Monthly Archives: July 2014

UN කඳවුරට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරය අනුමත කළ නොහැකියි – ඇමෙරිකාව

ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ අනාථ කඳවුරක් වෙත ඊශ්‍රායලය විසින් සිදුකර ඇති ෂෙල් වෙඩි ප්‍රහාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි ප්‍රහාරයක් බව ඇමෙරිකාව අවධාරණය කරයි.

පලස්තීනය වෙත ඊශ්‍රායලය සිදුකරන දැවැන්ත ප්‍රහාර මාලාව ආරම්භ වීමෙන් පසුව ඇමෙරිකාව විසින් සිදුකර ඇති දැවැන්තම විවේචනය මෙය බව කියැවෙයි.

ඇමෙරිකාවේ ළඟම හිතවතෙකු ලෙස සැලකෙන ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් පවසා ඇත්තේ මෙම ප්‍රහාර හේතුවෙන් විපතට පත්වූවන් ප්‍රමාණය අතිශය වැඩි බවයි.

 

එබෝලා පිටුදැකීමට ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී සහ බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ නායකයන් එබෝලා වෛරසය පිටුදැකීම වෙනුවෙන් ඇ.ඩො.මිලියන 100ක ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් ප්‍රකාශයට පත්කර තිබේ.

හෙට දිනයේදී ගිනියා රාජ්‍යයේදී මුණ ගැසෙන ඔවුන් මේ වනවිටත් ජීවිත 729ක් බිලිගෙන ඇති වෛරසය පිටුදැකීම ඉලක්ක කරමින් මෙම ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කිරීමට සැරසෙයි.

සියෙරා ලියෝන් ජනාධිපතිවරයා දැනටමත් එරට පොදු සෞඛ්‍ය වෙනුවෙන් හදිස් තත්ත්වයක් ඇතිකර තිබෙන අතර, එරට මේ දක්වා මියගිය පිරිස 233ක් බව කියැවෙයි.

එබෝලා වැළඳුණු රෝගීන් ස්පර්ශ කිරීමෙන් මෙම රෝගය බෝවන නිසා, මේ වනවිට මෙම කලාපය තුළ වෛරසය වේගයෙන් පැතිරෙන බව කියැවෙයි.

අන්තර්ජාතික විශේෂඥයන් MH17 අනතුරු කලාපයට පැමිණේ

නැගෙනහිර යුක්රේනයේ රජයේ මෙහෙයුම් නතර කිරීමත් සමග අන්තර්ජාතික අධිකරණ වෛද්‍ය නිලධාරීන් MH17 යානය අනතුරට පත් ස්ථානය වෙත ළඟා වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

ඒ අනුව, ඔස්ට්‍රේලියානු හා නෙදර්ලන්ත විශේෂඥයන්ගෙන් සමන්විත විශේෂඥයන් එම කලාපයේ මේ වනවිටත් සිය පරීක්ෂණ අරඹා ඇති බව පැවසෙයි.

යානය කඩා වැටුණු කලාපය වෙත ළඟාවීම සඳහා සතියක පමණ කාලයක් බලා සිටීමට විශේෂඥයන්ට සිදුවූයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් හා යුක්රේන රජයේ හමුදා අතර පැවති ගැටුම් උත්සන්න වීම හේතුවෙනි.

ඔස්ට්‍රේලියාව විශ්වාස කරන්නේ යානයෙන් අනතුරට පත්වූවන් 80කගේ පමණ මළ සිරුරු තවමත් මෙම කලාපය තුළ ඇති බවය.  

මැතිව්ස්ට උසස්වීමක්

සංගාගේ වෙනසක් නැහැ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (31දා) නිකුත්කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් පියවර 05ක් ඉදිරියට පැමිණෙමින් අංක හය පිතිකරුවා දක්වා ඉදිරියට පැමිණ ඇත. එය මැතිව්ස් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ මෙතරම් ඉදිරියට පැමිණි පළමු අවස්ථාවයි.අවසන් වරට පසුගිය ජුනි මස සිදුකළ ශ්‍රේණිගතකිරීමේදී මැතිව්ස් 13 වැනි ස්ථානයේ සිට 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

කුමාර් සංගක්කාරගේ ස්ථානයේ වෙනසක් සිදුව නොමැති අතර, සුපුරුදු පරිදි ඔහු මෙහි දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.  සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ යොවුන් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල 77 වැනි ස්තානයට පැමිණ ඇත.ඔවුන්ට අමතරව රංගන හේරත් ටෙස්ට් පන්දු යවන්නන් අතර 08 වැනි ස්ථානයට පැමිණ තිබේ.

පළමු 100 දෙනා අතර සිටින ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවෝ

කුමාර් සංගක්කාර (02), ඇන්ජලෝ මැතිව්ස් (06), මහේල ජයවර්ධන (14), කෞෂාල් සිල්වා (47), දිනේෂ් චන්දිමාල් (48), ප්‍රසන්න ජයවර්ධන (56), දිමුත් කරුණාරත්න (70), නිරෝෂන් දික්වැල්ල (77), උපුල් තරංග (97)

ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වලපළමු පිතිකරුවන් දස දෙනා

1.ඒ.බී. ඩිවිලියර්ස් 2. කුමාර් සංගක්කාර 3. හෂීම් අම්ලා  4. ඩේවිඩ් වෝනර් 5. ශිවනාරින් චන්ද්‍රපෝල් 6. ඇන්ජලෝ මැතිව්ස් 7. මිස්බා උල් හක් 8. මයිකල් ක්ලාක් 9. රොස් ටේලර් 10. චෙටේෂ්වර් පුජාරා

උද්භිද උද්‍යාන වලින් මාස 5ට රු මි 219ක ආදායමක්

විදේශීය හා දේශීය සංචාරකයන් උද්හිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණීම ශීඝ්‍ර වශයෙන් ඉහළ ගොස් තිබෙන බැවින් රජයට 2013 දී රු මිලියන 416.5 ක ආදායමක් හා 2014 මුල් මාස පහ ඇතුළත රු. මිලියන 219.8ක ආදායමක් ලැබී ඇති බව කැබිනට් තීරණ වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව පහත සඳහන් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා උද්හිද හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව 2014 සැප්තැම්බර් මස විවෘත කිරීමට නියමිත අවිස්සාවේල්ලේ තෙත් කලාපීය උද්හිද උද්‍යානයේ කටයුතු ක්‍රියාත්මක කිරීම, හම්බන්තෙට මිරිජ්ජවිල උද්භිද උද්‍යානයේ දෙවැනි අදියරේ කටයුතු ඉතිරි භූමි ප්‍රදේශය තුළ සංවර්ධනය කිරීම, හග්ගල උද්හිද උද්‍යානයේ අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීමට අවධානය යොමුව තිබේ.

පාසල් නිවාඩු සමයේ හිරු ටීවී වෙතින් නවතම කාටුන් මාලාවක්

වර්තමානයේ පොඩිත්තන්ට වඩාත් සමීප කාටූනයක් ලෙස BEN10 හැඳින්විය හැකියි. BEN10 ගේ නවතම වික්‍රමයන් සමග නවතම කතා මාලාවක් ඔබට සමීප කරන්නට හිරු නාලිකාව සූදානමින් සිටිනවා.

පිටසක්වල ජයගන්න වීර BEN10 ගේ නවතම කතා මාලාව BEN 10 ULTIMATE ALIEN – SEASON 01ලංකාවේ ප්‍රථමවරට සතියේ දින පහේම සවස 5.30 සිට 6.00 දක්වා හිරු ටීවී තුළින් ඔබට රසවිඳිය හැකියි. එසේම වයස් භේදයකින් තොරව නරඹන කාටුන් නිර්මාණයක් වන 'සෙල්ලම් ද ෂෝන්'හි නවතම කතාමාලාවක් සෙල්ලම්ද ෂෝන් SESON 04 ලෙස අගෝස්තු 04 වනදා සිට සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන්හි සවස 4.30 සිට 5.00 දක්වා හිරු ටීවී ඔස්සේ විකාශය කෙරෙනවා. 

ශ්‍රී ලංකන් සභාපති APOT Asia සභාපති ධුරයට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අගෝස්තු මසයේ සිට APOT.Asia (Asia Pacific On-board Travel) සංවිධානයේ සභාපති ධුරයට පත්ව තිබේ.

එම තනතුර සඳහා පත්වන ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේද ඒ මහතා වීම විශේෂත්වයකි.

නව සංචාරක කලාප රැසක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගනිමින් නව උපාය මාර්ගික ක්‍රමවේදයන් හඳුන්වාදෙන ගෝලීය සංවිධානයක් ලෙසින් APOT සංවිධානය හඳුන්වා දිය හැකිය.

එහි ගුවන් සේවාවන්හි අභ්‍යන්තර නිෂ්පාදන සහ සේවා සපයන්නන් ගුවන් සේවාවන්හි අභ්‍යන්තර නිෂ්පාදන සහ සේවා සපයන්නන්, ගුවන් සේවා ආහාර පාන සපයන්නන්, ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවන්, ගුවන් සේවා කළමනාකරුවන්, සත්කාරක පාර්ශ්වකරුවන් සහ මාධ්‍ය සංවිධාන යනාදිය මෙහි සාමාජිකත්ව ජාලයට ඇතුළත් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියේ කලාපයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන ආයතනයක් වන APOT සංවිධානයේ සභාපති වීම ඉතා ගෞරවයක් ලෙසින් සලකන බවයි. සැබවින්ම මෙය පෞද්ගලික ජයග්‍රහනයක් හෝ ගුවන් සමාගම තනිව ලබාගැනීමක් පමණක්ම නොවන බවත්, මෙය මුළු රටේම සාමූහික ප්‍රයත්නයක් ගෝලීය වශයෙන් පිළිගත් අවස්ථාවක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එසේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ආසියාවේ ගුවන් කේන්ද්‍රස්ථානය්ක බවට පත්කිරීමේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇපකැප වී කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චන්දිමාල් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ කණ්ඩායමෙන් දිනේෂ් චන්දිමාල් ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. එසේම දකුණු අප්‍රිකාව හා පැවැති දෙවැනි තරගයට ක්‍රීඩාකළ අජන්ත මෙන්ඩිස්ටද කණ්ඩායමේ ස්ථානය අහිමිවී තිබේ. කෙසේ නමුත් උපනායක තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය වෙන්වී තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි තරගයේදී  ටෙස්ට් වරම් හිමිකරගත් නිරෝෂන් දික්වැල්ලට මෙම තරගයේදීද සිය ස්ථානය හිමිව ඇති අතර, තිරිමාන්න වෙනුවට සංචිතයට ඇතුළත් වූ කිත්රුවන් විතානගේටද සිය ස්ථානය වෙන්වී ඇත. ආබාධයන්ට ලක්ව සිටින ශමින්ද එරංග හා සුරං‍ග ලක්මාල්ගේ සහභාගීත්වය තවමත් අවින්ශ්චිතව ඇත.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය  අගෝස්තු මස 6-10 දක්වා ගාල්ලේදී පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් තරගය 14-18 කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගයද වෙයි.

  නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), කෞෂාල් සිල්වා, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කිත්රුවන් විතානගේ, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, චානක වෙලගෙදර, ධම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප්, ශමින්ද එරංග, සුරංග ලක්මාල් (අවිනිශ්චිතය)  

 

ඉන්දියාවට ලකුණු 266 ක පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර සවුත්හැම්ප්ටන්හි පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 266 ක ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය 1-1 ක් ලෙස සමකරගැනීමටද එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

එංගලන්තය වෙනුවෙන් මොයින් අලී දෙවැනි ඉනිමේදීත්, ජේම්ස් ඇන්ඩර්සන් පළමු ඉනිමේදීත් කඩුලු පහ බැගින් දවාගනිමින් එංගලන්ත ජයග්‍රහණය තහවුරු කළහ.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන් අතර, ඔවුහු සිය පළමු ඉනිම සඳහා ලකුණු 569 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවූහ. එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ  ලකුණු 330 ක් පමණි. ඒ අනුව ලකුණු 239 ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායම එම ඉනිමට ලකුණු 205 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 445 ක ඉලක්කයක් හිමිවිය.

නමුත් ඉන්දීය කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 178 ක් පමණි. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 266 ක ජයක් හිමිවිය. තරගයේ වීරයා ලෙස ජේම්ස් ඇන්ඩර්සන් සම්මාන ලැබීය. දෙරට අතර  පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගය එළඹෙන 07 වැනිදා මැන්චෙස්ටර්හිදී පැවැත්වීමට නියමිතය.

එංගලන්තය පළමු ඉනිම 569/7 (පන්දුවාර 163.4)

ඉයන් බෙල් 167 (පන්දු 256)

ගැරී බැලන්ස් 156 (පන්දු 288)

ඇලිස්ටෙයාර් කුක් 95 (පන්දු 231)

භුවනේෂ්වර් කුමාර් 101/3 (පන්දුවාර 101)

ඉන්දියාව පළමු ඉනිම 330/10 (පන්දුවාර 106.1)

අජින්ක්‍යා රහානේ 54 (පන්දු 113)

මහේන්ද්‍ර සිං දෝනි 50 (පන්දු 113)

ජේම්ස් ඇන්ඩර්සන් 53/5 (පන්දුවාර 26.1)

ස්ටුවර්ට් බ්‍රෝඩ් 66/3 (පන්දුවාර 25)

එංගලන්තය දෙවැනි ඉනිම 205/4 (පන්දුවාර 40.4)

ඇලිස්ටෙයාර් කුක් 70 (පන්දු 114)

ජෝ රූට් 56 (පන්දු 41)

ගැරී බැලන්ස් 38 (පන්දු 48)

රවින්ද්‍ර ජඩේජා 52/3 (පන්දුවාර 10.4)

ඉන්දියාව දෙවැනි ඉනිම 178/10 (පන්දුවාර 66.4)

අජින්ක්‍යා රහානේ 52 (නොදැවී) (පන්දු 121)

ශිකර් ධවාන් 37 (පන්දු 35)

මොයින් අලී 67/6 (පන්දුවාර 20.4)

ජේම්ස් ඇන්ඩර්සන් 24/2 (පන්දුවාර 14)

 

 

 

 

 

ජූලි උද්ධමනය ඉහළ යයි

2014 ජූලි මාසයේ උද්ධමනය 3.6% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 2.8% සිට සුළු ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 ජුනි මාසයේ 2.8% ක් ලෙස පැවති අතර, එය ජූලි මාසයේදී 3.6% ක් ලෙස මෙසේ ඉහළ ගොස් ඇත.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය ජුනි මාසයේ වාර්තා කළ 4.9% සිට ජූලි මාසයේදී 4.7% දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.