Monthly Archives: August 2014

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සලසන්න – ජනපති

නියඟයෙන් තවදුරටත් පීඩාවට පත් ජනතාවට මූල්‍යමය හා ද්‍රව්‍යමය සහන තවදුරටත් සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්ක ඇතුළු දිවයිනේ සියලු පළාත්වල නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය වියළි සලාක මෙන්ම, මූල්‍යමය සහයෝගය සොයා බලා නිසි පරිදි ලබාදෙන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

ඌව නිසා වයඹේ වැඩ නතර කර නෑ – දයාසිරි

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් වයඹ පළාත් සභාවේ කටයුතු නතර කර නිවාඩු ලබාදී නොමැති බවත්, ශ්‍රී.ලං.නි.ප සම්මේලනය යෙදෙන සැප්තැම්බර් 02 දින සැසිවාරය පමණක් අවලංගු කළ බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ‘අද’ ට පැවසීය.

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් වයඹ පළාත් සභාවේ වාහන හෝ රාජ්‍ය නිලධාරීන් යොදාගෙන නොමැති බවත් එලෙස තොරතුරු තිබේ නම් ඒවා හෙළි කරන ලෙසත් පදනම් විරහිතව සිදුකරන චෝදනා ප්‍රතික්‍ෂේපකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

යුද හමුදා සංදර්ශනයෙන්

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන යුද හමුදා සංදර්ශණය අද (31දා) නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේදී නිමාවට  පත්විය. එහිදී යුද හමුදා සාමාජිකයන් සංදර්ශනයට සහභාගී වූ අයුරු.

 

 

 

ගම්පොල සුරංග දිල්හාන්

සසින් හා ඉෂිනි ශ්‍රී ලංකාවට රන් පදක්කම් ගෙනෙති

තායිවානයේ තායිපේ නුවර පසුගිය 24 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වුණු 10 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේ වයස 13 පහළ බාලක රන් පදක්කම අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්. සසින් නිපුන් පියුමන්ත විසින්ද, වයස 15 පහළ බාලිකා රන් පදක්කම කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ඉෂිනි දිල්හාරා වික්‍රමසිංහ විසින්ද දින ගන්නා ලදී.

තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් එම්. සසින් නිපුන් පියුමන්තට හා ඉෂිනි දිල්හාරා වික්‍රමසිංහට චෙස් ෆිඩේ මාස්ටර් (FM) නිලනාම හිමිවූ අතර, ලංකාවේ ළාබාලතම හා අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් බිහිවූ ප්‍රථම ෆිඩේ මාස්ටර් වීමේ ගෞරවය එම්. සසින් නිපුන් පියුමන්තට හිමි විය.

හතළිස් දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායමක් මේ තරගාවලියට සහභාගි වූ අතර, එහිදී චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙක් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් හතරක් දිනා දුන්හ.

  1. එම්.සසින් නිපුන් පියුමන්ත – (වයස 13 පහළ බාලක රන් පදක්කම/ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

  2. ඉෂිනි දිල්හාරා වික්‍රමසිංහ – (වයස 15 පහළ බාලිකා රන් පදක්කම කොළඹ මියුසියස් බාලිකා)

  3. අයි.එම්.පී.එස්. ගුණවර්ධන – (වයස 7 පහළ බාලිකා රිදී පදක්කම/ කුරුණෑගල මලියදේව බාලිකා විදුහල)

  4. ඒෂා පලී – (වයස 7 පහළ බාලිකා ලෝකඩ පදක්කම/ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහල)

  5. තෙවින් රනිඳු සිල්වා – (වයස 9 පහළ බාලක ලෝකඩ පදක්කම/  ගම්පහ සිරිකුරුස විද්‍යාලය)

  6. කසුන් විමලසුරිය – (වයස 17 පහළ බාලක ලෝකඩ පදක්කම/ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

  7. මෙත්මානි නෙළුනිකා – (වයස 17 පහළ බාලිකා ලෝකඩ පදක්කම/ නුගේගොඩ අනුලා දේවි බාලිකා විදුහල)

ඉෂිනි දිල්හාර

සසින් පියුමන්ත

මොනරාගල නින්ජා ප්‍රහාර වැඩිවෙයි

ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල පහකට හා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල හතරකට පසුගිය 29 හා 30 යන දෙදිනේදී ප්‍රහාර එල්ලකර තිබෙන බවත් ඉන් කාර්යාල තුනක්  සම්පූර්ණ ලෙසම විනාශ වී තිබෙන බවත් කැෆේ සංවිධානය කියයි.

ආයුධ සන්නද්ධ අංක තහඩු නොමැති වාහනවලින් ගමන්ගන්නා පිරිස් විසින් මෙම ප්‍රහාර දියත් කරන බවත් මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැතිවරණ කොට්ඨාසයේ වැඩි වශයෙන් මෙම සිදුවීම් වාර්තා වන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

 

ITN සභාපති පුටුවේ වෙනසක්?

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ධුරයේ වෙනසක් සිදුකිරීමට යන බව වාර්තා වෙයි.

රොස්මන්ඩ් සේනාරත්න මහතා මේ වනවිට ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස කටයුතු කරයි.

ඌව මැතිවරණය සම්බන්ධයෙන් සන්ධාන රජයේ වැඩසටහන් ප්‍රචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම මත ඇති වූ මතභේදයක් මෙම වෙනසට හේතුව බව ආරංචි වෙයි.

මේ අතර,  අනුර සිරිවර්ධන මහතා සභාපති ධුරයට පත් කිරීමේ සූදානමක් ගැනද රාවයක් පවතී.

බොරෝබුදුර් විහාරයට ප‍්‍රහාරයක් වුණොත් වගකීම ඇමෙරිකාවටයි – ජානිපෙ

ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් එහි වගකීම ‘ ISIS අන්තවාදය’ බිහි කොට, පෝෂණය කළ ඇමෙරිකා එක්සත් ජනපදය භාර ගත යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද (31) කොළඹ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ සඳහන් කළේය.

‘‘ස්ලැට්ෆෝම් නම් වෙබ් අඩවියෙන් සහ ෆේස්බුක් හරහා ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයට ප‍්‍රහාරයක් එල්ල කරන බවට  ISIS අන්තවාදී සංවිධානය ප‍්‍රකාශ කොට තිබුණා. මේ ප‍්‍රකාශය ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා සාමය සහ සහජීවනය මෙන්ම ඓතිහාසික උරුමයන් අගය කරන බෞද්ධ ආගමිකයන්ගේ පමණක් නොව සියලූ ආගමිකයන්ගේ දැඩි පිළිකුළට හා විවේචනයට ලක් වුණා.

ඇමෙරිකා එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් ඉරාකයේ තෙල් සම්පත කොල්ලකෑමට එය ආක‍්‍රමණය කළා. සදාම් හුසේන්ව එල්ලලා මැරුවා.  කැරලිකරුවන්ට නවීන ආයුධ, රථ වාහන දීලා ඔවුන් පෝෂණය කරමින් තමයි සදාම් හුසේන් මරා දැම්මේ. ඇමෙරිකා එක්සත් ජනපදය, ISIS සංවිධානයට ආධාර දුන් ආකාරය ලොවටම අනාවරණය වී අවසන්. ISIS සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදයේ අන්තවාදී නිර්මාණයක් බව ඉතා පැහැදිලියි.” යනුවෙන් මුසම්මිල් මහතා පැවැසීය.

දියකාවා මෙහෙයුමට නිලධාරීන් 2500 ක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව සංවිධානය කරන 'දියකාවා' ඒකාබද්ධ යුද අභ්‍යාසය සැප්තැම්බර් 02 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2500 කට අධික පිරිසකගේ හා විදේශ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය සඳහා සහභාගිවන්නන් හා නීරීක්ෂකයන් වශයෙන් සහභාගි වන රටවල් 06 ක් මේ වනවිට ඔවුන්ගේ පැමිණීම තහවුරු කොට ඇත.

ත්‍රිකුණාමලයේ විශාල කැලෑ ප්‍රදේශයක් ආවරණය වන පරිදි සිදුකෙරෙන මෙම යුද අභ්‍යාසය මගින් විශේෂ මෙහෙයුම් ශක්‍යතා වර්ධනය කෙරෙන අතර, එය සෑම මට්ටමකින්ම සටන් සූදානමක් පවත්වාගැනීමට සහාය වනු ඇත.

 

මොනරාගල ප්‍රචණ්ඩත්වය තවත් ඉහළට

මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ කාර්යාලවලට පහර දීමේ සිද්ධි සම්බන්ධව ලැබෙන පැමිණිලිවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවත්, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මේ දක්වා නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යාමට ප්‍රථම එය පාල‍නය කිරීමට යොමුවන ලෙස පැෆරල් සංවිධානය අදාළ අංශ වෙත දැනුම් දෙයි.

 

තවත් බස් මාෆියාවක්

කොළඹ සිට යාපනය, මඩකලපුව, ති‍්‍රකුණාමලය, කල්මුණ හා අක්කරපත්තුව යන ප‍්‍රදේශවලට නීත්‍යානුකුළ බලපත‍්‍රයක් නොමැතිව බස් රථ ධාවනය වන බවට තොරතුරු ලැබී තිබෙන බව පොලීසිය කියයි.

මෙම බස් රථ ප‍්‍රමිතියකින් තොර බවත් එම රථයන් කොළඹ නගරයෙන් පිටවන ස්ථාන වල සිට නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරිමට කොළඹ නාගරික රථවාහන පොලිසිය තීරණය කර තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම මෙහෙයුම්වලට අනුව ඊයේ (30දා) රාති‍්‍රයේදී බලපත‍්‍ර නොමැතිව ධාවනය කළ දුර ගමන් සේවා බස් රථ 06 ක් අත්අඩංගුවට ගත්බවද පොලීසිය පවසයි.