දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (30දා) මුහුණදුන් පළමු තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර කඩුලු 07ක ජයක් ලැබීමට සමත් විය. මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි දී පැවැත්වේ.

ශ්‍රී ලංකා නායක චන්දන සූරියආරච්චිගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේ ලකුණු 233/9 රැස්කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 25.1 වැනි පන්දුවාරයේ දී එම ඉලක්කය පසුකර යාමට සමත් විය. මෙම තරගය පසුගිය 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස්ගේ අභාවය හේතුවෙන් එදින නොපැවැත්විණි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම වසරේදී ශ්‍රී ලංකාවේ සිදුකළ තරග  සංචාරයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තරග 4-0 ක පරාජයක් අත්විඳීමට සිදුවිය.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාවට අමතරව මෙම තරගාවලියට බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය සමගින් සත්කාරක දකුණු අප්‍රිකාව තරගාවලියට සහභාගී වේ. සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී සියලුම කණ්ඩායම් සමගම තරග වැදිය යුතු අතර, ඉන් පළමු ස්ථාන හතර අතරට පැමිණෙන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (01දා) ඉන්දියාව සමගින් තරග වැදීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව 233/9 (පන්දුවාර 40)

ස්ටීවන් ප්පාමෙර් 59, බ්‍රැට් විල්සන් 52, රෙයිමන් මොක්ස්ලි 29, ලින්ඩ්සේ හේවන් 25, මාර්ක් හැස්කෙට් 20

ශ්‍රී ලංකාව පන්දු යැවීම

කේ.ජී. උපුල් සංජීව 3/46 (පන්දුවාර 7.4), චන්දන සූරියආරච්චි 2/56 (පන්දුවාර 7), ජේ.පී. දිමුතු රවින්ද්‍ර 1/39 (පන්දුවාර 4.9)

ශ්‍රී ලංකාව 234/3 (පන්දුවාර 25.1)

ඊ.පී. සමන් කුමාර 92, බී.එල්. රුවන් වසන්ත 67, චන්දන දේශප්‍රිය 22, චන්දන කුමාර 07

ඔස්ට්‍රේලියා පන්දු යැවීම

මැතිව් මැක්කාර්ති 2/36 (පන්දුවාර 3), ලින්ඩ්සේ හේවන් 1/22 (පන්දුවාර 5.9)

                                      ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම

 

මිලදී ගන්න පුළුවන් අය තවත් නෑ – ජනපති

පවුම්වලට හෝ ඩොලර්වලින් මිලට ගත හැකි අය තවත් තම ඇමැති මණ්ඩලයේ නැති බව ජනපති මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී පැවැසීය.

එසේම තමන් හේග් නුවර යුධාධිකරණයට ගෙන යාමට පිරිසක් කටයුතු කරන බවත් යකාට බය නම් සොහොනේ ගෙවල් නොහදන බවත් ජනපතිවරයා පැවැසීය.

එසේ වූවානම් තමන් ප්‍රභාකරන්ට එරෙහිව යුද්ද නොකරන බවත් හෙතෙම පැවැසීය.

ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ දී ජනපති මෙම අදහස් අද (30දා) ප්‍රකාශ කළේය. 

එසේම තමාව පරාජය කිරීම පහසු නොවෙනු ඇති බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය. 

දන්නා දේවල් ඉදිරියේදි කියන්නම් – මෛත්‍රී

මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට හෝ පෞද්ගලිකව පවුලට එරෙහි නොවූ බවත් අල්ලසට, දූෂනයට, නාස්තියට හා පවුල් පාලයට එරෙහිවූ බව  පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.

එසේම ජනපතිවරයා තෙවැනිවර බලයට පත්වුවහොත් රටේ සියලුම දේශපාලන පක්ෂ නැති කිරීමට ජනපතිවරයා කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

සිය ප්‍රචාරක කටයුතු පොලොන්නරුවෙන් ආරම්භ කරමින් අද (30දා) පස්වරුවේදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.

"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, මම ඔබට පෞද්ගලිකව එරෙහි වූවා නොවෙයි, ඔබේ පවුලට පෞද්ගලිකව එරෙහිවූවා නොවෙයි, මම එරෙහිවූයේ ඔබේ අල්ලසට, දූෂනයට, නාස්තියට, විධායක ජනාධිපති ක්‍රමයට, පවුල් පාලනයට පමණයි. මහින්ද රාජපක්ෂ මහත්තයා සූදානම් වන්නේ මේ රටේ සියළු දේශපාලන පක්ෂ විනාශ කරන්න. තුන්වැනි සැරේට බලයට පත් වුණොත් මේ රටේ සියළු දේශපාලන පක්ෂ සමතලා කරලා දාන්න මහින්ද රාජපක්ස මහත්තයා කටයුතු කරනවා. මම ඒ හැම දෙයක්ම දන්නවා. මම දන්නා දේවල් තවත් ඉදිරියේදී කියන්නම්." යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

්‍්‍්‍්‍්‍

පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්/එප්පාවල තිසර සමල්

 

මෛත්‍රී පරදන්න පෙළ ගැසෙනවා – රාවනා බලය

ඉදිරි ජනපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීම සඳහා සංඝයාවහන්සේ පෙළගස්සවන බව රාවනා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.

එම සංවිධානයේ දෙවැනි සමුළුව කොළඹදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළහ.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒම පිටුපස දෙමළ ඩයස්පෝරාව සිටින බවයි.

 

චීන ජාතිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට

කිරුළපන නගරයේ හෝටලයකදී කලහකාරී ලෙස හැසුරුණු චීන ජාතිකයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම හෝටලයේ හිමිකරුට පහර දී එහි තිබූ රුපියල් 150000ක් පමණ වටිනා දේපළවලට මෙම චීන ජාතිකයින් තිදෙනා අලාභ හානි සිදුකර තිබේ.

චීන ජාතිකයින් පොලිස් ඇප  මත මුදා හැර ඇති අතර ඔවුන් දෙසැම්බර් 4දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

රාවණා බලයෙන් ජනපතිට යෝජනා 6ක්

රාවණා  බලය විසින් කරුණු 6ක් ඇතුළත් යෝජනාවලියක් ඉදිරි දින කිහිපය තුළදී ජනපතිට ඉදිරිපත් කිරීමට එම සංවිධානය තීරණය කර තිබේ.

රාවණා බලය සංවිධානයේ දෙවැනි ජාතික සමුළුව මේ වන විට කොළඹ බි.එම්.අයි.සී.එච්. හි පැවැත්වෙන අතර එහිදි මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරිමට යෝජනා විය.

අන්‍යාගමීකරණය වැලැක්වීමේ පනත සම්මත කිරීම, බෞද්ධ ප්‍රකාශන පනත සම්මත කිරීම, බුද්ධ ශාසන පනත සම්මත කිරීම යන කරුණු 6ක් ඇතුළත් යෝජනාවලියක් මෙසේ ජනපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමතය.

මෝදී ශ්‍රී ලාංකිකයන්ගේ හදවත අැල්ලුවා – ස්වාමි

ඉදිරි ජනපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය ප්‍රාර්තනා කිරීම හරහා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ හදවත ස්පර්ශ කළ බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසා තිබේ.

මේ හරහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාව පිළිබඳව තිබූ වැරදි වැටහීම් අවම කර ගැනීමටත් හේතු වූ බව ස්වාමි නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව ද හින්දු පුවත් සේවය පවසයි.

 

පක්ෂය ගැන කියා ඇමති ජනක තෙන්නකෝන් අඬයි

තමන්ට සිදුවූ අසාධාරණකම් ජනපති මහින්ද රාජපක්ෂ මහතාටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටත් පැවැසූ බවත් ඒ කිසිවෙක් තමන් කියූ දේ ගණන් නොගත් බවත් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගලේවෙලදී අද (30දා) හඬමින් පැවැසීය.

ගලේවෙල ටී.බී. තෙන්නකෝන් ශාලාවේ පැවැති දඹුල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හෙතෙම සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනොල් හා කුඩු කාරයින්ට යටවී තිබෙන බවයි.

‘මම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. මට වූ කෙනෙහිලිකම් ගැන ජනපතිතුමාට කිව්වා. නාමල් පුතාට දඹුල්ලෙදිම කිව්වා. ඒ කිසිවකු මාගේ කතාව ගණන් ගත්තේ නැහැ. අපි හැදූ පක්ෂයට වන විපත ගැන මා කී දේ ඔවුන් විශ්වාස කළේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට දවසේ කාටවත් යටත් පක්ෂයක් කරන්න මම කැමති නැහැ.‘ යනුවෙන් ඔහු පැවැසීය.

එසේම මෙහිදී ඔහු මිනිත්තුවක් පමණ හඬමින් කතා කළේය. 

 

ජාතික පක්ෂීන් නැරඹීමේ මාසය හෙට සිට‍

ශ්‍රී ලංකාවේ පක්ෂි විද්‍යා අංශ කණ්ඩාම හා ජාත්‍යන්තර පක්ෂි ජීවිත සම්බන්ධ ජාතික සංවිධානය මඟින් දෙසැම්බර් මාසය ජාතික පක්ෂීන් නැරඹීමේ මාසය ලෙස නම් කර තිබේ.

නිවර්තන කලාපීය දේශගුණයක පිහිටි ශ්‍රී ලංකාව කුරුලු පාරාදීසයක් ලෙස අනාදිමත් කාලයක සිට හඳුනා ගෙන ඇත. 

දේශීය පක්ෂි වර්ග ඇතුළු ඉන්දියාව, සයිබීරියාව සහ බටහිර යුරෝපය වැනි රටවලින් පැමිණෙන සංචාරක පක්ෂීන් 400කට වැඩි ප්‍රමාණයක් මේ කාලයේ දී නැරඹීමට හැකියාව ඇත‍.

කුමන ජාතික කුරුලු උද්‍යානය, කළමැටිය කුරුලු උද්‍යානය, උඩවත්ත කැළේ ඇතුළු වන උද්‍යාන, වන රක්ෂිතවල දී පක්ෂී වර්ග ඇතුළු ක්‍රියාකාරකම් නැරඹීමට දේශීය මෙන් ම විදේශීය සංචාරකයින්ට වැඩි ඉඩකඩ පවතී

 

 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (29දා) ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මනත්‍රී හසන් අලී හා එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් නිශාන් කාරියප්පන් මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින්ද, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම හා අනුර ප්‍රියදර්ශන යාපා රජය නියෝජනය කරමින්ද එක්වි තිබේ.