Monthly Archives: September 2014

වසර 2කදී ඒකපුද්ගල ආදායම ඇ ඩො 5000යි

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම මීට වසර 8කට පෙර ඇ.ඩො. 800ක් බවත්, 2013දී එය ඇ.ඩො.3,280ක් දක්වා වැඩි වී ඇති බවත්, තව වසර දෙකකින් එය ඇ.ඩො.5,000 දක්වා වැඩිකර ගැනීම රජයේ අපේක්ෂාව බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ආරුගම්බේ පැසිෆික් හෝටලේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

"අපේ රටේ මීට වසර 08කට පෙර වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇ.ඩො.800යි. එය 2013 දී ඇ.ඩො.3,280යි. එය තව වසර දෙකකින් ඇ.ඩො.5,000 දක්වා වැඩිකර ගැනීම අපේ අපෙක්ෂාවයි.

ඒ වගේම, ලංකාවට පසුගිය වසරේ සංචාරකයන් ලක්ෂ 12ක් පැමිණියා.  ඒ තුළින් ඇ.ඩො.බිලියන 1.5ක් විදේශ විනිමයක් ලැබුණා.  2016 දී සංචාරකයන් ප්‍රමාණය දෙගුණයක් කර ගැනීමටත් අපි අපේක්ෂා කරනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ගම්පහට පටක රෝපණ පර්යේෂණ මධ්‍යස්ථානයක්

ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තුළ පටක රෝපණ පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගිය 29 වැනිදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන අතර, ඉදිකිරීම් කටයුතු මෙන්ම එය පවත්වාගෙන යාම සහ පර්යේෂණ කටයුතු සියල්ල සිදුකරනු ලබන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා අධ්‍යයන අංශය මගිනි.

මෙහි ප‍්‍රධාන අරමුණ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වගාකරුවන් සඳහා අවශ්‍ය මල් පැල සහ විසිතුරු ශාඛ පටක රෝපණ තාක්‍ෂණය ආධාරයෙන් ලබාදීමට කටයුතු කිරීම බව පැවසෙයි.

ඔබාමා කෙම් කෝහ් කියද්දී මෝදි තෑන්ක් යූ වෙරි මච් මිස්ටර් ප්‍රසිඩන්ට් කියයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත අතට අත දෙමින් 'කෙම් කෝහ්' (ඔබට කොහොමද?) යැයි ගුජරාට් භාෂාවෙන් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පැවසූ විට ඉන්දීය අගමැතිවරයා 'තෑන්ක් යූ වෙරි මච් මිස්ටර් ප්‍රසිඩන්ට්' (බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි) යැයි ඉංග්‍රීසි භාෂාවෙන් පිළිතුරු ලබාදී තිබේ.

ඇමෙරිකාවේ සංචාරයක නිරත වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ධවල මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ඔවුන් මෙසේ සිය පිළිසඳර අරඹා තිබේ.

එමෙන්ම, නව පදවිවලට පත්වීමේ මුල් කාලයේදී සිය කාර්යභාරයන් අතරතුර මුහුණදුන් රසමුසු තැන් පිළිබඳවද ඔවුන් දෙදෙනාම කතා කළ බව පැවසෙයි.

ඔබාමා හමුවීමට පෙර මෝදි ප්‍රමුඛ ගෝලීය ව්‍යාපාරික නායකයන් කිහිප පොළක් සමග සාකච්ඡා පැවැත්වූ අතර, ඔවුන්ට ඉන්දියාව තුළ ආයෝජනය කිරීමටද ආරාධනා කළේය.

හොංකොං විරෝධතා නවත්වන්නැයි ප්‍රධාන විධායක කියයි

හොංකොං විරෝධතාව නවතා දමන ලෙස එරට නායක/ප්‍රධාන විධායක සී.වයි.ලියුන්ග් ප්‍රජාතන්ත්‍රවිරෝධී ව්‍යාපාරයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන් හේතුවෙන් මේ වනවිට හොංකොංහි බොහෝ ප්‍රදේශ අකර්මන්‍ය තත්වයකට පත්ව ඇති අතර, පසුගිය සතියේ සිට මෙම විරෝධතා උත්සන්න වෙමින් පැවතිණි.

එහිදී, හොංකොංහි ප්‍රධාන ව්‍යාපාරික නගරය සහ සෙසු ප්‍රදේශ පුරා වීදි බැස සිටින විරෝධතාකරුවන් දිගින් දිගටම පවත්වා ගෙන යන උද්ඝෝෂණ නතර කරන්න යැයි පවසන ප්‍රධාන විධායක කියන්නේ, චීනය සලිත කිරීමට මෙය හේතුවක් නොවන බවයි.

විරෝධතාකරුවන් පවසන්නේ සී.වයි. ලියුන්ග් චීනයේ රූකඩයක් ලෙස ක්‍රියාකරන බවයි. මේ නිසා ඔහුට සිය ධුරයෙන් ඉවත් වන ලෙසටද උද්ඝෝෂකයෝ ඉල්ලීම් කරති.

කෙසේ වෙතත්, මෙම විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ, මීළඟ මැතිවරණයේදී ඡන්ද දායකයන්ට බලපෑම් කළ හැකි නීති චීනය විසින් ඉවත්කර ගනිමින්, ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලබාදීමය.

ඔන්තකේ මෘත ශරීර අත්හැරීමට සිදුවෙයි

ජපානයේ ඔන්තකේ ගිනිකන්ද පුපුරායෑමත් සමග ඒ ආශ්‍රිතව කඳු නැගීමේ නිරතව සිටීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 24 දෙනෙකුගේ මෘත ශරීර ඉවත්කර ගැනීම නවතා දැමීමට සිදුවූ බව වාර්තා වෙයි.

ගිනිකන්ද තවදුරටත් පුපුරා යමින් අළු, ගෑස් හා ගල් අහසට විදීම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් නවතා දැමීමට සිදුව තිබේ.

පසුගිය සෙනසුරාදා අනපේක්ෂිත ලෙස පුපුරාගිය ගිනිකන්ද හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස මේ වනවිට 36 දක්වා ඉහළ ගොස් ඇති බව ජපාන බලධාරීහු විශ්වාස කරති.

මෙම ගිනිකඳු පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ අතර, මියගිය පිරිසෙන් පුද්ගලයන් 12 දෙනෙකුගේ ශරීර පමණක් නැවත ගෙන ඒමට හැකිවී තිබේ.  

ගතවූ වසර 40 ට ලෝකයේ වනසතුන් අඩකින් අඩුවෙලා

ලෝකයේ වනසත්ව ගහණය පසුගිය වසර 40ක කාලය තුළ හරි අඩකින් අඩුවී ඇති බවට නවතම වාර්තාවක් හෙළි කරනයි.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සත්ත්ව විද්‍යා සංගමයේ නවතම ලිවින්ග් ප්ලැනට් දර්ශකය මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ක්ෂීරපායීන්, පක්ෂීන්, උරන්ගයින්, උභයජීවීන් හා මත්ස්‍යයින් යන සත්ව ප්‍රජාවන් පෙර සිතුවාට වඩා බොහෝ සෙයින් ලොවෙන් සමුගෙන ඇති බව ලෝක වනසත්ව පදනමද පෙන්වා දෙයි.

අග්නිදිග ආසියාව පුරා විහිදෙන නිවර්තන කලාපීය රටවල සහ මධ්‍යම අප්‍රිකානු රටවල වෙසෙන වන සතුන්ට මෙම තත්ත්වය තදින්ම බලපා ඇති බවද ලෝක වනසත්ව පදනම අවධාරණය කරයි.

මීට බලපා ඇති ප්‍රධානතම කරුණු අතර නිවර්තන කලාපීය වන විනාශය ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන ඇති අතර, මිනිසාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉවක් බවක් නොමැතිව වනාන්තර විනාශය සිදුවන බවද පෙන්වා දෙයි.

මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව මීට පෙර තිබූ නිල දත්ත හා සැසඳීමේදී 6% අඩු වී ඇති බවත්, ව්‍යාඝ්‍රයන්, සීල් මත්ස්‍යයන් මෙසේ වේගයෙන් වඳ වී යන සතුන් අතර සිටින බවත් පෙන්වා දෙයි.

ඉබෝලා හේතුවෙන් දරුවන් 3700කට දෙමවුපියන් අහිමි වෙලා – එක්සත් ජාතීන්

ඉබෝලා හේතුවෙන් දරුවන් 3,700කට තම දෙමවුපියන් දෙදෙනාම හෝ එක් අයෙකු අහිමි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

ඉබෝලා වෛරසය වඩාත් දරුණු ලෙස පැතිර යන ගිනියාව, ලයිබීරියාව සහ සියෙරා ලියෝන් යන රාජ්‍යයන් හි මෙම තත්ත්වය වාර්තා වන බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව, මෙම අනාථ දරුවන් වෙනුවෙන් කඩිනම් සහන සැලසිය යුතු බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.

කෙසේ වෙතත්, අසනීප දරුවෙකුට සාත්තු සප්පායම් කිරීම මේ වනවිට මෙම කලාපය තුළ මරණීය දණ්ඩයට යටත් වීමක් වැනි තත්ත්වයක් පවතින බවද ඔවුන් අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට බටහිර අප්‍රිකානු කලාපය තුළ පුද්ගලයන් 3,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දිස්ත්‍රික්ක පහක් අවධානම්

ඇදහැළෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් නුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, කුරුණෑගල කඳු ආශ්‍රිත ප්‍ර‘දේශ නායයාම සිදුවිය හැකි නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

මෙම අනතුරු ඇඟවීම අද (30දා) සවස 6.00 සිට හෙට (01දා) හවස 6.00 දක්වා ක්‍රියාත්මක බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් මහතා සඳහන් කළේය.

 

ජයලලිතා වෙනුවෙන් තමිල්නාඩු නළු නිළියෝ නිරාහාරව විරෝධතාවක

දූෂණ චෝදනා මත තමිල්නාඩුවේ හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙත සිරදඬුවම් නියම කිරීමට විරෝධය පාමින් දකුණු ඉන්දීය සිනමා නළු නිළියන් දිනක් නිරාහාරව සිටිමින් උද්ඝෝෂණයක නිරත වී තිබේ.

වත්කම් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබමින් වසර 4ක සිරදඬුවමක් ජයලලිතා වෙත හිමිව ඇති අතර, ඇය මේ වනවිට බැංගලෝර් සිර කඳවුරේ රඳවා සිටියි.

එමෙන්ම, සිවු වසරක සිරදඬුවම් ලැබ සිටින ජයලලිතා ජයරාම්ට ඇප ලබාදීම ලබන 6 වැනිදා දක්වා කල් ගොස් ඇතැයිද වාර්තා වෙයි.

ජයලලිතාගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය වෙනුවෙන් මහජන නීතීඥවරයෙකු යෙදවීමට කර්නාටක අධිකරණය අපොහොසත්වීමත් සමගින්ම මෙම තත්ත්වය හට ගෙන තිබේ.

 

ක්‍රිස් නෝනිස්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් නෑ – කෙහෙළිය

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදුන් බවට සඳහන් වන කරුණු සත්‍යදැයි අද (30දා) කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී මාධ්‍යවේදීහු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළහ.

එහිදී මුලින්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එසේ ලිපියක් භාරදී ඇති බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩිදුර කරුණු මාධ්‍යයට පැවසීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසු අමාත්‍යවරයා කියා සිටියේ එවන් ලිපියක් මේ වනතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම පරස්පර පිළිතුරු හේතුවෙන් මාධ්‍ය හමුව තරමක් උණුසුම්විය.