Monthly Archives: October 2014

ඉන්දීය ආර්ථික සමුළුව 4 වැනිදා ඇරඹෙයි

ලෝක ආර්ථික සංවිධානය  සහ ඉන්දියා කර්මාන්ත ෆෙඩරේෂනය  සංවිධානය කරන ආර්ථික සමුළුවක් නොවැම්බර් 4 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන අතර, මෙහි ගෞරවනීය ආරාධිතයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඊට සහභාගි වෙයි.

මෙම ආර්ථික සමුළුව නොවැම්බර් 4 සිට 6 වැනිදා දක්වා දිල්ලි නගරයේදී පැවැත්වෙන අතර, මෙහි තේමාව වී ඇත්තේ “රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගිත්වයට නව  ඇරඹුමක්” යන්නය.

මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ්‍ය නියෝජනය  කරමින්  700 කට වඩා ඉහළ පෙළේ ජ්‍යත්‍යන්තර නියෝජිත පිරිසක්  සහභාගී වීමට නියමිත අතර, මෙහිදි  ආචාර්ය  අමුණුගම  මහතා විශේෂ  දේශනයක්  පවත්වයි. 

 

පළමු තරගයේ ජය නාවික හමුදාවට

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් හම්බන්තොට ශාර්ක්ස් කණ්ඩායම පරදා ලකුණු 35-15ක ජයක් ලැබීමට පසුගිය වර මෙම තරගාවලියේ  ශූරයින් වූ නාවික හමුදා කණ්ඩායම සමත් විය.

බෙලිඅත්තේදී පැවති මෙම තරගයේදී නාවික හමුදාව ගෝල දිනුම් 5 ක් මගින් සිය ලකුණු 35 රැස් කළ අතර දඩුවම් පහර 5 ක් සාර්ථක කරගනිමින් හම්බන්තොට ශාර්ක්ස් ක්‍රීඩකයින් සිය ලකුණු 15 රැස් කර ගත්හ. තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 28-06 ක් ලෙස නාවික හමුදාව ඉදිරියෙන් සිටිමිනි.

පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය පෙබරවාරියේ

2015 පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය පෙබරවාරි 06 සිට 08දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලාංකේය පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය ජාතික හා අන්තර්ජාතික වශයෙන් ප්‍රචලිත කිරීම, අපනයන හැකියාවක් ඇති නිර්මාණශීලි හා දක්ෂ නිපැයුම්කරුවන් හඳුනාගැනීම සහ ඔවුන් අපනයනය කරා යොමු කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය පිළිබඳ වැඩිදුර තොරතුරු www.srilankabusiness.com වෙබ් අඩවියෙන් හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇමතීමෙන් ලබාගත හැකිය.

 

MH370 අතුරුදන් වීම ගැන මගියෙකුගේ පුතුන් දෙදෙනෙකු නඩු මගට

අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 දරණ ගුවන් යානයේ ගමන් කළ මැලේසියානු පුද්ගලයෙකුගේ දරු දෙදෙනෙකු විසින් එම ගුවන් සමාගමට හා මැලේසියානු රජයට එරෙහිව නඩුවක් ගොඩනුකර ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාර්තු 08 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කෙරුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වූ පසු යානය සමග නැවත සම්බන්ධතාවක් ඇති කරගැනීමට අපොහොසත් වීම හා එය නොසලකා හැරීම සම්බන්ධයෙන් එරට සිවින් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට මෙහිදී චෝදනා ගොනු වී තිබේ.

පුද්ගලයන් 239ක් රැගෙන මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට ගමන් ගත් යානය සෙවීම සඳහා ලෝකයේ රටවල් රැසක මැදිහත් වීමෙන් දැවැන්ත මෙහෙයුමක් සිදුකළත් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට මෙතෙක් අපොහොස් වී තිබේ.

ඉබෝලා රටවලින් සහන සේවකයන් පිටවීම වැරදියි – බැන් කී මුන්

ඉබෝලා වසංගතයට ගොදුරුව සිටින සහන සේවකයන් බටහිර අප්‍රිකානු රටවලින් පිටත්වීම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන්ගේ විවේචනයට ලක්ව ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

මෙම අර්බුදය සමග සටන් කිරීමට සහන සේවකයන් වැඩි වශයෙන් අවශ්‍ය අවස්ථාවක මෙසේ රටින් ඉවත්ම යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරයෙන් ලැබෙන සහාය තවමත් ප්‍රමාණවත් නොමැති වුවත්, මේ වනවිට තත්ත්වය පාලනය කිරීම තරමක් දුරට නතු කරගෙන ඇති බවද හෙතෙම පවසයි.

 

නයිජීරියා බස් නැවතුම් පොළක බෝම්බ පිපිරීමක්

නයිජීරියාවේ ප්‍රධාන බස් නැවතුම් පොළක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් සිවු දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

නයිජීරියාවේ ගොම්බේ නගරයේදී මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති අතර, නගරයේ රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මියගිය පිරිස හා තුවාල ලැබූවන් මීට වඩා වැඩිවිය හැකි බවයි.

එම අවස්ථාවේ බස් රථ කිහිපයක්ම එහි නවතා තිබී ඇති අතර, ඒවා ජනයාගෙන් පිරී පැවති බවද කියැවෙයි.

මේ වනවිටත් සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන්ට ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි.

කොස්ලන්ද නායයෑම ගැන මාලදිවයින සොව පළ කරයි

අහිංසක මිනිස් ජීවිත හා විශාල පිරිසකට තම උන්හිටි තැන් අහිමි කරමින් හල්දුම්මුල්ල නගරය ආසන්න කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ ඇති වූ දරුණු නායයෑම් තත්ත්වය ඇසීමෙන් තමන් මහත් සේ කම්පාවට පත්වූ බව මාලදිවයින් විදේශ අමාත්‍ය දුන්යා මවුමූන් මහත්මිය පවසයි.

ජාතික ආපදාවක් සිදුවූ මේ අවස්ථාවේදී මාලදිවයින් රජය සහ ජනතාවගේ බලවත් සංවේගය ශ්‍රී ලංකා රජය හා එරට ජනතාව වෙත පළ කරන බවත්, විශේෂයෙන්ම නායයෑමෙන් ජීවිත හානි වූවන්ගේ පවුල්වලට හා ආපදාවන්ට ලක්වූවන්ට තම ශෝකය පළ කරන බවත් අමාත්‍යවරයි වැඩිදුරටත් පවසයි.

කොස්ලන්ද විපතට පත්වූවන්ට ඇමෙරිකාවෙන් හදිසි ආධාර

කොස්ලන්ද නායයාම්වලින් විපතට පත්වූවන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීය සඳහා අවශ්‍ය හදිසි මානුෂීය සහනාධාර ලෙස ඇමෙරිකා එක්සත් ජනපද රජයෙන් රු.මිලියන 6.5ක් (ඇ.ඩො.50,000ක්) සපයා තිබේ.

මීට අදාළ ඉතාමත් හදිසි අවශ්‍යතා සඳහා දායක වීමට අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් අන්තර් ජාතික පාර්ශ්වකරුවන් සමග සමීපව කටයුතු කරන බවද කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මීරියබැද්ද නාය යාම පිළිබඳ වර්තාව සතියකින්

(VIDEO) මීරියබැද්ද ප්‍ර දේශයේ නාය යාමට අදාළ විමර්ශණ අතුළත් වාර්තාව ඉදිරි දින පහ – හත  අතුළත සකස්කර ජනපතිවරයාට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසිය.

කොළඹදී පැවැති මාධ්‍ය සාකඡාවට එක්වෙමින් හෙතෙම  මෙම අදහස් ප්‍රකාශ කළේය. එසේම අද දහවල් 12 වන විට මියගිය හෝ අතුරුදන්වූ සංඛ්‍යාව 37ක් පමණක් බවද හෙතෙම කීය.

වීඩියෝ දර්ශන සනත් ‍ඩෙස්මන්ඩ්

නේපාලය හොං කොං ශ්‍රී ලංකවේ තරග සංචාරයක

නොවැම්බර් මාසයේදී නේපාල හා හොං කොං ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිතය. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවර්ධන කළමණාකරු වන බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම තරග සංචාරය ලැබී තිබේ.

ටෙස්ට් ක්‍රීඩා නොකරන කලාපිය රටවල් සඳහා සහාය ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තිරණය ගෙන තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කරන කණ්ඩායමක් සමග තුන්දින තරග, එක්දින තරග හා පන්දුවාර විස්සයි20 තරග කිහිපයක් මෙම තරගාවලියට අතුළත්ව තිබේ.

ඉන් අනතුරුව ඇෆ්ගනිස්තානය හා එක්සත් අරාබි එමිර් රාජ්‍ය ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිතය.