Monthly Archives: August 2014

ශිල්ප උදාන ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයෙන්

සාම්ප්‍රදායික වටිනාකමකින් යුත් හස්ත කර්මාන්ත රැකගැනීමේ අරමුණින් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ අනුග්‍රහය ඇතිව ජාතික ශිල්ප සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශිල්ප උදාන ජාතික හස්ත කර්මාන්ත 2014 උලෙළ අද (31දා) සාර්ථකව අවසන් විය.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ (30දා) පස්වරුවේ එක් විය. එහිදී, ප්‍රදර්ශනයේ සිටි චිත්‍ර නිර්මාණ ශිල්පීන් විසින් ජනාධිපතිවරයා චිත්‍රයට නැගීමද සිදුකරන ලදී.

සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

කුඩා නගර 45ක් සංවර්ධන සැලසුම් පිළිගැන්වේ

කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තෝරාගත් නගර 45ක් සඳහා සැකසුණු නගර සැලසුම් ප්‍රාදේශීය සභා වෙත පිළිගැන්වීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01දා) බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී  සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%ක පමණ ප්‍රතිශතයක් ජීවත්වන්නේ ග්‍රාමීය ප්‍රදේශ තුළ ජීවත් වන අතර, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීමේදී මෙම ග්‍රාමීය ප්‍රදේශ වැඩි දායකත්වයක් සපයන බව පැවසෙයි. එම දායකත්වය කාර්යක්ෂම හා ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සේවා මධ්‍යස්ථානවලට සැලසුම් සකස් කිරීම අමාත්‍යවරයාගේ මගපෙන්වීම මත ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන බව කියයි. එම කාර්යය නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ පැවරී ඇත්තේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙතය.

ඉතිහාසයේ සිටම ශ්‍රී ලංකාවේ සැලසුම්ගත නගර හා ග්‍රාම නිර්මාණය කර තිබෙන බවත්, වර්තමානයේදීද එවැනි සැලසුම් සහගත නගර හා ග්‍රාම නිර්මාණය කිරීම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සිදුකරයි. ඒ අනුව කුඩා නරග සේවා මධ්‍යස්ථාන 45ක් සඳහා සැලසුම් නිර්මාණය කර එවා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නීතිමය භාවයක් ලබාදෙමින් ආයෝජකයින් ඇතුළු  සැමගේ නෙත් යොමු කෙරෙන අයුරින් මෙම කුඩා නගර සේවා  මධ්‍යස්ථාන සැලසුම් ප්‍රාදේශීය සභා වෙත පිළිගැන්වීම මෙදින සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි.

නැගෙනහිර යුක්රේනය ගැන සාකච්ඡාවට සූදානම් – පූටින්

නැගෙනහිර යුක්රේනය සම්බන්දයෙන් සෘජු සාකච්ඡා පැවැත්වීමට පැමිණෙන්නැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ඇරයුම් කරයි.

පූටීන් පෙන්වා දෙන්නේ, පළාතේ ජීවත්වන ජනතාවගේ කැමැත්ත ඉස්මතු කරනු වස මෙම කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය යුතු බවයි.

නැගෙනහිර යුක්රේනය තුළ සිදුවන රුසියානු ආක්‍රමණය යළි හැරවීම හෝ යුරෝපා සංගමයේ සම්බාධකවලට මුහුණදීම යන දෙකින් එකකට සතියක කාලයක් ලබාදෙමින් යුරෝපා සංගමය නිකුත් කළ අවසන් නිවේදනයත් සමග පූටින් මෙසේ අදහස් පවසා ඇත.

කෙසේ වෙතත්, නැගෙනහිර යුක්රේනය තුළ රුසියානු හමුදා යෙදවීම සම්බන්ධයෙන් බටහිරින් නැගෙන චෝදනාව රුසියාව විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඔස්ට්‍රේලියාව සිම්බාබ්වේට පරදියි

වසර 31කට පසුව ඔස්ට්‍රේලියා කණ්ඩායමක් පරාජය කර එක්දින තරගයක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

ඒ හරාරේ හි පැවැති තරකයකදී ඔස්ට්‍රේලියා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 210ක ඉලක්කය පන්දුවාර 48කදී පසුකර යමිනි. 

ලකුණු 210ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ආරම්භක පිතිකරු යුගලය ටිනෝ මවෝයෝ හා සිකන්ධර් රාසා සමත්විය. 

නැවතත් බ්‍රෙන්ඩන් ටේලර් හා හැමිල්ටන් මැසකඩ්සා තෙවැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩනගමින් සිමිබාබ්වේ කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ආවේය. ලකුණු 156ක් වන විට ඔවුන්ගේ හත්වැනි කඩුල්ලද බිඳ වැටුණි.

නමුත් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ එල්ටන් චිකුන්බුරා නොදැවී ලකුණු 52ක් රැස්කරමින්, ප්‍රොස්පර් උට්සේයා හා එක්ව සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

 

සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රථම ඔම්බුස්ට්මන්වරයා මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයෙකුද සෑම් විජේසිංහ මහතාගේ අභාවප්‍රාප්ත විය. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (01දා) සවස 4.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

දින කිහිපයක් රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා අද (31දා) සවස මිය යන විට 93 වැනි වියේ පසුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව් විජේසිංහ මහතා ඇතුළු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඔහු මෙරට ප්‍රකට පරිපාලන නිලධාරියෙකු ලෙස හැඳින්විය හැකිය. 1963 සිට පාර්ලිමේන්තු මහ ලේකම් ලෙසත්, 1978 වසරේ සිට පාර්ලිමේන්තුවේ මහ කොමසාරිස් ධුරයද හෙබවූ ඒ මහතා පුවත්පත් පැමිණිලි කොමිසමේ ආරම්භයේ සිට පසුගිය වසර දක්වා සභාපති ධුරයද, මියයන විට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ද හෙබවීය.

මාතර කිරින්ද ගැටමාන්නේ දී උපත ලැබූ ඒ මහතා ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ ගැටමාන්නේ ඩී.ඒ.එස්. විජේසිංහ මහතාගේ පුත්‍රයෙකි.

මාතර රාහුල විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය හා ගල්කිස්ස තෝමස් විද්‍යාලවල ආදි සිසුවෙකු වන ඒ මහතා නීතිවේදියෙකු මෙන්ම, උපාධිධාරියෙකුද වෙයි.

දේහයට අවසන් මහජන ගෞරව දැක්වීමට හෙට පෙරවරු 9.00 සිට කොළඹ 03, ඇල්ෆ්‍රඩ් හවුස්පාරේ අංක 08 දරන නිවසේ තැන්පත් කර ඇත. 

පිටකොටුවේ ගින්න මැඬපවත්වයි

පිටකොටුව රතු පල්ලිය අසල පිහිටි වෙළෙඳ සැලක ඉහළ මාලයේ අද (31දා) සවස 6.00 ට පමණ ඇති වූ ගින්නෙන් කිසිවෙකුටත් හානියක් වී නැතැයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි.

සිද්ධිය සැලවූ සැණින් ගිනි නිවන ඒකකයේ රථ හතරක් යෙදවූ බවත් සවස 6.35 පමණ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඬපැවැත්වීමට හැකි වූ බවත් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.මෙම ගින්න හේතුවෙන් ඒ ආසන්නව තිබූ සන්නිවේදන මධ්‍යස්ථානයක් හා සැලුනයක් ගින්නෙන් විනාශ වී තිබේ.

වෙළෙඳසැල පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පුද්ගලයෙකු නවාතැන් ගෙන සිටි කාමරයක මෙම ගින්න හටගෙන තිබූ බව පැවසූ එම නිලධාරියා ගින්නට හේතුව පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරන බවද පවසා සිටියේය.

පාකිස්තාන උද්ඝෝෂණ ඉහළට – ජීවිත හානි 3ක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර රජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් හා පොලීසිය අතර ගැටුම් උත්සන්න වී ඇති අතර, මේ වනවිට උද්ඝෝෂකයන් සමග සාකච්ඡාවට හමුදා නායකයන් පැමිණ ඇති බවද එරටින් වාර්තා වෙයි.

සෙනසුරාදා රාත්‍රියේ හටගත් ප්‍රචණ්ඩක්‍රියාවලින් තිදෙනෙකුවත් මරුමුවට පත්වන්නට ඇති බවත්, තවත් 300කට පමණ තුවාල සිදු වී ඇති බව වාර්තා වෙයි.

අගමැති නවාස් ෂරීෆ් පදවියෙන් ඉල්ලා අස් විය යුතු බව උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වී තිබේ.

උද්ඝෝෂකයන් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ අගමැති නිල නිවසට සහ පාර්ලිමේන්තුවට කඩා වැදීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය හා උද්ඝෝෂකයන් අතර මෙසේ ගැටුම් උත්සන්න වී තිබේ.

පාකිස්තානයේ විරුද්ධ පක්ෂ දේශපාලඥයන් වන ඉම්රාන් ඛාන් හා තහිරුල් ඛදීර් ට පක්ෂපාතී පිරිස් සති දෙකක් පුරා ඇවිලෙමින් පවතින උද්ඝෝෂණවලට නායකත්වය සපයති.

 

අයිස්ලන්ත ගිනිකන්ද ලාවා පිටවේ – ගුවන් ගමන් අවදානම් කලාපයක්

බර්දාර්බුන්ගා ගිනිකන්ද තවදුරටත් සක්‍රීය වීමත් සමග අයිස්ලන්ත ගුවන් කලාපයේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

කෙසේ වෙතත්, දැනට සිදුව ඇති පිපිරීම්වලදී එතරම් ප්‍රබල විදාරණයක් දක්නට නැතති බවද වාර්තා වෙයි.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව, ගිනිකඳු මුදුනේ සිට අඩි 6,000ක් පහතින් ගුවන් යානා ගමන් කිරීම තහනම් කර තිබේ.

අයිස්ලන්තයේම අයිජෆ්ජල්ලාජොකුල් ගිනිකන්ද 2010 වසරේදී විදාරණයට ලක්වීම හේතුවෙන් යුරෝපය පුරා ගුවන් ගමන් අඩාල විය.

කෙසේ වෙතත්, අද (31දා) සිදුව ඇති පිපිරීම එතරම් ප්‍රබල තත්ත්වයේ නොවූවත්, ලාවා පිටවීම දිගින් දිගටම සිදුවන බව කියැවෙයි.

 

 

කොටි ඔස්ට්‍රේලියාවේදී හිස ඔසවයි?

2009 වසරේදී යුදමය වශයෙන් පරාජයට පත්කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත වරක් ඔස්ට්‍රේලියාවේදී හිස එසවීමේ සූදානමක් පවතින බව %ද හින්දු^ පුවත් සේවය පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා කටයුතු කළ පුද්ගල ජාවාරම්කරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මෙම කරුණ පිළිබඳව අවධානය ‍යොමුවී තිබේ.

මුලතිව් හා මට්ටකාලප්පු ප්‍රදේශයේ වසය අවුරුදු 24 හා 28 පසුවන තරුණයන් හයදෙනෙකු මෙසේ නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබෙන බවත්, ඔවුන් කිසිදු රැකියාවක නොයෙදෙන බවත්, යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුතුව පසුවන බවත් ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කරයි.

 

රග්බි සම්මේලනය නම වෙනස්කරයි

අන්තර්ජාතික රග්බි සම්මේලනය එළැඹෙන නොවැම්බර් 19 වැනිදා සිට සිය නිල නාමය වෙනස් කිරීමට කටයුතු කරමින් සිටියි.

අන්තර්ජාතික රග්බි සම්මේලනය පසුගියදා (28දා) නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ නව ප්‍රතිසංස්කරණ යටතේ මෙම නිල නාමය වෙනස් කිරීමට සූදානම් වන බවයි. මෙම ප්‍රතිසංස්කරණවලට අනුව රග්බි සම්මේලනයේ නව නාමය %ලෝක රග්බි සම්මේලනය^  වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර්ජාතික රග්බි සම්මේලනයේ සභාපති බර්නාඩ් ලැම්ෂෙඩ් පැවසූවේ ක්‍රීඩාවේ උනන්තිය සඳහා මෙම වෙනස්කම සිදුකරන බවයි.